විශේෂ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යන්න ඔවුන්ටත් උපකාරයක් කරන්න | සිළුමිණ

විශේෂ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යන්න ඔවුන්ටත් උපකාරයක් කරන්න

 අබුඩාබි නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත විශේෂ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගීවීමට සැලසුම් කර තිබේ. අබුඩාබිහි පැවැත්වෙන මෙම තරගාවලිය මාර්තු 14 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරගාවලිය ‘විශේෂ ඔලිම්පික් මෙනා ක්‍රීඩා උළෙල ’යන නමින් හැඳින්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් එහිදී කණ්ඩායම් තරග කීපයක් සඳහා සහභාගිවීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ‘සෙරන්ඩිබ් විශේෂ ඔලිම්පික් කණ්ඩායම’යන නාමකරණය යටතේ තරගාවලියට ඉදිරිපත් වෙයි. මෙම තරගාවලියේ විශේෂත්වයක් වනුයේ කිසිදු රාජ්‍යයක ධජය යටතේ කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීමය. විශේෂයෙන් නිර්මිත රාජ්‍යයක් නියෝජනය නොකරන කණ්ඩායම්වල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සුහදත්වය වැඩිවර්ධනය කිරීම හා සමාජය තුළ ඔවුනට වැඩි අවස්ථාවක් හිමිකර දෙන්නැයි සිදුකරන අහිංසක ඉල්ලීම මෙවැනි තරගාවලියක් පැවැත්වීමේ අරමුණය.

සෙමෙන් මනස වැඩෙන දරුවන්ගේ විභවතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙවැනි තරගාවලි ලොව පුරා සංවිධානය කරන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන සෙරන්ඩිබ් කණ්ඩායම අවස්ථා ගණනාවකදී එවැනි තරග සඳහා සහභාගිවී ඇත. මෙවැනි තරගාවලි සඳහා විශේෂ අවධානයක් දැක්විය යුතු දරුවන් එක් කිරීමේදී ඒ සඳහා වන ගුවන් ප්‍රවේශපත්‍ර සොයාගැනීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බව එම සංගමය පවසයි. මෙවර අබුඩාබියේ පැවැත්වෙන තරගාවලිය සම්බන්ධයෙන්ද එවැනි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබීම කනගාටුදායක කරුණකි.

එම තරගාවලිය සඳහා කණ්ඩායම සහභාගි කරවීමට අපේක්ෂා කරන ‘විශේෂ ඔලිම්පික් සෙරන්ඩිබ් සංගමය ’ විසින් මේ සඳහා ගුවන් ප්‍රවේශපත් සොයාගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ සඳහා දායකත්වය ලබාදිය හැකි පුද්ගලයන් හෝ ආයතන වෙත්නම් දුරකථන අංක 0112053608 අංකය ඇමැතීමෙන් ඒ සඳහා දායක වීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. සමානාත්මතාව අගයන පිරිපුන් මනසක උරුමකරුවන් වන පුරවැසියන් මෙවැනි විශේෂ ඔලිම්පික් තරගාවලි නියෝජනය කරනු ලබන සෙමින් මනස වැඩෙන දරුවන්ගේ ජීවිතය තවත් පියවරකින් ඉදිරියට තැබීමට මෙවන් අවශ්‍යතාවකට උපකාර කිරීමය.

මෙම විශේෂ දරුවන්ගේ ක්‍රීඩා සම්බන්ධයෙන් සැකසෙන ලිපියක් ලබන ඉරිදා ක්‍රීඩා පිටුවෙන් බලාපොරොත්තු වන්න.

Comments