නැවත හමු­වෙමු! | සිළුමිණ

නැවත හමු­වෙමු!

 විටෙක ඉංග්‍රීසි පොත අතට ගන්නා ඔහු එහි වැකියෙන් වැකිය සිංහල පරිවර්තනය සමග පිරික්සයි. ඇතැම් විටෙක එක වැකියක් ගැන පැයක් හමාරක් අපි වාද කෙළෙමු. මුල් පොතේ ඉරි කොමා තිත් ස්ලෑස් වරහන් තරු ලකුණු ආදී සියල්ලක්ම සිංහල පොතේ ද එලෙසින්ම තිබිය යුතු බව ඔහු ඇදහුවේය. එකම එක ඉරි කෑල්ලක්වත් අතහරින්න හෝ මග හරින්න හෝ නොහැක. ඉංග්‍රීසියට අනුව යොදන කොමාව සිංහල වැකියට යෙදූ විට එහි අදහස විකෘති වෙයි. එහෙත් කොමාව දාන්නම ඕනෑ යැයි ඔහු තර්ක කරයි.

 

කලකට පසුව එක් උණුසුම් සැන්දෑවක ඔහු නැවත වරක් මට මුණ ගැසිණ.

' වැඩක් නෑ ...මචං ..වැඩකට ගෙන්න ගන්න එකෙක්වත් නෑ ...හැමෝම තමංගේ ලියද්ද කොට කොටා ඉන්නව මිසක් අල්ලපු ගෙදර එකාට හෙණ ගැහුවත් ඒ දිහා බලන්නෑ ...චෙහ් ...මෙහෙම රටක් ..'

ඔහු ඒ ඇණුම් පදය කියන්නේ මටත් එක්කමය.

සමාජශීලී සුහදශීලී සුන්දර රැඩිකල්වාදියකු වූ ඔහු පෙනුමෙන්ද ක්‍රියාවෙන්ද හැම තැනෙකම තම අනන්‍යතා සළකුණ මුද්‍රා තැබුවේය. ඔහු මට වඩා දෙගුණයකටත් වඩා වයසින් මෙන්ම හැමතින්ම පිරිපුන් ජ්‍යෙෂ්ඨයකු වූවත් කටපුරා මා දුටු විට මචං යැයි කීවේ හෘදයාංගම සිනාවකින් කුල්මත් වෙමිනි.

ඒ වන විට ඔහු අරලියගහමන්දිරය ඉදිරිපිට වූ සුදු නෙළුම් කාර්‍යාලයේ 'පොතයි ගඩොලයි'' ව්‍යාපෘතිය වෙනුවෙන් වෙහෙසෙමින් වුන්නේය.

' මේ අද පිකට් එකට එනව නේද ...? ' යි මම අසමි.

'හරි හම්බුවෙමුකෝ ...මේ පැත්තට වරෙංකෝ බං ...කරනව නං වැඩ තියෙනව කෝටියක් ..'

' හරි හරි බලමුකෝ ..' යි කියමින් ඔහුගේ සුපුරුදු ඇරියුම සුපුරුදු ලෙසම මග හරිමින් මම දුරකතනය විසන්ධි කරමි.

ඔහු එදින ලිප්ටන් වටරවුමට පැමිණෙන විට උද්ගෝෂණය ආරම්භ වී තිබිණ.

'මේ මටත් දීපංකෝ ඔය බෝඩ් එකක් ...'

පසෙක ගොඩගසා තිබූ සටන්පාඨ සහිත කාඩ්බෝඩ් පුවරුවක් ඔහු අතට දුන් මම පසෙකට වීමී. මිනිත්තු 10 ක් 15 ක් ගෙවී යත්දී තමා අත වූ පුවරුව පසෙකට වීසී කළ හෙතෙම දුරින් සිටි මා දෙස බලා දබරැගිල්ල උරුක්කොට තර්ජනාත්මක අභිනයක් පළ කළ හෙයින් මම ඔහුට සමීප වූයෙමි.

' කවුද යකෝ මේ ස්ලෝගන් ලියපු එකා ...'

'ඇයි මොකෝ අවුලක්ද ? '

'ලැජ්ජාවේ පණ යනව යකෝ ..අර ෆොරින් මීඩියා එවුනුත් මේක වීඩියෝ කරගෙන ගියා ..වහ කෑවා නං මීට වඩා හොදා ..' යි කියමින් රෝස් කළ කුකුළකු මෙන් මුහුණ පරොස් කරගෙන ඔහු කියයි. ඒ ස්වරූපය දුටු සැණින් මට ගිනි මද්දහනේ අව්වේ පිච්චෙමින් සිටියත් මුවින් නැග එන සිනාව පාලනය කර ගැනීම අසීරු විය.

උද්ගෝෂණය සඳහා ස්ලෝගන් / සටන්පාඨ ලියූවේ සුනන්ද අයියා හෙවත් සුනන්ද දේශප්‍රිය විසිනි. ඒවා කාඩ්බෝඩ් පුවරු මත ඇන්දේ පොඩි ධම්මිකය. පසුව කාරණය සොයා බලත්දී අපි තිදෙනාගේම අත වරද නැති බැව් පෙනිණ.

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස්ට එල්ලවූ බව කී මරණ තර්ජනයකට එරෙහිව පැවැත්වූ විරෝධතාවේ සටන් පාඨ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කළ යුතු වූ නිසා ඉංග්‍රීසි සටන් පාඨ වෙනම කඩදාසියක ලියා එහි වැඩි හොඳට / slogans for iqbal aththas campaign / යනුවෙන් ලියා තිබිණ.

පොඩි ධම්මික සිතා ඇත්තේ එය ද සටන් පාඨයක් කියාය. එහෙයින් ඔහු කාඩ්බෝඩ් පුවරුවක පොල් ගෙඩි අකුරින් SLOGANS FOR IQBAL ATHTHAS CAMPAIGN යනුවෙන් ඇඳ තිබිණ. කරුමෙට මේ කතානායකයාට මා විසින් අතට දෙනු ලැබ ඇත්තේ ඒ වැරදි පුවරුවමයි. එදින රාත්‍රියේ නැවත මා ඔහු හමුවීමට ගියේ 'ඕක ඔය තරම් ගණං එපා ' යි කියන්නටය. මේ සිද්ධිය ඉතා සුළු නොවැදගත් එකක් වූවත් එදින රැය පුරා ඔහු මට ඒ සිද්ධිය අල්ලාගෙන ඕෂෝ ගැන කතන්දර කීවේය.

පසු කලෙක ඔහු සහ මා ලේක්හවුසියේදී කෙටි කලකට එකට වැඩ කෙළෙමු. දිනමිණ විධායක කතුවරයා වූ ඔහුට උන්හිටි ගමන් බුදුසරණ පුවත්පතට ස්ථාන මාරුවක් ලැබිණ. ඔහු උපතින් කතෝලිකයකු විය.

දිනක් මම ඔහුට දුරකතනයෙන් ඇමතුයෙමි.එදා ඔහු පැය භාගයකටත් වඩා ඕෂෝ ගැන කියන්නට විය.

තවත් කලකට පසුව මා වෙනත් පුවත්පතක වැඩ කරමින් සිටියදී රාත්‍රී හතට පමණ ඔහු එක්වරම මා ඉදිරියේ පෙනී සිටියේ කඩදාසි ගොන්නක් දෑතින් රැගෙන ගත්වනමය.

ඕෂෝගේ කෘතියක් ඔහු විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබ තිබිණ. ඔහුට උවමනා වී තිබුණේ මා ලවා කෘතියේ සෝදුපත් බලවා ගැනීමටයි. ඕෂෝගේ කෘතියක් පරිපූර්ණව සිංහලට පරිවර්තනය වූ මුල්ම අවස්ථාව ඒ විය හැකිය.

' මේ මොන ජරාවක්ද ...ඕෂෝ කියන්නේ මිනිස්සු අන්දවපු බොරු දාර්ශනිකයෙක් ...තුප්පහියෙක් අපොයි මට නං බෑ ඔය ජරාවට අත ගහන්න ..ඕක ඔයාගේ ඉමේජ් එකටත් හොඳ නෑ ...සිඟිති සිල්ලර වැඩ කරන්න එපා ...' යි කියමින් මම වැඩේ ප්‍රතිකේෂ්ප කෙළෙමි.

'අන්න ඒ හින්දාම තමා උඹ මේකට සුදුසු ....එතකොට හොඳට වැරදිම පේනවනේ ' යි කී ඔහු එය මගේ කරේම ගැසුවේය.

දින දෙක තුනකින් මේ කරදරේ අහවර කළහැකිනේ ..' යි සිතු මම වැඩේට අත ගැසුයෙමි. එහෙත් මාස තුනක් පුරා සෑම දිනෙකම සවසට ඔහු සමඟ එක්ව කෘතියේ සෝදුපත් බලන්නට තරම් වැඩේ දුර දිගට ඇදී ගියේය.

විටෙක ඉංග්‍රීසි පොත අතට ගන්නා ඔහු එහි වැකියෙන් වැකිය සිංහල පරිවර්තනය සමග පිරික්සයි. ඇතැම් විටෙක එක වැකියක් ගැන පැයක් හමාරක් අපි වාද කෙළෙමු.

මුල් පොතේ ඉරි කොමා තිත් ස්ලෑස් වරහන් තරු ලකුණු ආදී සියල්ලක්ම සිංහල පොතේ ද එලෙසින්ම තිබිය යුතු බව ඔහු ඇදහුවේය. එකම එක ඉරි කෑල්ලක්වත් අතහරින්න හෝ මග හරින්න හෝ නොහැක. ඉංග්‍රීසියට අනුව යොදන කොමාව සිංහල වැකියට යෙදූ විට එහි අදහස විකෘති වෙයි. එහෙත් කොමාව දාන්නම ඕනෑ යැයි ඔහු තර්ක කරයි.

' මොන බම්බුවක්ද මේ ...ශුද්ධ වූ බයිබලේද මේ ගහන්න යන්නේ ...බයිබලේවත් මේ තරම් පරිස්සමක් නෑ ...කොමාවක් ගැන කාලේ කන්න එපා ...ඔහොම ගියොත් තව අවුරුද්දක් ගියත් මේක ඉවර කර ගන්න වෙන්නෑ ...' යි මම ඔහු සමග නිරතුරුව ගැටෙමි.

' උඹට තේරෙන්නේ නෑ ...එක කොමාවක්වත් මිස් කරන්න බෑ ...අපි හෙමිහිට කරමු. ' යි ඔහු කියයි.

'ඔය එකක්වත් ඕෂෝ එයාගේ අතින් ලියපුව නෙවෙයි නේ ...එයා කිව්වා කියලා වෙන වෙන එවුන් ලියපු එවනේ ඔය තියෙන්නේ ...උං ගංජා ගහලා පිස්සුවට දාපු කොමා ඉරි තිත් ගැන වැඩක් නෑනේ ..අදහස තේරෙනව නං ...'

' ම්හූ ...එහෙම බෑ ...එක ඉරි කෑල්ලක වුණත් ලොකු තේරුමක් තියෙනව ..'

කොහොමින් කොහොමින් හරි සෑහෙන කාලයක් තිස්සේ සෝදුපත් බැලීමෙන් අනතුරුව ඕෂෝගේ පොත මුද්‍රණයෙන් එළියට ආවේය. ඉන් පසුව ඔහු ඕෂෝගේ කෘති ගණනාවක් සිංහල පාඨක ලෝකයට එකතු කොට ඕෂෝ රැල්ලක් නිර්මාණය කෙළේය.

ඔහු අචල විප්ලවවාදියෙකි. කරන දේ හැම විටම හරියට කරන්නට උත්සාහ කළ නමුත් එක් වැඩක් වැරදී ගොස් හිරබත් කෑවේය. ඉන් ටික කලකට පසුව උතුරු නැගෙනහිර පළාත් සභාවේ ඇමැතිවරයකු බවට පත්විය. සමාජ සාධාරණය සහ ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාව පිළිබදව ක්‍රියාකළ පූර්ණ කාලීනයකු විය. ඔහුගේ ඒ භූමිකාව ඉතා දිගු පරිච්ජේදයකි.

ඔහුගේ ජීවිතය ගෞරවණීය සමාජ ආයෝජනයකි. ඒ සියල්ල අතරින් ඔහු ගැන කියන්නට මා තෝරා ගත්තේ ඔහුගේ ජීවිතයේ ඉතා කුඩා සහ නොවැදගත් සිදුවීම් දෙකක් පමණි.

එදා ලිප්ටන් වට රවුමේදී අත්වැරදීමකින් වැරදි සටන් පාඨ පුවරුවක් ඔසවාගෙන සිටීමෙන් ඔහු තුළ හටගත් විපර්‍යාසයේ තරම මට එහි පරිමාණයෙන්ම වැටහී ගියේ ඔහු සමග එක්ව ඕෂෝ පොතේ සංස්කරණ කටයුතු සිදුකරමින් සිටින විටදීය.

එකම එක කොමාවක් වත් අතහැරීමට හෝ වැරදි තැනෙක යෙදීමට හෝ ඔහු ඉඩ නොදෙයි. 'කරන දේ හරියටම කරපං... කරන දේට අවංක වෙයං 'යි ඔහු නොකියා කියන්නා සේය. එදා මෙන්ම අදත් මට ඕෂෝගේ කියුං කෙරුං අල්ලන්නේම නැත. එහෙත් ඒ පොත සංසකරණය කිරීමේදී ඔහු දරදඩු ගුරුවරයකු මෙන් කියා දුන් පරිවර්තන කලාව පිළිබද පාඩමට මම ආදරය කරමි.

පොතක් පතක් පරිවර්තනය කිරීමට වුවමනා පරිණත බව ශික්ෂණය සහ විනය එතරම්ම බාරධූර විෂයයකි. ඒ එසේ නම් සමාජයක් පරිවර්තනය කිරීමට දඟලන අයට කෙතරම් නම් පරිණතබවක් ශික්ෂණයක් සහ විනයක් තිබිය යුතුද ? ඔහු නොකියා කියා දුන් අවසාන පාඩම එයයි. එහෙත් මින් ඉදිරියට එවැනි ගුරුවරුන් හමු නොවුණු ඇති.

'මචං'' යැයි කීවත් ජෝ සෙනෙවිරත්න නම් වූ ඔහු මට හෙටත් ගුරුවරයෙකි. !

 

අදහස්