ශ්‍රි ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව දේශීය ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ මුල්තැනට | සිළුමිණ

ශ්‍රි ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව දේශීය ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ මුල්තැනට

 ශ්‍රි ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හෙවත් ලංකා ජෙනරාල් ට්‍රේඩීන් (STC), රාජ්‍ය සතු දේශීය ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා

බවට පත්වීම සැබෑවක් වී තිබේ. වර්ෂ 1970 දී, අංක 33 දරණ පනත යටතේ ස්ථාපිත කර තිබෙන ශ්‍රි ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, 2007 අංක 7 දරණ සමාගම් පනතට අනුව සීමාසහිත සමාගමක් ලෙස ද ලියාපදිංචි කර තිබේ.

පසුගිය සමයේ අකාර්යක්ෂමතාව, නොවිධිමත් පාලනය හා දරා ගත නොහැකි ණය බර නිසා අඩාල වී තිබූ මෙම සංස්ථාව 2017 වසරේ දී රුපියල් මිලියන 80.7 ක හෙවත් කෝටි 8 කට වැඩි ලාභයක් උපයා තිබේ. සංස්ථාව දේශීය ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමේ දැක්ම යථාර්ථයක් බවට පත් වීමට හේතුවක් වී තිබේ.

ගෙවී ගිය වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා වූ මාස 09 ක කාලය තුළ පමණක් රුපියල් 80,668,754.00 ක් හෙවත් මිලියන 80.7 ක් ලාභ ලැබීමට හේතු සාධක වන්නේ සංස්ථාවේ විධිමත් පාලනය හා නාස්තිය දූෂණය වළක්වමින් ඇති කරන ලද මනා කළමණාකාරීත්වය බව අතිශයෝක්තියක් නොවේ.

වර්ෂ 2015 දී නව රජය යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා බවට පත් වූ රිෂාඩ් බදියුදීන් මහතා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව තුළ යහපාලනයක් ගොඩ නැගීම සඳහා දක්‍ෂ හා කාර්යක්‍ෂම සභාපතිවරයෙක්, අධ්‍යක්‍ෂ මණ්ඩලයක් මෙන්ම සාමාන්‍යාධිකාරීවරයෙක් පත් කරනු ලැබීය. ඔවුන් තම යුතුකම හා වගකීම මැනවින් ඉටු කරමින් සංස්ථාවේ 471 ක් පමණ වූ සියලුම සේවක සේවිකාවන්ගේ සහයෝගය, කාර්යක්‍ෂම හා ඵලදායීව ලබා ගැනීම නිසාම අද සංස්ථාව ලාභ ලබන මට්ටමත්, රාජ්‍ය සතු ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා බවටත් පත්ව සිටී. මෙහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ එහි පාලනාධිකාරීය මෙන්ම සියලුම සේවක සේවිකාවන්ටය.

මේ පිළිබඳව අදහස් දක්වමින් කතා කළ අැමැති රිෂාඩ් බදියුදීන් මහතා සංස්ථාවේ ප්‍රගතිය ගැන මෙසේ අදහස් දැක්වූවා.

"2015 වසරේ මගේ අමාත්‍යාංශය යටතේ රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව තුළ යහපත් මනා කළමණාකාරීත්වයක් ඇති කිරීමට වෙනස්කම් රැසක්ම ඇති කළා. ඒ අනුව පත් කළ සභාපති, සාමාන්‍යාධිකාරී, අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු නව පාලනාධිකාරීය හා සේවක සේවි‍කාවන් සංස්ථාවේ දියුණුව සඳහා නාස්තිය අවම කරමින් උපරිම කැපවීමෙන් යුතුව කාර්යක්‍ෂමව කටයුතු කිරීම නිසා, සංස්ථාවට වසරින් වසර ලාභය වැඩි කර ගැනීමට හැකි වුණා. "

අැමැතිවරයා පැවසූ පරිදි සංස්ථාව ගෙවී ගිය වසර 03 ක කාලය තුළ, ක්‍රම ක්‍රමයෙන් තම ලාභාංශ වැඩි කර ගනිමින්, 2016 වසරට වඩා 2017 වසරේ අවසන් මාස 09 දී පමණක් සිය ලාභාංශ සියයට 84 කින් වැඩි කර ගැනීමට සමත් වී තිබේ. එනම්,

වසර ලාභාංශය

2015 රු. මිලියන 10.5

2016 රු. මිලියන 43.8

2017 අප්‍රේල්-දෙසැම්බර් රු. මිලියන 80.7

දේශීය ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය සියලුම භාණ්ඩ හා සේවා සැපයීම සංස්ථාවේ මූලික අරමුණකි.

විශේෂයෙන්ම කාර්යාලීය ලිපි ද්‍රව්‍ය, කාර්යාලීය උපකරණ, විදුලි හා විද්‍යුත් උපකරණ, කෘෂිකාර්මික හා කාර්මික උපකරණ, යන්ත්‍රෝපකරණ, රසායන ද්‍රව්‍යය වර්ග, ටයර් හා ටියුබ්, තොරතුරු තාක්‍ෂණික උපකරණ, ඉදිකිරීම් හා ලෝහ භාණ්ඩ, ස්වශක්ති ස්වයං රැකියා උපකරණ ඇතුළු වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ සංස්ථාව මඟින් අලෙවි කරනු ලැබේ. මෙම කාර්යභාර්ය ඉටු කිරීම සඳහා සංස්ථාව සතුව ප්‍රදර්ශනාගාර 09 ක් රටපුරා පවතී. එසේම සංස්ථාවේ පළමු මෙගා ප්‍රදර්ශනාගාරය නාරාහේන්පිට නගරයේදී විවෘත කිරීමට දැනටමත් සැලසුම් කර තිබේ.

එසේම 2017 වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා වූ මාස 9 ක කාලය තුළ සංස්ථාවේ පිරිවැටුම හෙවත් සමස්ත ආදායම රුපියල් මිලියන 3,385.2 කි. එය 2016 වසර සමඟ සසඳන විට සියයට 23 ක වර්ධනයකි.

ගෙවී ගිය වසර 03 තුළ සිය ව්‍යාපාරික අභියෝග ජය ගැනීම සඳහා සංස්ථාව තුළ නිවැරදි කලමනාකරණයක් මඟින් යහපාලනයක් ඇති කරනුලැබීය. එමගින් පැවති තත්ත්වය වඩාත් හොඳින් නිවැරදි කිරීමට පියවර ගැනුණි. ඒ සඳහා සංස්ථාවේ පිරිවැය පාලනය තුළින් මාසික පිරිවැය අඩු කිරීමත්, විකුණුම්වල දළ ලාභය වැඩි කර ගැනීමත් කරනු ලැබීය. මේ මඟින් ආයතනය තූළ පැවති සෘණාත්මක දර්ශනපථය ධනාත්මක මගකට යොමු කිරීමට හැකි වූ නිසාත්, ඒ සඳහා සේවක පක්‍ෂයේ සහයෝගය උපරිම අන්දමින් ලැබීම නිසාත් මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට හැකි වූ බව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී පැරකුම් විජයරත්න මහතා පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අැමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ තමන්ගේ මීළඟ ඉළක්කය වන්නේ 2018 වසරේදී සංස්ථාවේ පිරිවැටුම හා ලාභංශ දෙගුණයක් කිරීමත්, සංස්ථාවේ ශාඛා ජාලය රට පුරාම ව්‍යාප්ත කරලීමත් බවය. එසේම ඕනෑම රාජ්‍යක ආයතනයක් මනා කළමනාකරණය හා නාස්තිය අවම කරමින් කරනු ලබන විධිමත් පාලනයක් තුළින් මෙන්ම සේවක සේවිකාවන්ගේ කාර්යක්‍ෂම කැපවීම තුළින් ලාභ ලබන මට්ටමට ගෙන ඒමට පුඵවන් බව මෙයින් පැහැදිලි වෙන බවයි.

ශාස්ත්‍රපති දයා ශ්‍රි නරේන්ද්‍ර රාජපක්‍ෂ

Comments