ජෙනීට තියෙන්නෙ ජේසන්ව කසාද බඳින්න | සිළුමිණ

ජෙනීට තියෙන්නෙ ජේසන්ව කසාද බඳින්න

ෆියෝනා සඳැල්ල දෙසට ඇවිද ගියාය. ඒවනවිට නිසල විල සංගීත ආශ්‍රමයේ සිසු සිසුවියන් කිසිවකු දක්නට නොවීය. උදෑසන පැවැත්වූ සංගීත පන්තිය මේ වනවිට නිමා වී ඇතැයි ෆියෝනා කල්පනා කළාය. අරවින්ද් විසින් උදෑසන මනාව අමදින ලද මිදුල හැඩි වී තිබිණ. මිදුලේ පිහිටා ඇති දැවැන්ත අඹ ගස පාමුල වූ බංකුව මත තිබු අභ්‍යාස පොතක පිටු සුළඟින් ඒ මේ අත හැරෙන අයුරු ෆියෝනා බලා සිටියාය. එය සංගීත පන්තියට පැමිණි සිසුවකු හෝ සිසුවියක විසින් අමතක කර යන ලද පොතක් විය යුතු යයි ඇයට සිතිණ.

“ෂ්... ෂ්... ”

අරවින්ද් නිවසේ සඳැල්ල දෙසින් ඇසුණු හඬින් ෆියෝනා එදෙසට හැරුණාය. තුවායකින් තෙත හිසකෙස් පිහිමින් සිටි අරවින්ද් දුටු ඇගේ සිතට සතුටක් දැනිණ. ගෙල දක්වා දිගු හිසකෙස් තෙත්ව තිබීම නිසා ඔහුගේ මුහුණ වඩාත් සිහින්ව ඇයට පෙනිණ.

“කොහේද මිස්ට ජැෆර්ජි ගියේ? ” අරවින්ද් ඇසුවේ අභිනයෙනි.

“දන්නෙ නෑ. ”

ෆියෝනා ද අභිනයෙන් පැවසුවාය.

“දන්නෙ නෑ? ඇයි කියලා නෙමෙයිද ගියේ? ”

ෆියෝනා පිළිතුරු රහිතව බලා සිටියාය. කුමක් වුව ද, අසාර් තම ස්වාමි පුරුෂයා ය යන සිතිවිල්ල සිත පතුළේ සිට නැග ආවේය. ඔහුගේ අඩු ලුහුඬුකම් පිටස්තර අය හා පැවසීම වරදක්ය යන සිතිවිල්ලෙන් මිදීමට ඇයට නොහැකි විය. පිළිතුරු බලාපොරොත්තුවෙන් බලා සිටින අරවින්ද් දෙස බැලූ ෆියෝනා මුවගට සිනාවක් නගා ගත්තාය.

“නුවර ගියා. ”

ඇය පැවසුවේ අභිනයෙනි.

“මට කතා කරන්නත් බැරි වුණා. මිසිස් ජැෆර්ජි මා එක්ක තරහ වෙලාද? ”

“තරහ වෙන්න අපි යාළු වෙලා හිටියද? ” යි අසන්නට ෆියෝනාට සිතිණ. එහෙත් ආයාසයෙන් සිතිවිලි මැඩ ගත් ඇය අභිනයෙන්ම ඔහුට පිළිතුරු දුන්නාය.

“ඇයි මං තරහ වෙන්නෙ? ”

සිනාසුන අරවින්ද් තෙත තුවාය ඇඳුම් වැට මතට දැමුවේය. ෆියෝනාගේ දෙනෙත් අසල්වාසී නිවසක උඩු මහළ දෙසට යොමු වූයේ නිතැතිනි. දිගු ගවුමකින් සැරසී සිටි මැදිවියේ කාන්තාවක් තමාගේ සහ අරවින්ද්ගේ නිහඬ සංවාදය දෙස ඇසිපිය නොහෙළා බලා සිටින අයුරු ඇය දුටුවාය.

‘මිසිස් ජැෆර්ජි ගෙට යන්න. ”

ඔහු සංඥා කළේය. ෆියෝනා නිහඬවම ආපසු හැරුණාය. පවසා ගත නොහැකි තනිකම හා පාළුව ඇගේ ගෙල සිර කරන්නාක් මෙන් ඇයට දැනිණ. මෙතෙක් අමතකවී තිබූ මවගේ දිනපොත අතට ගත් ඇය යහන මත වැතිරුණාය.

* නිවාඩු කාලය හරිම ඉක්මනින් ගත වෙලා යනවා. මම්මයි අක්කයි ටවුමට ගිහින් අපි දෙන්නට අලුත් පොත් ගෙනාවා. අක්කා නංගිගෙයි මගෙයි පොත් වලට බ්‍රවුන් පේපර් කවර දාලා ලස්සන පින්තූර අලවලා උඩින් පොලිතීන් කවර දමද්දි අම්මා අපි තුන්දෙනා වාඩි වෙලා ඉන්න තැනට වොෆල්ස්නුයි තේයි අරන් ආවා.

“ෂා... වොෆල්ස්. ”

අක්කා කිව්වෙ සතුටින්. ටෙක්සාස් වල හැඩයට හදපු ලස්සන බ්‍රවුන් පාට කොටු වැටිච්ච උණු වොෆල්ස් එක්ක පැණි පීරිසියකුත් අම්මා අරන් ඇවිත් තිබුණා. පැණි තවරගත් වොෆල් එකක් එක කටට ඔබා ගත්ත අක්කා ලස්සනට හිනාවුණා.

“අලුත් වොෆල් අයන් එකක් ගන්න ඕන. ”

අම්මා කිව්වා. වොෆල්ස් හදන හැම දවසකම වගේ මම්මා එහෙම කියනවා. පරණ වොෆල් අයන් එක පප්පට සුද්දෙක් තෑගි කළ එකක් කියලා මීට කලින් කීප වතාවක්ම මම්මා කියලා තියෙනවා.

“මේ පාර ජේසන් ඇමෙරිකා යනකොට කියලා ගෙන්න ගමු. මේ වොෆල් අයන් එක වගේ ගින්දරට අල්ල අල්ල රත් කරන්න ඕන නෑ. ඉලෙක්ට්‍රික් ඒවා දැන් තියෙනවලු. ” අක්කා කිව්වා.

“හැබෑට? ”

අම්මා ඇහුවෙ පුදුමයෙන්.

“අවන්, ෆ්‍රිජ් වුණත් ඉලෙක්ට්‍රික්. මේ හැටි වද වෙන්න ඕන නෑ. ”

අක්කා කියන්නෙ පිටරට හැමදේම එයා දන්නවා වගේ. ඒවෙනකොට අපේ ගෙදර තිබුණෙ භූමිතෙල් වලින් වැඩ කරන ෆ්‍රිජ් එකක්. අවන් එක වුණත් ස්ටෝව් එක උඩ තියලා රත් කරන එකක්. ගෙදර විදුලිය නොතිබුණත් විශේෂ අවස්ථා වල ජෙනරේටර් එකකින් ලබා ගත්ත විදුලිය භාවිතා වුණා.

“අපි ජේසන්ට කියලා ඕන කරන දේවල් ටිකක් ගෙන්න ගමු. ”

මම්මා යෝජනා කළා. අක්කා ඔළුව හෙලෙව්වෙ ඒක අනුමත කරනවා වගේ.

“හැබෑටම ජෙනී. ජේසන්ට ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාවා කිව්වනෙ. මොකක්ද ඒකට වුණේ? ”

මමයි, නංගියි දෙන්නම ඇස් ලොකු කරලා අම්මයි අක්කයි දිහා බැලුවා. ප්‍රපෝසල් එකක් කියන්නෙ මොකක්ද කියලා අපි දෙන්නටම තේරුණේ නෑ.

“ජේසන් මැරි කරන්න කැමැති නෑ. ”

“ඇයි? ”

“මන්දා. නිදහස නැති වෙනවලුනෙ. ”

“එහෙම කියලා හරි යනවයැ? වයස යනවනෙ. ”

“මැරි කරත් නොකරත් කොහොමටත් වයස යනවනෙ මම්මා. ”

ඒවෙනකොට නිවිලා තිබුණු තේ කෝප්පය උගුරට හලා ගත්ත අක්කා කිව්වා.

“අනේ මන්දා මේ ළමයි. ”

සුදු පාට තසිමෙ ඉතිරි වෙලා තිබුණු වොෆල් එකේ පැණි ටිකක් තවරගත්ත මම්මා ඒක දිහා බලා හිටියෙ කන්න ලෝබයි වගේ.

“ජෙනීට තියෙන්නෙ ජේසන්ව කසාද බඳින්න. ”

මම ගැස්සිලා අම්මා දිහාත්, අක්කා දිහාත් බැලුවා. බඳිනවා කියන්නෙ ලස්සන සුදු පාට දිග ගවුමක් ඇඳලා දිග වේල් එකක් දාලා චර්ච් එකේ ගන්න සෙරමනි එකක් කියලයි මට තේරුම් ගිහින් තිබුණෙ. අක්කත් දිග ගවුමක් ඇඳලා ජේසන් අංකල්ගෙ අතේ එල්ලා චර්ච් එකේ ඉන්න හැටි මං මනසින් දැක්කා.

“ඇයි බයවෙලා වගේ? මං කිව්වෙ ජෙනීට ජේසන්ව හොඳට මැච් වෙනවා කියලයි. ඔය දෙන්නා කසාද බඳින්න. ”

“කසාද බඳින්න? ”

අක්කා හිනාවුණා. මහ හඬින් හිනාවුණා. මමයි නංගියි ඒ හිනාව දිහා බය වෙලා බලා හිටියා. අක්කා මගේ පිටට ගහලා තව තවත් හිනාවුණා.

“කසාද බඳින්න? මේ මම? කසාද බඳින්න? ”

“ඒක විහිළුවක් නෙමෙයි ජෙනී. මට සෙවන්ටීන් ඉයර්ස් වෙද්දිටි පළවෙනි ප්‍රපෝසල් එක ආවෙ. එයිටීන් ඉවර වෙද්දි මැරි කරලත් ඉවරයි. ”

“ඔව්වා කරදර වැඩ මම්. ”

හිනාව නවත්තපු අක්කා කිව්වෙ දුකෙන් වගේ.

“දැන් ඉතින් කොළඹට වෙලා හිටියා ඇති. ගෙදර ඇවිත් පිළිවෙළක් වෙන්න බලන්න ජෙනී. ”

“බලමු. ” අක්කා නැගිට්ටා. බිම වැටිලා තිබුණු පින්තූර කපපු කොළයි, පොලිතීන්, බ්‍රවුන් පේපර් කෑලියි එක මිටට ගුලි කර ගත්ත අක්කගෙ මූණෙ තිබුණෙ දුක හිතෙන බැල්මක්.

ලබන සතියට 

Comments