එක් රටක් නොව රටවල් දෙකක ජාතික ධජය එසැවීම | සිළුමිණ

එක් රටක් නොව රටවල් දෙකක ජාතික ධජය එසැවීම

 ක්‍රීඩාවේදී රටක් නියෝජනය කිරීම සුවිශාල ගෞරවයකි. ඒ මන්දයත් රටක් නියෝජනය කිරීම සඳහා දක්ෂයන් අතර දක්ෂයකු විය යුතු හෙයිනි. එහෙත් එක් රටකට අමතරව තවත් රටක් නියෝජනය කරන්නට යමකු සමත් වන්නේ නම් ඔහු සැබෑම දක්ෂයකු විය යුතුය. මෙම ලිපියෙන් අප හඳුන්වා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දී එක් රටක් නියෝජනය කරමින් සිට පසුව තවත් රටක් නියෝජනය කළ ක්‍රිඩකයින් කිහිප දෙනෙකු පිළිබඳවය. ඒ අතරින් දකුණු අප්‍රිකාවේ කෙප්ලර් වෙසල්ස් ප්‍රමුඛය. දකුණු අප්‍රිකාවේ වරණභේදවාදී ප්‍රතිපත්ති හේතුවෙන් එරට උපත ලද වෙසල්ස්ට ඔහුගේ හොඳම කාලයේ දී ක්‍රීඩා කිරීමට හැකිවූයේ නැත. එවකට දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්ව සිටි හෙයින් ඔහුට එම අවස්ථාව නොලැබී ගියේය. එම නිසා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ වෙසල්ස් එහි ජාතික ක්‍රිකට් පිල නියෝජනය කිරීමට වරම් ලබා ගත්තේය. 1991 දකුණු අප්‍රිකාවට නැවත ටෙස්ට් වරම් ලැබීමත් සමගම ඒ වනවිටත් ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ලබා සිටි වෙසල්ස් දකුණු අප්‍රිකානු පිලේ නායකයා ලෙස යළි ක්‍රිකටි පිටියට පිවිසියේය. ඔහු ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් 1983 දී ද දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් 1993 දී ද ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.

ඒ ආකාරයටම විස්සයි විස්සයි තරගවලදී ද රටවල් දෙකක් වෙනුවෙන් තරග වැදුණු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අපට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී හමුවේ. පහත දැක්වෙන්නේ ඉන් කිහිප දෙනෙකු පිළිබඳ විස්තරයකි.

ඩර්ක් නැන්නෙස්

වමතින් වේග පන්දු යවන නැන්නෙස් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි දී උපත ලබා ඇති අතර නෙදර්ලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග දෙකකට සහභාගී වී එක් කඩුල්ලක් ද, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 17 ක දී කඩුලු 27 ක් ද දවා ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙකි.

එඩ් ජොයිස්

ඉතා දක්ෂ වමත් පිතිකරුවකුවන ජොයිස් තම උපන් රටවන අයර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට පෙර එංගලන්තය නියෝජනය කර තිබේ. එහිදී විස්සයි විස්ස තරග දෙකකදී එංගලන්තය වෙනුවෙන් ඔහු රැස්කිරීමට සමත්වූයේ එක් ලකුණක් පමණි. ඉන් අනතුරුව 2012 සිට අයර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ මේ වමත් පිතිකරුවා විස්සයි විස්ස තරග 16 කදී ලකුණු 404 ක් ලබා ගැනීමට සමත් වූයේ එක් අර්ධ ශතකයක් ද සමගිණි. එහි සාමාන්‍ය 36.72 කි.

බොයිඩ් රැන්කින්

එඩ් ජොයිස් මෙන්ම අයර්ලන්තය සහ එංගලන්තය යන දෙරට වෙනුවෙන්ම තරග වැදුනු ක්‍රීඩකයෙකි බොයිඩ් රැන්කින්. අයර්ලන්තය වෙනුවෙන් මුලින්ම තරග වැදුණු රැන්කින් එංගලන්තය නියෝජනය කරමින්ද විස්සයි විස්ස තරග දෙකකට සහ එක් ටෙස්ට් තරගයකට සහභාගී වූයේ නැවත වතාවක් අයර්ලන්තය නියෝජනය කිරීමට පෙරය.

රැඩොල්ෆ් වැන්ඩර් මොව්

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් හි දී උපත ලද වැන්ඩර් මොව් 2009 සහ 2010 කාලය තුළදී විස්සයි විස්ස තරග 13 ක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට දායකත්වය ලබා දුන් අතර එම තරග 13 තුළදී කඩුලු 14 ක් බිඳ දැමීමට සමත් විය. පසුව නෙදර්ලන්තය වෙනුවෙන් ද විස්සයි විස්ස තරග 11 ක දී කඩුලු 15 ක් දවා ගැනීමටද ඔහු සමත් විය.

ලුක් රොන්චි

2017 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ලුක් රොන්චි තම මව්බිම වූ නවසීලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට පෙර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 3 කට ක්‍රීඩාකර තිබුණු අතර පසුව නවසීලන්ත පිලේ සාමාජිකයෙකු ලෙස ද විස්සයි විස්ස තරග 29 කට තම දායකත්වය සපයා දීමට සමත් විය.

දෙරටම නියෝජනය කරමින් සහභාගී වූ තරග 32 තුළදී ලකුණු රැස් කිරීමේ දළ වේගය 141.33 කි. මේ ඉනිම් තුළදී එක් අර්ධ ශතකයක් රැස්කිරීමට ද රොන්චි සමත් විය.

මාර්ක් චැප්මන්

අලුතින්ම මෙම ලැයිස්තුවට එක්වූ චැප්මන් නවසීලන්තය වෙනුවෙන් විස්සයි විස්ස වරම් ලැබීමට පෙර සිය මව්බිම වූ හොංකොං දේශය වෙනුවෙන් වසර තුනක කාලයක් ක්‍රීඩාකර තිබුණි. එහිදී විස්සයි විස්ස තරග 19 කදී ලකුණු 412 ක් ලබා ගත් 23 හැවිරිදි චැප්මන් ගේ ඉනිමක සාමාන්‍ය 22.88 ක් වූ අතර 114.44 ක ලකුණු රැස්කිරීමේ දළ වේගයක් රඳවා ගැනීමට ද සමත්විය.

ඩබ්ලිව්. ආර්. කුමාර

අදහස්