ගමේ හොරකම් ප්‍රගතිශීලී ද? | සිළුමිණ

ගමේ හොරකම් ප්‍රගතිශීලී ද?

 ලෝකය පුරා පැතිර යන රැල්ලක් වන්නේ වංචා හා දූෂණයි. ලෝකයේ ප්‍රබල රටවල ද වංචා හා දූෂණ සිදුවේ. සමහර රාජ්‍යය දියුණු වෙමින්ම ආර්ථිකයේ එක්තරා කොටසක් වංචා හා දූෂණවලින් පිරී පවතී. සමහර රාජ්‍ය වංචා හා දූෂණ නිසා විනාශ වෙමින් පවතී. කෙසේ වුවත් රාජ්‍ය දේහය පුරා පැතිරී පවත්නා වංචා හා දූෂණ සංවර්ධනයට ප්‍රබල බාධාවකි.

ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් වූ වර්ගීකරණයට අනුව ලෝකයේ අඩුම වංචා හා දූෂණ සිදුවන රට වන්නේ ඩෙන්මාර්කයයි. වැඩියෙන්ම වංචා හා දූෂණ සිදුවන්නේ සෝමාලියාවෙයි. එම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවට හිමිවන්නේ 95 වැනි ස්ථානයයි. එම වර්ගීකරණයට අනුව වංචා හා දූෂණ සම්බන්ධයෙන් ඉන්දියාව පවා සිටින්නේ ශ්‍රී ලංකාවට පහළිනි.

වංචා හා දූෂණ ලාංකික සමාජයේ පැතිර යෑමට සාධක තුනක් හේතු වන්නට ඇත. ප්‍රධාන සාධකය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය හා මැතිවරණ ක්‍රමයේ පවතින ස්වභාවය නිසා දේශපාලන ක්‍රමයේ කඩා වැටීමයි. දෙවැන්න වන්නේ සදාචාරමය හා ආචාර ධාර්මික කඩා වැටීමයි. තුන්වැන්න නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයේ ආවේනිකයයි.

ලාංකික සමාජය 1978 දී ආර්ථික වශයෙන් ව්‍යුහාත්මක වෙනසකට ලක් විය. එතෙක් ආර්ථිකයේ ආංශික වර්ගීකරණය තුළ කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ට තිබූ ප්‍රතිශතාත්මක පංගුව වෙනස් වෙමින් සේවා අංශයේ ප්‍රතිශතාත්මක පංගුව වැඩි විය. සේවා අංශය බොහෝ විට පවතින්නේ කොමිස් හා ලාභාංශ මතිනි. එය වංචා හා දූෂණයන්ට උල්පතකි. මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිශතාත්මකව 60%ක තරම් මට්ටමකට කළු ආර්ථික ක්‍රියාකාරීත්වයකින් යුක්ත ය.

මහා පරිමාණයෙන් සිදුවන වංචා හා දූෂණ පවතින දේශපාලන හා ආර්ථික ක්‍රමයේම නෛසර්ගික ලක්ෂණයකි. මහා පරිමාණයෙන් සිදුවන වංචා හා දූෂණයන්ට හැම ආණ්ඩුවකම සම්බන්ධයක් පවතී. ආණ්ඩු බලයෙන් තොරව එවැනි මහා පරිමාණ වංචා හා දූෂණ සිදුවිය නොහැක. වංචා හා දූෂණ මහජන ධනය විනාශ කිරීමක් මෙන්ම රටක සංවර්ධනයට බරපතළ ලෙස හානි කරන්නකි. එහෙත් එමගින් සිදුවන විශාලම විනාශය වන්නේ වංචා හා දූෂණයට ලක්වන මුදල් වෙළෙඳපොළ තුළ ආයෝජනයට ලක් නොවීමයි. විශාල වංචා හා දූෂණ සිදු කරන මහා පරිමාණ හොරු එම මුදල් ආයෝජනය නොකර සමුච්ඡකරණයට ( Capital Accumulation) ලක් කරයි. මූල්‍ය සමුච්ඡකරණය ධනේශ්වර ක්‍රමයේ විශාලම අගතියයි.

සමාජයක් වංචා හා දූෂණයට ලක් වූ පසුව ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් නීති විරෝධී මූල්‍ය ගනුදෙනුවලට ගොදුරු වේ. රාජ්‍යයේ ඉහළ කොටස වංචා හා දූෂණයන්ට ලක්වූ පසුව පහළ කොටස ද ඊට ගොදුරුවීම තාර්කික ය.. ග්‍රාමීය සමාජයේ ද මේ අන්දමින්ම වංචා හා දූෂණ සිදුවීම කිසිදු බාධාවකින් තොරව සිදුවේ. සමහර සමාජ කුලකයන්හි මූල්‍ය ස්ථායිතාව රඳා පවතින්නේම නීත්‍යානුකූල මූල්‍ය ගලනය නිසාම ය.

එහෙත් ඉහළ සමාජ ස්තරයේ හා පහළ සමාජ ස්ථරයේ සිදුවන වංචා හා දූෂණවල ස්වරූපය එකිනෙකට වෙනස් වේ. ඉහළ සමාජයේ මෙන් පහළ සමාජයේ සිදුවන වංචා හා දූෂණ වල කළු සල්ලි මූල්‍ය සමුච්ඡකරණයට ලක් නොවේ. එනම් එම මුදල් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයෙන් ඈත් කර නොතබයි. ඔවුහු එම මුදල් ආයෝජනයට ලක් කරන අතර එනිසා වෙළෙඳපොළ තුළ ක්‍රියාකාරීත්වය ඉහළ නගී. එය වෙළෙඳපොළ ශක්තිමත් කිරීමටත් ( stability of money market) මූල්‍ය ගලනය (Cash flow) පවත්වාගෙන යෑමටත් දායක වේ.

ධනපතියන්ගේත් සුළු ධනපතියන්ගේත් මූල්‍ය අක්‍රමිකතා හා හොරකම ගුණාත්මකව නොවෙනස් වුවද ඒවා වෙළෙඳපොළට කරන බලපෑම එකිනෙකට වෙනස් වේ. මැද පාන්තිකයන්ගේ අක්‍රමිකතා හා හොරකම ග්‍රාමීය සමාජය ප්‍රාග්ධනීකරණයට හේතුවකි. ඒ අනුව ධනපතියන්ගේ හොරකම් නියා සමුච්ඡකරණයට ලක් කරන ප්‍රාග්ධනයට එරෙහි වන අන්දමින්ම, ගමේ සිදුවන හොරකම්වලටද එරෙහිවීමට තරම් විමුක්ති ව්‍යාපාරයක් ඉක්මන් විය යුතු නැත.

ධනපති වෙළඳපොළ තුළ සිදුවන වංචා හා දූෂණ සෑමවිටම අගතිගාමී ලෙස ක්‍රියා කරන්නේ නැත. සමහර අවස්ථාවන්හි දී එවැනි වංචා හා දූෂණ වෙළෙඳපොළ තුළ ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කරයි. කුඩා පරිමාණ මූල්‍ය සොරුන්ගේ වංචා හා දූෂණ මූල්‍ය සමුච්ඡකරණයට ලක් නොවීමත් ඒවා වෙළෙඳපොළ ශක්තිමත් කිරීමට දායකවීමත් ප්‍රශස්ත ය. ඒ අනුව ආර්ථිකයේ සිදුවන චලනයන් තාර්කිකව හා ව්‍යුහාත්මකව විග්‍රහකර ගැනීමට විමුක්ති ව්‍යාපාරයක් සමත්විය යුතුය.

අපේ සමාජය ඉහළ සිට පහළටම දූෂණයට ගොදුරු වී අවසන් ය. රාජ්‍ය අංශය තුළ සමහර ක්ෂේත්‍ර මුළුමනින්ම දූෂිත ය. ඒවා දූෂණයෙන් ගලවා ගැනීමට නම් ආර්ථිකයේ බරපතළ වෙනස්කම් කළ යුතු ය. එසේ නොමැතිව යම් දේශපාලන ව්‍යාපාරයක් දූෂණය හා වංචාව වැළැක්වීමට පෙරට එන්නේ නම් දූෂණයෙන් හා වංචාවෙන් යැපෙන සමාජ කොටස් ඒ දේශපාලන පක්ෂය හඳුනා ගන්නේ සතුරෙකු ලෙස ය. එනිසා දූෂණයට හා වංචාවට වියුක්තව එරෙහිවීමත් සංවිධිත ඇගයීමක් ඒ සම්බන්ධයෙන් නොවීමත් යම් දේශපාලන ව්‍යාපාරයක් මගින් නොකළ යුත්තකි.

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මැතිවරණ සටන මුළුමනින්ම පදනම් වූයේ වංචා හා දූෂණ විරෝධය මත ය. ලංකාව වැනි රටක මහා පරිමාණ වංචා හා දූෂණ අවම කළ යුතු බවට තර්කයක් නොමැත. එහෙත් ඒ අයුරින්ම සමාජයේ පහළ ස්තරවල පැතිර පවත්නා වංචා හා දූෂණ අවම කිරීමට ඉක්මන්වීම දේශපාලනිකව වරදකි.

එසේ කළහොත් දූෂිත සමාජයක දූෂිත ජන කොටස් මුළුවැර යොදා තම සතුරාට පහර දෙයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට උදාවූයේ ද එවැනි අලකලංචියකි.

අබරන්

අදහස්