පත්තර මහ ගෙදරින් මහ මෙහෙවරක් කළ ඩී.ආර්. විජයවර්ධන | සිළුමිණ

පත්තර මහ ගෙදරින් මහ මෙහෙවරක් කළ ඩී.ආර්. විජයවර්ධන

 පෙබරවාරි 23 වැනිදාට යෙදෙන ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වැනි ජන්ම දින ගුණ සමරුව වෙනුවෙනි.

පසුගිය ජනවාරි 3 වැනිදා ඩේලිනිවුස් පුවත්පත වසර 100 සම්පූර්ණ කළේ ය. සිළුමිණ පුවත්පත 2018 මාර්තු 30 වැනිදා 88 විය සපුරන්නේ ය.

මේ අප මහත් අභිමානයෙන් කථා කරන ඉහත මෙරට පැරණිම පුවත්පත් දෙක ආරම්භ කර ඒවා මෙරට ඉහළම ජනප්‍රිය පුවත්පත් බවට පත් කළෝ මීට වසර 132 කට පෙර උපත ලැබූ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ ය.

ලේක්හවුස් පිහිටුවීම

සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රටේ නිදහස ලබාගැනීමට ජාතික වාත්සල්‍යය සුරැකීමට දේශමාමක දේශප්‍රේමීන් තම මෙහෙය කාර්යක්ෂම ලෙස ඉටු කරද්දී සිංහල, දෙමළ ඉංගිරිසි පුවත්පත් අරඹා ඒ මඟින් ජාතික චින්තනයක් ඇතිකර රටට නිදහස ලබාගැනීමට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මහ මෙහෙයක් කළ ඩී.ආර්. විජයවර්ධන සූරීහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජාතිහිතෛෂියෙකි.

එතුමාගේ කාලීන ව්‍යාපාරික ඥානය අනුව 1914 දී වැසී යමින් තිබූ දිනමිණ පුවත්පත මිලට ගෙන හා වාණිජ පුවත්පත් කර්මාන්තය හා ඡායාරූප ශිල්පී කලාවක් රටට හඳුන්වා දී දියුණු කළේ නැත්නම් අද මෙරට මෙතරම් දියුණු වාණිජ පුවත්පත් කර්මාන්තයක් අද මෙරට පවතින්නේ නැත.‍

පත්තර මහ ගෙදර ලෙස 1926 දී ලේක්හවුස් ආයතනය පිහිටුවා එහි නිර්මාතෘවරයා බවට පත්වූ එතුමා මෙරට වාණිජ මහා පරිමාණ පුවත්පත් කර්මාන්තයේත් පුවත්පත් ඡායාරූප ශිල්පී කර්මාන්තයේත් පමණක් නොව වාණිජ පුවත්පත් කලාවේද නිර්මාතෘවරයාණන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ යයි මට සිතේ.

අද තොරතුරු විකිණීමේ කර්මාන්තය, අන්තර්ජාල, මුහුණුපොත ලොව ඉහළම ආදායම උපදවන කර්මාන්තයක් වුවත් මීට වසර 104 ක් තරම් පෙර තොරතුරු විකිණීමේ සංකල්පයක් බිහිව නොතිබූ සමයක එතුමා පුවත්පත් කර්මාන්තය ආදායම් ඉපදවීමට හැකි අලුත් ක්ෂේත්‍රයක් ලෙස බිය නැතිව හඳුනා ගනිමින් මෙරට වාණිජ පුවත්පත් කර්මාන්තයේ නියමුවා ලෙස අලුත් පුවත්පත් අරඹා ලේක්හවුස් ආයතනය පිහිටුවා දේශමාමක අදහස් රටපුරා ගෙන ගියේ ය.

අද අපේ ‍රටේ තිබෙන තොරතුරු අලෙවි කරන ආයතන තොරතුරු අලෙවිය ඇරැඹුයේ මීට වසර 5 - 6 කට පමණ පෙර ය. නමුත් තොරතුරු අලෙවියෙන් ලාභයක් ද සමාජ ශෝධනයක් ද සමාජ විප්ලවයක් ද ඇති කළ හැකි බව ලේක්හවුස් නිර්මාතෘ විජයවර්ධන ශ්‍රීමතාණන්ට පසක් වුණේ මීට වසර 104 කට පෙර ය. එදා පුවත්පත් කර්මාන්තයට තොරතුරු අලෙවියට අපේ රටේ පූර්වාදර්ශ තිබුණේ නැත. එවැනි වකවානුවක මෙරට ප්‍රථම වාණිජ පුවත්පත් කර්මාන්තය ලේක්හවුස් ආයතනය ඔස්සේ ආරම්භ කළේ හුදෙක් වාණිජ පරමාර්ථ උදෙසා ලාභ ලබා ගැනීමට වඩා රටේ ජනතාව දැනුමෙන් සාරධර්ම මඟින් රසවින්දනයකින් හා රටට ආවේණික සංස්කෘතිකාංගවලින් පෝෂණය කර රටට නිදහස ලබා ගැනීමේ පුළුල් පරමාර්ථය ද ඇතිව බව විද්වතුන්ගේ අදහසයි. ඒ අනුව එතුමා 1914 දී මෙරට ප්‍රථම පුවත්පත් කර්මාන්තය සමඟ දිනමිණ පුවත්පත මිලදී ගත්තේ ය. රටට නිදහස ලබාගැනීමට උර දෙන ජාතික පුනරුද ව්‍යාපාරය ද ආරම්භ කළේ ය‍.

1886 පෙබරවාරි 23 වැනිදා උපන් මෙතුමාගේ පියාණන් වූයේ දොන් පිලිප් විජයවර්ධන මහතා ය. මව හෙලේනා විජයවර්ධන මහත්මියයි. මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ එතුමා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබ මවු රටට පැමිණියේ අධිනීතිඥවරයකු ලෙසයි.

දිනමිණ - සිළුමිණ ඇරැඹීම

එතුමා මෙරටට පැමිණෙන විට තනිකරම මෙරට තිබුණේ ඉංග්‍රීසි පුවත්පත් අධිරාජ්‍යයකි. එහෙත් රටේ බහුතරය ශ්‍රී ලාංකික සිංහල ජනතාව විය. ඔවුන්ට කියවීමට සිංහල බෞද්ධයා, සරසවි සඳරැස වැනි පුවත්පත් තිබුණ ද ඒවා බෙදා හැරියේ රටේ ප්‍රධාන නගර කීපයකට පමණි. ඒ අනුව ඉංග්‍රීසි නොදත් සිංහල ජනතාවට කියවිමට සාරගර්භ ජනප්‍රිය දැනුම වඩවන රටට ම බෙදා හරින සිංහල පුවත්පතක් අපේ ර‍ෙට් නොවීය‍‍. ඒ අඩුපාඩුව මඟ අරවමින් 1909 දී ආරම්භ කර තිබූ ‘දිනමිණ’ දිනපතා සිංහල පුවත්පත 1914 දී මිල දී ගෙන එය පවත්වාගෙන යෑමට ඩී.ආර්. විජයවර්ධන මහතා කටයුතු කළේ ය.

පසුව මෙතුමා 1918 දී ‘සීලනීස්’ ඉංග්‍රීසි පුවත්පත මිලට ගෙන ‘ඩේලිනිවුස්’ වශයෙන් නම වෙනස් කර මෙරට ජනප්‍රියම ඉංග්‍රීසි පුවත්පත ලෙස ජනතාව අතරට රැගෙන ගියේ ය. ඊට පසු 1923 දී යුරෝපීයන් සතුව තිබූ ‘ඔබ්සර්වර්’ පුවත්පත ද මිලට ‍ගැනීමට එතුමාට අවස්ථාව ලැබුණේ මෙරට වාණිජ පුවත්පත් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාලතම සමාගම ඇරඹීමට සූදානම් වෙමිනි.

පසුව විවිධ තැන්වල ස්ථානගතව තිබූ දිනමිණ ඩේලිනිවුස් දැන්වීම් අංශ හා කාර්යාල කටයුතු එකට එක් කිරීම තම ව්‍යාපාරයට ඉතා ලාභදායි බව විජයවර්ධන ශ්‍රීමතාණන්ට පෙනී ගියේ ය. ඒ අනුව එතුමා කොළඹ කොටුවේ බේරේ වැව අසල තිබූ කදිම සුන්දර භූමි භාගයක ලේක්හවුස් මන්දිරය ඉදි කරන්නේය. 1926 සිට මෙර‍ට ප්‍රථම මහා පරිමාණ වාණිජ පුවත්පත් ආයතනය ‘ලේක්හවුස්’ නමින් එකම වහලක් යටතේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය.

විජයවර්ධන පරම්පරාවට තිබූ ඉඩකඩම් අනුව වෙනත් ලාභ අධික ව්‍යාපාරයක් මඟින් මුදල් ඉපයීමට අවස්ථාව තිබුණු නමුත් එතුමා මෙරට ප්‍රථම වරට මහා පරිමාණ පුවත්පත් කර්මාන්තයට මුදල් යෙදවූයේ දේශහිතෛෂි අරමුණු රැසක් ද ඉටු කර ගැනීමට බව පැහැදිලි වේ.

රටට නිදහස ලබාගැනීම, දේශීය කලා ශිල්ප ඔප්නැංවීම, මෙරට උගත් බුද්ධිමත් සිංහල භාෂාව පිළිබඳව දැනුමක් හැඟීමක් ඇති නැණවත්, ගුණවත් දරු පරපුරක් බිහි කිරීම දේශානුරාගය ඔප නැංවීම ඒ අරමුණු අතර වේ.

කොළඹ කලාගාරයක්

එමෙන් ම විශේෂයෙන් ගමේ නගරයේ සිංහල ජනතාවට සත්‍ය තොරතුරු ඉක්මනින් ලබාදීම ආදිය ගැබ් වූ ආර්ථික ව්‍යාපාරික ඥානයක් එතුමා තුළ තිබූ බව ද පෙන්වා දිය හැකි ය.

ලේක්හවුස් ආයතනය ආරම්භ කළ පසු එතුමා 1930 මාර්තු 30 වැනිදා මෙරට තවමත් ජනප්‍රිය සතිපතා ඉරිදා සිංහල පුවත්පත ලෙස සිළුමිණ ආරම්භ කළේ ය. එදා සත දහයේ විශ්වවිද්‍යාලය ලෙස බාල, තරුණ, මහලු ප්‍රබුද්ධ විද්වත් සියලු ජනතාවට දැනුම අවබෝධය අධ්‍යාපනය වින්දනය ලබාදුන් ‘සිළුමිණ’ පුවත්පත අදත් එලෙසම මෙරට පුවත්පත් ක්ෂේත්‍රයේ රන් ඔටුන්න ලෙස විරාජමානව පවතී.

ඊට පසු 1932 දී ‘තිනකරන්’ පුවත්පත ද ඊට පසු තවත් සතිපතා පුවත්පත් ගණනාවක් ද ආරම්භ කිරීමට එතුමා කටයුතු කළේ මෙරට පුවත්පත් වැඩිම ගණනක් මුද්‍රණය කරන පුවත්පත් ආයතනය බවට ලේක්හවුස් ආයතනය පත් කරමිනි‍.

ඩී.ආර්. විජයවර්ධන මැතිතුමා ලේක්හවුස් මන්දිරය ඉදි කිරීමෙන් පුවත්පත් මුද්‍රණය කිරීම පමණක් නොව කොළඹ කොටුවට කලාගාරයක් බඳු දේශීය සම්ප්‍රදායට අනුගතව ඉදිකළ මන්දිරයක් ද ලක් ජනතාවට පිරිනැමී ය. ලේක්හවුස් ආයතනයේ එදත් අදත් ඇති, සඳකඩ පහණ සහ නෙළුම් මල් මෝස්තර, නාරිලතා මෝස්තර, කොරවක්ගල් මඟින් පෙන්නුම් කරන්නේ ලේක්හවුස් ආයතනය අපේ කලා ශිල්පවලට ද ප්‍රමුඛත්වයක් දී ඇති බවයි.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් මෙරට ජාතික නිදහස් සටන හා ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ද කළ මෙහෙය ද ඉතා ඉහළ ය. ග්‍රාමීය ප්‍රදේශවල පාඨශාලා පිහිටුවා ශ්‍රී ලාංකික දරුවන් දැනුමින් අධ්‍යාපනයෙන් පොහොසත් කිරීමට හා දිළිඳු ජනතාවට පිහිට වීමට මෙතුමා කැප වී ක්‍රියා කළේ ය.

විද්වතුන් රැසක් බිහි කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගොඩනැඟීම ද සිදු කරනු ලැබුවේ විජයවර්ධන මහතා විසින්ම ය. ඊට පසුව එතුමා පේරාදෙණිය සරසවියේ සංඝාරාමයක් ද ඉඳි කළේ ය. ඒ සඳහා එතුමා එකල තම ධනයෙන් රුපියල් ලක්ෂ 2 ½ ක් පරිත්‍යාග කළේ ය.

ඩී.ආර්.විජයවර්ධන මැතිතුමා මෙරට පුවත්පත් කර්මාන්තයේ තවත් පියවරක් ලෙස තම ආයතනය මුද්‍රණය කරන පුවත්පත් අලුයම හිරු නැ‍ඟෙන විටම පාඨක ජනතාවගේ නිවෙසටම ගෙන යෑමට පියවර ගත්තේ ය.

ඒ අනුව ලේක්හවුස් ආයතනයේ වාහන 15 ක් 20 ක් මඟින් මුළු රටටම පුවත්පත් බෙදා හරිනු ලැබූ මේ සුවිශේෂ ප්‍රවාහන රටාවකට අනුවය. එයට කිසිම පරමාදර්ශයක් තිබුණේ නැත. එහෙත් ඊට පසු මෙරට පිහිටුවූ අන් සියලු පුවත්පත් ආයතනවලට ලේක්හවුස්හි පුවත්පත් ප්‍රවාහන ක්‍රමවේදය පරමාදර්ශයක් විය.

ව්‍යාපාරික ඥානය

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ව්‍යාපාරික ඥානය අනුව එතුමා අපේ රටේ පුවත්පත් මුද්‍රණය වාණිජ පුවත්පත් කර්මාන්තයත් වාණිජ පුවත්පත් කලාවක් ලෙස දියුණු කළේ නැත්නම් අද මෙන් මෙරට දියුණු වාණිජ පුවත්පත් ආයතන 15 – 20 ක් බිහි වන්නේ නැත. සරලව කීවොත් මෙරට ඇති සියලු පුවත්පත් නිෂ්පාදන ආයතනවලට පමණක් නොව මෙරට ඇති විද්යුත් මාධ්‍ය සේවාවලට ද අඩිතාලම වැටී ඇත්තේ එතුමාගේ වාණිජ පුවත්පත් කර්මාන්තයේ පරමාදර්ශ පෙරටු කරගෙන ය. ඒ බව ඔප්පු කිරීමට ගවේෂණාත්මක සාක්ෂි ඕනෑ තරම් තිබේ.

20 සියවසේ මුල් භාගයේ දී පහතරට ප්‍රභූ පවුල්වල තරුණයන් රැල්ලකට මෙන් තම සහකාරියන් තෝරාගනු ලැබුවේ උඩරටිනි. ඒ අනුව යමින් තරුණ විජයවර්ධන ද එවකට සපරගමුවේ තුන් කෝරළය පාලනය කළ දිසාවේ සහ අධිකාරම් පදවියෙන් අභිෂේක ලත් ‍ජෝන් හෙන්රි මීදෙණිය මහතාණන්ගේ දෙවන දියණිය තම භාර්යාව වශයෙන් තෝරාගන්නා ලදී. රූබි අලිස් ගර්ට්රූඩ් මීදෙණිය මෙණෙවිය සහ විජයවර්ධන මහතාගේ විවාහය 1916 ජනවාරි 26 දින චිරාගත සම්ප්‍රදායානුකූල සිදුකොට තිබේ. රූබි මීදෙණිය මෙණෙවියගේ වැඩිමහල් සොහොයුරිය වූ ඇඩ්ලින් මීදෙණිය මෙණෙවිය විවාහ වූයේ අධිනීතිඥ ප්‍රැන්සිස් මොලමුරේ මහතා සමඟයි. හේ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම කථානායකවරයාව සිටි පසුව නයිට් නම් ගරු නම්බු නාමයකින් ද පිදුම් ලැබූවෙකි.

විජයවර්ධන යුවළට පුත්තු දෙදෙනෙක් සහ දියණිවරු තිදෙනෙක් වූහ. පිරිස වන්නේ සීවලී විජයවර්ධන, නාලනී විජයවර්ධන, රාණි විජයවර්ධන, කුසුමා විජයවර්ධන සහ විජය පුවත්පත් සමාගම හිමි රංජිත් සුජීව විජයවර්ධන මහතා යන දූ දරුවෝ ය.

කොළඹ බ්‍රේබෲක් වීදියේ පිහිටි උද්‍යානයක් සහිත විශාල ඉඩමේ ඉදිකළ නිවස විජයවර්ධන මහතා තම නිවහන කරගත්තේ ය‍.

බෞද්ධාගමට කැපවීම

විජයවර්ධන ශ්‍රීමතාණන් මෙරට ජාතික නිදහස ලබාගැනීමෙන් පසු මෙරට බෞද්ධ විහාරාරාම ප්‍රතිසංස්කරණය කිරීමට පෙරමුණ ගත්තේ ය. විශේෂයෙන් කැලණිය රජ මහා විහාරය කොළඹ ගංගාරාම විහාරස්ථානය හා බම්බලපිටියේ වජිරාරාමය දියුණු කිරීම සඳහා කැපවී කටයුතු කළේ ය‍. විශේෂයෙන් බම්බලපිටියේ වජිරාරාමයට 1941 මාර්තු 5 වැනිදා පර්චස් 37 ක ඉඩමක් පරිත්‍යාග කිරීමට ද ඩී.ආර්. විජයවර්ධන මැතිතුමා පියවර ගත්තේ ය. අද වජිරාරාමයට යන ඕනෑම අයකුට ඊට අදාළ සමරු ඵලකය දැක ගත හැකි ය.

ඊට පසු එතුමාගේ පුත්‍ර රත්නය වූ රංජිත් විජයවර්ධන මහතා විසින් අරඹන ලදුව, 1963 සිට මිහින්තලා ආලෝක පූජාව ලේක්හවුස් අනුග්‍රහයෙන් දිගටම සිදුකිරීම කරගෙන යනු ලැබේ.

මෙරට පුවත්පත් ඡායාරූප ශිල්පීන්ගේ තිඹිරිගෙය ලේක්හවුස් ආයතනයයි. ඒ අන් කිසිවක් නිසා නොව ලේක්හවුස් ආයතනය මඟින් ආරම්භ කළ චිත්‍රා පොටෝ ඡායාරූප ශාලාව කොළඹ නගරයේ ජනප්‍රියම ඡායාරූප ශාලාව බවට එකල පත්වීම නිසා ය. කොළඹ නගරයේ ඡායාරූප ‘‍බ්ලොක්’ එකක් සෑදීමට එකල හොඳම තැන වූයේ මේ චිත්‍රා ෆොටෝ’ ඡායාරූපාගාරයයි. එයට ඡායාරූප ශිල්පීන් ගණනාවක් එක්වූ අතර පසුව ඒ ඡායාරූප ශිල්පීහු ලේක්හවුස් පුවත්පත්වලට අනුයුක්තව කටයුතු කළහ.

ඒ අනුව ඩී.ආර්. විජයවර්ධන මහතාගේ ව්‍යාපාරික ඥානය නිසා ‍රටටම ප්‍රයෝජනවත් දක්ෂ මාධ්‍යවේදීන් මෙන් ම ඡායාරූප ශිල්පීන් ද විශාල ගණනක් රටට දායක කිරීමට ලේක්හවුසියට අවස්ථාව ලැබිණි. රටේ අනෙක් සියලු වාණිජ පුවත්පත් කර්මාන්ත ආයතන ඇරැඹීමේදී එහි නායකත්වය ගත්තේ එලෙස ලේක්හවුස් ආයතනයෙන් බිහිවූ මාධ්‍යවේදීන් ය. මේ අනුව අපේ රටේ මහා පරිමාණ පුවත්පත් නිෂ්පාදන කර්මාන්තය බිහිවන්නේත් අපේ රටේ පුවත්පත් ඡායාරූප ශිල්පී කර්මාන්තය මෙන් ම අපේ රටට දක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසක් බිහිවන්නේ ද ඩී.ආර්. විජයවර්ධන සූරීන්ගේ ව්‍යාපාරික හා සැලසුම් සහගත ඥානය නිසා ය. එමෙන් ම රටට නිදහස ලබාදීමට සුදුසු මතයක් එකල සිටි ජනතාව හා පාලකයන් තුළ ඇති කිරීමටත් ඩී.ආර්. විජයවර්ධන මහතා ඇරඹූ භාෂා ත්‍රිත්වයේම පුවත්පත්වලට හැකි විය.

මේ සියලු කරුණු අනුව ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සැලසුම් සහගත ව්‍යාපාරික ඥානය මෙරට පුවත්පත් ක්ෂේත්‍රයේ නව කර්මාන්ත රැසක් බිහිකිරීමටත් මෙරටට නිදහස ලබාගැනීමට හේතු වූ චින්තන විප්ලවය ජයග්‍රහණය කිරීමටත් ඉවහල් වූ ක්‍රියාන්විතයක් බව පෙන්වා දිය හැකි ය.

නිහාල් පී. අබේසිංහ 

අදහස්