සමාජයේ හැසිරීම හා ලිබටේරියානුවාදය | සිළුමිණ

සමාජයේ හැසිරීම හා ලිබටේරියානුවාදය

 පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලිවලට සහභාගී වූ සෙනග අති මහත් ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ මහ ජන රැලිවලට ද විශාල සෙනගක් සහභාගී වූහ. එහෙත් මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන ඇත්තේ පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 44%ක් පමණි. ජනාධිපතිවරයා නියෝජනය කළ පක්ෂය ලබාගෙන ඇත්තේ පාවිච්චි කළ වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 13.38 % ක් පමණි.

ඉහළ ඌවේ සංවර්ධනයේ විශාලතම විපත වූයේ උමාඔය ව්‍යාපාරයයි. එමගින් බණ්ඩාරවෙල ජනතාවට සිදුව ඇති මහත් විපතට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුහු ස්වාධීන කණ්ඩායමක් ලෙස බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට තරග කළහ. එහෙත් අත්වූයේ විශාල පරාජයකි. ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගත්තේ එම මහත් වූ විපත ගෙන ඒමට මූලික වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි.

මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ මුස්ලිම් ජන කොටස විශාල ලෙස පීඩාවට පත්විය. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ පදනම වූයේ මුස්ලිම් විරෝධයයි. එහෙත් බේරුවල නගර සභාවත් බේරුවල ප්‍රාදේශීය සභාවත් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් ස්වාධීන කණ්ඩායමයි. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අති විශාල මුස්ලිම් ඡන්දදායකයන් පිරිසක් සිටිය ද ඒ ඡන්ද පාවිච්චි වී ඇත්තේ ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් බව පැහැදිලි ය.

වැලිවේරියේ රතුපස්වල පානීය ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයේ දී තරුණයන් තිදෙනෙකු අමානුෂික ලෙස මරා දැමූ ස්ථානයකි. හමුදා මර්දනය යොදා ගනිමින් මහළු කාන්තාවන්ට පවා පහර දුනි. එහෙත් ගම්පහ ප්‍රදේශීය සභාවේ රතුපස්වල කොට්ඨාසය ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි.

පළාත් පාලන මැතිවරණයේ දී පෙන්නුම් කරන මේ නිරීක්ෂණ සාමාන්‍යයෙන් මීට පෙර හැටේ හැත්තෑව අසූව හා අනූව දශකවල දී පෙන්නුම් කළ නිරීක්ෂණයන්ට වඩා පැහැදිලි වෙනසක් ඇත. පෙර කාලයවල දී මහජන සහභාගීත්වය පෙන්නුම් කළ දේශපාලන ව්‍යාපාර මැතිවරණ ජයග්‍රහණය හිමිවේ. ජන සහභාගීත්වයේ ස්වරූපය අනුව මැතිවරණ ජයග්‍රහකයා හඳුනා ගැනීමට ඉතා පහසුවෙන් හැකි වේ. එහෙත් මෑත කාලය තුළ ක්‍රමයෙන් වෙනස් වෙමින් ආ ස්වරූපය අනුව ජන සහභාගීත්වය අනුව ජයග්‍රහකයා හඳුනා ගත නොහැකිය.

මෙවර මැතිවරණයේ දී පැවැති මහජන රැස්වීම්වල දී අඩුම ජන සහභාගීත්වයක් දක්නට ලැබුනේ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම වල ය. ඒ සහභාගීත්වයට සමානුපාතිකව බැලුවහොත් මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ලබා ගත යුත්තේ 15%ක් වැනි සුළු ඡන්ද සංඛ්‍යාවකි. නමුත් මැතිවරණයේ දී 14%ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් ජනාධිපතිවරයාගේ මහජන රැස්වීම් වලට අති විශාල සෙනගක් සහභාගී වූහ. මේ අනුව කිව හැක්කේ මහජන රැස්වීම්වලට සහභාගී වන සෙනග තවදුරටත් තීරණාත්මක සාධකයක් නොවන බවය.

ඒ අනුව සමාජය තුළ දේශපාලනය කිරීම මහජනතාවට දැනෙන කරුණක් නොවේ. සමාජය සංවිධානය කිරීමත් දේශපාලනයේ දී තීන්දු තීරණ ගැනීමට රුකුලක් නොවේ. දේශපාලන ව්‍යාපාරවල හැසිරීම කුමක් වුවත් සමාජය දේශපාලන තීන්දු තීරණ ගන්නේ ඒ දේශපාලන ව්‍යාපාරවල මිනුම් දඩුවලට සංවේදී වන පදනමක් මත නොවේ. දේශපාලන පක්ෂ සංවාදයට ලක් කරන මතවාද පසෙක තබා ඔවුහු තමන් සුදුසු යැයි කල්පනා කරන කරුණු කාරණා මත දේශපාලන තීන්දු ගනිති.

දේශපාලන බලය ලබා ගැනීම සඳහා සමාජය සංවිධානය නොකිරීමත් වෙනත් සාධක මත එම බලය ලබා ගැනීමත් ලෝකය පුරා පවතින එක්තරා දේශපාලන මතවාදයකි. එය ලිබටේරියානුවාදය (Libertarianism) ලෙස හැඳින්වේ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ හා කොන්සර්වේටිව්වාදයේ සම්මිශ්‍රණයකින් සකස් වූ දේශපාලන මතවාදයකි. දැන් ලාංකික සමාජය ද වෙනස් වෙමින් ඇත්තේ ලිබටේරියානුවාදයට අනුව යැයි කිව හැකිය. ඒ අනුව දේශපාලනය සඳහා සමාජය සකස් කිරීමත් සමාජය තුළ දේශපාලනය කිරීමත් පුස්සක් බවට පත් කර ඇත.

මේ තත්ත්වය තුළ සමාජයේ දේශපාලනය කිරීම වැදගත් වන්නේ අර්ධ වශයෙනි. මහ ජනතාවගේ දේශපාලන තීන්දු ගැනීමට බලපාන්නේ වෙනත් සාධකයන් ය. ඒවා අතර දේශපාලන ආධිපත්‍යය ප්‍රබල කරුණකි. දේශපාලන අවකාශය තුළ දේශපාලන ආධිපත්‍යය පෙන්විය හැකි දේශපාලන ව්‍යාපාරයට බලය ලබා ගත හැකි අතර සමාජය හැසිරෙන්නේ ඒ අනුව ය. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ද සිදුවූයේ එයම යැයි කිව හැකිය. ආණ්ඩුව පසුබැස තිබූ වටපිටාවක මහජනතාව දේශපාලන තීන්දු ගත්තේ දේශපාලන ආධිපත්‍ය පෙන්වූ පක්ෂයට අනුව ය. මහින්ද රාජපක්ෂ හිස් චරිතයක් බව ඇත්ත වුවත් ප්‍රාග්ධනකරණය වී ඇති මාධ්‍ය මගින් ඔහු ශක්තිමත් චරිතයක් බවට ආධිපත්‍යමය මතයක් හා චිත්‍රයක් මවා පෙන්නුවේ ය. සමාජය එය යථාර්තය ලෙස භාර ගත්තේ ය.

මෙතෙක් ලාංකික සමාජය මේ ලිබටේරියානුවාදය ගැන අවිඥානිකව දේශපාලනය කළේ ය. ඉදිරියට ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සවිඥානිකත්වයක් ඇති කර ගත යුතුය. එවිට දේශපාලනය කරන අන්දම යළි සකස් කර ගැනීමට පහසු ය.

අබරන්

Comments