ගුවන් හමුදා පාපැදි සවාරිය 2 වැනිදා | සිළුමිණ

ගුවන් හමුදා පාපැදි සවාරිය 2 වැනිදා

මෙරට තුළ සංහිඳියාව වැඩි කිරීම අරමුණු කරගත් ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන මස 2 වැනිදා කොළඹ සිට අම්පාර දක්වා ගමන් අරඹනු ලබන බව ගුවන් හමුදා පාපැදි සවාරි සම්බන්ධීකරණ කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා පවසයි.

ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන මේ සවාරියේ ප්‍රධාන අරමුණ වන්නේ ජාතීන් අතර සහයෝගිතාව වැඩිදියුණු කරලමින් පාපැදි තරග ජනප්‍රිය කරවීම බවද ඒ මහතා පෙන්වා දෙයි. මේ සවාරිය ට මේ වන විට ඉන්දියාවෙන් තරගකරුවන් 6 දෙනකු සහභාගි වීම ස්ථිර කර ඇතැයිද කොටකදෙණිය මහතා කීය. එසේම ‍තවත් රටවල් කිහිපයකින් තරගකරුවන් සහභාගි වනු ඇති බවද ඒ මහතා පැවසීය‍.

ගුවන් හමුදා 67 වන සංවත්සරය නිමිත්තෙන් 'එයාර් ෆෝස් ටැටෝ 2018' ප්‍රදර්ශනය මාර්තු 3 වැනිදා සිට 5 වැනිදා දක්වා අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වෙන බව එහි සභාපති එයාර් වයිස් මාර්ෂල් එස්.කේ පතිරණ මහතා කීය. තෙදිනක් පුරා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය නොමිලේ පැවැත්වෙන අතර ඒ ප්‍රදර්ශනයේදී කෆීර් යානා ප්‍රහාරක හෙලිකොප්ටර් ඇතුළු ගුවන් හමුදාව සම්බන්ධ සියලු විස්තර දැක බලා ගත හැකි බවද ඒ මහතා කීය. එසේම අම්පාර නගරයේ සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා ඇති බවද ඔහු කීය.

අදහස්