මයෙ මැණිකෙ ඔය ඇනුම්පදේ මට නේද? | සිළුමිණ

මයෙ මැණිකෙ ඔය ඇනුම්පදේ මට නේද?

ඉරේ රැස් වැටිලා මිදුලම බැබළෙන වෙලාවට නිර්මලා මැණිකේ දිග ආලින්දයට ඇවිල්ලා දිගු සුසුමක් පිට කළා. රත්නපුර වලව්වෙ සමන්ති දුව තේ වත්තක කංකානමගෙ පුතා එක්ක පැනලා ගිය දා පටන්ම මහා වෛරයක් මොළවාගෙන දඟලපු හාමු මහත්තයා කංකානමලගේ ගමට ගිහින් ආපු දා පටන් එක විදියක් ය.

හරියට ඒ වැරැද්ද කළේ තමන්ය කියන්නා වගේ ඔරවන ගොරවන ඒවා කරන්නේ අහක හිටිය තමුන්ටමය.

මේ වෙච්ච විලම්බෑසිය මොකක්ද කියලා හොයාගන්න රත්නපුරේ වලව්වට ඇමතුම් දුන්නත් හරිහමන් උත්තරයක් නැත. කිසිම දෙයක් සමාදානයෙන් කතාකරන්න බැරි විදියට හාමු මහත්තයා ඔලමොට්ටල වෙලාය.

“මොකක්ද සුදු නංගි ඇත්තට වෙලා තියෙන්නෙ සමන්ති දූලා රට ගිහිල්ලා කියන්නෙ ඇත්තද? පරලවෙලා හිටිය අපෙ හාමු දැන් මොකෝ නිස්සද්ද? එයා සමන්ති දූගෙ මනුස්සයා මරන්න ඕනෑ කියලා... ඒ පාර එයා රට ගිහිල්ලා නිසා කංකානම හරි අල්ලා ගන්නවා කියලා හිටිය මිනිහා. එක පාරටම ගල් ගැහුණා වගේ නිස්සද්ද වුණා.”

“මං දන්නෙ නෑ අක්කෙ අපෙ අයියණ්ඩිගෙ වැඩ. එයාම තමයි අපෙ හාමුමහත්තයත් උසිගන්නවා උසිගන්නවා කලබල කළේ.. එයාම තමා දැන් උපාසකයා වගේ ඉන්නේ.. මට බය අක්කේ කාටහරි මොකක් හරි කොන්තරාත්තුවක් දීලද දන්නෙත් නෑනේ.. අද කාලෙ සල්ලිවලට මිනීමරන එවුවො ඕනෑතරම් නේ.. කොච්චර වුණත් මම ඇහේ මූණෙ තියාගෙන හැදුව මගේ දුව නැතිවෙච්ච පාඩුවයි කම්පාවයි අම්මා වෙච්චි මට ම මිසක් වෙන කාටවත් නෑ අක්කේ.. අපේ අයියණ්ඩිට ලොකු එයැයිගෙ වලව් හයිකාරකොම විතරයි.. අපේ මහත්තයත් දැන් ලෙඩ වෙලා ප්‍රෙෂර් වැඩිවෙලා ඔය බෙහෙත් ගිල ගිල ඉන්නේ...”

රත්නපුරේ සුදු මැණිකෙ නංගිගෙන් අහන්න පුළුවන් වුණේ ඒ අ‍ඳෝනාව විතරකි. ඒත් නිර්මලා මැණිකෙගෙ ගෑනු හිත සලිත වෙලාය. හාමු මහත්තයාට පහුගිය සති දෙක පුරාවට ම මූණ බලලා කතා කරන්න බැරිතරමේ රෝගය උත්සන්න වෙලාය.

උදේ තේ එක දෙන ගමන් මේ ගැන කතා කරන්ට ඕනෑ කියා අන්තිමට හිතාගත්තත් හාමු මහත්තයාගෙ මූණ හරියට බස්තමේ කෙළවරේ සිටින සිංහයාගේ මූණ ව ගේ පෙනී හිත පසුබෑවේ ඉබේටමය.

* * * *

“මල්ලිට තේරුණාද... අපේ අප්පච්චි දැන් හරි වෙනස්නේ” එක ඉරිදාවක ශ්‍රීමාල් මල්ලිට කීවේ පාඩම් වැඩ ඉවරකර විවේකයෙන් සිටින වෙලාවකදීය.

“වෙනස්දත් කියලා අහනවා අයියෙ.. මට ඒක තේරුණේ එදාමයි...”

“එදා කිව්වෙ මල්ලි...?”

“අර අපි වෙලේ කඩේ ඉඳිද්දි අප්පච්චි වාහනෙන් ඇවිත් මිදුලටම කරලා නතර කරපු දවසෙ..”

දැන් ශ්‍රීමාල්ට හීනියට හිනාවක් යයි.

“මට පුදුම හිතුණා එදා අයියාට තිබ්බ ‘ගට්ස්’ ගැන. අපේ අප්පච්චි මෙල්ල වුණේ ඔයාගෙ ඒ ‘ගට’ ට තමා හා..!”

“කොහොම හරි එදා අප්පච්චිත් කඩේ ළඟ බැහැලා වෙලේ මුදලාලිට කතා කළානෙ.. එතෙක් වෙලා අප්පච්චිට දොස් කිය කියා හිටපු ගිංතේරිස්ලා බලන්න එපායැ දෙකට තුනට නැමිල ආයිබෝං පදේ ගහපු හැටි...!”

“මට හිතෙන්නෙ නම් අප්පච්චිටත් නිකමට හරි ටික ටික අර ඔයාගෙ තියෙන සමාජවාදී ජනතාවාදී රෝගෙ බෝ වෙන පාටයි හා..හා..! නැද්ද..”

“ආනේ කොයිතරම් දෙයක්ද එහෙම රෝගයක් බෝ ‍වෙන එක.. ඔය සමාජගත පිළිල තුරන් කරන්න පුළුවන් ඒ වගේ රෝගෙක වෛරස්වලින් තමා..! හහ්හා...”

එකවරම නිර්මලා මැණිකේ කාමරයේ දොර රෙද්ද ළඟට ඇවිත් ඔළුව දාන්නේ ඒ අතරේය.

“මොකක්ද මොකක්ද ළමයි.. ඒ රෝගෙ.. මටත් දැනගන්න ඕනෑ ඒ රෝගෙ මොකක්ද කියලා තමා...”

දැන් පුතුන් දෙන්නාම උඩ බිම බලමින්ය.

“මේ.. මොකක් ගැනද අම්මා ඔය කියන්නෙ..?”

“අප්පච්චිට වැලඳිච්ච රෝගෙ ගැන තමා මටත් දැනගන්න ඕනෑ...”

දැන් පුත්තුන්ට කට උත්තර නැත.

නිර්මලා මැණිකේ කාමරය සිසාරා බලා ඔසරිපොට ඉණවටා ඔතාගෙන හෙමිහිට කියන්නේ ඒ තරම් හොඳ හිතකින් නොවේ.

“මටත් දැනගන්න ඕනෑ අප්පච්චි මෝල්ගස් ගිලලා වගේ ඉන්නේ ඇයි කියලා..!”

“ඉතිං අම්මා අහන්නකො අප්පච්චිගෙන්..” ඉස්සර නම් ජයමාල් එහෙම අහන බව ශ්‍රීමාල් දනියි. නමුත් ජයමාල් දැන් දෙන්නේ ඊට වඩා වැදගත් අදහසකි.

“මොකක්හරි වත්ත පිටියෙ ෆැක්ටරියක අවුලක්ද දන්නෙ නෑ නේද අම්මා... දැන් මිනිස්සුත් ඉන්නෙ ඕනෑම දේකට ස්ට්‍රයික් කරන්න බලාගෙනනෙ..හොරාටම යූනියන් හදාගෙන..!”

“නෑ.. නෑ.. එහෙම එකක් නම් කෙළින්ම මාත් එක්ක කතා කරනවා. ඒ වගේ ප්‍රශ්න නම් අහගෙන ඉඳලා ඇති මම ඕනෑතරම් ඉහේ කෙස් ගාණට... ඒත් මේක.. මේක වෙන මොකක් හරි හුටපටයක්..!”

අම්මා එහෙම කියාගෙන යද්දී සහෝදරයන් දෙන්නා මූණෙන් මූණ බලද්දි ලාච්චුවේ හැංගී සිටිය කෙනෙක් සලිත වෙනවා ඇසෙයි.

“බලන්න සමන්ති අක්කද කියලා...” ජයමාල් කියන්නේ හොර කටහඬකිනි.

“ආ... හලෝ.. දිලුම්... මොකෝ මේ හදිසියෙ..”

“හදිසියක් නෑ..! . ඒත් අපට පාටියක් ඕනෑ.” දැන් ජයමාල් හොරැහින් අයියා දිහා බලාගෙනය. අයියාගේ මූණේ ඉරියව් වෙනස්වෙන හැටි දැක දැක කාමරයෙන් එළියට යන්නේ ඔළොක්කුවට හිනාවෙන ගමන්ය.

“මොකක්ද බං පාටියක් ඉල්ලන්නේ.. මං මේ බඩේ ගින්දරෙන් ඉන්නේ රිසල්ට්ස් මොනවා වෙයිද කියලා.. ඊළඟට ඒක පාස් වුණත් ප්‍රශ්නෙ නේ.. මාව හදිසියෙ කැම්පස් යවන්න අප්පච්චිලා අකැමැති වුණොත්...”

“අනේ.. මේ ශ්‍රීමාල් උඹ මූද හත්ගව්වක් තියෙද්දි අමුඩ ගහන්නෙ නැතිව ඉන්නවද බං... මං මේ කතා කළේ කෙහෙම්මල් රිසල්ට්ස් ගැන නෙමේ.. හහ්.. උඹේ.. අර ලියුම.. අර ලියුම... මාර විදියට වැඩ කරලා නේ... ගත්තා..”

එහා පැත්තෙන් තවත් දෙන්නෙකුගේ විතර කොක් හැඩවිල්ලක් ඇසෙයි. ශ්‍රීමාල්ට හොඳටම කේන්ති ය.

“උඹලට වැරදිලා.. මම කාටවත් මඟුල... ලියුමක් දුන්නේ නෑ..! ඔය විහිළුව නතර කරගනිල්ලා මට කේන්ති එනවා..”

“හා.. ඇත්තද උඹට කේන්ති.. නේද? යකෝ උඹ ලියුමක් දීලා තියෙන්නෙ.. අතින් නෙමේ...”

“අතින් නැත්නම් කකුලෙන්ද..?”

“නෑ.. බං.. ඇස්වලින්..! හහ්හා...”

ආයෙත් එහා පැත්තෙන් කොක්හඬලෑමකි.

“මඟුලක් කතා කරනවද මන්දා.. මං තියනවා..!”

“හෝව්.. හෝව්.. හෝව්... ආධුනික ප්‍රේමවන්තයෝ ඔහොම කෝප අරන් බෑ.. උඹ.. උඹ.. ඇස්වලින් ලියුමක් එව්වා කියලා... කියලා තියෙන්නේ ... ආ.. වැරදුණා ලියලා තියෙන්නේ... කවුද දන්නවද... අර.. මේකලා.. අර උඹ දවසක් කිව්වෙ හරි ලස්සනයි කියලා.. අර සුදු... කෙට්ටු.. මූණ රවුම්... බොකුටු බොකුටු දිග කොණ්ඩෙ තියෙන මේකලා... මේකලා..!”

දැන් ශ්‍රීමාල්ට හීන්දාඩිය දමලාය. ඔහු කාමරයේ එහාට මෙහාට යන්නේ මල්ලි එනවාදැයි බලමින්ය.

“මචං.. ඒකි පොතක කවියක් කුරුටු ගාලා.. කවුදෝ ඇස්වලින් එවාපු ලියුමක් ගැන... ඒකෙ කොනක උඹේ නම යාන්තමට කුරුටු ගාලා... ඒක අහුවෙලා තියෙන්නෙ අපේ කෝසලයගෙ කෙල්ලට - ශ්‍රීමතීට.. හා. හා...!”

“කෝසලයගෙ කෙල්ල? ශ්‍රීමතී ඉතිං ඒක ප්‍රචාරය කරලද...” ශ්‍රීමාල් අසන්නේ නහයේ සිට කන් දෙකට යනක්ම ලේ දහරාවක් ගලා මූණම රතුවෙන ගමන්ය.

“මොකෝ ‍ළමයා මේ මූණත් රතුකරගෙන කාමරේ පුරාම පියාඹන්නෙ” අම්මාගේ කටහඬත් ඇහිලා දොර රෙද්ද අතරින් මතුවුණ මූණත් දැකලා ශ්‍රීමාල්ගේ ඉහින් කණින් ඩාදිය ගලයි. වටපිට බලද්දී ජයමාල් මොකක්දෝ කියාගෙන ආ නිසා අම්මා ඒ පැත්ත හැරුණි.

“ආ.. මල්ලි.. නාරද කෝල් කළේ මැච් එක ගැන ප්‍රචාරයක් දෙන්න ඕනෑ කියලා..”

“ඉතිං ඕකට මොකෝ ඔයා ඔච්චර බයවෙලා..”

“බය නැද්ද මල්ලි... ප්‍රැ.. ප්‍රැක්ටිස් කරලත් නෑනෙ..!”

“හා හා.. යං... යං තේ බොන්න.. අන්න අප්පච්චිත් අහරෙ වාඩිවෙලා බලා ඉන්නවා ලොකු පුතා එනකම්...”

පිටුපා යන අම්මා දිහා බලා ජයමාල් අයියාට ඉඟි කරයි. ශ්‍රීමාල් ඇහැක් ගහයි.

“ප්‍රැක්ටිස් නැතිකම තමා ප්‍රශ්නෙ.. නේද.. අයියා.. තේරුණා තේරුණා..”

ඊළඟට ජයමාල් පුංචි නැටුම් අභිනයකුත් පාන්නේ අයියාට විතරක් පේන්නටය. “තේරුණේ.. දැන්.. තමා..//”

ශ්‍රීමාල්ගේ මූණේ වැටිලා ඇති එළිය කාටවත් තේරෙන්නේ නැත. ඒත් ජන්තුගේ ඇස්වලට ඒ එළිය තේරේ...

“ආ.. අපේ ලොකු බේබි හාමු.. විභාගෙ ඉවරවුණා විතරයි වෙනදට වඩා පාට වැටිලා.. මේ බලන්නකො මූණ.. ඉටිපන්දම් පත්තුකරලා වගේ..”

විල්ප්‍රඩ් හාමුත් ඇස් ‍ලොකු කරලා තම ලොකු පුතා දිහා බලද්දී නිර්මලා මැණිකෙට හිනාය.

“මොකක්ද ජන්තු.. නිතර දෙවේලෙ දකින ලොකු බේබි හාමුගෙ ම‍ූණෙ අලුත් එළියක් දැක්කෙ.. ආ.. කෝ ගන්න මෙහාට මැණිකෙ මගෙ තේ ටික එහෙමනං..”

“ඔහොම තමා අපෙ මහත්තයා සමහර මූණුවල එළිය වැටෙනවා. සමහර මූණුවල කළුවර පදාසවල් වැටෙනවා.. සමහරු හිටිගමන් වෙස් මාරු කරනවා... වෙනස් නොවී ඉන්න කෙනාට තමා ඒක තේරෙන්නෙ...”

මැණිකෙ හාමුගෙ ඒ වචන පෙළට විල්ප්‍රඩ් හාමු කොක් හඬලා සිනාසෙන හැටි ජන්තු බලා සිටියේ උද්දාමයෙනි. කී කාලෙකට පස්සෙද ලොකු හාමුගෙ මේ හිනාව ඇහුවෙ..

“අනේ අනේ මයෙ මැණිකෙ.. ඇඟටපතට නොදැනීම මට නේද ඇනුම් පදයක් එල්ල කළේ ආ.. මගේ මොන වෙනසක්ද මැණිකෙ.. පහුගිය දොහේ අර සමන්ති කෙල්ලගෙ වැඩේ මාව උන්මත්තකයා කරලයි තිබුණෙ.”

“ඉතින් දැන් ඒ ප්‍රශ්නෙට මොකද වෙන්නෙ ඇත්තට අපෙ මහත්තයා..”

“එක අතකට මක් කොරන්නයැ.. දැන් උන් නීතියෙන් බැඳලනේ ඇත්තේ.. උන්ට හොඳනං අපෙ මොකෝ කියලා හිත හදාගන්න එක තමා කොරන්න ‍තියෙන්නෙ.. ඒත් ඒ දේවල් හෙම අනිත් උදවිය ආදුරුසෙට ගන්නවා හෙම නෙවි.. මගේ එකෙක් ‍ඔහොම කොළා නම් මං දනී කොරන හරිය..!”

ජයමාල් හෙමිහිට අයියාගේ කකුල පාගයි. ශ්‍රීමාල් කිසිත් නොදන්නා සේ රස කර කර හැලපයක් අනුභව කරයි.

මේකලාගේ ලස්සන මූණ හැඟීම්බර ඇස් දෙක හිත පුරාම... හොල්මන් කරයි. දිලුම් ගෙනා ආරංචිය මේ තරමට තමුන්ගේ හදවත පැහැරගනීවි කියලා හිතුවාද?

මේ විස්තරය මල්ලිටත් කිව යුතුය.

“ඇස් දෙකෙන් එවූ ලියුම’.. හා ... මේකලාටත් හිතෙන දේවල්.. හිටි හැටියේ ම තමුන්ගේ ම ඇස් දෙක දිහා බලන්නට ශ්‍රීමාල්ට වුවමනාවක් ඇති වෙයි. ඒ එක්කම මොකක්දෝ කවි සංකල්පනාවක් හිත ඇතුළේ උනාගෙන උනාගෙන එනවා වගේ දැනෙයි. අම්මාත් අප්පච්චිත් ජන්තු සමඟ මොකක්ද කතාවක පැටලෙන අතරේ ශ්‍රීමාල් හෙමිහිට කාමරයට රිංගාගත්තේ ඒ හැඟීමෙනි. සටහන් පොත එළියට ගත් ශ්‍රීමාල් එහි ලියාගෙන ලියාගෙන ගියේ හිත ඇතුලේ කටපාඩම් වැකියකි.

“රෑ මැදියම වන තුරු මම වීදි ඔස්සේ ඇවිදිමි.. එහෙත් මා ඇවිදින්නේ මේ සමාජයේ පිටපවුර ව‍ෙට් යැයි මට සිතේ. මා තල්ලු කර විවෘත කළේ බාහිර දොරක් මිස ජීවිතයේ දොර නොවන බව බොහෝ වෙලාවට මට පසක් වෙයි.”

එසේ ලියද්දිම ජයමාල් කාමරයට එන්නේ හදිසියෙන් වගේය. ඔහු බලෙන්ම ඇදගෙන අයියාගේ වැකිය කියවයි.

“හා... හා.. මේකයි හොරේ.. ආ... දොරක් ඇරගත්තා, ඒත් ඒක විශ්වාස නෑ... ආ... මොකද අයියෙ ඒ.. හහ් මිස්ටර් ශ්‍රීමාල් උදාන්ත රත්නසේකර... බාහිර දොර.. අප්පා... මොකක්ද අයියෙ.. ඒ....”

ශ්‍රීමාල්ට හිනාය. මල්ලිගේ නොදැනුවත්කමටය.

“මේ මල්ලි මේ මම ලිව්වේ මගේ අදහසක් නෙමෙයි. මේක ‘දෙවොන්දරා සං’ කියාපු දෙයක්.. ඉතිං.. මගේ ගැනත් ඔයාට යමක් කියන්න තියෙනවා.. මං ඒක කියන්නම්කො.”

“මං දැනගත්තා අයියාට ආපු කෝල් එක.. අමුතු එකක් කියලා. ඒක ආවා විතරයි.. ඔයා සම්පූර්ණයෙන් වෙනස් වුණා..”

“මොනවා.. ඒ කියන්නෙ මගේ රුධිර සංසරණ පද්ධතියයි හෝමෝන් පද්ධතියයි... වෙනස් වුණා... හා..හා”

ශ්‍රීමාල් කියන්නේ අපහසුව මැඬගනිමින්ය.

“ඔයාත් හරි පුදුම කෙනෙක් අයියෙ.. හදාරන්නෙ භාෂාව - සාහිත්‍යය.. කතා කරන්නෙ විද්‍යාවෙන්.. ලියන්නෙ කවි.. හහ්හා”

“එහෙම තමා මල්ලි... ඔයත් නිකම් ඉන්නා වෙලාවට ඔය විෂය මාලාවෙන් බැහැර වෙලා බාහිර පොතපත කියවන්න ඕනෑ.. එහෙම තමා දැනුම ලබාගන්න පුළුවන් වෙන්නෙ. බුද්ධිමතෙක් වෙන්නෙ. එතකොට.. විභාග පාස් කරලා උගතෙක් වුණාට මදි..”

“හා.. හා.. දැන් කියන්නකො එහෙනම්.. ‘බුද්ධිමතාට’ මොකක්ද කියන්න තියෙන්නෙ කියලා..!”

ජයමාල් හරිබරි ගැහී පොත් මේසෙට වාඩිවෙයි. ශ්‍රීමාල්ද පොත් මේසෙට වාඩිවී පුටුව මල්ලි දිහාට ළංකර ගනියි.

ඊළඟට ඔහු තමුන් සහභාගි වුණු පුනරීක්ෂණ පන්තියේ හිටපු මේඛලා ගැන කියයි. ඇගේ යෙහෙළියන් කීපවතාවක් ම තම මිතුරු සිරිනාථ අතේ එවා තිබූ පණිවුඩ ගැන කියයි.

ජයමාල් ඒවා අසා සිටින්නේ මේසය මත ඇති පැන්සලයක් කරකවමිනි... හීන් මනමාල හිනාවක් නගාගෙනය.

“හුරේ.. එතකොට.. එයත් එහෙනම් කවි ලියන කෙනෙක් ආ..!”

අයියාගේ ලජ්ජාවට රතු වුණු මූණ දිහා බලාගෙන නැඟී සිටින්නේ සද්දෙට සිනාසෙමින්ය.

“මේ.. හැබැයි.. මේවා පුද්ගලිකයි රහසිගතයි.. හරිද මල්ලී... ඒ වගේම මේවා ආදර්ශෙට එහෙම ගන්නවා නෙවෙයි.. තවම තමුන් ඕලෙවල්වත් පාස් නෑ.. හරිද..?”

අයියා මල්ලිගේ කන මිරිකමින් කියයි.

“හා.. හා... එහෙමයි අයියෙ.. ආදර්ශමත් අයියානේ.. ආ.. ඇත්තට.. ඒ කෙල්ල කොහේ කෙනෙක්ද දන්නෙ නෑ නේද?”

“බලමු.. බලමු.. තාම ඉතිං මා යාළු වුණේ නෑනේ...!” සහෝදරයන් දෙන්නා ආයෙත් උස් හඬින් සිනාසේ.

ඒ අතරේ විල්ප්‍රඩ් හාමු හෙමිහිට තමුන්ගේ කාමරයට ඇදෙන්නේ බස්තම කරකවමින්ය.

කාමරයේ විශාල වේවැල් පුටුවේ දිගාවී නැවත වරක් තමුන්ගේ අතීතාවර්ජනයේ යෙදෙන්නේ තැති ගැන්වූ මනසින්ය. මේ වලව්වේ නිදහසේ කල්පනා කරන්නටවත් වේලාවක් නැත. ඒ බව දැනෙන්න ගත්තේ... ඉතාම මෑතක ඉඳන්ය.

රත්නපුරේ සුදු මැණිකෙ නංගිලාගේ කංකානම ආයෙත් ඔහුට මතක් වෙයි. ජයතිස්ස.. මිටි මහත කළු ඇඟක් ඇති ජයතිස්ස.. ඔහු කසාද බැඳලා හිටපු චන්ද්‍රලතා දැකපුදා හිතේ කෙටූ විදුලිය.. ඒක නම් හරි පුදුමය.. ඕනෑ තරම් ගෑනු දැකලා ඇත.. ඕනෑ තරම් ආස්සරේ කරලාත් ඇත. ඒ තරුණ කාලයේ හැටිය. නමුත්... නිර්මලා මැණිකේ කැන්දාගෙන ආවාට පස්සේ... තමාගේ හිතේ ඒ සලිතය ඒ තරම් පැවතුණේ නැත.

මේ සියල්ල සිද්ධ වුනේ ඇත්තටම අවුරුදු කීයකට කලින්ද? ඇත්තටම දින වකවානු හරියට මතකයක් නැත. පබාවතී වගේ හැඩකාර චන්ද්‍රලතාට දෛවය යෝජනා කරලා තිබුණේ කාලගෝලයා වගේ.. ජයතිස්සය..!

අපූරු සරදම් හිනාවක් දෙතොලේ මතු වෙද්දී විල්ප්‍රඩ් හාමුට පරණ නාට්‍ය කෑල්ලක් මතක් වෙලාය. බස්තම ලෙළවමින් ඔහු කාලගෝලයාගේ ගීත කණ්ඩයක් මුමුනයි... “ගෙනයාමි.. රස කැවුම්..//”

“මොකෝ අපෙ මහත්තයා.. නාඩගමක් නටනවද.. අන්න රත්නපුරේ අයියා කතා කරනවා.. එහේ මොකක් හරි ජරමරයක්..!”

නිර්මලා මැණිකේ කෑ ගසාගෙන කාමරයට ආවේ විදුලිය වගේය!

ලබන සතියට

අදහස්