බිස්නස්වලින් ගොඩයන්න වාණිජ මණ්ඩලයක පිහිට ගන්න | සිළුමිණ

බිස්නස්වලින් ගොඩයන්න වාණිජ මණ්ඩලයක පිහිට ගන්න

 ව්‍යාපාරිකයන් විසින් ඔවුන්ගේ ව්‍යාපාරික සුබ සිද්ධිය සඳහා පිහිට‍ුවා ගන්නා සංවිධානයක් වාණිජ මණ්ඩලයක් ලෙස හැඳින්වේ.

ලොව මුල් ම වාණිජ මණ්ඩලය 1599 දී ප්‍රංශයේ මාර්සෙල්හි පිහිටුවා ගන්නා ලද බව වාර්තාගතව තිබේ. ඇමෙරිකාවේ ප්‍රථම වාණිජ මණ්ඩලය පිහිටුවන ලද්දේ 1768 නිව්යෝර්ක් නගරයේදී ය. බ්‍රිතාන්‍යයේ පැරැණිම වෙළෙඳ මණ්ඩලය 1783 දී ග්ලාස්ගෝ නගරයේදී පිහිටුවා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ මණ්ඩලය 1839 දී සටුවට් මැකන්සි ආණ්ඩුකාරයාගේ පාලන සමයේ දී පිහිටුවන ලද්දේ කෝපි වගාවේ නියුතුව සිටි වැවිලිකරුවන්ගේ සුබසෙත සඳහා ය. මෙම වාණිජ මණ්ඩලයට වඩාත් ස්ථිර පදනමක් දැමීම 1839 මාර්තු 25 දා සිදුවිය. ආසියාවේ පැරණිම වාණිජ මණ්ඩලය එයයි.

ඉංග්‍රීසි ආණ්ඩුව ඒ වනවිට වෙළෙඳ කටයුතු පිළිබඳ ඒකාධිකාරය අතහරින ගමන් ම වඩා නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියකට අනුගත විය. අරක්කු, පොල්, කොහු ලණු ආදී නිෂ්පාදන අපනයනය ක්‍රමයෙන් වැඩිවෙමින් තිබුණි. මේනිසා අපනයන ලියකියවිලි ආදිය සඳහා වෙළෙඳ මණ්ඩලයක සහාය ද අපේක්ෂා කෙළේ ය. ඒ අනුව සිලෝන් චේම්බර්ස් ඔෆ් කොමර්ස් ආයතනය ක්‍රමයෙන් ව්‍යාපාරික අංශය තුළ ස්ථාපිත ‍විය. එම ආයතනය 1839 සිට වසර 179 ක් අද දක්වා සක්‍රියව තිබේ.

චේම්බර්ස් ඔෆ් කොමර්ස් ආයතනය වැනි වාණිජ මණ්ඩල කීපයක් අද දක්නට ලැබෙන අතර මෙම මණ්ඩල තුළින් නිසි ප්‍රයෝජන ගැනීමට ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත්වීම ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. පසුගියදා ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා ප්‍රකාශ ‍ෙකළේ ජපානය විසින් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ජෙට්රෝ ආයතනයෙන් නිසි ප්‍රයෝජන ගෙන ජපාන වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් පෙරට ආ යුතු බවයි.

ශ්‍රී ලංකාව තුළ වාණිජ මණ්ඩල කීපයකි. උදාහරණ ලෙස ජාතික වාණිජ මණ්ඩලය, චේම්බර්ස් ඔෆ් කොමර්ස් පෙඩරේෂණය, අපනයනකරුවනගේ වාණිජ මණ්ඩලය සඳහන් කළ හැකි ය. ප්‍රාදේශීය වශයෙන් ද වයඹ වාණිජ මණ්ඩලය, හම්බන්තොට වාණිජ මණ්ඩලය සහ යාපනය වාණිජ මණ්ඩලය ද ක්‍රියාත්මක වේ.

මේ වාණිජ මණ්ඩල ජාත්‍යන්තර වශයෙන් වෙනත් රටවල වාණිජ මණ්ඩල සමඟ ස්ථිරව සබඳතා පවත්වයි. එසේ ම එම වාණිජ මණ්ඩල දූත පිරිස් නිතර ශ්‍රී ලංකාවට පැමිණෙති. එසේ පැමිණෙන විදේශ දූත පිරිස් සහ ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් අතර ව්‍යාපාරික සබඳතා ඇති කරලීමට ද වාණිජ මණ්ඩල ඉදිරිපත් වෙයි.

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විධායක චන්දන විජේකෝන් මහතා පවසන අන්දමට එම වාණිජ මණ්ඩලය අපනයනකරුවන්ගේ යහපත සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කරයි. එය ඉංග්‍රීසියෙන් NCE ලෙස හැඳින්වේ. අපනයනකරුවෝ 450 එහි සාමාජිකත්වය දරති.

අපනයනකරුවකු වීමට බොහෝ නිෂ්පාදකයෝ සිහින මවති. එසේම තවත් සමහරු අපනයනකරුවනට භාණ්ඩ සපයන්නෝ ය. ඔවුහු ද අපනයනකරුවන්වීමට යත්න දරති. ඒ සඳහා තම වාණිජ මණ්ඩලය ක්‍රියාශීලී වන බව කියන විජේකෝන් මහතා භාණ්ඩ සැපයුම්කරුවන් 10ක් පමණ පිරිසක් නව අපනයනකරුවන් බවට පත් කිරීමට සිය වාණිජ මණ්ඩලයට හැකියාව ලැබුණු බව ද කියයි. ඔවුනට අවශ්‍ය තොරතුරු සැපයීම, ලිපි ලේඛන සඳහා උපකාර කිරීම ඇසුරුම්කරණය සහ සෙසු සෑම කටයුත්තකටම සහාය දීමට සිය වාණිජ මණ්ඩලය ඉදිරිපත් වූ නිසා නව අපනයනකරුවන් පිරිසක් බිහිවූ බව ද ඒ මහතා කියයි.

ආණ්ඩුව විසින් කලින් කලට පනවනු ලබන නීති හා අණපනත් ව්‍යාපාරික අංශයට බලපාන අන්දම ගැන විමසිලිමත්ව සිටින වාණිජ මණ්ඩල ඒ පිළිබඳව සිය සාමාජිකයන් දැනුවත් කරයි. එසේ ම තම සාමාජික ව්‍යාපාරිකයන්ට හිරිහැරයක් වේ නම් ඒ ගැන අදාළ අංශ සමඟ සාකච්ඡා කර ගැටලු විසඳා ගැනීම ද වාණිජ මණ්ඩලයක කාර්යයකි.

දේශීය රසකැවිලි කර්මාන්තය සහ දේශීය පාවහන් කර්මාන්තයට විදේශීය නිෂ්පාදනවලින් බාධා එල්ල වූ අවස්ථාවේ ඒ පිළිබඳව රජයට කරුණු සැලකිරීමට වාණිජ මණ්ඩල ඉදිරිපත් විය.

බොහෝ අපනයනකරුවන් මුහුණදෙන ප්‍රශ්නයක් නම් තම විදේශ ඇණවුම් සම්පූර්ණ කළ පසුවත්, තමනට අයවිය යුතු මුදල් ලබාගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් ය. මේ නිසා අපනයනකරුවෝ විවිධ අවහිරතාවනට මුහුණ දෙති. එනිසා බැංකුවලින් පිහිට පැතීමට පවා සිදුවේ.

වාණිජ මණ්ඩලය මෙවැනි අවස්ථාවලදී සිය සාමාජික ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඉදිරිපත්වන බව චන්දන විජේකෝන් මහතා පවසයි. අදාළ ගැනුම්කරුවන් සමඟ සාකච්ඡා කර හිඟ මුදල් අය කරදීමට පියවර ගැනීම ව්‍යාපාරිකයනට මහත් සහනයකැයි ඒ මහතා කියයි.

බොහෝ ව්‍යාපාරිකයනට ඇති ප්‍රශ්නයක් නම් ව්‍යාපාරික සබඳතා ඇතිකර ගැනීමට ඇති බාධාවන් ය. වාණිජ මණ්ඩල ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීමට ද උපකාර කරයි. ඒ සඳහා විදේශීය වාණිජ මණ්ඩල සහ දේශීය වාණිජ මණ්ඩල ඒකාබද්ධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇතුළු තවත් ජාත්‍යන්තර සංවිධාන රාශියක් නිතරම වාණිජ මණ්ඩල සමඟ සම්බන්ධව කටයුතු කරයි. එසේම විවිධ වැඩමුළු, පාඨමාලා ආදිය පැවැත්වීමට ද ව්‍යාපාරික හිතවාදී අධ්‍යාපනික පහසුකම් වර්ධනයට ද එම සංවිධාන වාණිජ මණ්ඩල සඳහා අවශ්‍ය පහසුකම් පවා සපයයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

රටකින් තවත් රටකට භාණ්ඩ අපනයනයේ දී එම භාණ්ඩයේ ප්‍රභවසහතිකයක් අවශ්‍යව තිබේ. ඒ ඒ භාණ්ඩයේ ප්‍රභව සහතික නිකුත් කිරීම අපනයන වෙළෙඳාමේ විනිවිද භාවයට හේතුවකි. මෙම සහතිකය නිකුත් කිරීමේ දී වාණිජ මණ්ඩල විශාල මෙහෙයක් ඉටුකරයි. කෙටියෙන් පවසතොත් විජේකෝන් මහතා පවසන අන්දමට නිෂ්පාදකයා, අපනයනකරුවා සහ මිලදී ගන්නා යන අංශ තුන එකට සම්බන්ධ කරන්නේ වාණිජ මණ්ඩලයයි.

එම ක්ෂේත්‍රයේ සන්නිවේදකයකු ලෙස ද වාණිජ මණ්ඩල‍යක් ක්‍රියාකරයි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීය තොරතුරු සම්පත් ග්‍රහණය කරගැනීම ව්‍යාපාරික දියුණුවට මග පාදයි. සෑම වාණිජ මණ්ඩලයක්ම සඟරා හා ප්‍රකාශන මඟින් මේ තොරතුරු බෙදාහදා දෙයි. වාණිජ මණ්ඩල කටයුතු හා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනගැනීමට ව්‍යාපාරිකයන් උනන්දු විය යුතු යැයි ඒ මහතා කියයි.

අපනයන ක්ෂේත්‍රය මෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රය ද දිනෙන් දින පුළුල්වේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුබ සිද්ධිය සඳහා 2001 දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වාණිජ මණ්ඩලය පිහිටුවා ගන්නා ලදී.

වරලත් මැණුම්කරුවන්ගේ සංගමය, වරලත් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමය ආදී වෘත්තියවේදී සංවිධාන මෙන් ම ඉදිකිරීම් කර්මාන්තයේ ආයතන 300 ක් පමණ මෙම වාණිජ මණ්ඩලයේ සාමාජිකත්වය හිමිකර ගෙන සිටිති.

තම ආයතනයේ සාමාජිකයනට කිසිදු ලාභාංශ ගෙවීමක් නොකරන අතර එය ලාබ උපයන සංවිධානයක් නොවන බවත්, හුදෙක් කර්මාන්තයේ දියුණුව සඳහාම ක්‍රියා කරන බවත් එම වාණිජ මණ්ඩලය පවසයි. ‍නව ලොවට ඔබින පරිසර හිතකාමී ඉදිකිරීම් කර්මාන්තයක් සඳහා තමන් කැපවී සිටින බව ද එම සංගමය කියයි. එසේම සිය කර්මාන්තයට අදාළ නව දැනුම හා නව තාක්ෂණය සමාජ ගත කිරීමට ද තම සාමාජිකයන්ගේ අඩුපාඩු වගකිවයුතු අංශවලට පෙන්වාදීමට ද තම වාණිජ මණ්ඩලය ඉදිරිපත්වන බව එහි ප්‍රකාශකයෙක් කීවේ ය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ගේ හිඟය, ඇස්බෙස්ටොස් තහනම, වැලි සහ අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාවන මුහුණදීම සඳහා වන විකල්ප පෙන්වා දීමෙන් ඉදිකිරීම් කර්මාන්තයේ සංවර්ධනයට දායකවීමට තමනට අවස්ථාව හිමිව‍ූ බව ද ඔහු කීවේ ය.

මාධ්‍ය ප්‍රකාශන, සම්මන්ත්‍රණ, වැඩමුළු, ජාත්‍යන්තර ප්‍රදර්ශන ආදියෙන් තම දැනුම රටට ඉදිරිපත් කරන බව ද නේපාලය සහ බංගලිදේශය යන රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ශ්‍රමික හිඟයට පිළියමකැයි ද ශ්‍රමික හිඟය පියවීමට දේශීය ශ්‍රමිකයන් ඉදිරිපත් විය යුතු යැයි ද එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කෙළේ ය.

ප්‍රාදේශීය වාණිජ මණ්ඩල ද තම තමන්ගේ ප්‍රදේශයන්හි ව්‍යාපාරික දියුණුව සඳහා ක්‍රියා කරයි‍. අම්පාර, අනුරාධපුර, මඩකලපුව, මහනුවර, ත්‍රිකුණාමලය, ඌව, යාපනය, ගාල්ල, හම්බන්තොට, කළුතර, කුරුණෑගල, මාතලේ, පොළොන්නරුව, වයඹ, වවුනියා සහ කෑගල්ල යන නගර ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාව ප්‍රාදේශීය වාණිජ මණ්ඩල පිහිටුවා ගෙන තිබේ.

යාපනයේ කාන්තා ව්‍යවසායකයන් විසින් ව්‍යාපාරික කාන්තා වාණිජ මණ්ඩලයක් පිහිටුවා ගෙන ඇත.

යාපනයේ වාණිජ මණ්ඩලය වසරක් පාසා වාණිජ ප්‍රදර්ශනයක් පවත්වනු ලබයි. පසුගියදා 8 වැනි වතාවටත් එම ප්‍රදර්ශනය පැවැත්විණි.

කරුණාරත්න අමරතුංග

අදහස්