ලංකා සීනි වෙළෙඳපොළ ජයගනී | සිළුමිණ

ලංකා සීනි වෙළෙඳපොළ ජයගනී

 2020 වසරේදී සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 120,000ක් නිෂ්පාදනය කිරීම සහ එමඟින් රුපියල් බිලියන 04ක හෙවත් මිලියන 4000ක වාර්තාගත ආදායමක් සනිටුහන් කිරීම, යනුවෙන් සීමා සහිත ලංකා සීනි සමාගමේ සේවා දැක්මේ සටහන්ව තිබේ. 2015 වසරේදී රුපියල් බිලියනයක පාඩුවක් සිය මූල්‍ය පත්‍රිකාවේ සටහන් කළ සීමාසහිත ලංකා සීනි සමාගම 2016 වසරේදී රුපියල් බිලියනයක ලාභයක් මෙන්ම, නියඟයෙන් දැඩි පීඩාවකට පත්ව සිටියදීත් 2017 වසරේදී රුපියල් බිලියන 1.17ක ලාභයක් සිය ශේෂ පත්‍රයේ සටහන් කිරීමට සමත් විය.

මේ පිළිබඳව අදහස් දක්වන කර්මාන්ත හා වාණිජ කටයුතු අැමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ, මම 2015 දී අැමැතිවරයා ලෙස ලංකා සීනි සමාගම භාර ගනිද්දි එය රුපියල් බිලියනයක පාඩුවක් ලබමින් තිබුණා. මම ලංකා සීනි සමාගමට දක්‍ෂ පාලකයින් පත් කරලා එහි නාස්තිය හා අනවශ්‍ය වියදම් මනා ලෙස පාලනය කරලා සීනි නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමත්, කාර්යක්‍ෂමතාව වැඩි කිරීමත් නිසා වසරක් තුළ අපව බිලියනයක ලාභයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම 2017 දී දැඩි නියඟයක් පවතිද්දීත් අපට සීනි සමාගමේ ලාභය 2016 ට වඩා ටිකක් වැඩි කර ගැනීමට හැකි වුණා. 2017 දී අපේ ලාභය බිලියන 1.17ක් හෙවත් මිලියන 1.175ක් වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ හොඳ කළමනාකරණයක් යටතේ පාලනය කරනවා නම් රාජ්‍ය ව්‍යවසායන් වුණත් ලාභ ලබන මට්ටමට ගෙන එන්න පුළුවන් කියලයි.

ඇමැතිවරයා ලංකා සීනි සමාගම ගොඩ ගත හැකි විශිෂ්ට ගණයේ කළමානාකරුවන් පිරිසක් පාලනාධිකාරියට පත් කිරීමට තීරණය කරනු ලබනවා. ඒ අනුව නවීන් අධිකාරම් මහතා සභාපති ලෙසත්, ෆවුසර් ෂෙරිෆ්ඩීන් මහතා ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් පත් කරමින් පුද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ දක්‍ෂතා ඇති පිරිසක් අධ්‍යක්‍ෂ මණ්ඩලය සඳහා පත් කරනු ලබනවා. ඇමැතිවරයා මීට වසර දෙකකට පෙර ගනු ලැබූ තීරණය සත්‍යයක් බවට පත් කරමින් 2016 හා 2017 දී ලංකා සීනි සමාගම ලාභ ලැබුවා.

2011 අංක 43 දරණ, ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජන වත්කම් පුනරුදය කිරීම, පනත මඟින් 2012 දී රජයට පවරා ගන්නා ලද පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලා 2012 ඔක්තෝම්බර් මස 01 වැනිදා නිසි බලධාරියෙකු යටතට පත් කෙරේ. එතැන් පටන් දේශීය සීනි පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීමට උත්සාහ ගන්නා ලංකා සීනි සමාගම ගෙවී ගිය කාල වකවානුව තුළ වාර්ෂිකව විශාල පාඩුවක් ලැබුවා. නමුත් එය කණපිට හරවා ලංකා සීනි සමාගම ලාභ ලබන මට්ටමට ගෙන ඒමට හැකි වූයේ 2016 හා 2017 වසරවල දී ය.

දේශීය සීනි පරිභෝජනයෙන් සියයට 90 - 92ක්ම සපයන්නේ පිටරටින් ආනයනය කිරීමෙනි. දේශීය සීනි නිෂ්පාදනය තවමත් සියයට 8 - 10 ක මට්ටමේ පවතී. ඇමැතිවරයා අපේක්‍ෂා කරන්නේ දේශීය සීනි පරිභෝජනයෙන් සියයට 20ක් වත් අපේ රට තුළම නිෂ්පාදනය කිරීමටය. එකී ඉලක්කය සපුරා ගැනීමේ සුභ නිමිති මේ වන විටත් පහළ වී තිබේ. එනම් 2016 දී, දේශීය සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 51,422ක් විය. එය ඊට පෙර 2015 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 32.364ක් විය. ඒ අනුව 2017 වර්ෂයේ දී සීනි මෙට්‍රික් ටොන් 55,000ක් පමණ අපේක්‍ෂා කළ ද, දැඩි නියඟය නිසා උක් වගාවට පාඩු සිදු වීම නිසා අවශ්‍ය ඉලක්කය සපුරාගත හැකි නොවූවත්ල සීනි මෙට්‍රික් ටොන් 42.841ක් නිෂ්පාදනය කිරීමට සමත් විය. එසේම නාස්තිය හා අනවශ්‍ය වියදම් දුරු කිරීමත්, සේවක කාර්යක්‍ෂමතාව වැඩි කිරීමත්, නිෂ්පාදන වියදම් අඩු කර ගැනීමටත් පියවර ගැනීම නිසාත්, 2016 ටත් වඩා 2017 දී ලාභංශ හා ආදායම් වැඩි කර ගැනීමටත් සීනි සමාගමේ පාලනාධිකාරිය සමත් වී තිබේ.

ලංකා සීනි සමාගම මනා කළමනාකාරීත්වයක් තුළ කාර්යක්‍ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාමට පියවර ගන්නා අතර දේශීය උක්ගොවි ජනතාව රැකගැනීමටත් පියවර ගෙන ඇත. ඒ සඳහා උක් ගොවියාට හොඳ මිලක් ලබා දීම, ඔහුට නවීන තාක්‍ෂණ දැනුම ලබා දීම, උක් ගොවි නිෂ්පාදන නාස්ති වීම හා අපතේ යාම වළක්වා ගැනීම, උක් ගොවියාගේ ජීවනෝපාය ඉහළ නැංවීමට පියවර ගැනීම, ඔවුන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම යටිතල පහසුකම් සම්පාදනය, උක්ගොවි පවුල් රැක ගැනීමට පියවර ගැනීම, ඔවුන්ගේ දරු පවුල් සඳහා ආධාර උපකාර කිරීම, ඔවුන්ගේ ආරක්‍ෂාව හා නිදහස තහවුරු කිරීම මෙන්ම ඔවුන්ට උක් වගාවන්ට අවශ්‍ය ඉඩ කඩම් මෙන්ම ජලය, පොහොර ඇතුළු ආම්පන්න ලබා දීමටද සමාගම පියවර ගෙන තිබේ, මීට අමතරව උක් වගාව ව්‍යාප්ත කිරීම සඳහා සේවක මහත්ම මහත්මීන්ට හා ගොවි ජනතාවට ප්‍රසාද දීමනා ලබා දීම, ගොවි ජනතාව ජීවත්වන ප්‍රදේශවල මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමල ජනතාවට පානීය ජලය ලබා දීම, ආදී පොදු පහසුකම් සම්පාදනයට ද සමාගම ඉදිරිපත්ව සිටී,

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ලංකා සිනි සමාගමේ සභාපති නවීන් අධිකාරම් මහතා මෙසේ පැවසීය,

ලංකා සීනි සමාගමේ සෙවන යටතේ ලක්‍ෂයකට අධික පවුල් සංඛ්‍යාවක් ජීවනෝපාය ලබා ගන්නවා. ඇමැතිතුමා අපට මඟපෙන්වමින් නිදහසේ වැඩ කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා, ඒ ධෛර්ය හා ශක්තිය නිසාම වසර 30ක් පැරණි සෙවනගල හා පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවල දෛනික නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට හැකි වෙලා තියෙනවා. ඒ අනුව සෙවනගල දෛනික සීනි නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් 850 සිට 1550 දක්වා දෙගුණයකින් වැඩි කිරීමට අපට හැකි වුණා. ඒ වගේම පැලවත්ත දෛනික නිෂ්පාදන ධාරිතාව 2015 දී මෙට්‍රික් ටොන් 2000 යි. එය මේ වන විට මෙට්‍රික් ටොන් 3000 දක්වා සියයට 50කින් වර්ධනය කිරීමට අපට හැකි වුණා. ඒ නිසාම අපට 2016 හා 2017 දී ලාභාංශ පෙන්වන්න පුලුවන් වුණා. අපි උක් ගොවීන්ට හොඳ ආදායමක් උපයන්නට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙහිදී ගුණදායී හා ප්‍රමිතියෙන් ඉහළ උක් සඳහා ප්‍රසාද දීමනා, දිරි දීමනා ලබා දීමට යෝජනා කරලා තියෙනවා. එනම් උක් ටොන් 01ක් සඳහා උකහා ගැනීමේ ප්‍රතිශතය හෙවත් සීනි ප්‍රතිශතය සියයට 8.5 ඉක්මවන සෑම දශමයකටම රු.25.00 ක අමතර දීමනාවක් ලබා දීමට යෝජනා කරලා තියෙනවා. මේ මඟින් අපේ ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. යැයි පැවසීය.

ලංකා සීනි සමාගමේ 2018 දී ඉලක්කය වන්නේ සීනි මෙට්‍රික් ටොන් 69,569ක වාර්ෂික නිෂ්පාදන ධාරිතාවක් දක්වා වර්ධනය කිරීමය. ඒ අනුව රුපියල් මිලියන 7304.8 ක වාර්ෂික ආදායමක් මෙන්ම, මිලියන 1,816ක ලාභාංශයක් අපේක්‍ෂා කරති.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්‍ෂ ෆවුසර් ෂෙරිෆ්ඩීන් මහතා මෙසේ පැවසීය.

,2016 වසරේ ලාභ ලැබීමත් සමග අපි උක් වගාව ව්‍යාප්ත කිරීමට සේවක මහත්ම මහත්මීන්ට හා ගොවි ජනතාවට ප්‍රසාද දීමනා ලබා දීම මෙන්ම, ගොවි වෘත්තිය සමිති දිරිමත් කිරීමට විවිධ පියවරයන් ගනු ලැබුවා. ඒ වගේම ගෙවී ගිය වසර තුළ රුපියල් බිලියන 04ක පමණ මුදල් ප්‍රමාණයක් ප්‍රදේශය තුළ සංසරණය වීම නිසා ගොවි ජනතාවගේ අතමිට සරු වුණා. ඒ වගේම අපි ඔවුන්ගේ ජන ජීවිතය ඉහළ නංවන්න විවිධාකාරයෙන් ශුභ සාධන සේවාවන් ආරම්භ කරලා තියෙනවා. ගෙවී ගිය කාලය තුළ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අපට ලබා දුන්න උපදෙස් හා මාර්ගෝපදේශයන් අපට ලාභ ලැබීමටත්, සමාගම දියුණු කිරීමටත්, ඉමහත් ශක්තියක් වුණා. ඒ වගේම අපි අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ වගේම උක්ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහාත්, ඔවුන්ගේ වියදම් අවම කිරීම සඳහාත් සමාගම පියවර රැසක්ම ගෙන තියෙනවා. ඒ අනුව ප්‍රදේශයේ පවතින දැඩි කම්කරු හිඟයට පිළියමක් ලෙස අස්වනු නෙලීමේදී ගොවීන් සඳහා උක් නෙලීමේ යන්ත්‍ර ලබා දීමටත්, ඒ සඳහා ආයෝජනය කිරීමටත් දිරිගන්වා තියෙනවා. යැයි පැවසීය.

ඉදිරි වසරේදී වර්ෂාපෝෂිත වගාබිම්වල උක් අස්වැන්න දළ වශයෙන් හෙක්ටයාරයක් සඳහා ටොන් 50ටත් අඩු විය හැකිය. නමුත් සමාගම උක්වගාවන් සඳහා වාරි පහසුකම් සහ වගාවට අවශ්‍ය ජල පහසුකම් මනා ලෙස ලබා දී හෙක්ටයාරයකට ලැබෙන අස්වැන්න දෙගුණයක්, එනම් මෙට්‍රික් ටොන් 100ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. මේ නිසා උක් ගොවීන්ගේ ආදායම දෙගුණයක් වේ. එසේම නවීන තාක්‍ෂණය භාවිතා කිරීමට යොමු කිරීම හරහා කාර්යක්‍ෂමතාවය වැඩි කර ඵලදායීතාවයද වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ෆවුසර් ෂෙරිෆ්ඩීන් මහතා,

දැඩි නියඟයේ බලපෑම නිසා 2017 වසරේ උක් ගසේ පැණි අගය පහළ බැසීම නිසා 2016 ට වඩා සීනි නිෂ්පාදනය මදක් පහළ වැටුණා. ඒ වගේම ප්‍රධාන අතුරු නිෂ්පාදනය වන ස්ප්‍රීතු නිෂ්පාදනය ද පහළ වැටුණා. නමුත් ආයතනනයේ සමස්ත කළමනාකාරීත්වයේ දක්‍ෂතාව හා මනා කළමනාකරණය නිසාම 2016 වසරට වඩා 2017 වසරේදී මිලියන 1,174ක ලාභාංශයක් ලැබීමට සමාගම සමත් වුණා. යැයි පැවසීය.

එසේම 2015 උක් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 9,303ක් විය. එය 2016 දී හෙක්ටයාර් 12,241ත් දක්වා දල 2017 දී හෙක්ටයාර් 12,398ක් දක්වා ද වැඩි කිරීමට හැකි විය. එය ඉදිරි වර්ෂවලදී තවදුරටත් වැඩි කිරීමට සැළසුම් කර තිබේ.

එසේම වර්ෂ 2020 වන විට ලංකා සීනි සමාගම සිය සීනි නිෂ්පාදන ධාරිතාව දෙගුණයක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව 2020 දී අපේක්‍ෂිත සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 120,000ක් වේ. එය දේශීය සීනි පරිභෝජනයෙන් සියයට 20ක පමණ ප්‍රතිශතයක් වේ. මේ යටතේ උක් ගොවි පවුල් 100,000කගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටත්, නව රැකියා අවස්ථාන් 1500ක් උත්පාදනය කිරීමටත් සැලසුම් කර තිබේ. මේ මගින් දැනට ලැබෙන ලාභාංශය සිවු ගුණයකින් වැඩි කිරීමට එනම් රුපියල් බිලියන 4.5:මිලියන 4500 දක්වා වැඩි කර ගැනීමට අපේක්‍ෂා කෙරේ. මේ මගින් අපේ රටෙන්, සීනි සඳහා පිට රටට ඇදී යන රු බිලියන 64:මිලියන 6400ක විදේශ විනිමය ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වේ. එසේම සමාගම ඔස්සේ මෙගා වොට් 15ක විදුලි ධාරිතාවක්ල ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට ද සැලසුම් කර තිබේ.

එසේම උක්ගොවි ජනතාවට බලපාන ගැටලු සාකච්ඡා මගින් විසඳා ඔවුන්ගේ ජන ජීවිතය ඉහළ නැංවීමටත්, සමාගමේ සේවක සේවිකාවන්ගේ ශුභ සාධන කටයුතු ඉහළ නැංවීමටත් සමාගම අපේක්‍ෂා කෙරේ . දැනටමත් ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන තිබේ.

උක්ගොවි ජනතාවගේ, සීනි සමාගමේ සේවක සේවිකාවන්ගේ ජන ජීවිතය ඉහළ නංවමින් දේශීය සීනි පරිභෝජනය, අප රට තුළම නිෂ්පාදනය කිරීමේ ඉළක්කය වෙත ළඟා වීමට අපේක්‍ෂා කරන ලංකා සීනි සමාගමේ මෙහෙවර ප්‍රකාශනයෙන් මෙම සටහන සමාප්ත කරමි.

දේශීය සීනි නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස උක් ගොවීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් අපේක්‍ෂිත මූල්‍ය ලාභයන් අත්පත් කර ගැනීමට ද, ආර්ථික ප්‍රතිලාභයන් සලසමින් වෙනත් පළාත්වල කර්මාන්තය ව්‍යාප්ත කිරීම, භූමිය වඩාත් ඵලදායී ලෙස උපයෝගී කර ගනිමින් නිෂ්පාදන ඉහළ නංවා සීනි ආනයනය සඳහා වැය වන විදේශ විනිමය අවම කිරීම ද අප මෙහෙවර වේ.

ශාස්ත්‍රපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්‍ෂ

අදහස්