ෆාසිල් මරීජා
තමන් කැමතිම ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් සමුගැනීම කිසිදු ක්‍රීඩාලෝලියෙකුට සුභදායක ආරංචියක් නොවේ. නමුත් ඒ පණිවිඩය පසුගිය ඉරිදා වන විට ශ්‍රී ලංකා රග්බි ලෝලින් විශාල පිරිසකට සැලවී තිබුණි. ඒ අනුව එදින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් අතිවිශාල පිරිසක් එක් රොක් වූයේ තමන් ආදරය කළ අති දක්ෂ රග්බි ක්‍රීඩකයෙකුගේ සමුගැනීමේ තරගය නැරඹීමටය. නමුත් එම සමුගැනීමේ තරගය ජව සම්පන්න තරුණ ක්‍රීඩකයෙකුගේ හොඳම තරගයක් ලෙස නරඹන්නන් ඉදිරියේ පෙළගස්වන්නට අනුක්රමයෙන් ඔහුට හැකි විය. එවැනි දස්කමක් දැක්වීමට හැකිවන්නේ ඉතා විශිෂ්ට ක්‍රීඩකයෙකුට පමණි. ඒ විශිෂ්ටතාවය මනාව ප්‍රදර්ශනය කරමින් උත්සාහක දිනුම් තුනක් තම කණ්ඩායමටත් ප්රේක්ෂකයින්ටත් පුද කරමින් ඔහු ලීග් රග්බි දිවියෙන් සමුගත්තේ රග්බි ක්‍රීඩාව මත දැවැන්ත හිඩැසක් ඇති කරමිනි.
ඒ අනුව අපේ කථා නයකයා ෆාසීල් මරීජා පළමු පෙළ රග්බි ක්‍රීඩා දිවියෙන් සමුගත්තේ පසුගිය ඉරිදා ය. හැව්ලොක් කණ්ඩායම සමග පැවති එම තරගය ආවර්ජනය කරමින් මරීජා පවසා සිටියේ,
‘‘ඒක ඉතාම හොඳ තරගයක්.... මට පුළුවන් වුණා කණ්ඩායමට අවශ්‍යම මොහොතෙ ලකුණු ලබා දෙන්න... අපි අපරාජිතවම ලීග් ශූරයො වුණේ ඒ තරගය ජයගත්ත නිසයි’’
එම තරගයෙන් අනතුරුව නොබෝ දිනක අපි ඔහුට ඇමැතුමක් ලාබදුනෙමු.
‘‘මරීජා දැන් ටිකක් කථා කරන්න පුළුවන් ද?...’’
‘‘හතහමාරට වගේ කථා කරන්න පුළුවන්නම් හොඳයි... මම දැන් ප්‍රැක්ටිස් යන්න’’
‘‘ඒ කියන්නෙ තාම රග්බි ක්‍රීඩා කරනව?...’’
‘‘ඔව්... මම රැකියාව කරන ආයතනය වෙනුවෙන් වෙළඳ සේවා තරගවලට ක්‍රීඩා කරනව...’’
එය යම් තරමකට හෝ මරීජාට ප්‍රියකරන රග්බි ලෝලීන්ට සුභදායක පණිවිඩයකි. අපි ඔහු සමග කතිකා කරගත් පරිදි සංවාද ගතවූයෙමු.
‘‘ඔයාට කවුද රග්බිවලට උදව් කළේ?’’
‘‘මගෙ තාත්ත මියයනකොට මට අවුරුදු හයයි. ඊට පස්සෙ අම්ම තමයි මාව බලාගත්තෙ... මගේ මාමල, ඥාති සොහොයුරන් ගොඩ දෙනෙක් රග්බි ක්‍රීඩා කළා.... ඒනිසා මටත් ඒ ගැන ආස හිතිල ඒ අයගේ උදව්වෙන් තමයි ඉදිරියට ගියේ. ඒ වගේම කිංස්වුඩ් විද්‍යාලයේ රග්බි පුහුණුකරන ගුරුවරුනුත් මට ගොඩක් උදවු කළා..’’
මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය මෙන්ම රග්බි ක්‍රීඩාවද ප්‍රගුණ කරමින් වසස අවුරුදු 13 න් පහළ කණ්ඩායමේ සිට පාසලේ ජ්‍යෙෂ්ඨ රග්බි පිල දක්වාම පැමිණෙන අතර අපොස උසස් පෙළ සඳහා හැදැරුවේ වානිජ විෂයන්ය. මරීජා ගේ පෞද්ගලික රුචි අරුචිකම් ගැනද අපි කථාබහ කළෙමු.
‘‘රග්බි පිටියෙ වැඩියෙන්ම කැමති විදේශීය ක්‍රීඩකයා කවුද ?’’
‘‘මගේ ප්‍රියතම ක්‍රීඩකයා කාටර්... ඩැනියෙල් කාටර්.... එයා තමයි නවසීලන්ත පිලේ ෆ්ලයි හාෆ් ක්‍රීඩකය.... මම හරිම ආසයි ඩෑන් ක්‍රීඩාකරන විධියට.... එයා අති දක්ෂ ක්‍රීඩකයෙක් ’’
ඩැනියෙල් කාටර් යනු නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායමේ සිටි සුපිරි කීඩකයෙකි. 2015 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසාන තරගයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව දඬුවම් පහර 4 ක් ප්‍රවර්තන දෙකක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින් ලකුණු 19 ක් තම පිලට ලබාදීමට සමත් විය. එසේම අන්තර් ජාතික රග්බි මණ්ඩලය විසින් පිරිනමන වසරේ ක්‍රීඩකයා සම්මානය තෙවරක්ම දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කෙනෙකි.
දැනට ලෝක ශූරතාවය උසුලන නවසීලන්තය යනු අති සුන්දර රටක් මෙන්ම ඉතා අනර්ග රග්බි ක්‍රීඩකයින් සතු සහ මනරම් රග්බි තරග රටාවකට හිමිකම් කියන රටකි. වරක් මරීජා නවසීලන්ත අරග්බි ඇකඩමියක පුහුණුවද ලබා ඇත. ඩැනියෙල් කාටර් මෙන්ම මරීජා ද රග්බි පිටියට පිවිසෙන්නේ අංක 10 ජර්සිය දරාගෙන ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා ලෙසිනි.
‘‘ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ගරුකරන ක්‍රීඩකයින් කවුද?’’
‘‘ඉන්ද්‍රජිත් බණ්ඩානායක සහ සංජීව ජයසිංහ.... ඒ දෙන්නම කාලයක් තිස්සෙ මාත් එක්ක එකට ක්‍රීඩා කළ හොඳ මාත් ක්‍රීඩකයො දෙන්නෙක්...’’
‘‘කවුද කණ්ඩායමේ ඉන්න මිත්ත්රයින් ? ’’
‘‘නයිජල් රත්වත්තෙ, ඉම්රාන් වගේ අය මගේ හොඳ මිත්‍රයො... ’’
පෞද්ගලික ජීවිතයො මිත්‍රයො නැද්ද ?
‘‘ඉන්නව ඉන්නව.... ජබාර්, රිස්වි සහ කලූආරච්චි මගේ හොඳ මිත්‍රයො.... ලැබෙන හැම අවස්ථාවකම මිත්‍රයො එක්ක ඉන්න කැමතියි ’’
‘‘ඉදිරියෙදි විවේක ලැබුනොත් කොහෙද සංචාරය කරන්න කැමති? ’’
‘‘මම හුඟක් කැමතියි මොරොක්කෝවෙ සංචාරය කරන්න... ඒක හරිම ලස්සන රටක් කියල මම දැකල තියෙනව. හැබැයි මම ඒවා දැකලා තියෙන්නේ තවමත් ඡායාරූප සහ වීඩියෝ වලින්..... හරිම විචිත්‍රවත් ගෙවල්... හෝටල්... අලංකාර ගොඩනැගිලි සහ ආගමික ස්ථාන.... ඒ වගේම කාන්තාර තියෙන රටක්.... මම කැමතියි එහෙ සංචාරයකට...ඒ වගේම පෝලන්තයේ සංචාරය කරන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනව... එහේ සංචාරය කරපු මගේ මිත්රයෙකුගෙන් දැන ගත්ත ඒක හරිම සුන්දර රටක් කියල...’’
මරීජා එසේ පවසන්නේ සිතින් එම රටවල සංචාරය කරමින් බව ඔහුගේ ප්‍රීතිමත් ස්වරයෙන් මනාව පැහැදිලි වේ. ඔහු ගේ ආදරණීය බිරිය යසාරා ද අප සමග මෙම කථාබහට එක් විය.
‘‘අපි විවාහවෙලා අවුරුදු දෙකකට වැඩි කාලයක් වුණත් විනෝද ගමන් දෙකක් හරි තුනක් හරි තමයි ගිහිල්ල තියෙන්නෙ.... එයාට රග්බිවලින් විවේකයක් තිබුණෙම නැහැ’’
‘‘කොහොමද විවාහ වෙන්න ගොඩක් කල් ඉඳල අඳුරනව ද? ’’
‘‘නැහැ... අපි මුලින්ම මුණ ගැහුණෙ ක්‍රීඩා වැඩසටහනකදි. එතකොට 2013 අවුරුද්දෙ.... මම එතකොට රැකියාව කළේ ක්‍රීඩා රූපවාහිනි නාලිකාවක... එතනදි තමයි අඳුර ගත්තෙ’’
‘‘රග්බි පිටියෙන් සමුගැනීම ගැන මොකද හිතන්නෙ ? ’’
‘‘මේක තමයි කාලය කියල මම හිතනව... සෑහෙන කාලයක් ක්‍රීඩා කළා.... දැන් හොඳ අලුත් ක්‍රීඩකයො ඉන්නව... ඉතිං ඇති කියල හිතුව... ’’ ඒ මරීජාය
යසාරා පැවසුවේ ‘‘එයා නම් එච්චර කැමැත්තෙන් නෙමෙයි තීරණය ගත්තෙ... නමුත් මම හිතනව මේක තමයි එයාට සමු ගන්න කාලය කියල...’’
‘‘ඇයි ඒ ? ’’
‘‘නැහැ.. මීට පෙර දෙපාරක් ආබාධවලට ලක්වෙලා තියෙනව... දැන් එයාගෙ වයස අනුව එවැනි තත්ත්වයක් ඇති වුණොත් ඒක එච්චර හොඳ නැහැ..... අවුරුදු 15 වගේ කාලයක් ක්‍රීඩා කරල තියෙනව.... ඒ හැම කරුණක් එක්කම එයාට සමුගන්න තියෙන හොඳම කාලය දැන් තමයි කියල හිතනව මම හිතනව... වෙළෙඳ සේවා තරගවලට ක්රීීඩා කරන නිසා ලීග්වලින් අයින්වුණ එක එයාට එයාට එච්චර ලොකුවට දැනෙන එකක් නැහැ...’’
‘‘කොහොම ද මරීජාගේ කෑම බීම ගැන තියෙන කැමැත්ත? ’’
‘‘එයා හැම කෑම වේලකටම බැදපු දෙයක් තියෙනවනම් ගොඩක් කැමතියි... මස්, සොසේජස් වගේ දේවල්වලට... රොටි වර්ග කන්නත් ගොඩක් කැමතියි.... හැබැයි මම ඒව වැඩිය දෙන්නෙ නැහැ....’’
‘‘ගෙදරදි වැඩියෙන්ම උදවු තියෙන්නෙ මොනවගේ වැඩවලදි ද?’’
‘‘අපේ වත්තෙ වැඩනම් මම කරන්නෑ වගේ. ඒ ඔක්කොම කරන්නෙ එයා.... වත්ත සුද්ද කරල, අලුත් මල් පැළ ගෙනල්ල... හිටවල.... ලස්සනට තියාගෙන ඉන්නව... ඒ වැඩවලින් බොහෝ දුරට මම නිදහස්.... ඒක එයා හරිම කැමැත්තෙන් කරනව...’’
‘‘ඊට අමතරව විවේකයක් ලැබුණොත් මොනව ද කරන්නෙ? ’
‘‘ටිකක් නිදා ගන්නව.... ජිම් එකට ගිහිල්ල ව්‍යායාම කරනව මරීජා සිනාමුසුව පවසයි.
‘‘රග්බි නිසා මොනවද ඔයාට ලැබුණු දේවල්?’
‘‘මේ හැම දෙයක්ම ලැබුණෙ රග්බි නිසා... මම අද යම් තැනක ඉන්නවනම්
ඒ රග්බිවලින් ලැබුණු දේවල් නිසා තමයි...’’
‘‘ඒ වණාට රග්බි කියන්නෙ සල්ලිකාරයින්ගෙ ක්‍රීඩාවක්නේ ද? ’’
‘‘එහෙම නැහැ.... සල්ලි තියෙන අය ඒ අයගෙ දරුවන්ව හොඳ පාසල්වලට වගේම හොඳ ක්‍රීඩා සමාජවලටත් දරුවො දා.... නමුත් ජාතික කණ්ඩායම වගේ එකක් ගත්තොත් ඒකෙ සෑහෙන පිරිසක් ඉන්නව සාමාන්‍ය පවුල්වලින් ආව අය...’’
‘‘තාම අවුරුදු තිස් තුනයි... ඉදිරියෙදි රග්බි වලට සම්බන්ධ තව මොනවද කරන්න බලාපොරොත්තුව?’’
‘‘මම ඉදිරියේ දී වයස අවුරුදු තුනේ සිට අට දක්වා වන කුඩා ක්‍රීඩකයින් සඳහා රග්බි ඇකඩමියක් ආරම්භ කරන්නයි
බලාපොරොත්තු වෙන්නෙ... ඒකෙන් මම හිතනව ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට මගෙන් ඉදිරියටත් සේවයක් වෙයි කියල’’
ඒ අනුව ලීග් රග්බි පිටියෙන් සමුගත්ත ද ෆාසීල් මරීජා යන නාමය තවත් කාලයක් යනතුරු රග්බි ක්‍රීඩා ලෝලීන් අතර රැඳී පවතිණු ඇත.
මරීජා සහ යසාරා දෙපළගේ සිඟිති දියණිය ලියාරා ඇයට තාම වයස මාස හයකි... ලියාරා සමග මරීජා සහ යසාරා තමන් ගේ ඉදිරි දිවි ගමන සඳහා සූදානම් වන්නේ ඉමහත් බලාපොරොත්තු සහ අපේක්ෂාවන් සමගය. ඒ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉටුකරගනිමින් රග්බි පිටියේ දී මෙන්ම ඉදිරි ජීවිතයද සාර්ථක කරගැනීමට හැකි වේවා ‘සිළුමිණ ක්‍රීඩා මුල් පිටුවේ ’ පැතුමයි.
ඩබ්. ආර්. කුමාර