රොජර් ෆෙඩරේ ටෙනිස් පිටියේ අංක එක | සිළුමිණ

රොජර් ෆෙඩරේ ටෙනිස් පිටියේ අංක එක

විසි වතාවක් ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගැනීම සැබැවින්ම සිහිනයකි. එවැනි අපූර්ව ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට යමකුට හැකිවන්නේ නම් එය අසම සම සිහිවටනයකි. පසුගියදා එම සිහින ඉසව්ව තරණය කිරීමට සමත් වුණු ක්‍රීඩකයෙක් සිටියේය. ඔහු නමින් රොජර් ෆෙඩරේය. ෆෙඩරේ ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. අප එසේ කියන්නේ ඔහු ටෙනිස් පිටියේ පාමින් සිටින පෙළහර හේතුවෙන් ලෝ වැසි ක්‍රීඩා ලෝලී සැවොම ඔහු හඳුනයි. එසේත් නැතහොත් මද වශයෙන් හෝ ඔහුගේ නම අසා ඇතුවා නිසැකය. ඇතැම් විට ලෝකයේ මොහොමඩ් නම බොහෝ දෙනෙකුගේ නමක කොටසක් වශයෙන් සැලකෙන්නේ යම් සේද රොජර් ෆෙඩරේ යන්නද ලෝකයේ ජනප්‍රියම තනි පුද්ගල නාමයයැයි කිවිය හැකිය. අප සිදුකරන මෙම යෝජනාව විමසා බලන්නට හැකිනම් ලොව වඩාත්ම ජනප්‍රිය නාමය ලෙස එය සැලකිය හැක්කේ.

පසුගියදා රොටර්ඩෑම්හිදී ලබාගත් ජයග්‍රහණයත් සමගින් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන දිනාගැනීමට සමත්වූ ෆෙඩරේ මෙම වාර්තාව පිහිටුවීය. ඒ වාර්තාව වනුයේ ලෝකයේ ටෙනිස් ක්‍රීඩාවෙන් අංක එක ස්ථානය ආරක්ෂා කරගත් ලොව වයස්ගතම ක්‍රීඩකයා වශයෙනි. එවන් දස්කමක් කළ වයස්ගතම ක්‍රීඩකයා ලෙස මීට පෙර සැලකුණේ ඇන්ඩ්‍රි ඇගෑසිය. ඔහු එය සිදුකරන විට ඇගෑසිගේ වයස අවුරු 33කි. දැන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එක දිනාගන්නට ෆෙඩරේ සමත් වද්දී ඔහුගේ වයස අවුරුදු 36 කි. එය අවුරුදු 36 ද ඉක්මවා ගොස් තිබූ අතර 37 වැනි වියට ආසන්න වෙමින් තිබුණේය. ඔහුට මෙම ගෞරවය දිනාගැනීමට ඉවහල් වූයේ අවසන් මොහොතේ ලැබුණු ඒබීඑන් ඇම්රෝ ලෝක ශූරතා ටෙනිස් තරගාවලිය හේතුවෙනි.

එහිදී වයිල් කාර්ඩ් අවස්ථාවෙන් තරගාවලියට ඇතුළත් වූ ඔහු එහිදී මූලික වටය ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටය දක්වා කිසිදු අභියෝගයක් නොමැතිව ලෝකයේ අංක පහට ශ්‍රේණිගතව සිටින ක්‍රීඩකයා වන ග්‍රිගර් දිමිත්‍රොව් පරාජය කරමින් ශූරතාව හිමි කරගත්තේය. එම ශූරතාව දිනාගැනීමෙන් පසු අදහස් පළ කර ඇති ෆෙඩරේ පවසන්නේ, තමන්ට ලැබුණු මෙම සුවිශේෂී ජයග්‍රහණය ගැන සතුටු වන බවයි. ‘ඇත්තෙන්ම මට මේ ජයග්‍රහණය සුවිශේෂීයි. මම නැවත වරක් මේ තරගාවලියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තවත් එකම එක වසරක් පමණයි. ඊට පසු මම මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ නෑ. කොහොම වුණත් එකම සතියක මට ලබාදුන්නු මෙම ජයග්‍රහණ ගණනාව ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම ලෝකයේ අංක එක බවට පත්වීම වගේම මගේ ටෙනිස් ජීවිතයේ 100 වැනි ටෙනිස් කිරුළ දිනාගැනීමට යන ගමනේ ලබපු 97 වැනි ජයග්‍රහණය මෙයවීම මට සතුටක්. අනෙත් කාරණය තමයි මට මෙතැනදී හොඳ තරගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එයත් එක්තරා විධිහක අපූරු අත්දැකීමක්. මට ඒ කිසිවක් අමතක වෙන්නේ නැහැ. ඇත්තටම මට මේ ජයග්‍රහණය විශ්වාස කරන්නත් බෑ.’ ඔහු පවසා තිබේ.

‘ඇත්තෙන්ම මේ ජයග්‍රහණය ටිකක් විතර අමුතු හැඟීමක් ගෙන එනවා. මොකද මම ටිකක් විතර වයස්ගත නිසා. ඒක මට සුවිශේෂී ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය ලොකු කැපකිරීමක් කරලා ලබපු දෙයක්.’ ෆෙඩරේ පවසයි.

ස්විට්සර්ලන්තයේ 1981 වසරේ අගෝස්තු මාසයේ 8 වැනිදා උපත ලැබූ රොජර් ෆෙඩරේගේ ඉපැයීම සියලු ක්‍රීඩකයන්ට වඩා වැඩිය. ටෙනිස් තරග ජයගැනීමෙන් පමණක් ත්‍යාග මුදල් වශයෙන් ඔහු උපයාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන එක්කෝටි දහසය ලක්ෂයකට ආසන්න මුදලකි. එය ශ්‍රී ලංකා රුපියල් වලින් ගන්නේ නම් රුපියල් කෝටි දහහත් දහස් හාරසිය ඉක්මවන්නේය. ඔස්ට්‍රේලියානු විවෘත 2004, 2006, 2007, 2010, 2017, 2018 වසරවල දිනා ඇති ඔහු ප්‍රංශ විවෘත ශූරතාව දිනා ඇත්තේ 2009 වසරේදීය. විම්බල්ඩන් ශූරතා 2003, 2004, 2005,2006, 2007, 2009, 2012, 2017 වසරවල දිනා තිබේ. ඊට අමතරව අමරිකා එක්සත් ජනපද විවෘත ටෙනිස් ශූරතාව 2004, 2005,2006, 2007, 2008 වසරවලද වෙනත් ලෝක ශූරතා 2003, 2004, 2006, 2007,2010,2011 වසරවලද 2012 ඔලිම්පික් කිරුළද දිනා ඇත. ස්විට්සර්ලන්තයේ බාසෙල්හි උපත ලැබූ ෆෙඩරේගේ පියා ස්විට්සර්ලන්ත, ජර්මානු මිශ්‍ර සම්භවය ඇත්තෙකි. මව දකුණු අප්‍රිකානු ජාතික කාන්තාවක් වන අතර ඔහු දේදුනු විචිත්‍රත්වයට උපතින්ම උරුමකම් කියමින් උපත ලැබූවෙකි. ඔහු විවාහවී ඇත්තේ මිරෝසැල්වා වැවිරින්කෝවා සමගය. ඒ 2009 වසරේදීය. ඔහුගේ පළමු දරුවන් දෙදෙනා වනුයේ නිඹුල්ලු දූවරුන් දෙදෙනෙකි. මිලා රෝස් සහ චාලින් රිවා යනුවෙන් නම් ලැබූ ඔවුන් දෙදෙනාගේ තනි නොතනියට තවත් නිවුන් සොහොයුරන් දෙදෙනකු ඊට පසු පව්ලට එක්කරගැනීමට ඔවුන් දෙපළ සමත්විය. ඒ 2014 වසරේදීය. ඔවුන් දෙදෙනා නමින් ලියෝ හා ලෙනාර්ට්ය. එයින් කියැවෙන්නේ දරුවන් ඇතිකරගැනීමේදී පවා රොජර් ෆෙඩරේගේ අපූර්වත්වය. දරුවන් සිව්දෙනෙකි. ඔවුන් සිව් දෙනාම නිවුන්නුය. ඇත්තෙන්ම එය අපූරුය.

කෙසේ නමුත් ඔහු උත්සුක වෙමින් ඇත්තේ මෙම වසර තුළ සියවැනි ටෙනිස් ජයග්‍රහණයත් අත්පත් කරගැනීමටය. ඉන්පසු සර්වකාලීන ටෙනිස් විජයග්‍රාහකයා ලෙස සැලකෙන ෆෙඩරේ ගේ නම ඉදිරියේ ඉතිහාසය තුළ තවත් ලියා තබන්නට කිසිදු වාර්තාවක් ඉතිරි නොවනු ඇත. චොක්ලට් පුරවරයෙන් ලෝක ටෙනිස් ලෝලීන් මත් කරන ෆෙඩරේ තවත් වසර කීපයකින් තමන්ගේ ටෙනිස් ජිවිතයට නැවතුම තබනු ඇත්තේ එය යෞවනයන්ගේ සිත් තුළ නොමැකෙන සැමරුමක් කරමින් බව පමණක් අවසන් වශයෙන් ලියා තැබිය යුතුය.

කසුන් ඉරුගල්බණ්ඩාර

අදහස්