කොළඹ නිද­හස බලන්න කන්දක් නැඟි මිනිස්සු | සිළුමිණ

කොළඹ නිද­හස බලන්න කන්දක් නැඟි මිනිස්සු

 වසර 70ක් තිස්සේ අදටත් නිදහස් දා නිදහසේ ගත කරන්න අලගල්ල කන්දට

 

වසර 40කට පෙර කන්ද නැග්ගෙ පන්දම් පත්තු කරගෙන

දෙස් විදෙස් ජන නායකයන්ගේ හා ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් ජාතික නිදහස් සැමරුම් උත්සවය කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙද්දි ඊට සමගාමීව බොහෝ ප්‍රදේශවල නිදහස් උත්සවය සැමරිණි. අපේ රටට නිදහස ලැබ මේ වන විට වසර හැත්තෑවක් සම්පූර්ණ වී ඇත්තේය. නිදහස විවිධ අයුරින් අර්ථ ගැන්විය හැකිය. නිදහස සැමරීමට ජාති ආගම් කුල භේද බලපාන්නේ නැත. නිදහස ලබා ගැන්මට එකල දියත් වූ නිදහස් සටනේ සිංහල දෙමළ මුස්ලිම් මරක්කල බර්ගර් ආදි වූ සියලු ජනකොටස්වල ජනනායකයෝ එකට එක්වී සිටියහ. කොහොම වුවත් වසර හැත්තෑවක් පුරා නිදහස් දිනයේදී නිදහස සමරන්න නොව නිදහස නිදහසේ භුක්ති විඳින්න අපූරු ගමනක් යන ගම්මාන කිහිපයක වැසියන් පිළිබඳ අපට දැන ගන්නට ලැබිණි.

ඔවුන් ඒ ගමන යන්නේ කඩුගන්නාව පොත්තපිටියේ සිටය. ඔවුන්ගේ ගම් ප්‍රදේශයේ අලගල්ල කන්ද මුහුදු මට්ටමේ සිට අඩි හාර දහසකට ආසන්නය. මේ වැසියෝ පෙබරවාරි 4 දා හිමිදිරියේ ම කෑම වතුර ආදිය රැගෙන අලගල්ල කන්ද නගින්නේ නිදහස් දිනය නිදහසේ ගත කරන්නටය. මෙසේ එකපෙළට යන තරුණ මහලු වැඩිහිටි කණ්ඩායමට පසුගිය නිදහස්දා අපි ද එකතු වූයෙමු.

සෑම වසරක ම නිදහස් දා නිදහස බැලීමට අලගල්ල කන්ද නගින්න පුරුදු වූවෝ අතර කඩුගන්නාව හතරලියද්ද, මැණික්දිවෙල, අස්වැද්දුම හා තුම්පනේ ආදි වූ ගම්මානවල වැසියෝ වෙති.

අලගල්ල කන්ද නැගීමට මාර්ග කිහිපයකි. ඒ අතරින් එක් මාර්ගයක් වන්නේ හතරලියැද්දේ සිට ගල්තුන නම් ස්ථානයෙන් කන්ද නැගීමය. අප අලගල්ල කන්දට ගියේ කඩුගන්නාවේ සිට පොත්තපිටියටත් එතැනින් අලගල්ලවත්ත, පාරවල් පහ ඔස්සේ ගොස්ය.

උඩරට දුම්රියේ යන විට පොල්ගහවෙල පසු වූ විට වම්පසින් අලගෙඩියක් හෝ මොල්ලියක හැඩයෙන් කඳු මුදුනක් දිස්වේ. මේ කඳු මුදුන වඩාත් සමීපව දැකීමට හැකි වන්නේ රඹුක්කන දුම්රියපොළ ආසන්න වෙද්දීය. මුහුදුමට්ටමින් අඩි 3586 ක් උස අලගල්ල කන්දේ කොටසක් මධ්‍යම පළාතට ද තවත් කොටසක් සබරගමු පළාතට ද අයත් වේ. මේ පළාත් දෙකට මැදිව පිහිටි අලගල්ල කන්ද රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අයත්වේ. මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ උදේ හවහා ගමන් ගන්නා මගීන් වුව නොදන්නා කාරණයක් අත. එනම් උඩරට කෝච්චිය අලගල්ල කන්ද මැද්දෙන් ගමන් ගන්නා බවය. උඩරට දුම්රිය මාර්ගයේ අංක 5 බිම්ගෙය එනම් හේනේපොළ බිංගෙයට පසුව ඇත්තේ කදුරාදෙනිය දුම්රියපොළය. එතැනසිට බිංගෙයත් සමඟ කැපුමක් හරහා කන්ද මැදින් දුම්රිය පාර නිර්මාණය කර ඇත්තේය. මෙම දුම්රිය පොළ අලගල්ල ලෙසින් නම් කර තිබුණද 1976 දි අලගල්ල නම අයින් කර ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානය ලෙස නම් කර ඇත්තේය. ඉහළකෝට්ටේ සිට අලගල්ල කන්ද නගින්නෙකුට සාමාන්‍යයෙන් නල්ලතන්නියේ සිට සිරිපාදය දක්වා නගින්නට ඇති උස ප්‍රමාණයක් නැගිය යුතුය.

නිදහස් දිනයට පමණක් අලගල්ල කන්දට යන පාරේ ජංගම කඩ පිල් අටවන්නෝ බොහෝය. ඒ කඩවල ටොපි චොක්ලට් වතුර බෝතල් රොටී වඩේ තැඹිලි කුරුම්බා හා තැම්බූ බඩ ඉරිඟු යහමින් අලෙවි වේ. අලගල්ල වත්තේ පාරවල් පහ ආරම්භයේ ම කුඩා දරුවන් කීප දෙනකුගේ සීනිබෝල හෝටලයකි. එය ද සෑම වසරකම මෙදාට පමණක් විවෘත වන හෝටලයකි.

ගමන දුෂ්කරය. මඟ ලෙස්සන සුළුය. ඉලුක්, මානා පඳුරු අතරින් කන්ද නැගීම අපහසුය. වාසනාව නම් සති කිහිපයකින් වැසි පොදක්වත් නොවැටීමය. වැසි වැස්සේ නම් ගමන වඩාත් අසීරු වන්නේ කූඩැල්ලන් ගහන වන හෙයිනි. ඒ පටු ම‍ඟෙහි ගලින් ගල නැගීමට ද ගස්මුල් අතරින් ඉහළට නැගීමද තවත් කෙනෙකුගේ පිහිටක් නැතිව අසීරුය. අපේ නඩේ ගුරා වූ හිටපු කාලගුණ අධ්‍යක්ෂ මෙන් ම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය කේ.ආර්. අබේසිංහ මහතා කන්දේ මද දුරක් ගොස් රූස්ස නුග ගසක් ළඟ නතර වී කොළ අත්තක් කඩා එල්ලීය.

“කැලෑ බණ්ඩාර දෙවියන් සිහිපත් කරලා ඒක එල්ලුවේ. එහෙම කරන්නේ කැලෑවේ අතරමං නොවන්න. කොයිකටත් හිතට හොඳයිනේ.” අබේසිංහ මහතා පවසයි.

වේලාව උදෑසන හතහමාරට පමණ ඇත. පහළ බැලූ විට හෝ ඉහළ බැලූ විට කිසිවෙක් නොපෙනේ. නමුදු කඳු මුදුනට යන්නෝ මෙන් ම කන්ද නගින්නට පටන් ගන්නා අය ද සිටින බව ඇඟැවෙන්නේ ඔවුන්ගේ ‘හු’ හඬිනි. ඇතැමෙකුගේ ඩොල්කි සද්දය ද ගී ගයන හඬ ද කෑකෝ ගැසීම් ද විටින් විට ඇසෙන්නේය.

“නිදහස් දවසට මේ මිනිස්සු අලගල්ල කන්ද නගින්න තෝරා ගත්තේ ඇයි”මා විමසූ පැනයට පිළිතුරු දුන්නේ ප්‍රදේශයේ ඉඩම්හිමි වැවිලිකරුවකු වන එස්.කේ.පී රාජපක්ෂ මහතා ය.

“මම මේ කතාව දැන ගත්තේ මගේ තාත්තගෙන්. ඒ වගේ ම මේ අවට ගම්වල ඉන්න වැඩිහිටියොත් මේ කතාව ම කියනවා. සාමාන්‍යයෙන් මිනිස්සු කියන දෙයක් තමයි තුම්පනේ පැත්තේ මිනිස්සු මෝඩයි කියලා. කොහොම වුණත් ඒ කාලේ මිනිස්සුන්ට අදහසක් තිබිලා තියෙනවා අලගල්ල කන්ද මුදුනට ගියාම කොළඹ පේනවා කියලා. කොහොම වුණත් 1948 පෙබරවාරි හතර වෙනිදා ලංකාවට නිදහස ලැබෙනවා කියන ආරංචිය රට පුරාම පැතිරිලා. නිදහස මොනවගේ ද කියලා දැක ගන්න කැමැත්තෙන් හිටපු ගැමියන් හිමිදිරි පාන්දර ම කෑමත් අරගෙන අලගල්ල කන්ද නැගලා කොළඹ පැත්ත බලාගෙන ඉඳලා. රෑ වෙනකොට ඒ අය කන්ද බැහැලා. කන්ද බැහැලා එන මේ අය දුටු ගමේ අනිත් අය අහලා ‘‍කොහොමද නිදහස දැක්කද කියලා’ එතකොට කන්ද නැගලා බහින අය කිව්වලු “මගෙ අම්මේ උපන්හදවියකට එහෙම නිදහසක් දැකලා නැහැ” කියලා. එදා ඉඳලා අද වනතුරුම මේ අවට ගම්මානවල මිනිස්සු පෙබරවාරි 4 වෙනිදා උදේම අලගල්ල කන්ද නගිනවා නිදහස බලන්න. ගිය වසරේ හාරදාහක් පන්දාහක් විතර පිරිස කන්ද නැගලා තිබුණා. සමහරු නිදහස් දවසට පෙර දවසේ ඇවිල්ලා කන්ද මුදුනේ කූඩාරම් ගහගෙන ඉන්නවා. මීදුම නැත්නම් වැස්ස නැතිව හොඳට පායලා තියෙනවා නම් කන්ද අවට අනෙක් කඳු බොහෝම ලස්සනට පේනවා. බතලේගල, හන්තාන ආදී කඳු අලගල්ල කන්දට නැග්ගම පේනවා. ඒ වගේම තමයි මේ කන්ද නගින අය ආරක්ෂා කරන්න පාලනය කරන්න කිසිම කෙනෙක් නැහැ.”

අපේ ගමන් සගයන් වූයේ අතරමගදි හමුවූ නයනා උඩගෙදර, චානක උඩගෙදර යන අක්කා හා මල්ලිය. කන්ද නගින අතර මඟදි කන්ද බසින තරුණයන් කිහිප දෙනෙකු හමුවිය.

“අපි රෑ කන්ද මුදුනේ හිටියේ. විශේෂයක් තිබුණේ නැහැ. සීතල තමයි වැඩි.”ඇස්වලින් නිදිමත පෙරෙමින් ඒ තරුණයෝ කීය.

අලගල්ල කන්ද නැගීමට ජාති ආගම් කුල භේද නැත. මාවනැල්ලේ සිට පැමිණි මුස්ලිම් කණ්ඩායම සමඟ කොළඹ සිට පැමිණි කිහිප දෙනෙක් ම එක්ව සිටියහ.

“අපි කවදාවත් මීට පෙර ඇවිත් නැහැ. අපේ මඟ පෙන්වන්නෙක් එක්ක තමයි ආවේ. කන්ද නගින්න අමාරු වුණාට වෙනසකටත් එක්න මේ ගමන හොඳයි.” මොහොමඩ් මින්හාන් හතිලමින් කීයයි.

අලගල්ල කන්ද අවට ප්‍රදේශය දැන් රක්ෂිත ප්‍රදේශයකි. රක්ෂිතයේ ගස් කැපීම, සතුන්ට හානි පැමිණවීම සපුරා තහනම්ය. අලගල්ල අයත් වන්නේ මහනුවර දිසාවටය. නිදහස් දා නිදහස බුක්තිවිදිමට අලගල්ල කන්ද නගින්නෝ දැන් හුදු විනෝදයට පමණක් මුල්තැන දී ඇත්තාහ. හේතුව නම් මොවුන් ගහකොළට පරිසරයට සංවේදී නොවීමය. ග‍මනේ විඩාව නිවා ගැන්මට ඔවුහු මහ හඬින් සිනා සෙමින් කෑ කෝ ගසමින් කන්ද නගින්නාහ.

“ මම අලගල්ල කන්ද නැග්ගේ මීට අවුරුදු හතළිහකට පෙරයි. ඒ නැග්ග මුල්ම දවස මට අද වගේ මතකයි. උදේ පාන්දර පන්දම් පත්තු කරගෙන කන්ද නගින්න ආවේ. කෑම බීම හැම දේම අරගෙන ආවා. එදත් මිනිස්සු කන්ද නැගලා උඩට ගිහින් අවට බලන එක තමයි කළේ. කන්දට නැගලා විශේෂ දෙයක් නොකළත් මිනිස්සු හැම වසරකම පෙබරවාරි 4 අලගල්ල කන්ද නැග්ගා. කන්ද නැග්ග ගැමියන් ආපහු කන්ද බැස්සේ කන්ද උඩ තියෙන පන් වර්ගත් කපාගෙන. ඔවුන් පන් කපාගෙන ආවේ වට්ටි පෙට්ටි වියන්න. ඒකාලේ කන්ද නැගපු අයට හොඳ සංයමයක් තිබුණා. මේ අය අතර පෙම්වතුන් හිටියා. නමුත් අද කන්ද නගින අය අතර සංවරකම යම් පමණකට අඩුයි. මෙදා පාර නම් වැස්ස හෝ මීදුම නැහැ. මේ අවට ප්‍රදේශයට නිරිත දිග මෝසම් සහ ඊශාන දිග මෝසම් සමයේ හොඳ වර්ෂාපතනයක් ලැබෙනවා.

නවම් මාසය කියන්නේ ගැමියෝ කියන විදිහට පොල්ගස්වල අතු නවයක් වැටෙන කාලය. පෙබරවාරිවල වැස්ස අඩුයි. ඒ නිසා කන්ද නගින්න පහසුයි. වැසි සමයට කොයිවෙලේ වහිනවද කියලා කියන්න බැහැ. ඒ වගේ ම බොහෝ ම ඉක්මනට කන්ද මීදුමෙන් වැසෙනවා. කොහොම වුණත් මේ කාලගුණ තත්වය යටතේ කන්ද නැගීම පහසුයි. නැත්නම් මේක කූඩලු විමානේ.” කේ.ආර්. අබේසිංහ මහතා ගමන අතරතුරදි පැවසීය.

නිල්ල පිරුණු ගහකොළ පරිසරය වසාගෙන තිබුණ ද මද්දහන වන විට දැඩි රස්නය දැනෙන්නට විය. කන්දේ තැනින් තැන වූ කඩවල ගෑස් ළිප් තබා ගෙන රොටී පුච්චයි. වඩේ බදියි. නමුත් මේ සියලු කඩවල කෑම නම් ගිනි ගණන්ය.

ආරියවංශ අපට හමුවූයේ කන්ද නගින අතරතුරය.

“මම පොත්තපිටිය ටවුමේ ත්‍රිවිලර් එකක් එළවනවා. ඒත් ‍පෙබරවාරි හතරවෙනිදට ඔක්කෝම වැඩ අතහැරලා ඇඹරැල්ලා අඹ ටිකක් හොයාගෙන කන්ද නගිනවා. අච්චාරු මල්ලක් විකුණලා කීයක් හරි හොයා ගන්නවා. කඩකරන හුඟක් අය ගෑස් ළිප්, සිලින්ඩර් ඔක්කෝම උඩට අරගෙන එනවා. වතුර ගැලුම් ගේනවා. සමහරු කියනවා මිල වැඩියි කියලා. ඒත් මෙච්චර දුෂ්කර දුරක් ඇවිල්ලා කොහොමද අඩුවට විකුණන්නේ? ආරියවංශ කියයි.

අලගල්ල කන්ද අවට තවත් කඳු කිහිපයක් ඇත්තේය. එදා ජනකවියා ඒ ගැන කීවේ මෙසේය.

බතට කන්න බැරි බතලේ ගල කන්ද

අලට කන්න බැරි අලගල්ලේ කන්ද

හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද

මෙ තුනට නායක සමනළ කන්ද

ජනකවියා එසේ කියන විට අද කන්ද නගින්නන් මෙන් ම කන්ද බසින්නන් කියන්නේ බයිලාය. ඔවුහු කටට එන යමක් හඬ ගා කියන්නේය. කඳු නැගීම අපේ රටේ තරුණ පරපුරට විනෝදයකි. කන්ද මුදුනේ ඇති තවමත් නිමකර නැති බුදුගෙයට මල් පුදන්නට යන්නේ එහෙමත් කෙනෙකි. ඒ හැරුණ විට කා බී විනෝද වී ගී ගයා දවස නිදහසේ ගත කර කන්ද බැසීම තාරුණ්‍යයේ එකම අරමුණ වී ඇති සැටියකි. මද්දහන වන විට බොහෝ පිරිසක් කන්ද මුදුනට පැමිණ සිටියහ. කටින් කට ආරංචි වී වෙනත් ගමන් පැමිණි අතරතුර කන්ද නැගීමට පැමිණියෝද ඒ අතර වූහ. ‍විනෝදය, විවේකය , සතුට සොයා නිදහස් දා අලගල්ලකන්ද තරණයකරන්නන් දැන් වසරින් වසර වැඩිවෙමින් පවතී. එවැනි අයගෙන් එක් ආයාචනයක් කළ යුතුව ඇත. එනම් පරිසරයට කිසිදු හානියක් නොකරන ලෙසය. අතීතය අලගල්ල කන්දේ කුළුහරක් බහුලව සිටිය ද අද වන විට කුළුහරකකු දැකිය හැක්කේ කලාතුරකිනි. හාවුන්, මුවන්, රිලවුන්, වඳුරන් මෙන් ම කුරුලු වර්ග පරිසරයේ දී දැකිය හැකිය. බාහිරින් ගෙන එන පොලිතින් ආදිය මේ පරිසරයේ අතහැර යෑම විශාල අපරාධයකි.

නිදහස සමරන්නට නොව නිදහස භුක්ති විඳින්නට නිදහස්දා අලගල්ල කන්ද තරණය කරන්නන් පිළිබඳ සමාජ විද්‍යාත්මකව දිය හැක්කේ කුමන විග්‍රහයක් දැයි අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය දයා අමරසේකර මහතාගෙන් විමසීමක් කළෙමු.

“උත්සවයකදි අාධ්‍යාත්මික ලක්ෂණ, ආචාර විද්‍යාත්මක, සංස්කෘතික, විනෝදාත්මක හා වින්දනාත්මක ආදි වශයෙන් යම් ලක්ෂණ දකින්නට පුළුවන්. පෙබරවාරි 4 වැනිදාට කඩුගන්නාව, හතරලියැද්ද, අස්වැදුද්ම පොත්තපිටිය ආදි ප්‍ර‍ෙද්ශවල ජනතාව අලගල්ල කන්ද තරණය කිරීම උත්සවයක් විදිහට සලකන්න බැහැ. ජාති ආගම් කුල භේදයක් නැතිව පවුලක්, ප්‍රජාවක් හැටියට එක්වෙලා මිනිස්සු කන්ද නගිනවා.මෙහිදි සිදුවන්නේ නිදහස සැමරීමක් නොවෙයි. නිදහස භුක්ති විඳීමක්. ජාතියක් ලෙස නිදහස සැමරීමේදී අපි කිසියම් කැපවීමක් කරන්න සිදුවෙනවා. යම් විදිහකට මෙය ප්‍රාථමික උත්සවයක් කියන්නත් බැහැ. සැබැවින් ම මා මෙය දකින්නේ මෙය නිදහස භුක්ති විඳීමක් ලෙසයි. එමෙන් ම කන්ද මුදුනේ ඇති බුදු පිළිමය වන්දනා කිරීමට ඇතැමුන් යන නිසා මෙහි අාධ්‍යාත්මික ලක්ෂණත් තියෙනවා.” 

අදහස්