පෘථිවිය තවත් මහා ජීවී සංහාරයක් අබියස | සිළුමිණ

පෘථිවිය තවත් මහා ජීවී සංහාරයක් අබියස

 පෘථිවිය මත සිදුවන සය වැනි ජීවී වඳ වී යෑම මේ වනවිට ආරම්භ වී ඇති බව අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ මෙක්සිකෝ සිටි විශ්වවිද්‍යාලයේ විද්වත්හු පිරිසක් පසුගිය වසරේදී පෙන්වා දුන්හ. ඔවුන් පෙන්වා දෙන අන්දමට සත්ත්ව විශේෂ දහස් ගණනක් සදහටම මහා පොළොව මතින් අතුගෑවී යෑමේ ක්‍රියාවලිය මේ මොහොතේත් ක්‍රියාත්මක වෙමින් පවතී. පසුගිය වසර 100ක කාලයේදී වඳ වී ගිය සත්ත්ව විශේෂ ප්‍රමාණය සලකා බලන විට වසරකට පෘෂ්ඨවංශික ජීවී විශේෂ දෙකක් පමණවත් වැනසී ගිය බව තහවුරුව ඇතැයි විද්‍යාඥයෝ පවසති. එමෙන්ම පෘථිවිය මත වාසය කරන ජීවී ගහනවලින් තුනෙන් එකක පමණ ජීවීන් සංඛ්‍යාව අඛණ්ඩවම පහළ වැටීමේ අවදානම් සහගත තත්ත්වයකුත් මතුව තිබේ. කැපී පෙනෙන ලෙස මේ අන්දමට ජීවීන් වඳ වී යෑම අද වනවිට සිදුවෙමින් තිබෙන්නේ මිනිසාගේ ක්‍රියාකාරීත්වයන් නිසා බවත් සනාථව ඇත. මේ නිසා මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුවන පළමු ජීවී වඳ වී යෑම මෙයයැයි ද සඳහන් වේ. පෘථිවිය මත මේ වනවිට සිදුවෙමින් පවතින ජීවී සංහාරය මිනිසාගේ මැදිහත් වීමෙන් සිදුවන්නක් වීම ජීවී පරිණාම ක්‍රියාවලියෙහි ද සුවිශේෂ තත්ත්වයකි.

දැනට සිදුවෙමින් පවතින්නේ හයවන ජීවී වඳ වී යෑම නම් මෙයට පෙර අවස්ථා පහකදී ජීවී වඳ වී යෑම් සිදුව ඇත්තේ නොවේද?. සත්‍ය වශයෙන්ම කිවහොත් ජීවී වඳ වී යෑම් පහකට වඩා වැඩි සංඛ්‍යාවක් පෘථිවිය මත සිදුව තිබීමයි. එසේ වුවද ඒ අතර මහා පරිමාණ ජීවී වඳ වී යෑම් තිබෙන්නේ පහක් පමණ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එකී ජීවී වඳ වී යෑම් පහට අමතරව සිදුව ඇති ජීවී වඳ වී යෑම් සුළු පරිමාණ ඒවාය. මේ වනවිට ක්‍රියාත්මක හයවන ජීවී වඳ වී යෑම සිදුවන්නේ මිනිසාගේ මැදිහත් වීමෙන් නම් අනෙක් අවස්ථා පහේදී ජීවීන් වඳ වුණේ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නොවේදැයි යනුවෙන් ද කෙනෙකුට තර්ක කරන්නට පුළුවන. මින් පෙර සිදු වූ ජීවී වඳ වී යෑම් පහ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව සිදුවුණු බව සැබෑය. එයට හේතුව ඒ සෑම එකක්ම සිදුව තිබෙන්නේ මිනිසා පෘථිවිය මත පහළ වන්නට පළමුව වීමෙනි. එහෙත් ඒවා සිදුවුණ ආකාරය තවමත් අබිරහසකි.

මහා පරිමාණ වශයෙන් මුල්වරට සිදුවුණු ජීවී වඳ වී යෑම ඔඩොවිෂියන් - සිලුරියන් ජීවී වඳ වී යෑම ලෙස හැඳින්වේ. මෙය, ජීවී සංහාරයන් දෙකක් ලෙස සිදුවී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එම ජීවී වඳ වී යෑම් සිදුව තිබෙන්නේ ඔඩොවිෂියන් අවධියේ අග භාගයේදීය. එනම් මෙයට වසර මිලියන 443.8කට පමණ ඉහතදී බව අනාවරණය වී ඇත. සමස්තයක් ලෙස ගත් කළ මිහිමත ජීවත් වූ ජීවී විශේෂවලින් 60%ත් 70%ත් අතර ප්‍රමාණයක් ඔඩොවිෂියන් - සිලුරියන් ජීවී වඳ වී යෑම්වලින් විනාශ වී තිබේ. එමඟින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සාගරවල ජීවත් වුණු ජීවීන්ටය. සාගරවල විසූ ජීවී විශේෂවලින් 85%ක් පමණ වැනසී ගිය බව දැක්වේ. මේ සා මහා විනාශයක් සිදු කළ ඔඩොවිෂියන් - සිලුරියන් ජීවී වඳ වී යෑම් දෙකට හේතු මොනවාද යන්න තවමත් පැහැදිලි නැත. මේ කාලයේදී, දක්ෂිණාර්ධ ගෝලයේ ඇතිවුණු දැවැන්ත හිම තලාවක් හේතුවෙන් කාලගුණ විපර්යාස ඇති වී සාගරවල රසායනිකය වෙනස් වූ බව ඇතැම් විද්‍යාඥයන්ගේ නිගමනයයි. එය ජීවීන්ගේ නැසී යෑමට හේතුවක් වූ බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති. ගැමා කිරණ නිපාතයක් නිසා හෝ ගිනි කඳු පිපිරියෑමක් නිසා හෝ විෂ ලෝහයක් සාගර ජලයේ දියවීමෙන් හෝ මෙම ජීවී සංහාරය සිදුවුණු බව පැහැදිලි කරන්නට තවත් සමහර විද්‍යාඥයෝ නැඹුරු වෙති. මෙයින් පෙනෙන්නේ ඔඩොවිෂියන් - සිලුරියන් ජීවී සංහාරය සිදුවන්නට නිශ්චිත හේතුව හෝ හේතු හෝ ඉදිරිපත් කරන්නට විද්වතුන් මේ වනවිටත් සමත්ව නැති බවය.

ඩෙවෝනියන් අවධියේ අග භාගයේදී සිදු වූයේ යැයි විද්‍යාඥයන් පවසන්නේ දෙවන ජීවී සංහාරයයි. එය සිදුව තිබෙන්නේ මෙයට වසර මිලියන 375ත් – 359ත් අතර කාලයේදීය. එකල පෘථිවිය මත වාසය කළ ජීවී විශේෂවලින් 70%කට අධික ප්‍රමාණයක් මේ වැනසීයෑමට ලක් වූණු බව විද්‍යාඥයෝ පවසති. ඩෙවෝනියන් අවධියේ අග භාගයේදී සිදු වූ මේ ජීවීන් වඳ වී යෑම වසර මිලියන 20කට ආසන්න කාලයක් පුරා පැවැති බවට සාක්ෂි ඇත. එපමණ කාලයක් මුළුල්ලේ සත්ත්ව වඳ වී යෑම් සිදුවුණේ කෙසේද යන්න සම්බන්ධව විද්‍යාඥයන් අතරද විවිධ තර්ක තිබේ. සමහරුන් පවසන්නේ ප්‍රධාන වඳ වී යෑම් දෙකකින් මෙය සිදු වූ බවය. කුඩා පරිමාණයේ වඳ වී යෑම් මාලාවක් ඊට ඇතුළත් යැයි පවසන විද්‍යාඥයෝ පිරිසක් ද වෙති. කෙසේ වුවද මේ ජීවී වඳ වී යෑමට බලපෑ හේතුව ගැනත් අද වනතුරු නිශ්චිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්නට විද්‍යාඥයෝ අපොහොසත්ව සිටිති. ඒ නිසා විවිධ විද්වත්හු විවිධ මත ඉදිරිපත් කරති. කාලගුණ විපර්යාස, ගිනි කඳු පිපිරීමක් මෙන්ම ධූම කේතුවක හෝ වෙනත් ග්‍රහ වස්තුවක හෝ බලපෑම නිසා එම ජීවී සංහාරයත් සිදු වන්නට ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති.

පර්මියන් අවධියේ අග භාගයේදී සිදු වුණු පර්මියන් - ට්‍රයසික් ජීවී වැනසී යෑම පෘථිවිය මත සිදු වූයේයැයි කියන විශාලතම ජීවී වැනසීමයි. එය සිදුව තිබෙන්නේ මෙයට වසර මිලියන 252කට පමණ ඉහතදීය. මුහුදු ජීවී විශේෂවලින් 96%කුත් ගොඩබිම ජීවත් වුණු විශේෂවලින් 70%කුත් එම වැනසී යෑමට හසුව තිබිණ. ඒ අනුව එවකට පෘථිවිය මත විසූ සමස්ත ජීවී විශේෂවලින් 90% - 97% අතර ප්‍රමාණයක් අතුරුදන් වූ බව සනාථව ඇත. එම ජීවි සංහාරයට වුව හේතු වූ කාරණය හෝ කාරණා හෝ දැක්වීම අදටත් අසීරු වී තිබේ. ගිනි කඳු පිපිරීමක් හෝ මුහුදේ ජල මට්ටම වෙනස් වීම නිසා හෝ ජීවීන් නැසීයෑම සිදුවන්නට ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ඇතැම් විද්‍යාඥයෝ පවසති. පෘථිවියෙහි එකල ක්‍රියාත්මක වෙමින් පැවැති කාබන් චක්‍රයේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් තවත් සමහර විද්‍යාඥයන් පවසන්නේ මුහුදු පතුලේ සිට මීතේන් වායුව නිදහස් වීමක් හදිසියේම සිදුවන්නට ඇති බවකි. එයින් ඇතිවුණු බලපෑම ජීවී විශේෂ විනාශ වී යන්නට භේතුවක් වූයේ යැයි එම විද්‍යාඥයෝ තර්ක කරති.

ට්‍රයසික් අවධියේ අග භාගයේදී සිදුවුණු ජීවී නැස්මත්, ජීවී පරිණාමයේ ඉතා වැදගත් අවස්ථාවක් සේ සැලකේ. මෙය හැඳින්වෙන්නේ ට්‍රයසික් - ජුරාසික් ජීවි වඳ වී යෑම වශයෙනි. එය සිදුව තිබෙන්නේ මෙයට වසර මිලියන 201කට පමණ ඉහතදී බව විද්‍යාඥයෝ පවසති. ගොඩබිම සහ සාගරවල ජීවත් වුණු ජීවී විශේෂවලින් 70%ත් 75%ත් අතර ප්‍රමාණයක් මෙයින් වැනසී ගියේය. ඩයිනොසෝරයන් දැකිය හැකි වන්නේ ද ට්‍රයසික් අවධියේ මුල භාගයේදී ය. එසේ වුවත් ඔවුන් එකී ජීවී නැස්මේදී වැනසී යන බවක් පළ නොවේ. මේ වැනසීයෑමට ජීවීන් ලක් වුණේ කවර හේතුවක් නිසාද යන්න ගැනත් නිශ්චිත නිගමනයක් තවමත් නැත. ට්‍රයසික් - ජුරාසික් ජීවී වඳ වී යෑමට හේතු හැටියට ඉදිරිපත් කෙරෙන්නේද පෙර අවස්ථා සඳහා ඉදිරිපත් කරන ලද හේතූන්ම බව සඳහන් කළ යුතුය.

ට්‍රයසික් - ජුරාසික් ජීවි වඳ වී යෑමේදී නොනැසී සිටියද ක්‍රිටේෂියස් අවධියේ අග භාගයේදී ඇතිවුණු සත්ත්ව වැනසීයෑමට ඔරොත්තු දී සිටීමට ඩයිනොසෝරයන්ට නොහැකි විය. එනිසා එකී ක්‍රිටේෂියස් - පැලියොජිනේ ජීවී නැස්මත් සමඟ ඔවුහූ නැසී ගියෝය. ක්‍රිටේෂියස් - පැලියොජිනේ සත්ත්ව සංහාරය සිදු වූයේ මෙයට වසර මිලියන 66කට පමණ ඉහතදී බව අනාවරණය වී ඇත. මිහිමත පැවැති ජීවී විශේෂවලින් 75%කට ආසන්න ප්‍රමාණයක් එවර නැසී ගිය බව විද්‍යාඥයෝ පවසති. අවසන් වරට මිහිමත සිදුවුණු මහා පරිමාණ ජීවී වඳ වී යෑම මෙය වුවද එය සිදුවුණු ආකාරය ගැන පැහැදිලි නිගමනයක් විද්‍යාඥයන් අතර තවමත් ඇති වී නැත.

වසර මිලියන ගණනක් තිස්සේ කලින් කලට පෘථිවිය මත ක්‍රියාත්මක වුණු ජීවී වඳවී යෑම් කවර හේතුවක් නිසා සිදු වීද යන්න තවමත් අනාවරණය කරගත නොහැකිව තිබෙන බව මෙයින් පැහැදිලි වේ. එසේ වුවත් එම ජීවි වඳ වී යෑම්වලින් විනාශයට පත් නොවුණු ජීවී විශේෂද සිටි බවට සාක්ෂි ඇත. ඔවුන් එලෙස රැකුණේ කවර කාරණයක් නිසාද යන්න සම්බන්ධව කරුණු හෙළි කර ගත යුතුව තිබේ. ඒ අනුව බලන විට පෘථිවිය මත සිදුවුණු ජීවී සංහාරයන් සියල්ලම අබිරහස් බව කිව හැකිය. හය වැනි ජීවී වඳ වී යෑම ඊට වඩා වෙනස් වන්නේ කෙසේද, යන්න සම්බන්ධව විද්‍යාඥයෝ දැන් අවධානයෙන් පසුවෙති.

මංජුලා විජයරත්න

අදහස්