කිරුළ හිමිකරගනිමින් උරුගුවේ ඉතිහාසයට | සිළුමිණ

කිරුළ හිමිකරගනිමින් උරුගුවේ ඉතිහාසයට

 සුදුසුකම් ලැබීමේ තරගවලින් තොරව සහ නාවික ගමනා ගමනයේ ඇති දුෂ්කරතාවය නිසා යුරෝපීය රටවල අවම සහභාගීත්වයකින් යුතුව ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ පළමු පියවර ආරම්භවුණේ දකුණු ඇමරිකාවේ උරුගුවේ රාජ්‍යයේ දී ය. ඒ 1930 ජුලි මස 13 වැනි දා සිට 30 වැනි දා දක්වාය. නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය, ස්වීඩනය සහ හන්ගේරියාව යන යුරෝපීය රටවල් සමග සත්කාරකත්වය සඳහා ලතින් අමරිකානු රටවලින් ඉල්ලූම් කරන ලද්දේ උරුගුවේ පමණි. අවසානයේ දී සියලූ යුරෝපීය රටවල් සත්කාරකත්වය සඳහා වූ සිය ඉලීම් ඉවත්කර ගත් හෙයින් නිතරගයෙන්ම ප්‍රථම ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ සත්කාරකත්වය උරුගුවේ රාජ්‍යට හිමි විය.

උරුගුවේ අගනුවර වූ මොන්ටිවීඩියෝ හි ක්‍රීඩාංගණ තුනක දී සියලූම තරග පැවැත්විණි. 90,000 ක ප්‍රේක්ෂක පිරිසකට එකවර තරග නැරඹිය හැකි සෙන්ටෙනාරියෝ පාපන්දු ක්‍රීඩාංගනය ඉන් ප්‍රධාන විය. පැවැත්වීමට නියමිත තරග 18 න් 10 ක්ම පැවැත්වූයේ එම ක්‍රීඩාංගණයේ දී ය. අවසාන පූර්ව තරග දෙක මෙන්ම අවසාන මහා තරගයද ඊට අයත්ය.

තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා විනිශ්චයකරුවන් පහළොස් දෙනෙකුගෙන සමන්විත වූ අතර ඉන් සිව් දෙනෙක් යුරෝපයෙන් ද, එක් අයෙක් උතුරු අමරිකාවෙන් ද, අනෙක් දස දෙනා දකුණු අමරිකාවෙන් සහභාගි කරගෙන තිබුණි. කණ්ඩායම් 13 කාණ්ඩ 4 කට බෙදා තරග පැවති අතර එක් එක් කාණ්ඩ ජයග්‍රාහකයින් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි. පළමු කාණ්ඩය සඳහා රටවල් 4 ක් ද, අනෙකුත් කාණ්ඩ 3 සඳහා කණ්ඩායම් 3 බැගින් ද ඇතුළත් විය. ඒ අනුව ආර්ජන්ටිනාව, චිලී, ප්‍රංශය සහ මෙක්සිකොව පළමු කාණ්ඩයෙන් ද, යුගොස්ලාවියාව, බ්‍රසීලය සහ බොලිවියාව දෙවන කාණ්ඩයෙන් ද තරග වැදුණි. තුන්වැනි කාණ්ඩයෙන් තරග වැදුනේ උරුගුවේ, පේරු සහ රුමේනියාව යි. ඇමරිකා එක්සත් ජනපදය, පැරගුවේ සහ බෙල්ජියම හතරවන කාණ්ඩයෙනි.

තරගාවලිය ආරම්භ කරමින් එකම අවස්ථාවේ දී තරග දෙකක් පැවැත්විණි. එම තරග දෙකෙන් ප්‍රංශ විසින් මෙක්සිකොව ගෝල් 4-1 ක් ලෙස ද, ඇමරිකා එක්සත් ජනපදය විසින් බෙල්ජියම ගෝල 3-0 ලෙස ද පරාජය කරන ලදී. මෙක්සිකෝවට එරෙහි ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ ලූෂන් ලෝරන්ට් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ගෝලය වාර්තා කිරීමේ ගෞරවයට හිමිකම් කීය.

ආර්ජන්ටිනා, යුගොස්ලාවියා, උරුගුවේ සහ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම් තමන් සහභාගී වූ සියලූම තරග ජය ගනිමින් සහ තම කාණ්ඩවල ප්‍රමුඛයා වෙමින් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීය. අවසන් පූර්ව තරගවල දී ආර්ජන්ටිනාව විසින් ගෝල 6-1 ක් ලෙස ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පරාජයට පත් කළ අතර සත්කාරක උරුගුවේ පිල විසින් ද යුගොස්ලාවියාව පරාජයට පත් කරන ලද්දේ ගෝල 6-1 ක් ලෙසිනි.

ජුලි 30 වැනි දා මොන්ටිවීඩියෝ අගනුවර සෙන්ටෙනාරියෝ ක්‍රීඩාංගනය පිරී ඉතිරී යන්නට විය. ‘ප්ලාටේ බේසින් ’ගඟ තරණය කරමින් ‘ජය හෝ මරණය’ ලෙස රණ හඩ නගමින් බෝට්ටු මගින් ආර්ජන්ටිනාවේ සිට උරුගුවේ දක්වා අවදානම් චාරිකාවක යෙදුණු ආර්ජන්ටිනා පාපන්දු ලෝලීන් දස දහස් ගණනක් ද සමග 93,000 ක උද්යෝගිමත් නරඹන්නන් පිරිසක් ඉදිරියේ පළමු ලෝක ශූරතා පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය ආරම්භ විණි. ක්‍රීඩාංගනය පුරා තර්ජනාත්මක හඩ රැව් දුන්නේය.

තරගය ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර අවසාන තරගය ප්‍රධාන විනිසුරු වූ බෙල්ජියම් ජාතික විනිසුරු ජෝන් ලැන්ජෙනස් ගේ එක් ඉල්ලීමක් වූයේ තරගයේ අවසාන සංඥාව නිකුත් වී පැයක් ඇතුළත අවශ්‍ය වුවහොත් තමන්ට මොන්ටිවීඩියෝ නගරයෙන් ඉක්මනින් පිටත්වීම සඳහා බෝට්ටුවක් සූදානම්ව තබන ලෙසය.

තරගය ආරම්භ කරමින් මුල් විනාඩි කිහිපයේ දී ඉදිරියෙන් සිටි සත්කාරක උරුවේ කණ්ඩායම 12 වන විනාඩියේ දී පළමු ගෝලය වාර්තා කරමින් ඉදිරියට පැමිණියත් 20 වැනි සහ 37 වැනි මිනිත්තුවල ගෝල දෙකක් ලබා ගත් ආර්ජන්ටිනියානුවන් පළමු අර්ධය අවසන්වන විට ඉදිරියෙන් සිටියහ. එහෙත් විවේක කාලයෙන් පසු තවත් ගෝල 3 ක් ලබා ගත් උරුවේ ක්‍රීඩකයින් තම රට තුළ පැවති ශූරතාව අසල්වැසි ආර්ජන්ටිනාවට ගෙන යාමට ඉඩ නොදුන්හ. ඒ අනුව පළමු ලෝක කුසලාන පාපන්දු ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට උරුගුවේ සමත් විය. තරගාවලියේ වැඩිම ගෝල් ප‍්‍රමාණය වූ ගෝල අටක් වාර්තා කිරීමට ආර්ජන්ටිනාවේ ගුයිල්ලෙමෝ ස්ටැබිලේ සමත් විය.

1928 ඔලිම්පික් තරගාවලියේ දී ද මේ දෙරටම අවසන් තරගයට සහභාගී වූ අතර එහි දී ද උරුගුවේ විසින් ආර්ජන්ටිනාව ගෝල 2-1 ක් ලෙස පරාජය කළ අතර 1930 පළමු පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය එය නැවත ප්‍රතිනිර්මානය වීමකි.

ලෝක පාපන්දු කුසලානය ජයග්‍රහණය කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් පසු දින උරුගුවේ රාජ්‍යයේ ජාතික නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ අතර අවසන් තරගයෙන් ආර්ජන්ටිනාව පරාජයට පත්වීමෙන් කුපිත වූ ජනයා බුවනෝර්ස් අයර්ස් අගනුවර පිහිටි උරුගුවේ තානාපති කාර්යාලයට ගල් ප්‍රහාර එල්ල කළහ. තරගාවලියෙන් අනතුරුව සිදු කළ ශ්‍රේණිගත කිරීම් වලින් උරුගුවේ අංක එකටත් ආර්ජන්ටිනාව අංක දෙකටත් ඇමරිකා එක්සත් ජනපදය සහ යුගොස්ලාවියාව තුන සහ හතරවන ස්ථාන වලටත් පත් වී සිටියහ.

ඩබ්. ආර්. කුමාර

අදහස්