සංහිඳියාවෙන් අලුත් වුණු උතුරේ කෙළවරටම යමු! | සිළුමිණ

සංහිඳියාවෙන් අලුත් වුණු උතුරේ කෙළවරටම යමු!

 ඉස්සර අපේ රටේ කියමනක් තිබුණා දෙවුන්දර තුඩුවේ ඉදල පේදුරුතුඩුව දක්වා යන්න කිසිම බාධාවක් තිබුණෙ නෑ කියලා. ඒ වුණත් පසුකාලීනව රටේ ඇතිවුණු විනාශකාරී යුද වාතාවරණය නිසා මේ තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වුණා‍. උතුරේ ජනතාව වෙනම සංස්කෘතියකින් වගේම දකුණේ ජනතාව වෙනම සංස්කෘතියකින් වෙන් වෙන් වශයෙන් ජීවත් වුණා.

රට බෙදන්න ත්‍රස්තවාදීන් ගත්ත උත්සාහය මීට අවුරුදු 9කට කලින් ඉවර වුණේ අපේ ත්‍රිවිධ හමුදාවට පින් සිද්ධ වෙන්න. ඊට පස්සෙ තමයි දකුණේ ජනතාව උතුරට යන්නත් උතුරේ ජනතාව දකුණට යන්නත් පටන් ගත්තෙ. දැන් සාමය සහජීවනය දිවයින පුරාම පැතිරිලා ගිහින්.

දකුණේ ජනතාව මේ වන විට නාගදීපය, කඳුරුගොඩ, නල්ලූර් වගේ ප්‍රදේශවල සංචාරය කරත් පේදුරුතුඩුවට යන එන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉතාම අල්පයි. ඒ විතරක් නෙමෙයි පේදුරුතුඩුවේ ලංකාවේ කෙළවර තුඩුව වන සංකෝටෙයි වෙත ළඟා වෙන්න හරිම අමාරුයි. මුහුදු වෙරළ අයිනටම වෙන්නට තිබෙන සංකෝටෙයි වෙත යන්න වුණේ ගල්පර වගේම කැඩුණු බිඳුණු අසීරු මාවතක් ඔස්සේ.

මේ නිසා සංචාරකයන්ටත් ඒ ප්‍රදේශයේ ඉන්න අයටත් එතෙන්ට යන්න ක්‍රමයක් තිබුණේ නැහැ. අපට වාර්තා වෙන විදිහට මේ සම්බන්ධව එම ප්‍රදේශයේ ජනතාව ප්‍රාදේශීය සභාවලට මේ ගැන දැනුම් දී තිබුණත් ඒ ගැන තැකීමක් කරල නැහැ. ඒ වගේම දේශපාලඥයන්ට මේ ගැන මේ ගැන දැනුම් දුන්නත් ඒ ගැන අවධානයක් යොමු වෙලා නැහැ.

මේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට දැන ගන්නට ලැබුණා. ඒ සම්බන්ධව වහාම සොයා බලා කටයුතු කරන්න යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කටයුතු කළා. ඒ අනුව 55 සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න මහතාට ඒ සම්බන්ධව දැනුම් දිමෙන් පසුව පේදුරුතුඩුව ආසන්නයේම ඇති 551 බලසේනාධිපති කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු මහතා තමන් යටතේ ඇති 18 වන සේනාංකයේ මේජර් පාලිත හේරත් වෙත මේ කාර්යය අධීක්ෂණය කර සංකෝටෙයි වෙත යන මාර්ගයක් ස්ථාපිත කර එහි පහසුකම් සලසන ලෙසට දැනුම් දුන්නා.

ඒ කාර්යය ඒ විදිහටම යුද හමුදා දායකත්වයෙන් සිදු වුණා.

මාර්ගය මෙන්ම අවට ප්‍රදේශය සකස් කර අවසන් වීමෙන් පසුව සං‍කෝටෙයි නැරඹුම් මධ්‍යස්ථානයේ සිංහ ධජය සහිත ස්මාරකය අලුතින් නිර්මාණය කර ස්ථාපිත කරන්න අවශ්‍ය වුණා. මේ සම්බන්ධව සොයා බලා කොළඹ ප්‍රදේශයේ චිත්‍ර ශිල්පින්ගෙන් ඒ සඳහා සහාය ඉල්ලා තිබෙනවා.

ඒ කාර්යයට අතිවිශාල මුදලක් කොළඹ ඒ චිත්‍ර ශිල්පීන් ඉල්ලා තිබෙන බවයි අපට වාර්තා වන්නේ.

පසුව ඒ සම්බන්ධයෙන් යාපනයේ සිටින චිත්‍ර ශිල්පයට දස්කම් දක්වන අයගෙන් සහාය ඉල්ලූ විට ඔවුන් කිසිදු මුදලක් අය නොකර මේ කාර්යය කරන්නට ඉදිරිපත්ව තිබෙනවා.

ඒ යාපනයේ පදිංචි කේ. සුරේන්ද්‍රන් හා පී. කමල්රාජ් යන දෙදෙනා විසින්. ඔවුන්ට අමතරව මේ ස්මාරකය සම්බන්ධව කටයුතු කරන්න දිනේෂ් කුමාර්, එම් යාදවන්, ආර්. උදයන් යන අයත් සහාය ලබා දී තිබෙනවා. අපි මේ සඳහා නොමිලේ දායකත්වය ලබා දුන් අයගෙන් අදහස් විමසුවා.

කේ. සුරේන්ද්‍රන් හා පී. කමල්රාජ් දෙදෙනාම පැවසුවේ එක සමාන අදහසක්. 'අපි කාලාන්තරයක් තිස්සේ පුදුමාකාර දුකක් වින්දා, ඒ දුක අපට අමතක කරන්නත් අමාරුයි, ඒ විදිහේ දුකක් අපට විදින්න සිද්ධ වුණේ යම් යම් පාර්ශ්වයන්ගේ වැරැදි නිසයි. ඒ නිසා අපේ පාසල් කාලයේ ඉදන්ම දුක් විඳින තත්ත්වයක තිබුණේ. අපට සිංහල කියන අය හඳුන්වා දී තිබුණේ අපේ හතුරු අය හැටියටයි. අපට වද කරන මහ නරුමයන් ලෙසින්. ඒ වුණත් 2009 අවුරුද්දෙන් පස්සෙ අ‍පේ හැම දුකකදිම පිහිටට ආවේ යුද හමුදාව. සමහර අය කියන්නෙ හමුදාව යාපනයෙන් යන්න ඕන කියලා අපි නම් දන්නෙ නැහැ ඇයි එහෙම කියන්නෙ කියලා. අපිට උදවු කරන නිසාද දන්නෙ නැහැ.

‍අපිට සුළි සුළඟක් ආවත් වෙන මොකක් හරි කරදරයක් ආවත් අපේ පිහිටට එන්නේ යුද හමුදාව අපේ ඉස්කෝලෙක හරි ක්‍රීඩා සමාජයක හරි අවශ්‍යතාවයකට උදවුවට එන්නේ යුද හමුදාව. අපිට නම් සිංහල දෙමළ කියල කිසිම වෙනසක් නැහැ.

මේක අපේ රට ඒක නිසා මේ රටේ කරන ඕනම හොඳ දේකට උදවු කරන්න ඕන. අපි සම්පූර්ණ දායකත්වය දීල මේ කාර්යයට උර දුන්නේ ඒක නිසයි.

මේ ගැන අපට දැනෙන්නේ පුදුමාකාර සතුටක් අපිත් වටින පුද්ගලයො කියන හැඟීම අපිට ආවේ අද, ලංකාවෙම අයට උතුරු කොෙන් නැරැඹුම් මධ්‍යස්ථානයක් වන සංකෝටෙයි වගේ ස්ථානයක ජාතික ‍කොඩිය අලුතින් නිර්මාණය කරල දෙන්න අපට වාසනාව ලැබුණා. ඒක මම දකින්නේ අපේ ලොකු ජයග්‍රහණයක් හැටියට. හැම දෙයක්ම මිල මුදලින් මනින ලෝකයේ අපි මේ දේ කරන්න එකඟ වුණේ අපිට පුළුවන් විදිහට අපේ රටේ දියුණුවට දායකත්වය ලබා දෙන්නයි.

මේ නිසා ඉදිරියේදී සංචාරකයන් ‍මේ පැත්තට ඒවි. එතකොට මේ ප්‍රදේශයේ ජනතාවට ආර්ථික වාසි සැලසේවි. උතුර දකුණ අතර හොඳ හිත ඇතිවේවි. අපට මේ විදිහේ වාසි ගොඩක් ඇති වේවි‍. ‍ඒ ගැන හිතනකොට අපිට පුළුවන් විදිහට අපේ පින්සල් තුඩෙන් ලංකාවටම ලොකු දෙයක් කරා කියල ආඩම්බර වෙන්න පුළුවන්.'

මේ සම්බන්ධව අපි සොයා බලපු විස්තරවලින් අපට දැන ගන්නට ලැබුණෙත් මේ ස‍හයෝගීතාවය නිසා උතුරු දකු‍ණු තවත් සහසම්බන්ධයක් ආරම්භ වුණු බවයි. මේ විදිහටම දෙවුන්දරතුඩුවේත් ශ්‍රී ලංකා ධජය සහිත ස්මාරකයක් පිහිටිවිය යුතු බවට උතුරේ බොහෝ දෙමළ ජනතාවගේ අදහස වී තිබෙනවා.

අපි සියලු දෙනාටම ඉන්න තියෙන්නේ මේ ලංකාව විතරයි. අපි හැමෝම සමඟියෙන් හිටියොත් විතරයි මේ රට සංර්ධනය කරන්න පුළුවන් වෙන්නෙ. මේ රටේ තිබුණු 30 අවුරුදු යුද්ධය නිසා උතුරේත් දකුණේත් හැම අයෙක්ම දුක් වින්දා. ‍

ඒ වගේ දෙයක් යළිත් ආරම්භ වෙන්න කිසිසේත්ම ඉඩ නොතියන්න අපි හැම කෙනෙක්ම හිතට ගන්න ඕන. අපේ රට මිසක් අපි කොටසකගේ රට කියන දේ හිතුවොත් තමයි අපිට ගැටලු ඇති වන්නේ. උතුරේ ඉන්න අයට කවදාවත් භාෂා ප්‍රශ්නයක් උඩ සිංහල ජනතාව එක්ක එහෙමත් නැත්නම් හමුදාවත් එක්ක ප්‍රශ්න ඇති වෙලා නැති බවයි ඒ අය පවසන්නේ‍ ඒත් සමහරු ඒ තත්ත්වය ඇති කරන්න හදනවා. ඒ තම තමන්ගේ පැවැත්මටයි.

'අපිට වතුර නැති කාලෙට වතුර පොදක් දෙන්න කෙනෙක් නැහැ. ඒ වුණත් ගැටුම් ඇති කරන්න සමහරදේශපාඥලයන් උත්සාහ ගන්නවා‍. අපි කවුරුත් ඒ දේවල්වලට රැවටෙන්න හොඳ නැහැ.' මේ උතුරේ බහුතර ජනතාවගේ අදහසයි.

සංකෝටෙයි නැරැඹුම් මධ්‍යස්ථානය පසුගියදා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අතින් විවෘත වුණා. එම අවස්ථාවට 51 සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙ‍නෙවිරත්න, 52 හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ඇතුළු උතුරු පළාෙත් සියලුම හමුදා නිලධාරීන් සම්බන්ධ වුණා. එපමණක් නොවෙයි මේ විශේෂ අවස­්ථාවට ආගමික නායකයනද සහභාගි වුණා.

දැන් සංකෝට්ටෙයි වෙත පහසුවෙන් යන්න හැමෝටම පුළුවන් තවත් සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙස මේ ස්ථානය හඳුන්වා දෙන්න පුළුවන්. උතුරේ සංචාරය කරන දෙස් විදෙස් හැමටම මේ ස්ථානය දැක බලා ගන්නට පුළුවන්. අපි ලංකාවෙ උතුරේ කෙළවරටම ගියා කියන හැඟීමත් ඇති වේවි.

ඒ විතරක් නෙමෙයි දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන නිසා මෙහි වෙළෙඳ පොළක් ඇති වේවි. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ දැනටමත් කරවල වෙළෙඳාම සිදු කෙරෙනවා. එය තවත් වර්ධනය වේවි.

මේ වන විටත් පේදුරුතුඩුවේ අලුතින් කඩ සංකීර්ණයක් ඉදි කෙරෙන බවත් 551 බලසේනාධිපති කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපට පැවසුවා.

උතුරේ දෙමළ ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් එකතු කරන පාලමක් තමයි මේ හදල තියෙන්නෙ. අපි හැමෝම ඒ පාලම උඩින් ගමන් කළ යුත්තේ පාලම ආරක්ෂා කර ගනිමින්. එවිට සාමය සංහිඳියාව මෙන්ම අපගේ මිතුදම් පවා වැඩිවේවි.

තාරක වික්‍රමසේකර
සේයා රූ - විමල් කරුණාතිලක

අදහස්