සංඛාර පච්චයා විඤ්ඤාණං | සිළුමිණ

සංඛාර පච්චයා විඤ්ඤාණං

 ලොව විද්‍යමාන කරුණු අතර අවබෝධ කිරීමට අතිශයින් දුෂ්කර ධර්මයක් වන්නේ පටිච්චසමුප්පාද ධර්මයයි. ‘ගම්භිරොචායං ආනන්ද පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසොව’ යනුවෙන් පටිච්චසමුප්පාදය ගැඹුරුය සහ ගැඹුරු ස්වභාවයෙන් ම වැටහෙන බව දක්වා ඇත. එසේ ගැඹුරු ස්වභාවයෙන් යුතු ධර්මතාවය මද නුවණකින් දත නොහැකි ය. ඉතා සියුම් ස්වභාවයෙන් යුතු පටිච්චසමුප්පාදය පිළිවෙළින් අවබෝධ කොටගත යුතු ය. අවිද්‍යාව සහ සංස්කාරයන් පිළිබඳ කරුණු පසුගිය ලිපි මගින් දක්වා ඇත. විඤ්ඤාණය සහ එහි ස්වභාවයන් පිළිබඳ කරුණු මෙම ලිපියෙන් දක්වනු ලැබේ. ප්‍රථමයෙන් ම විඤ්ඤාණය සහ එහි ලක්‍ෂණ-ස්වභාවයන් කවරේද යන්න දත යුතු ය. අරමුණු දැනීම විඤ්ඤාණයේ ලක්‍ෂණය යි. නාම රූපයනට පුරෝගාමී වීම එහි කෘත්‍යයි. පූර්ව භවය හා ගැළපීම වැටහෙන ආකාරය යි. සංඛාර ආසන්න කාරණය යි. සංඛාර පච්චයා විඤ්ඤාණං යනු කවරේද යන්න විභංග පාලියේ විග්‍රහ කොට ඇත.

“තත්ථ කතමං සංඛාරපච්චයා විඤ්ඤාණං? චක්‍ඛු විඤ්ඤාණං, සෝතවිඤ්ඤාණං, ඝාණවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනෝවිඤ්ඤාණං ඉදං වුච්චති සංඛාරපච්චයා විඤ්ඤාණං.”

විඤ්ඤාණයේ ස්වාභාවය

විඤ්ඤාණය ආකාර සයකින් විග්‍රහ කොට ඇත. විඤ්ඤාණය ආකාර සයකින් විග්‍රහ කොට ඇති නමුදු මෙහි විඤ්ඤාණ සයක් විද්‍යමාන නොවන බව දත යුතු ය. ඉන්ද්‍රිය අරමුණු ඝට්ඨනය ඔස්සේ විඤ්ඤාණය පහළ වන ඉන්ද්‍රියයන් පාදක කොටගෙන ඒ ඒ නාමයන් ව්‍යවහාරයට පැමිණ ඇත. ඇස සහ රූප ඔස්සේ චක්ඛු ප්‍රසාදය ඇසුරු කොට පහළ වන විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණ නමින් හඳුන්වයි. සෝත ප්‍රසාදය ඇසුරු කොට පහළ වන විඤ්ඤාණය සෝත විඤ්ඤාණ නම් වේ. ඝාන ප්‍රසාදය ඇසුරු කොට පහළ වන විඤ්ඤාණය ඝාන විඤ්ඤාණ නම් වේ. ජිව්හා ප්‍රසාදය ඇසුරු කොට පහළ වන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණ නම් වේ. කාය ප්‍රසාදය ඇසුරු කොට පහළ වූ විඤ්ඤාණය කාය විඤ්ඤාණ නම් වේ. මේ අයුරින් විඤ්ඤාණයේ ස්වාභාවය දත යුතු ය.

පටිච්චසමුප්පාදයෙහි දැක්වෙන සංඛාර පච්චයා විඤ්ඤාණං යන තැන්හි විඤ්ඤාණය යනු පූර්ව භවය සහ වර්තමාන භවය අතර සම්බන්ධ කරන ස්ථානය යි. විඤ්ඤාණ යනුවෙන් මෙහි දැක්වෙන්නේ ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරන සිත් දහනවය (19) පිළිබඳව යි. මහාකුසල් සිත් 08, රූපාවචර සහ අරූපාවචර වශයෙන් දැක්වෙන මහග්ගත සිත් 09, අහේතුක ප්‍රතිසන්ධි සිත් 02, යනු ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරන සිත් 19 වේ. මහා කුසල් සිත් අටෙහි (08) හි විපාක වශයෙන් කාම සුගති ලෝකයන්හි ප්‍රතිසන්ධිය ලබා දෙයි. රූපාවචර සිත්හි විපාක වශයෙන් රූපාවචර බ‍්‍රහ්ම ලෝකයන්හි ප්‍රතිසන්ධිය ලබා දෙයි. අරූපාවචර කුසල සිත්හි විපාක වශයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි ප්‍රතිසන්ධි ලබා දෙයි. උපේක්‍ෂා සහගත සන්තීරණ සිත් මගින් අහේතුක ප්‍රතිසන්ධි උපදවයි. විඤ්ඤාණ වශයෙන් මෙහි දැක්වෙන්නේ මෙම ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරන සිත් 19 පිළිබඳව ය.

සංඛාර යනු

සංඛාර පච්චයා විඤ්ඤාණං යන තැන්හි හේතු ඵල සන්ධිය ඇති කරන ස්ථානය යි. සංඛාර අතීත භවයට අයත් වන අතර විඤ්ඤාණ වර්තමාන භවයට අයත් ය. අතීතයේ සිදු කරන ලද කුසලාකුසල කර්ම සංඛාර නම් වේ. එම සංඛාරයන්ගේ විපාකයක් වශයෙන් වර්තමාන භවය ඇති කරන ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඇති වේ. පූර්ව භවයේ මරණාසන්න මොහොතේ අරමුණු වු ආරම්මණයට අනුරූපීව අනතුරු භවයේ ප්‍රතිසන්ධිය ඇති කර යි. සත්ත්ව පුද්ගල භාවයක් හෝ භවයෙන් භවයට ගමන් කරන නිත්‍ය වූ ආත්මයක පැවැත්මක් නොමැති බව වටහා ගැනීම සඳහා සංඛාර හා විඤ්ඤාණ අතර පවත්නා සබඳතාවය අවබෝධ කර ගැනීම අතිශය වැදගත් ය. එහෙත් මෙහි විද්‍යමාන සත්‍ය ස්වභාවය දැක ගැනීම අතිශයින් දුෂ්කර ය. පුද්ගලයෙකුගේ හෝ ආත්මයක සබඳතාවක් නොමැතිව සසරේ දිගින් දිගට මෙම නාම රූප ධර්මයන්ගේ පැවැත්ම සිදුවන අයුරු නිවැරදිව අවබෝධ කළ හැක්කේ මෙම කරුණු අතර පවත්නා සබඳතාවය මනාව තේරුම් ගැනීමෙනි.

සසර දිගින් දිගට පවත්නා හේතු සකස් වන අයුරු තව දුරටත් ප්‍රකට කර ගැනීම සඳහා පටිච්චසමුප්පාදයෙහි විද්‍යමාන ආකාර විස්ස (20) තේරුම් ගනීම ද වැදගත් ය. එය පහත අයුරින් දත යුතු ය.

“අතීතෙ හෙතවො පඤ්ච ඉදානි ඵල පඤ්චකං
ඉදානි හෙතවො පඤ්ච ආයතිං ඵල පඤ්චකන්ති”

මෙහි අතීත හේතු පස (05)ක්, වර්තමාන ඵල පස (05)ක්, වර්තමාන හේතු පස (05)ක්, අනාගත ඵල පස (05)ක් දක්වා ඇත.

අතීත හේතු -05, අවිජ්ජා, සංඛාර, තණ්හා, උපාදාන, භව

වර්තමාන ඵල - 05, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා

වර්තමාන හේතු - 05, තණ්හා, උපාදාන, භව, අවිජ්ජා,

සංඛාර

අනාගත ඵල - 05, විඤ්ඤාණ, නාමරූප, සළායතන,

ඵස්ස, වේදනා

සසර දිගුවන හේතු

එක් භවයකින් චිත්ත පරම්පරාව කෙළවර නොවී සසර දිගින් දිගට පවත්නා ආකාරය මෙම කරුණු විශ්ලේෂණය කිරීමෙන් දත හැකි ය. සංඛාර සහ විඤ්ඤාණය අතර පවත්නා සබඳතාවය හඳුනාගැනීම අතිශයින් වැදගත් ය. විඤ්ඤාණය වර්තමාන ඵලයක් වන්නා සේ ම අනාගත ඵලයක් ද වන්නේ ය. එසේ ම සංඛාර අතීත හේතුවක් වන්නා සේ ම වර්තමාන හේතුවක් ද වන්නේ ය. සංඛාර අතීත හේතුවක් වන්නේ කෙසේ ද? විඤ්ඤාණය වර්තමාන ඵලයක් වන්නේ කෙසේ ද? ඒ අතර පවත්නා සබඳතාව කෙබඳු ද යන්න විමසිය යුතු ය. සංසාර චක්‍රයේ පූර්ව කෝටියක් හෙවත් කෙළවරක් දත නොහැකි ය. කරුණු මෙසේ හෙයින් පටිච්චසමුප්පාදය යනු භවයේ ආරම්භයක් පෙන්වන ලද්දක් නොව එය පවත්නේ කවරක් නිසාද යන්න හේතු ප්‍රත්‍යයන්ට අනුරූපීව සත්‍යය ස්වභාවය ප්‍රකට කරන ලද දෙයකි. එසේ හෙයින් අප පූර්ව භවය හා වර්තමාන භවය සම්බන්ධ කරමින් පටිච්චසමුප්පාදයට අනුව මෙම චක්‍රය නොසිඳී ඉදිරියට පවත්නා අයුරු දක්වනු ලැබේ. පටිච්චසමුප්පාදයෙහි ආකාර විස්සට අනුව එක් අවස්ථාවක සංඛාර යනු අතීත භවයට අයත් කොටසක් වශයෙන් සලකනු ලැබේ. එනම් පූර්ව භවයේ මරණාසන්න මොහොතේ ඉදිරිපත් වු කුසලාකුසල කර්මය සංඛාරය යි. එය උපනිශ්‍රය වනුයේ අනතුරු භවයේ ප්‍රතිසන්ධිය සඳහා ය. එම සංඛාරයට අනුව අනතුරු භවයේ පහළ වන ප්‍රථම විඤ්ඤාණය ප්‍රතිසන්ධි විඤ්ඤාණය යි. එය ප්‍රතිසන්ධි විඤ්ඤාණය වශයෙන් හඳුන්වනු ලබනුයේ එම විඤ්ඤාණයේ කාර්යය හෙවත් කෘත්‍යය වනුයේ කර්මයට අනුව අනතුරු භවයේ ප්‍රතිසන්ධිය ලබා දීම ය. එම සිත පහළ වීම අනතුරු භවයේ පහළ වීම යි. එය සත්ත්වයකුගේ හෝ පුද්ගලයකුගේ ආගමනයක් නොව කර්මානුරූපව විඤ්ඤාණයේ පහළ වීම ය. එම විඤ්ඤාණයට පාදක වූයේ පූර්ව භවයේ සංඛාරය යි. එය උපනිශ්‍රය වී පහළ වූ විඤ්ඤාණය වර්තමාන භවයට අයත් ය. එයට හේතුව නම් පූර්ව කර්මය වූ සංඛාරය පූර්ව භවයෙහි හෝ එයට ප්‍රථමයෙන් කරන ලද්දක් වීම ය. නමුත් එය උපනිශ්‍රය වී පහළ වූ ප්‍රතිසන්ධි විඤ්ඤාණය අලුත් භවයෙහි පහළ විය. කරුණු මෙසේ හෙයින් විඤ්ඤාණය වර්තමාන භවයට අයත් වේ.

එසේ ම සංඛාර වර්තමාන හේතුවක් ද වේ. විඤ්ඤාණය අනාගත ඵලයක් ද වේ. මෙම කරුණු අතර සබඳතාව කෙසේ සිදු වන්නේ ද යන්න විමසිය යුතු ය. පූර්ව කර්මයෙන් පහළ වූ චක්‍ඛු ආදී ප්‍රසාද වස්තු සහ ආරම්මණ පාදක කොට වර්තමාන භවය තුළ අප්‍රමාණ කුසලාකුසල රැස් කර යි. ඒවා සංඛාර ලෙස හඳුන්වයි.

නිවැරැදි මාර්ගය

එසේ වර්තමානයෙහි රැස් කරන සංඛාර නැවත වෙනත් භවයක ප්‍රතිසන්ධි ලබා දීම සඳහා ප්‍රත්‍ය වේ. මේ අයුරින් සංඛාර වර්තමාන හේතු වශයෙන් සකස් වන ආකාරය නුවණින් දත යුතු ය. අනෙක් කරුණු පිළිබඳව ද මේ න්‍යායෙන් ම අවබෝධ කළ යුතු ය.

අතිශය ගැඹුරු ස්වභාවයකින් යුතු පටිච්චසමුප්පාදය පහසුවෙන් අවබෝධ කළ නොහැකි හෙයින් එහි පවත්නා දුරවබෝධය වටහාගෙන ම අවබෝධය සඳහා ප්‍රවිශ්ට විය යුතු ය. මද නුවණකින් හෝ අල්ප වූ උත්සහයකින් එය තේරුම් ගැනීමට උත්සහ ගැනීම විවිධ ගැටලු උපදව යි. එසේ ම ඇතැම්හු සරල ක්‍රමයෙන් පටිච්චසමුප්පාදය තේරුම් ගැනීම පිළිබඳ සාකච්ඡා කරමින් ඒ සඳහා විවිධ පිළිවෙත් අනුගමනය කරති. එහෙත් එය සාර්ථක නොවන බව දත යුතු ය. නිවන සඳහා කෙටි මාර්ග හෝ සරළ ක්‍රම නොමැති බව දත යුතු ය. යමෙකුට මෙම ගැඹුරු ධර්මය අවබෝධ කොට නිවනට පත්ව සියලු දුකින් නිදහස් වීමට සැබෑ ලෙස අවශ්‍යතාවක් වන්නේ නම් තමා විසින් තමාගේ සිත ම රවටාගෙන වඤ්චක ධර්මයන්ට හසු නොවී බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද නිවැරදි මාවත ඔස්සේ තම සිත භාවිත කළ යුතු ය. එසේ අවංක වූ සෘජු මනසින් යුක්තව ක්‍රියා කරන පුද්ගලයින් කිසිදා කෙටි මාර්ග හෝ සරළ ක්‍රම සොයා නොයන අතර බුදුරදුන් විසින් පනවන ලද ධර්ම මාර්ගය පිළිබඳ ඔවුහු සැබෑ ලෙස ම ශ්‍රද්ධාව පිහිටුවා එය භාවිත කිරීම සඳහා වීර්යය උපදවති.

ධර්මයෙහි ඉතා ගැඹුරු විග්‍රහයක් සහ සියලු දෙනා විසින් මැනවින් දැන සිටිය යුතු පටිච්චසමුප්පාදය ඉතා ගෞරවයෙන් ඉගෙන ඒ තුළ සිත භාවිත කොට මාර්ගඵල උපදවීම පිණිස උත්සහ ගත යුතු ය. අප සොයාගත යුත්තේ කෙටි මාර්ග හෝ සරළ ක්‍රම නොව නිවැරදි මාර්ගය කවරේද යන්න පමණක් ය. නිවැරදි මාර්ගය අනුගමනය කළේ නම් එහි ඵලය කල් නොයවා ම ලැබෙනු ඇත.

ලබන සතියේ... විඤ්ඤාණ පච්චයා නාමරූපං

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී

අදහස්