ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මනුත් පරාජය කළ ඇෆ්ගනිස්තානයේ බාහිර් ෂා | සිළුමිණ

ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මනුත් පරාජය කළ ඇෆ්ගනිස්තානයේ බාහිර් ෂා

 ඩොන් බ්‍රැඩ්මන්ට වඩා ඉහළ ලකුණු සාමාන්‍යක් තියෙන්න නම් විශේෂ හැකියාවක් අවශ්‍යයි. ඒක බාහිර් ෂා ට තියෙනව’’ එහෙම කියවෙන්නෙ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයකිණි.

අයි. සී. සී. ය එවන් ගෞරවයක් ලබා දෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන ප්‍රවීන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට නොව නවක යොවුන් ක්‍රීඩකයෙකුටය. ඔහු පැමිණෙන්නේ ද එතරම් දිගු ක්‍රිකට් ඉතිහාසයක් නොමැති ඇෆ්ගනිස්ථානයෙනි. ඇෆ්ගනිස්ථානය යනු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සමාජිකත්වය (ටෙස්ට් වරම්) අවසානයට ලබා ගත් රටයි. ඒ පසුගිය දෙසැම්බරයේ දී ය. එවන් රටකින් පැමිණි ක්‍රීඩකයකු පිළිබඳ මෙතරම් කථා කරන්නේ ඇයි?

බ්‍ර්ැඩ්මන්ගේ ටෙස්ට් තරගවල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 99.94 කි. පළමු පෙළ තරගවල සාමාන්‍ය 95.14 කි. මෙම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යට කිට්ටු කරන්නවත් කිසිදු පිතිකරුවෙක් සමත් නොවීය. නමුත් දැන් ඩාහිර් ෂා ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 121.77 ක් ඇති පිතිකරුවෙක්. ෂා ක්‍රිකට් ජීවිතය ආරම්භ කළේම ලකුණු ගොඩගසා ගත්ත පිතිකරුවෙක් ලෙසය. වයස දහ අටේ දි මුල් පෙළ තරගවල පළමු ඉනිමෙදිම නොදැවී ලකුණු 256 ක් රැස් කිරීමට ඔහු සමත්විය. එය තම මංගල තරගයේදි ක්‍රීඩකයකුගේ හොඳම දෙවන ඉනිමයි. තමන් මුහුණ දුන් පස්වැනි ඉනිමේදි නොදැවී ලකුණු 303 ක් ලබා ගත් අතර එය කළ දෙවන ළාබාලතම ක්‍රීඩකයා ද ඔහුය. පළමුවැනියා පාකිස්ථානයේ ජාවඩි මියන්ඩාඩ්ය.

‘‘ඒක මට අමතක කළ නොහැකි මොහොතක් ’’ ඔහු මාධ්‍යට පවසා තිබුණේය. මම දවස් දෙකක් පුරා කඩුල්ලේ රැඳී සිටියා. ඒක හරිම අපහසුතාවයක්. මගේ පුහුණුකරු මට කියල දුන්න හොඳින් පිතිත හසුරුවන්නෙ කොහොමද කියල... ඒ වගේම මගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වුණා...’’

හැම කෙනෙකුටම හරිම සතුටු දායක සහ ඇදහිය නොහැකි මොහොතක් තමයි හොඳ ලකුණුු සංඛ්‍යාවක් ලබා ගැනීම. බාහිර් ෂා ට අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු දහස ලබා ගැනීමේ වාර්තාව ගිලිහී ගියේ වර්ෂාව නිසා අතරමග තරගය නතර කළ නිසාය. ඒ වාර්තාව ටෙස්ට් ඕස්ට්‍රේලියානු ජාතික ටෙස්ට් ක්‍රීඩක බිල් පොන්ස්ෆෝඩ් සතු වාර්තාවකි. බාහිර් තමාගේ පළමු ඉනිම හය තුළ දී ලකුණු 831 ක් රැස්කර තිබේ. දැනට ඔහුගේ පළමු පෙළ දක්ෂතා සටහන් වෙන්නෙ මෙසේය.

පසුගිය ජනවාරි 25 වැනි දා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 202 ක අති දැවැන්ත ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සමත් විය. එම තරගයේ දී බාහිර් ෂා නොදැවී ලකුණු 67 ක් රැස් කළේ පන්දු 72 කට මුහුණ දෙමිණි.

ඇෆ්ගනිස්ථානය ටෙස්ට් වරම් දිනා මේ වනවිට ගත වී ඇත්තේ මාස දෙකකට ආසන්න කාලයකි. නමුත් තවම එක් ටෙස්ට් තරගයකට හෝ මුහුණ දී නැත. එවන් රටක වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් නවසීලන්තය වැනි රටක දී ලෝක කුසලාන තරගාවලියක දී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් විය. ඒ සාර්ථකත්වය පිටුපස බාහීර් ෂා ද විය.

ඔහු පිළිබඳ පූර්ව අනාවැකි කිව නොහැකි වුවත් මේ වන විටත් ඩොන් බ‍්‍රැඩ්මන් දෙවන තැනට ඇද දැමීමට ඔහු සමත් වී සිටී. බාහිර් ෂා ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආගමනය මේ අනුව ඉතාමත්ම විශ්මය ජනකය. ඇෆ්ගනිස්ථානයට සුබ දායකය. දැන් මුලූ ක්‍රිකට් ලෝකයම ඔහු දෙස බලා සිටින්නේ නොඉවසිල්ලෙන් සහ අපේක්ෂා සහගතවය. එය බාහිර් ෂා ට පීඩනයක් වීමට පුළුවන. එහෙත් එකී පීඩන දුරලා ගැනීමට බහීර් ෂාට හැකිවෙනු ඇත. මන්දයත් ඔවුන් රටක් ලෙස ත්‍රස්තවාදය සමඟ සිදුකරන යුද්ධය වඩා පීඩනයෙන් සපිරි වන හෙයිනි

ඩබ්. ආර්. කුමාර

අදහස්