හැම­දේම බාගෙට වුණත් සම්පූර්ණ ඈයෝ | සිළුමිණ

හැම­දේම බාගෙට වුණත් සම්පූර්ණ ඈයෝ

සයිමන් අප්පුහාමි නොහොත් තේගිස් මාමා අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසියෙනි. උන්දෑ උජාරුවට ඒ ගැන කියනකොට හැමෝම බැලුවේ අමුතු විදිහටය. ඒත් මට ඒ ගැන ඒ හැටි අවබෝධයක් නොතිබුණි. ඒ කාලේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත හැමෝටම කළු සුද්දා කියලා කිව්වත් ඒකේ හැටි එහෙම තමයි.

සුද්දා රට දාලා යනකොට ආඩම්බරයට අපට ඉතිරි වූයේ ඉංග්‍රීසි විතරයි කියලා තේගිස් මාමා කිව්වා. පසුකාලෙක තේගිස් මාමාගේ නම වෙනස් කළේ ඇන්ටෝනි පෙරේරා කියලා. සුගුණ අත්තම්මාට වගේ ඇන්ටෝනි මාමාට තමන්ගේ භාෂාවෙන් ඉගෙනගන්න ලැබුණේ නැහැ.

මේ ගැන සුගුණ අත්තම්මාගේ එතරම් කලකිරීමක් තිබුණේ නැහැ. ඒත් මාමා නම වෙනස් කළ එක පෙළපතට හොඳ නෑ කියලා කිව්වා. අනිත් දේවල් මොකද සුද්දගේ නම මොකද කියලා මාමා නම වෙනස් කරන්න පැකිළීමක් වුණේ නැහැ. මේ කාලේ ඇන්ටෝනි මාමා විතරක් නෙවෙයි අපේ ගුණදාස මාමත් එයාගේ නම වෙනස් කළේ ඉංග්‍රීසි පැලැන්තයිට ගැළපෙන ආකාරයට. භාෂාව විතරක් නෙවෙයි නමත් සුද්දට ඕනෙ විදිහට කියලා කිව්වා.

අපේ ගමේ බොහෝ දෙනා එලිසබත් මහරැජිණගේ පරම්පරාවේ නම් තියා ගත්තා. මේක හරිම පුදුම කතාවක්. ගම්වල හැම දෙනාටම මේ ක්‍රමය බෝ වේගෙන ගියේ වසංගතයක් විදිහට. ඒත් ඒ කාලේ පෘතුගීසිකාරයා ඉගැන්වූ නාඩගම් ගොයම් කැපුවට පස්සේ රඟ දැක්කුවා.

හැමෝගෙම දේවල් පොඩ්ඩ පොඩ්ඩ අපේ ගමේ ඈයෝ අල්ලගෙන ගියා. ඒ විතරක් නෙවෙයි ඒ හැම එකක්ම අපේ කරගෙන හිටියා. ඇත්තටම අපේ වගේ නාඩගම් රඟ දක්වනකොට අපේ බිසෝලා විතරක් නෙවෙයි ඩිංගිරි අම්මාලාත් කට ඇරගෙන ගියා. මේක මහ අපූරු දෙයක් නෙවැ, හැමෝම මේවායින් පොඩි රසයක් මවාගන්නව කියාලා මට ඒ කාලේ දැනුණා.

ඇන්ටෝනි මාමා ඉංග්‍රීසි හරඹයක යෙදෙනකොට අපේ අත්තා සකස්කඩ කියෙව්වා කියලා සුගුණා අත්තම්මා මට කියලා තිබුණා. අත්තා රැල් බුරුල්ල යන්න තමයි සකස්කඩ කියවලා තියෙන්නේ.

පිරිවනේ ඉගෙනගත්තාට දහම් පොත් වතුර වගේ කියලා ගමේ පිළිගැනීමක් තිබුණා. ඒකාලේ හැම පොඩි ළමයෙක්ම සීයා ළඟට කතා අහන්න එනවා. සීයා ඒ හැම කතාවක්ම පැහැදිලි කරලා කියලා දෙනව. ඒත් ඒ හැම දෙයක්ම ගමට විතරයි. ගමේ කෙනෙක් නගරේ යනව නම් එදාට ඇන්ටෝනි මාමා යනව ඒ අයගේ සහයට. සෑම කියවිල්ලක්ම තිබුණේ ඉංග්‍රීයෙන් නිසා ඒවා පුරවන්න ගමේ අය දැන ගෙන හිටියේ නැහැ. ඇන්ටෝනි මාමා වගේම තමයි ඩැනියෙල් මාමාත් එයාගේ සාක්කුවේ තිබුණෙත් රැජිණිගේ පිංතූරයක්.

සමහර දවස්වලට අපේ ලොකු අක්කා ඒ පිංතූරේ ඉල්ලාගන්නව. ඒක හරිම ලස්සනයි. ඒ කාලේ රැජිණගේ රූපේ ගමේ කෙල්ලෝ හැමෝගෙම හිතේ ඇඳිලා තිබුණා. ඒත් ඉතිං කොට ගවුම් ඇඳලා කොණ්ඩේ කොටට කපන්න ඒගෝලොන්නට හැකියාව තිබුණේ නැහැ. හැමෝම හිතෙන් රැජිණ වගේ වුණා. කොහොම වුණත් ස්වාමිපුරුෂයාට දෙයියන්ට වගේ සැලැකුව ගෑනුත් එලිපහලියට බැහැලා හරිහරියට වැඩ කරන්න ගත්තේ මේ කාලෙදී.‍ෙ

බණ්ඩාරනායක ඇත්තන්ගේ සටන නැවැතුණේ නැහැ. ආයිත් සිංහලෙන් අපට ඉගෙනගන්න ලැබුණා. ගමේ පාසලට ඉංග්‍රීසි පුසුඹ දැනෙන්න ගත්තා විතරයි. ඒත් අපි අපේ බසට හැරුණා.

මේ නිසා මාලනි නැන්දාට සිංහලෙන් ඉගෙනගන්න ලැබුණා. ඒත් හිත තිබුණේ ඉංග්‍රීසිවලට නිසා උන්දෑ තමන්ගේ ඉංග්‍රීසිසි පන්නේ නම වෙනස් කළේම නැහැ. ඇන්ටෝනි මාමත් එක්ක හරි හරියට ඉංග්‍රීසියෙන් දෙඩුවා. ගමේ ඈයොන්ට වහ කදුරු වගේ වුණත් මොකක් කරන්නද? ඒත් අපි තවමත් රැජිණගේ ක්‍රමයට ආසයි. ඒ හැදියාව නිසා කියලත් සමහරු කිව්වා.

මොනව වුණත් සිංහල මිනිස්සු අතර කුහකකම පටන්ගත්තේ ඊට පස්සේ කියලා අපේ අත්තා මට කියලා තිබුණා. ඇයි ඉතිං ඉංග්‍රීසි බැරි එකා පුළුවන් එකාට ඇද කෙරුවා. එයාගේ ඇඳුම පැලඳුම විවේවනය කළා. ඒත් මං අපේ අත්තට මෙහෙම කිවුවා. සිංහලකම ගැන කතා කරන ඈයොන්ට ඇයි බැරි තවමත් රෙද්ද හැට්ටේ අඳින්න. අත්තා හිනා වුණා. ඒක නේ පුතේ අපි හැම දේම කළේ බාගේට. ඒක අපේ ජාතියේ වැරැද්දක් ද මං දන්නේ නැහැ. අත්තාගේ කතාව ඇත්ත වුණත් මට හිතන්න දෙයයක් ඉතිරි කළා.

Comments