බත් ගසෙන් දිවි රකින මිනිස්සු | සිළුමිණ

බත් ගසෙන් දිවි රකින මිනිස්සු

හිමිදිරි උදෑසනවිත් විටෙක අළු දුලි විසිරෙන තවත් වරෙක වැසි දියෙන් තෙමීයන දෙනෝදාහක් දෙනා යන එන විසල් මාවත පසෙකට වී හිරු අවරට යනතෙක්ම ඔවුහු වෙළෙඳාමේ යෙදෙති. ඒ වෙළෙඳාමත් එක්තරා අන්දමක කලාවකි. කොහොල්ලෑ දෑතේ තවරා නොගෙන මනාව මදුළු බේරීම කළයුත්තේ සකසුරුවමටය. බොහෝ දෙනා කොස් රස විඳීමට ප්‍රිය කළ ද කොහොල්ලෑ බේරමින් කොස් ගෙඩියක් සමඟ ඔට්ටුවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එවැනි බොහෝ දෙනෙකුට මේ වෙළෙදාම උපකාරයකි. මනාව පැසුණු කොස් මදුළු එකලස් කොට මහමඟ පසෙකට වී අලෙවි කොට දිවි සරිකරන පිරිසක් ද බිහිව ඇත්තේ එහෙයිනි.

මේ කොස් අවාරයයි. තව මසකින් හමාරකින් වසන්ත කාලය ලබත්ම උදාවනුයේ අතු බරට කොස් මනාව ඵලදරන කාලයයි. සිංහලයාගේ ප්‍රධාන ආහාරය වන බත් තරමටම කොස් ද ජනප්‍රිය හෙයින් බත් ගස ලෙස ද ව්‍යවහාර කෙරෙති. අද වන විට ගම්බදව මෙන්ම නගරයේ බොහෝදෙනෙකු ද කොස් රසට වහ වැටී ඇති බව වෙළෙඳාමේ යෙදෙන්නෝ පවසති.

ටී.එම්.සී. විජේබණ්ඩාර කොස් වෙළෙඳාම සඳහා අනුරාධපුර නගරාසන්නයට පැමිණෙන්නේ තඹුත්තේගම සිටය. ඔහු මනාව පැසුණු කොස් කපා, මදුළු බේරා අලෙවි කරයි.

“මං තඹුත්තේගම මාකට් එකෙන් තමයි කොස් ගන්නේ. ගෙඩියේ ප්‍රමාණයේ හැටියට තමයි ගාණ තීරණය වෙන්නේ. රුපියල් සීයට, එකසිය පනහට, දෙසීයට වගේ ගණන්වලට ගෙඩි ගන්න පුළුවන්. කොස් මදුළු කිලෝ එකක් අපි විකුණන්නේ රුපියල් සීයකට. වාහන නවත්තලා අපෙන් කොස් අරගෙන යනවා. දොස්තර මහත්තුරු, නෝනලා එහෙම තමයි ගොඩක්ම කොස් අරගන්නේ. සමහරු අතේ කොහොල්ල ගාගන්ඩ කැමති නෑ. ඒ හින්දා කොච්චර කොස් කන්ඩ කැමති වුණත් පිටින් අරගෙන සුද්ද කරන්ඩ කැමති නෑ. එහෙම අය අපෙන් කොස් මදුළු අරගන්නවා. මේ කොස් අවාරේ. ඒත් ලංකාවේ කොහේ හරි මේ කාලෙටත් කොස් හැදෙනවා. ඒ හින්දා දෙයියන්ගේ පිහිටෙන් කොස් හිඟයක් එන්නේ නෑ. මහවැලි කලාපේ වතුරෙන් හිඟයක් නැති හින්දා අවුරුද්ද පුරාම ඒ ඉඩම්වල කොස් ඵල දරනවා.”

කොස් ඵලදාව විවිධ ආකාරයෙන් සකස් කරමින් ආහාරයට එක්කර ගැනීම සිදුවනුයේ දුරාතීතයේ සිටමය. හොඳින් පැසුණු කොස් තම්බා පොල් සමඟ හෝ පොල් සම්බෝලයක් සමඟ ආහාරයට ගැනීම සිදුවනුයේ පෙර දවස සිටමය. කොස් මැල්ලුමක් ලෙස මෙන්ම කොස් මදුළු ව්‍යාංජනයක් ලෙසද සකසා ගත හැකිවේ. මෙසේ සකසන කිරි කොස් ව්‍යාංජනය කා අතරත් ජනප්‍රිය කෑමකි. කොස් තම්බා, වියළා තෙලේ බැද අමුත්තන්ට තේ පැන් සංග්‍රහයකදී වුවද පිළිගැන්වීමට සුදුසුය. පො‍ළොස් ව්‍යාංජනය ආහාරයට එක්කර ගැනීමෙන් ලේ ධාතුව පිරිසුදු වන බව දේශීය වෛද්‍යවරු පවසති. සාම්ප්‍රදායික ගම්මැද්දේ ගැමියන් කොස් හෙවත් බත් ගසෙන් ගත් ඵලප්‍රයෝජන මනාව දත් ගල්නෑවේ ඩී.එම්. කරුණාවතී මහත්මිය ගේ මතකය මෙබන්දකි.

“වැලි කොස් ඇට දාන එක, කොස් මදුළු වියළා දුමේ දාන එක වගේ දේවල් ඒ කාලේ හැම ගං ගෙදරකම වගේ සිද්ධ වුණා. වැලි කොස් ඇට මුල්ලක් හැම ගෙදරකම වගේ තිබුණා. ගෙයි මුල්ලකට වෙන්ඩ වැලි අතරේ කොස් ඇට රඳවලා උඩින් මැටි ගානවා. එතකොට හුළං වදින්නේ නෑ. කොස් අවාරේ එනකොට හොඳට හයිවෙලා තියෙන මැටි තට්ටුව අයින් කරලා කොස් ඇට ප්‍රයෝජනේට ගන්නවා. මාස පහ හයක් වුණත් මේ විදිහට කොස් ඇට කල් තියාගන්න පුළුවන්. ආයෙත් කොස් වාරේ එනකොට මේ විදිහට වැලි කොස් ඇට මුල්ලක් දානවා. කොස් මදුළු කල් තියාගන්න ක්‍රමෙත් මේ විදිහම තමා. කොස් මදුළු උණු වතුරෙන් තම්බලා, අව්වේ වේලලා, පොට්ටනි බැඳලා දුමේ දාල තියෙනවා. ඕන වෙනකොට වතුරේ පෙඟෙන්ඩ දාලා කිරි කොස් මාළුවට, තම්බන්ඩ එහෙම ගන්නවා. කිරි දෙන අම්මලාට කිරි එරෙන්ඩ කොස් ඖෂධයක් වගේ. අවාරේකදී වුණත් ඒ කාලේ ගෙවල්වල කොස් වේලලා තියාගත්තේ එහෙම වෙලාවට ප්‍රයෝජනේට ගන්නයි.”

නිවෙසට අවැසි ආහාර බෝග ගෙවත්තේදීත් ගමට අවැසි ආහාර බෝග ගමේදීත් සමස්තයක් ලෙස රටට අවැසි ආහාර බෝග රටේත් නිපදවීමේ දේශීය ආහාර බෝග නිෂ්පාදන වැඩපිළිවෙළක් දැන් රජය මගින් හඳුන්වා දී ඇත. එහෙත් මේ සා රසයෙන් හා ගුණයෙන් අනුන කොස් ඵලදාව කෙරෙහි තවමත් ඇත්තේ අඩු අවධානයක් බව මේ අපුර්ව වෙළෙදාමේ නියුතුවූවෝ පවසති. තඹුත්තේගම කේ.ජී. ශ්‍රියානි ද කොස් මදුළු අලෙවියෙන් දිවි ගැටගසා ගන්නීය.

“මේ වෙළෙදාමෙන් ලොකු ලාභයක් නැතත් දෙයියනේ කියලා ජීවත් වෙන්ඩ ආදායමක් ලැබෙනවා. කිලෝ එකකට හොඳ මදුළු විස්සක් විසිපහක් විතර අල්ලනවා. කොස්කපලා, සුද්ද කරලා, කොහොල්ල අයින් කරන්ඩ සෑහෙන වෙලාවක් යනවා. බොහෝ දෙනාට එහෙම වෙලාවක් අරගෙන කොස් වෑංජනයක් හදන්ඩ වෙලාවක් නෑ.”

කොස් වගාව මෙරට ඈත ගම්මැදිවල මෙන්ම නාගරික ගෙවතුවල ද ව්‍යාප්ත කිරීමට මූලික වූ කොස් මාමා ලෙස විරුදාවලි ලත් ආතර් වී දියෙස් මහතා කොස් ආදි ගහ කොළ සිටුවීමේ වැදගත්කම පහදමින් ගමින් ගමට ගියේය. නිදහසින් පසුව ගතවු මුල් දශකයක පමණ කාලයේ පටන් මියයන තෙක්ම මෙරටේ කොස් වගාව ව්‍යාප්ත කිරීම උදෙසා එතුමා කටයුතු කළේ කිසිදු තාන්න මාන්න අපේක්ෂාවකින් තොරවය.

 ඩබිලිව්. ප්‍රදීප්
සටහන සහ සේයාරූ
තඹුත්තේගම විශේෂ

අදහස්