‍බෝගම්බර බන්ධනාගාර ස්මාරකයේ නිදහස | සිළුමිණ

‍බෝගම්බර බන්ධනාගාර ස්මාරකයේ නිදහස

 වර්තමානයේ පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත් වී ඇති බෝගම්බර බන්ධනාගාර ගොඩනැඟිලි සංකීර්ණය හා එම භූමිය පිළිබඳ කථිකාවතක් මේ වන විට ගොඩනැගී තිබීම එක්තරා ආකාරයකට සතුට දනවන කාරණයකි. මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල සහිත භූමිය වර්තමානයේ අතිශය ඉහළ මිලකට වටිනාකම තක්සේරු කළ හැකි ය. නමුත් රටක සියල්ල මුදලට යට කළ පමණින් එයට අභිමානවත් රටක් ලෙස නැගී සිටිය නොහැකි ය. විශේෂයෙන් ම ලංකාව ගත් විට වර්තමානයේ අපට ඉතිරිව ඇත්තේ අපගේ උරුමය පමණකැයි හැඟෙන තරමට අප පිරිහී ගොස් ඇති බව නොරහසකි. එම නිසා සංවර්ධනය සිදු විය යුත්තේ ඇති වටිනාකම් රැකෙන අයුරින් මිස සියල්ල විනාශ කරමින් නොවේ. තිරසාර සංවර්ධනය යනු පවතින දේ අනාගත පරම්පරාවන්ටද පවත්වාගෙන යාමට මඟ පාදා දීමකි. මේ තත්ත්වය තේරුම් ගත් ගරුතර මහා නායකහිමිවරුන් සහ ඇතැම් වියතුන් මේවන විටත් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් පවතින රජයට කරුණු පැහැදිලි කරමින් කියා සිටින්නේ මෙම ගොඩනැගිලි සංකීර්ණය ආශ්‍රීත උරුමය විනාශ නොකරන ලෙසය. මේ නිසා රජය ද එයට යහපත් ප්‍රතිචාර දක්වන බව පෙනෙන අතර එවැනි තීරණ රටට වාසනාවකි. තත්ත්වය මෙලෙසම පවතී යැයි උපකල්පනය කරමින් සංවර්ධනය සඳහා උරුමය භාවිත කළ හැකි ආකාරය ඒත්තු ගැනීම මෙහිලා වැදගත් ය.

අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් “පැරණි ස්මාරකයක්” ලෙස ප්‍රකාශයට පත් කොට ඇති බෝගම්බර බන්ධනාගාරය වර්තමාන මධ්‍යම පළ‍ාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, ගඟවට කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බෝගම්බර ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති අතර එය එකට යාවූ ගොඩනැඟිලි සමුහයකින් යුත්ත වුවකි. මෙයට බෝගම්බර බන්ධනාගාරය වටා ඇති පැරණි ප්‍රාකාරය, මුරකුටි සහ ප්‍රධාන පිවිසුම් දොරටුව ඇතුළු

බන්ධනාගාරයට අයත් සියලු පැරණි ගොඩනැඟිලි අයත් වේ. බ්‍රිතාන්‍ය පාලනය යටතේ 1876 දී ඉදිවන මෙම ගොඩනැඟිල්ල මහනුවර නගර මධ්‍යයයේ ඇති පැරණි ගොඩනැගිලි කිහිපයෙන් එකකි. එය පුරාවිද්‍යාත්මක වශයෙන් හා ඓතිහාසික වශයෙන් අතිශය වැදගත්මක් උසුලයි. එයට හේතුව මෙම ගොඩනැඟිල්ල ලංකාවේ පවතින එම වර්ගයේ එකම ගොඩනැඟිල්ල වන අතර එහි අභ්‍යන්තරය හා බාහිර ගතිලක්ෂණ නැවත ගොඩනැඟිය නොහැකි අනන්‍යතාවයකින් යුත්ත වීමයි. මෙහි ගොඩනැඟිලි ආකෘතියම භාවිතා කරමින් බන්ධනාගාර පවත්වාගෙන යාම එහි ලෙස්ටර (Leicester) නගරයේදී අපහට දැකගත හැකිවිය. තවද පුරාවිද්‍යාත්මක වශයෙන් ස්මාරක වටිනාකම (monument value) පමණක් නොව භෞතික පුරාවස්තුවක් ලෙස ද මෙය අගය කළ (object value) හැකිය. වර්තමානයේ අතිශය දියුණු නගරයක් වන පිලිපීනයේ මැනිලා නුවර මධ්‍යයෙහි අහස උසට දිවෙන නවීන මන්දිර ගොඩනැඟිලි සමූහය අතර දෙවන මහා ලෝක යුද්ධ සමයෙහි විනාශ වූ ගොඩනැඟිලි සමුහයක් නටඹුන් ලෙස දැක්විය හැකි ය. මෙරට බෝගම්බර බන්ධනාගාරය වැනි දැනට අවුරුදු 142 පමණ පැරණි වූ පුරාවිද්‍යා ස්ථානයක් එලෙසින් ම රැකිය යුතු නොවේද? මෙය තවදුරටත් සංරක්ෂණය ‍ෙකාට සුදුසු පරිදි භාවිතයට ගැනීම වඩාත් වැදගත් වේ.

මහනුවර නගරය ලෝක උරුම නගරයක් ලෙස ලියාපදිංචි කොට ඇති බැවින් මෙම ස්මාරයකය ද ලෝක උරුම ස්මාරකයකි. ලෝක උරුමයක් වන මහනුවර නගරය පිළිබඳ තීරණ ගැනීමේ දී ප්‍රවේසම් විය යු‍ත්තේ යම් භූමියක, පුරාවිද්‍යා ස්ථානයක හෝ ස්මාරකයක එම තක්සේරු අගය ගිලිහී ගිය විට එය ලෝක උරුම ලේඛනයෙන් ඉවත් වී යාමට ඇති හැකියාව නිසයි. ඒ නිසා බෝගම්බර බන්ධනාගාර ස්මාරකය රැකීමෙහිලා ප්‍රදේශයට මෙන්ම රටටද වැඩ දායක වන ලෙස කරුණු කීපයක් යෝජනා කළ හැකි ය. එහි පළමුවැන්න ලෙස මෙය නැරඹුම් මධ්‍යස්ථායක් (visiting site) ලෙස භාවිතයට ගත හැකි වීම දැක්විය හැකි ය. එහිලා මෙම ගොඩනැඟිල්ල හා භූමිය දේශීය හා විදේශීය සංචාරකයන්ට නැරඹීම සඳහා භාවිත කළ හැකි ස්ථානයක් ලෙස වැඩි දියුණු කළ හැකි ය. සමස්තයක් ලෙස ගොඩනැඟිල්ල ද, තවදුරටත් ගොඩනැඟිල්ලේ දක්නට ලැබෙන අනු අංග ද විශේෂතා ලෙස ප්‍රදර්ශනය කළ හැකි ය. එවිට මෙය ලොව පවතින ප්‍රදර්ශිත අංග සම්පුර්ණ බන්ධනාගාරයක් ලෙස නම් කළ හැකි ය. මෙවැනි පැරණි ගොඩනැඟිලි, රාජමාලිගා හා දේවස්ථාන ආදිය ලොව සෑම රටකම පාහේ සංරක්ෂණය කොට මහජන ප්‍රදර්ශනය සඳහා වෙන්කොට තබා ඇත. විධිමත් ව සැලසුම් කිරීම මඟින් ආදායම් ඉපදවිය හැකි ලෙස එම ව්‍යාපෘති සකස් කළ හැකි ය. පසුගිය දිනවල බෝගම්බර බන්ධනාගාරය මහජන ප්‍රදර්ශන සඳහා විවෘත කළ අවස්ථාවේදී පැමිණි ජන සංඛ්‍යාව විමර්ශනය කිරීමෙන් ඒ සඳහා අදහසක් ලබාගත හැකි ය.

වර්තමානයේ මහනුවර‍ට පැමිණෙන පිරිසේ ප්‍රමුඛ මධ්‍යස්ථානය වන්නේ ශ්‍රී දළදා මාළිගාවයි. ඉන් අනතුරුව බොහෝ දෙනාගේ සංචාරය සිදුවන්නේ පේරාදෙණිය උද්භිත උද්‍යානයටයි. ඉන් අනතුරුව සංචාරකයින්ට ඇත්තේ කැමති නම් හො‍්ටලයකට ගොස් විඩාව නිවීම හෝ නැතිනම් නගරයෙන් පිටවී යාමයි. අලංකාර හා අභිමානී පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීමට ද වැඩි පිරිසකට අවබෝධයක් නැත. ඇතැම් විට මහනුවර අවට පිහිටි ඓතිහාසික ස්ථාන කිහිපයක් එනම් දෙගල්දොරුව, ගඩලාදෙණිය, ඇම්බැක්කේ හා ලංකාතිලකය වැනි ස්ථාන අරමුණක් නැතිව නරඹා නික්ම යන අතර ඒ සඳහා ද නිසි ව‍ැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නැත. එම නිසා සංචාරක කර්මාන්ත‍ය මඟින් විශාල ආදායමක් ඉපයිය හැකි මහනුවර නගරයට ඒ සඳහා පැහැදිලි සැලසුමක් අත්‍යාවශ්‍යය. මේ සඳහා කළ හැකි යෝජනා රාශියක් ඇති අතර ඉහත කී ආකාරයට බෝගම්බර බන්ධනාගාර ගොඩනැඟිලි ආශ්‍රීත භූමිය ද එහිලා බෙහෙවින් ප්‍රයෝජනයට ගත හැකි ය.

බෝගම්බර බන්ධනාගාරය සම්බන්ධ භූමි භාගය තදාසන්නයේ මහනුවර නගරයේ අංග සම්පුර්ණ කෞතුකාගාරයක් ඉදි කිරීම ද ඉතා සුදුසුවේ. ලංකාවේ දැනට පවතින කෞතුකාගාර මෙන් නොව නව කෞතුකාගාර සංකල්පයන් හා ප්‍රදර්ශන මාදිලියන්ට අනුකුල වූ මහජන ආකර්ෂණය ඇති කරන කෞතුකාගාරක් ලෙස එය ගොඩනැගිය යුතුය මේ නිසා අප යෝජනා කරන්නේ කන්ද උඩරට උරුමය විදහා දක්වන අංග සම්පුර්ණ කෞතුකාගාරයක් මහනුවර ස්ථාපනය කළ යුතු බවයි. එයට වඩාත් ම සුදුසු පරිශ්‍රය ලෙස බෝගම්බර බන්ධනාගාර භූමිය යෝජනා කළ හැකි ය.

දැනට මහනුවර නගරයේ කෞතුකාගාර 5 ක් අන්තර්ගත වේ. මහනුවර නගරයේ පුජා භූමි ක්ෂේත්‍රය තුළ ස්ථානගත වන ඉහත කී කෞතුකාගාර 5 ම දළදා මාළිගා ගොඩනැගිලි ආශ්‍රය කොට පවතී. කන්ද උඩරට උරුමය නියෝජනය වන මෙම කෞතුකාගාර සියල්ලේම ඇති වස්තුව ඒකාබද්ධ කොට අංග සම්පුර්ණ එක් කෞතුකාගාරයක් ඉදිකිරීම ඉතා වැදගත් වේ. දැනට විවිධ පාලනයන් යටතේ ඒවා පැවතිය ද ඒ පිළිබඳව කථිකාවතක් ගොඩනඟා එකඟත්වයකට පැමිණ “කන්ද උඩරට උරුම කෞතුකාගාරය” (Kanda Udarata Heritage Museum) ලෙස සමස්ත කන්ද උඩරට අනන්‍යතාවය හෙළි දක්වන කෞතුකාගාරයක් ඉදිකිරීම තුළින් මෙම ප්‍රදේශයේ ජනයාගේ අනන්‍යතාව, සභ්‍යත්වය හා උරුමය විදහා දැක්විය හැකි ය.

මේ ආශ්‍රිතව වෙනත් විවිධ ව්‍යාපෘතීන් ද හඳුන්වා දිය හැකිය. දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා දේශීය සුළු කර්මාන්ත, ඒ ආශ්‍රීත තාක්ෂණය හා නිෂ්පාදිත භාණ්ඩ ආදිය හඳුන්වාදීම, වැඩි දියුණු කිරීම හා ප්‍රදර්ශනය කිරීම කළ හැකි ය. අප සාකච්ඡා කරන්නේ දැනට පවතින ලක්සල අලෙවිහල් වැනි ව්‍යාපෘති නොව එයින් ඔබ්බට ගිය විශාල ව්‍යාපෘති සඳහා අවතීර්ණය විය හැකි ක්‍රමවේද වෙතයි. මහනුවර හා තදාසන්න ප්‍රදේශවල සම්ප්‍රදායික කර්මාන්තවල යෙදෙන පිරිස් දැනුදු ඒවායේ යෙදෙන්නේ තමන්ට කර කියාගත නොහැකි ස්වභාවයෙනි. විශේෂයෙන්ම උඩරට‍ටම ආවේණික ව පවතින සුවිශේෂ කර්මාන්ත රාශියක් හ‍‍ා ශිල්පීන් සෑම ගමකම පාහේ හඳුනාගත හැකිය. එහිලා ලක්ෂා, රෙදිපිළි, අං ඇට වැඩ, පිත්තල, යකඩ, දැව, මැටි , රන් - රිදී ආදී කොට ඇති කලාවන් රාශියක් අභාවයට පත්වෙමින් පවතී. එම ගම්මාන හා එම පිරිස් සම්බන්ධ කරගනිමින් කෞතුකාගාර ආශ්‍රිත භූමිය තුළ (museum vicinity) වුවද විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ හැකි ය. එක්තරා ආකරයකට කෞතුකාගාරය හා සබඳුනු සංස්කෘතික මධ්‍යස්ථානයක් මඟින් ඉහත කී කර්මාන්ත පිළිබඳ දැනුම, අවබෝධය, පර්යේෂණ, වෙළඳාම හා අලෙවිය දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද හඳුන්වා දිය හැකි ය. ජන ගී, ජන නැටුම්, ගෝත්‍රික පිරිස්හි මැදිහත්වීම් ආදිය ද මේ සඳහා අත්හදා බැලිය හැකි ය.

මේ අනුව ලංකාවේ මහනුවර නගරය ලොව අනෙකුත් නගරවලට වඩා තරමක්‍ වෙනස් නගරයක් ලෙස සැලසුම් කිරීම වඩා වැදගත් වන්නේ එහි නිවැසි ජන සමූහයාගේ උරුමය ද රැකීමෙනි. නොඑසේ නම් මහනුවර නගරය ද තට්ටු මාළිගා පිරි ගොඩනැඟිලි සමූහයක් ලෙස පෙරට එන්නේ මෙතෙක් පැවති උරුමය ද විනාශයට පත් කරවමිනි. මහනුවර ජනයාගේ අභිලාෂය වන්නේ මහනුවර අභිමානය එලෙසම රැකගෙන සංවර්ධනය කරා යොමුවීමයි. ලෝක උරුම වටිනාකමකින් තක්සේරු කර ඇති එම නගරය කෙළිදෙළෙන් පමණක් ගත කිරීමට උචිත කිරීම අනාගත ප්‍රශ්න රාශියක ආරම්භයකි. ඒ අනුව නගරය සඳහා නව සංවර්ධන සැලසුම් ඉදිරිපත් කිරීමේ දී එහි උරුමය අනාගත පරම්පරාවන්ට ඉතිරිවන ලෙස සැලසුම් කළ යුතු අතර මෙම ලිපියෙහි ප්‍රස්තුතය වන බෝගම්බර බන්ධනාගාර ගොඩනැඟිලි සංකීර්ණය අර්ථවත්ව ඒ සඳහා යොදා ගැනීම මහනුවර ජනයාට හා සමස්ත උරුමයට කරන ගෞරවයක් ලෙස සැලකීම ඉතා වැදගත් වේ.

ආචාර්ය චූලනී රඹුක්වැල්ල
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුරාවිද්‍යා අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.