ගවේෂණයෙන් හෙළිවන අතීත හෙළදිව | සිළුමිණ

ගවේෂණයෙන් හෙළිවන අතීත හෙළදිව

 ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන හා ස්මාරක සංරක්ෂණය හා ලේඛනගත කිරීම යම් පමණකින් අවම වීම පසුගිය වසර තිස්පහක පමණ කාලයක දක්නට ලැබිණි. ඒ වරද නිවැරදි කරමින් රට පුරා හඳුනාගත් ස්ථාන ගැසට් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගැනීම හා ඒ ස්ථාන සලකුණු කිරීම සිදු වෙමින් පවතී. මේ වන විට උතුරු හා නැ‍ඟෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා අගයෙන් යුත් ස්ථාන හා ස්මාරක මෙලෙස ලේඛනගත කෙරෙමින් පවතී. එලෙස හඳුනාගත් ස්ථාන පිළිබඳ ගවේෂණයට හා සංරක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

මේ වන විට නැඟෙනහිර පළාතට අයත් අම්පාර, මඩකලපු හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන්හි පුරාවිද්‍යාත්මක අගයෙන් යුත් ස්ථාන හඳුනාගනිමින් සිටී. පසුගිය වසර කිහිපයක් තිස්සේම මේ කටයුතු සිදු වෙමින් පැවැති අතර, ඒ ගවේෂණ යටතේ මේ වන විට නැ‍ඟෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයෙන් ස්ථාන හා ස්මාරක 650ක් පමණද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ස්ථාන හා ස්මාරක 21ක් හා අම්පාර දිස්ත්‍රික්කයෙන් ස්ථාන හා ස්මාරක 500කට අධික සංඛ්‍යාවක්ද හඳුනාගෙන තිබේ. තවදුරටත් ගවේෂණ කටයුතු සිදු කෙරෙන අතර, මෙසේ හඳුනාගන්නා ලද ස්ථාන සියල්ල ගැසට් කිරීමේදී 1815 මාර්තු 02 වැනිදාට වඩා පැරණි ස්ථාන පමණක් ගැසට් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කෙරේ. එලෙස හඳුනාගත් ස්ථාන අතර බෞද්ධ ආගමික ස්ථාන මෙන්ම හින්දු සිද්ධස්ථානද වන බව වාර්තා වේ.

මෙසේ හඳුනාගත් මුත්තූර්හි සුඩකුඩා චෛත්‍යය ඩෝසර් කර හානි පමුණවා ලනු ලැබ ඇති අතර, හානියට පත් චෙත්‍ය පාදම හඳුනාගෙන තිබේ. ඒ පාදමේ කැණීම් කටයුතු මේ දිනවල සිදු වේ. කැණීමෙන් අනතුරුව පාදම මත පිහිටි චෛත්‍යය ඒ හා සමාන අනෙක් ස්තූප හා සසඳා බලා ඒ පාදම මත උපකල්පිත ස්තූපයක් ඉදි කිරීමට හැකියාව ඇතිදැයි විමසීමට යෝජනා පවතී. එම චෛත්‍යට අමතරව සාම්පූර්වල තවත් ස්තූප දෙකක් හඳුනාගෙන තිබේ. ඉන් එකක් ගණේශකුලම් හා සාම්පූර් නැ‍ඟෙනහිර පිහිටා ඇත. මේ දාගැබ් ස්වාභාවික උවදුරු හා වනගතවීම් හේතුවෙන් ගරාවැටී ඇති අතර, මඩකලපුව පුළුකුණාව දාගැබ යුද සමයේ හාරා ත්‍රස්තවාදීන්ගේ බංකරයක් ලෙස භාවිත කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්-ඓතහාසික, පූර්ව-ඓතිහාසික හා ඓතිහාසික යන යුග තුනම නියෝජනය කරන සාධක තොප්පිගල නරකමුල්ල ප්‍රදේශයෙන් හඳුනාගැනීමට හැකි වී ඇත. නරකමුල්ල මාදුරුඔය දකුණු ඉවුරේ විහාර සංකීර්ණයක් හඳුනාගෙන ඇති අතර, මේ විහාර සංකීර්ණයේ ස්තූප, බොධිඝර, ප්‍රථිමා ගෙවල් හඳුනාගත හැකිව තිබේ. පූර්ව-ඓතිහාසික යුගයේ ප්‍රාග්-මානවයන් විසූ ලෙන්හි පූර්ව-ඓතිහාසික යුගයේ භික්ෂූන් විසූ බව අනාවරණය කරගත හැකිය. ප්‍රාග්-මානවයාගේ ලෙන් සිතුවම් මේ ප්‍රදේශයේ ලෙන් තුළ දැකගත හැකි වී තිබේ. මේ ලෙන් පූර්ව-ඓතිහාසික යුගයේ කටාරම් කොටා වරිච්චියෙන් බැඳ භික්ෂූන් වෙත පූජා කළ අයුරු ලෙන් ලිපි කියැවීමෙන් හඳුනාගත හැකිය. ඒවා ක්‍රි.පූ. 3-1සියවස්වලට අයත් වේ. යකඩ තාක්ෂණය දියුණුවීමත් සමඟ ඓතිහාසික යුගයේ සංවර්ධිත ලක්ෂණ දැකගත හැකිය. විහාර සංකීර්ණයේ දක්නට ඇති නාගරික සංවර්ධනීය ලක්ෂණ ක්‍රි.ව. 1-7 සියවස්වලට අයත්යැයි හඳුනාගෙන ඇත. මේ විහාර සංකීර්ණයට බටහිරින් පබ්බත විහාර සංකීර්ණය හඳුනාගෙන ඇති අතර, මේ විහාර සංකීර්ණ දෙක එකිනෙකට සම්බන්ධව පැවති බවට සාධක හමු වී තිබේ.

තොප්පිගල ප්‍රදේශයෙන් අතීතයේ ගල් ඉවත් කරගත් ගල් කොරියක් හමුව ඇත. නෙළුගල ප්‍රදේශයේදී යකඩ උණු කිරීම පිළිබඳ සාධක හා යකඩ තාක්ෂණය පිළිබඳ සාධක හඳුනාගත හැකිය. මේ ප්‍රදේශයෙන් වර්ග කිලෝමීටරයක් පමණ වූ ප්‍රදේශයක පැතිර-ගිය වළන්කටු නිධියක් හමු වී ඇති අතර, එහි සකපෝරුවෙහි නිෂ්පාදිත 'බ්ලැක් ඇන්ඩ් රෙඩ් වෙයා' සහ 'බ්ලැක් වෙයා' හඳුනාගෙන තිබේ. මේ ජනාවාසයේ වැදගත් ලක්ෂණය වන්නේ දඩයම් යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා මානව සාධක දක්නට ලැබීමයි. තොප්පිගල, නරකමුල්ල, නෙළුගල ප්‍රදේශවලින් හමුව ඇති අක්කර පහක් පමණ පුරා පැතිර ගිය මහාශිලායුගයට අයත් සුසාන භූමියක්ද වේ. මේ සුසාන හඳුනාගැනීමෙන් ගම්‍ය වන්නේ ඈත අතීයේ සිට මේ ජනයා අභිචාර විධි අනුගමනය කළ බවයි.

මේ ගවේෂණයේදී වෙරුගල්, සාම්පූර්, හා මුත්තූර් ප්‍රදේශවලදී බෞද්ධ සංඝාරාම හඳුනාගෙන තිබේ. වෙරුගල්හිදී හමු වී ඇති කෝවිල ගෙඩිගේ සම්ප්‍රදායට අනුව ඉදි වූවක් වන අතර, ගෘහයේ වහලය කැටයම් කරන ලද ගල්කණු මත පිහිටා ඇත. වෙරුගල් කෝවිලේ කුම්භාභිෂේක උත්සවය සඳහා නුවර රාජකීයයන් පැමිණි බව වාර්තා වේ. මහනුවර යුගයේ කන්ද උඩරට සිට නායක්කර් රජවරුන් ඒකඡත්‍රයක් යටතේ රට පාලනය කළ බවට මෙය සාධකයක් බව හඳුනාගෙන තිබේ.

මේ ගවේෂණයේදී හඳුනාගත් ඉතා වැදගත් ස්ථානයක් ලෙස ලංකාපටුන දැක්විය හැකිය. ලංකාපටුන ප්‍රකටව ඇත්තේ හේමමාලා හා දන්ත කුමරුන් බුදුන්ගේ වාම දළදාව රැගෙන ලංකාවට ගෙඩබට ස්ථානය ලෙසයි. එසේම සිදු කෙරුණු ගවේෂණයේදී ලංකාපටුන වරාය ඈත අතීතයේ සිටම ලංකාවේ වෙළෙඳ වරායක් ලෙස පැවති බව හඳුනාගෙන තිබේ. එය සනාථ කිරීමට ඇති හොඳම සාක්ෂිය ඒ ආසන්නයේ 'මයිල වැව' නම් ප්‍රදේශයේ ලෝහ නිෂ්පාදනය සිදු වූ බවට ඇති සාධකයයි. කෙසේ වෙතත් මෙහි නිෂ්පාදිත ලෝහ වර්ගය හෝ වර්ග මොනවාද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. එහෙත් එම ස්ථානයේ ඇති ලෝහ නිස්සාරණයෙන් ඉතිරි වූ බොර ප්‍රමාණය හා සලකා බලද්දී මේ ලෝහ නිෂ්පාදනය දේශීය හෝ පෞද්ගලික පරිහරණ සඳහා සිදු කරන ලද්දක් නොවේය යන්න තහවුරු කොටගෙන

ඇත. වරාය ආසන්නයේ පිහිටි බැවින් අපනයනය සඳහා ලෝහ නිපදවන්නට ඇතැයි අනුමාන කළ හැකිය. වෙරුගල් ආරු රට අභ්‍යන්තරයට ගමන් කිරීමට භාවිත කළ ජලප්‍රවාහන මාර්ගයක් ලෙස ද සේරුවිල කේන්ද්‍ර කරගනිමින් භාණ්ඩ ප්‍රවාහනය සිදු වන්නට ඇතැයි යන්නද අනුමාන කෙරේ. මේ ප්‍රදේශයේ කෘත්‍රිමව සැකසූ මලජල මාර්ග (ජලය ගලා නොයන ඇළමාර්ග) රැසක්ද හඳුනාගෙන තිබේ. එමෙන්ම ලංකාපටුන වරායේ සිට මිනිස් ක්‍රියාකාරකම් මගින් නිමැවූ ඇළ මාර්ග ඔස්සේ මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය සිදු වූ බවට සාධක මේ ප්‍රදේශයේදී හඳුනාගෙන තිබේ. මේ වරායේ විශේෂත්වය ලෙස හඳුනාගෙන ඇත්තේ වරායට පැමිණෙන නැව් වරායේ නවතා තබා කුඩා බෝට්ටු මගින් රට තුළට පැමිණ භාණ්ඩ හුවමාරුව සිදු කර ඇති බවයි. ලංකාව අතීතයේ ලෝකයට ලෝහ අපනයනය කළ රටක් ලෙස හඳුනාගෙන තිබේ. ලෝහ අපනයනයේ ප්‍රබල ස්ථානයක් ලංකාවට අතීතයේ හිමිව තිබී ඇත.

මේ ප්‍රදේශයෙන් මානව ජනාවාසයක ලක්ෂණ හඳුනාගෙන ඇති අතර එම ජනාවසයෙන් ගල් යුගයේ සිට යකඩ යුගය දක්වා මානව සාධක හඳුනාගෙන තිබේ. මේ ජනාවාසය ආසන්නයේ මහාශිලා යුගයට අයත් සුසානයක්ද හමු වී ඇත. එම ජනාවාසය වර්තමානයේ සේරුවාවිලට අයත් වූවත්, අතීතයේ මේ ජනාවාසයට අයත්ව තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මේ ස්ථානයන්හි මෙතෙක් කැණීම් සිදු කර නැත. එහෙත් ඒවායෙහි කැණීම් සිදු කිරීමෙන් අතීත ලංකාව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි බව ගවේෂකයෝ අදහස් කරති.

යුද්ධය හේතුවෙන් හෝ ස්වභාවධර්මයේ ක්‍රියාකාරකම් හේතුවෙන් හානියට පත් හෝ කැලෑගත වූ හෝ මිනිස් ඇසින් සැඟව ගිය නැ‍ඟෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක අගයෙන් යුතු ස්ථාන ගවේෂණය තවදුරටත් සිදු කෙරේ. ඒ සඳහා මේ වන විට වෙන් කොට ඇති මුදල රුපියල් මිලියන විසි නවයකි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ කණ්ඩායම් තුනක් මහ වනයේද මිනිස් වාසයේද ඇති දේශයේ උරුමය සොයමින් සිටිති. මෙසේ සොයාගන්නා ස්මාරක එක් ජාතියකට හෝ අයත් වූ ඒවා නොවේ; මුළු රටේම සම්පත්ය. විශේෂයෙන් සටහන් කිරීමට ඇත්තේ මේ ඓතිහාසික උරුම නිධන්යැයි වරදවා වටහාගෙන විනාශ නොකළ යුතු බවයි. අපේ උරුමය අනාගත පරපුරට රැකදීම අපගේ වගකීම වේ.

ටෙක්ලා පද්මිණී කාරියවසම්

අදහස්