පුංචි තිරයෙන් ලොකු චිත්‍රපට නැරැඹීම | සිළුමිණ

පුංචි තිරයෙන් ලොකු චිත්‍රපට නැරැඹීම

බන්දු සමරසිංහ මට පෙනෙන්නේ අපේ ලංකාවේ සිනමාව තුළ තවමත් නිසි ඇගැයීමක් නොලද නළුවකු වශයෙනි. මට හිතෙන ආකාරයට දැනෙන ආකාරයට ඔහුගේ රංගන හැකියාව රෝවන් ඇට්කින්සන්ට (මිස්ටර් බීන්) වඩා ඉහළය. නර්තන ජවනිකාවක දී ඔහු තුළ පවතින රිද්මය විශ්මය ජනකය. සැබවින්ම සිනමාව වැටුණු අසූව සහ අනූව දශකයේ සිනමාව අල්ලාගෙන සිටියේ ඔහුගේ රංගන හැකියාව නිසාය. එහි දී ඔහුට ප්‍රමාණයට වඩා මහන්සි වන්නට විය. අනෙක් අතට පිටපතක් නැති චිත්‍රපටවල ද ඔහුට ස්වකීය රංගනය මගින් ‘පිටපත්’ මවා දෙන්නට ද සිදුවුවා යැයි සිතේ. කෙසේ හෝ තරුණ පරපුර ඔහුගේ රංගනය හැදෑරිය යුතුය.

පසුගිය දිනවල රූපවාහිනි මැතිවරණ ප්‍රතිඵල විකාශන නරඹමින් සිටිය දී පසුගිය කාලයේ තිරගත වුණු සිංහල චිත්‍රපට කිහිපයක් නරඹන්නට ලැබිණි. අඟර දඟර, සුපර් සික්ස්, 64 මායම් සහ සොමිබෝයිස් ඒ අතරට අයත් වේ. මේ අතරින් සොමිබෝයිස් අවුරුදු දහයකට වඩා පැරණි චිත්‍රපටයක් වන අතර අනෙකුත් චිත්‍රපට ඊට වඩා මෑතකාලීන චිත්‍රපට වේ.

මෙම චිත්‍රපට නරඹද් දී එම චිත්‍රපට සිනමා ශාලාවන්හි දී නැරඹීමට අතපසු වීම පිළිබඳ මා තුළ දුකක් ඇතිවිය.

2016 දී තිරගත වූ 64 මායම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවා ඇත්තේ විජය නන්දසිරිය. මෙය ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝමපීරිස්ගේ පුතණුවන් වන සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයකි. නිෂ්පාදනය සුනිල් ටී ප්‍රනාන්ඳු විසිනි. මේ චිත්‍රපටයේ සෙසු චරිත මහින්ද පතිරගේ, සුනිල් චන්ද්‍රසිරි, රිචර්ඞ් මානමුදලි, සුසිලා කෝට්ටගේ, විශ්ව කොඩිකාර, නිරෝෂා තලගල ඇතුළු නළුනිළියන් විසින් නිරූපණය කරනු ලැබේ. 64 මායම් නරඹද් දී පෙනී ගියේ එය අදට දශක පහකට පමණ පෙර තිරගත වූ ‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ නැවත නිෂ්පාදනයක් බවය. ඒ අනුව එදා ‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ ඞී. ආර්. නානායක්කාර පණ පෙවූ චරිතය 64 මායම් චිත්‍රපටයේ රඟපානු ලබන්නේ විජය නන්දසිරි විසිනි. ‘ලොකුම හිනාව’ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ කතාවක් තිර රචනයක් හා අධ්‍යක්ෂණයක් වේ. එහි කැමරාකරණය ලෙනින් මොරායස් විසිනි. සංගීත අධ්‍යක්ෂණය පේ‍්‍රමසිරි කේමදාස විසිනි.

2011 දී තිරගත වූ අඟර දඟර චිත්‍රපටයේ ප්‍රධාන ම චරිතයට පණ දෙන්නේ ෂනුද්‍රි ප්‍රියසාද්ය. සචිනි අයේන්ද්‍රා, නදීකා ගුණසේකර, රොජර් සෙනෙවිරත්න සහ සුසිලා කෝට්ටගේ සෙසු ප්‍රධාන චරිතවලට පණ පොවති.

සොමි බෝයිස් 2002 වසරේ දී තිරගත වූ චිත්‍රපටයකි. විකට චිත්‍රපටයක් සේ සැලකිය හැකි එහි ප්‍රධාන චරිත බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ විසින් රඟෙපානු ලැබේ. රජිත හිරාන් (පිංපොං) ද තවත් විකට චරිතයක් සමඟින් මෙම චරිතයට දායක වන අතර ඔවුන් ප්‍රධාන නළුවන් වෙද් දී සනත් ගුණතිලක මෙහි රඟපාන්නේ ප්‍රධාන නළුවකු ලෙසින් නොවේ.

මා නැරඹූ අනෙක් චිත්‍රපටය ‘සුපර් සික්ස්’ වේ. එහි 2012 දී මුල්වරට තිරගත වූ මෙම චිත්‍රපටයට සාරංග දිසාසේකර, හේමාල් රණසිංහ, රොෂාන් රණවන, පබෝදා සංදීපනී, අරුණි රාජපක්ෂ, මහේන්ද්‍ර පෙරේරා, දුලීකා මාරපන, සුනෙත් චිත්‍රානන්ද, පුබුදු චතුරංග, රොඞ්නි වර්ණකුල, ගාමිණි හෙට්ටිආරච්චි, ප්‍රියන්ත සෙනෙවිරත්න ඇතුළු සුපිරි නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. මෙය දෙමළ චිත්‍රපටයක් අනුව නිර්මාණය කර ඇති බව කියැවේ. උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණයකි.

අප තවමත් කතා කරන්නේ හැට හැත්තෑව දශකයේ චිත්‍රපට ගැනය. ගාමිණි විජය මාලිනී සබීතා ගැනය. ඒ ස්වර්ණමය යුගය හා සමකළ නොහැකි වුවත් මේ චිත්‍රපටවලින් පෙනෙන දෙයක් නම් චිත්‍රපට උණෙන් පෙලෙන අධ්‍යක්ෂවරුන් නළුනිළියන් හා ශිල්පීන් රැසක් අපේ රටේ සිටින බවය. එහෙත් ඒ බව රටේ වැඩි දෙනාගේ අවධානයට ලක්ව නැති බවය.

අඟර දඟර චිත්‍රපටයේ ප්‍රධාන තේමාව අද කළිසම් අන්දන ගැහැණු ළමයින්ට ගවුම් ඇන්දවීම යැයි කිව හැකිය. මේ තේමාව අද සමාජයට වැදගත් නොවන තේමාවක් යැයි කිව නොහැක. අනෙක් අතට කළිසම් අඳින පිරිමින්ට ජාතික ඇඳුම් අන්දන චිත්‍රපටයකට වුණත් අවකාශ නැත්තේ නොවේ. කෙසේ හෝ මා කියන්නට යන්නේ ජාතිකත්වය පිළිබඳ කතාවක් නොවේ. ගවුම අපේ රටේ ඇඳුමක් නොවේ. එහෙත් ගවුමට අපේ හැඩතල දීමක් යම් කිසි ආකාරයකින් වුණා යැයි කිව හැකිය.

බෝරිච්චි අත්දැමූ මල් චීත්ත ගවුමක් ඇඳ කොණ්ඩ දෙකක් බැඳගත් යොවුන් ගැහැණු ළමයින් දකින්නට ලැබුණේ ලංකාවේ පමණක්ය යන්න මගේ හැඟීමයි.

වැඩිහිටි කාන්තාවට උඩරට ඔසරිය සේ ම හිරිමල් වියේ යුවතියකට මේ ඇඳුම ඉතා අලංකාරය. ඒ අනුව මෙය චිත්‍රපටයකට නුසුදුසු කතා තේමාවක් නොවේ. කෙසේ වුවත් මා මේ චිත්‍රපටයේ තේමාව ගවුම ඇන්දවීම යැයි කීවේ අතිශයෝක්තියක් වශයෙනි. එයට වඩා අර්ථයක් ගැඹුරක් චිත්‍රපටයේ පවතියි.

ඕනෑම චිත්‍රපටයක රඟපෑමක මෙන් ම මෙහි දී ද රොජර් සෙනෙවිරත්න ස්වකීය රංගන හැකියාව පෙන්වයි. ෂනුද්‍රි ද චිත්‍රපටයට අවශ්‍ය රංගනය ලබාදෙයි.

බන්දු සමරසිංහ මට පෙනෙන්නේ අපේ ලංකාවේ සිනමාව තුළ තවමත් නිසි ඇගැයීමක් නොලද නළුවකු වශයෙනි. මට හිතෙන ආකාරයට දැනෙන ආකාරයට ඔහුගේ රංගන හැකියාව රෝවන් ඇට්කින්සන්ට (මිස්ටර් බීන්) වඩා ඉහළය. නර්තන ජවනිකාවක දී ඔහු තුළ පවතින රිද්මය විශ්මය ජනකය. සැබවින්ම සිනමාව වැටුණු අසූව සහ අනූව දශකයේ සිනමාව අල්ලාගෙන සිටියේ ඔහුගේ රංගන හැකියාව නිසාය. එහි දී ඔහුට ප්‍රමාණයට වඩා මහන්සි වන්නට විය.

අනෙක් අතට පිටපතක් නැති චිත්‍රපටවල ද ඔහුට ස්වකීය රංගනය තුළින් ‘පිටපත්’ මවා දෙන්නට ද සිදුවුවා යැයි සිතේ. කෙසේ හෝ තරුණ පරපුර ඔහුගේ රංගනය හැදෑරිය යුතුය. ඔහු විකටයකු ලෙස ම පෙනෙන්නේ ඔහු විකටයකු නිසා නොව ඉතා දක්ෂ හා බුද්ධිමත් නළුවකු නිසා බව තරුණයන් වටහාගත යුතුය. මිස්ට බීන් හෙවත් රෝවන් දක්ෂ හා බුද්ධිමත් නළුවකු වශයෙන් පිළිගැනේ. ඒ පිළිගැනීම හා ගෞරවය බන්දු සමරසිංහට ද ලැබිය යුතුය. ගැටලුව ඇත්තේ බන්දු සමරසිංහ රංගනයෙන් දුප්පත් වීම නොව අපේ සිනමා කර්මාන්තය මේ යුගයේ නිර්මාණශීලීත්වයෙන් බන්දුට වඩා දුප්පත් වීම පමණි. සොමි බෝයිස් චිත්‍රපටය වුව ද එයට උදාහරණයකි. ‘කවුද බොලේ ඇලිස්’ චිත්‍රපටයේ ද මුලින් ම ළමයින් සමඟ බන්දු සමරසිංහගේ නැටුම් ජවනිකාව බලන්න. එවන් රිද්මයානුකූල හා අවස්ථාවෝචිත නැටුමක් ලෝක සිනමාවේ වුව ද දුර්ලභ යැයි සිතමි.

64 මායම් චිත්‍රපටය හා ලොකුම හිනාව එකම පිටපතකට වෙනස් නළුවන් රඟපෑමක් වුව ද ලොකුම හිනාව තරම් මට 64 මායම් රසවත් වූයේ නැත. ඒ යුග දෙකක වෙනස විය හැකිය. එහි දී ඞී. ආර්. නානායක්කාර කොතරම් දක්ෂ නළුවකු වූයේ ද යන්න ද මතු වේ. එනම් විජය නන්දසිරි මහතාට පවා ඇතැම් විට ඔහුට සමීප වීම අසීරු වන බැවිනි. එය යුග දෙකක වෙනස ද විය හැකිය. කෙසේ හෝ මේ චිත්‍රපට දෙකම එක ළඟ නැරඹීම සුදුසුය. අලූත් චිත්‍රපටයේ පැරණි චිත්‍රපටය ඉක්මවා ගිය අවස්ථාවන් ද ඇතැම් විට දැකගන්නට හැකිවීමට ඉඩ ඇත.

එහෙත් එවකට අදට වඩා චිත්‍රපටය කර්මාන්තයක් වශයෙන් රටේ ස්ථාපිතව පැවැති බව නම් චිත්‍රපට දෙකෙන් පැහැදිලි වේ. අධිවේගී මාරඣග පෝට් සිටි නිදහස් වෙළඳ කලාප ඉදිවෙමින් රට සංවර්ධනය කරා ගමන් කරනවා යැයි කියද්දි චිත්‍රපට කර්මාන්්තය පල්ලම් බසින්නේ ඇයි ද කියා සෙවිය යුතුය.

බොහෝ දේශපාලනඥයන් නම් කවදාවත් එය සොයන්නේ නැත. එයට හේතුව තමන්ගේ රංගනයෙන් ජනතාව ආකර්ෂණය කරගැනීම ඔවුන්ගේ ප්‍රාර්ථනාව වන බැවිනි. ජනප්‍රිය නළුනිළියන් බිහිවනු දැකීමට ඔවුන් අකමැතිය. චිත්‍රපට කර්මාන්තයක් බිහිවනු දැකීමට ඔවුන් අකැමැතිය. මෙබඳු ප්‍රශ්නයක් තමා තුළ පවතින්නේ ද යන්න ගැන සෑම දේශපාලනඥයෙක් ම කල්පනා කිරීම යෝග්‍ය යැයි සිතමි.

ඒ අතරම මට මේ පසුගිය සති දෙක තුළ ම ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ’ චිත්‍රපටය ද රූපවාහිනියෙන් දකින්නට ලැබිණි. මා එය ඒ කාලයේ සිනමා ශාලාවේ දී නරඹන්නට නොගියේ එය රසවත් චිත්‍රපටයක් නොවේ යැයි සිතමිනි. එහෙත් එය බලාසිටිය හැකි චිත්‍රපටයකි. ධර්මපාල තුමාගේ චරිතයට යම් සාධාරණයක් ඉෂ්ට කරන චිත්‍රපටයකි. විශේෂයෙන් ම පාලිත සිල්වා මහතා ස්වකීය හඬ තුළින් ධර්මපාල තුමාගේ කථාවන් වර්තමානයට ගෙන ඒමට දරන උත්සාහය ප්‍රශංසනීය බව කිව හැකිය.

කෙසේ හෝ ඇත්තටම මා කියන්නට උත්සාහ කරන්නේ මේ කිසිවක් ම නොවේ. මා කියන්නට උත්සාහ කරන්නේ චිත්‍රපට කර්මාන්තය පිරිහී ඇතැයි කීව ද අප සිතනාවට වඩා උසස් හා රසවත් සිනමාවක් තාමත් පවතින බවය. එකම වරද වන්නේ අප ඒ චිත්‍රපට නැරඹීමට සිනමා ශාලාවන්ට නොයාම බවය. එනම් අඟර දඟර, සුපර් සික්ස්, සොමි බෝයිස්, 64 මායම් ආදී සියලු චිත්‍රපට සිනමා ශාලාවේ දී නරඹා තිබුණා නම් යැයි කියා ඒවා රූපවාහිනී තිරයෙන් නරඹද් දී මට සිතිණි. එම චිත්‍රපටවල ශිල්පීන් එකතුව සිනමා ශාලාවකට ගොස් නැරඹීමට තරම් වටිනා චිත්‍රපට නිර්මාණය කර තිබුණි.

එනම් අප සිතනවාට සිනමාව වෙනුවෙන් කැපවුණු අධ්‍යක්ෂවරුන් නළුනිළියන් කැමරා අධ්‍යක්ෂවරුන් පිරිසක් රටේ සිටිති. චිත්‍රපට උණ ඇති පිරිසක් අපේ රටේ සිටිති. එහෙත් ඔවුන්ට ඉස්සරහට යාමට නොහැකි වී ඇත්තේ ජනතාව වන අපෙන් ඔවුන්ට ලැබෙන මනාපය ප්‍රමාණවත් නොවන නිසාය. දේශපාලන විලම්බීත වෙනුවෙන් වැය කරන කාලයෙන් ටිකක් හෝ චිත්‍රපටයක් නැරඹීමට වැය කරන්නේ නම් අපේ ජීවිත මෙයට වඩා ප්‍රීතිමත් වනු ඇතැයි මට සිතෙයි.

දේශපාලන උද්යෝගය තරමට ම හෝ ඊට වැඩි උද්යෝගයක් චිත්‍රපට කලාව ගැන ද ඇත්නම් රට මෙයට වඩා යහපත් වනු ඇත. දේශපාලන දියුණුවක් ද ඇතිවනු ඇත. බණ පමණක් ජීවිතයට ප්‍රමාණවත් නොවේ.

ජාතක කතා ආවේ ද ජාතක කතා සිතුවම් වුණේ ද ධර්ම පාඨවලින් පමණක් ජනතාවට මග පෙන්විය නොහැකි බැවිනි. ඒ අනුව මේ යුගයේ දී චිත්‍රපටවලින් කියන බණ ද අපට අවශ්‍යය. දේශපාලන බණ පමණක් නොවේ.

රටත් ඔබත් නීරෝගීවීම සඳහා මාසයකට වරක් හෝ චිත්‍රපටයක් නරඹන ලෙස ඉල්ලා සිටිමි. මොනතරම් වැටී තිබුණත් එසේ නැරඹීමට තරම් වටිනා චිත්‍රපට කර්මාන්තයක් තවමත් අපේ රටේ ඇත. ඒ සඳහා කැපවුණු කලා ශිල්පීන් පිරිසක් අපේ රටේ සිටිති. කලාව හා රට වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම අපතේ යාමට ඉඩ නොතැබිය යුතුය.

 

Comments