පද්මා­වතී පුරාවෘත්තය හා 1818 ජාතික නිදහස් සටන ඉන්දියාව කැලඹූ ලංකාවේ පද්මාවතී | සිළුමිණ

පද්මා­වතී පුරාවෘත්තය හා 1818 ජාතික නිදහස් සටන ඉන්දියාව කැලඹූ ලංකාවේ පද්මාවතී

‘පද්මාවත්’ රූගත කෙරෙමින් පැවති දර්ශන තලයකට කඩා වැදුන කණ්ඩායමක් ඊට බාධා කළ අතර, අධ්‍යක්ෂ සංජය ලීලා භන්සාලිට කම්මුල් පහරක් එල්ල කළ බවට ද වාර්තා විය. භන්සාලිගේ පඹයන් පුළුස්සමින් ඔහු මරා දමන බවට තර්ජනය කළ රාජ්පුත්වරු, දීපිකා පදුකෝන්ට පංච තන්ත්‍රයේ කතා පුවතක දැක්වෙන පරිදි පරපුරුෂ සේවනයේ යෙදුණ ස්ත්‍රියකට ලබා දෙන දඬුවම මෙන් නාසය ද කපා දැමිය යුතු යැයි පැවැසූහ.

සන්ජේ ලීලා භන්සාලිගේ ‘පද්මාවත්’ සිනමාපටය පිළිබඳ ලොව පුරා ප්‍රචාරය වූයේ එය තහනමට ලක්වීමට නියමිත බව පවසමිනි. මෙහි තිර කතාව ලියා ඇත්තේ මලික් මුහම්මද් ජයසි නම් කවියාගේ ‘පද්මාවත්’ කාව්‍යය (1540) ඇසුරිණි. මධ්‍යතන යුගයේ ඉන්දියාවේ සිදු වූ මුස්ලිම් ආක්‍රමණ සමඟ බිහි වූ දිල්ලි සුල්තාන් අධිරාජ්‍ය පාලනයේ බලය අල්ලා ගත් තුර්කි-ඇෆ්ඝන් සම්භවයක් සහිත අලාවුද්දීන් ඛිල්ජි (Alauddin Khilji) අධිරාජයා සහ එවක රාජස්ථානයේ සිටියේ යැයි සැලකෙන ‘පද්මාවතී’ රැජිනගේ චරිත තේමා කර ගනිමින් මෙම චිත්‍රපටය නිමාවා ඇත. ඉන්දීය පුරාවෘත්තවලට අනුව පද්මාවතිය අතිසුරූපී, එසේම පතිවත දහම කරගත් කාන්තා චරිතයකි. මේ පද්මාවතී රැජණ‘රාණි පද්මිණී’ යනුවෙන් හඳුන්වනු ලබයි.

‘පද්මාවත්’ කාව්‍යය අනුව සිංහල ද්වීපයේ රජ කළ ගාන්ධර්ව සේන රජුගේ සහ ඔහුගේ අගබිසව චම්පාවතී දේවියට පද්මාවතී නම් ඉතාමත් රූමත් දියණියක සිටියාය.

ඇය කෙතරම් රූපශ්‍රීයෙන් අග තැන්පත්ද යත් ඇගේ රුවට සම කළ හැකි රුවක් මිහිපිට පමණක් නොව දෙව්ලොවද නොවීය. ඇයගේ සමීපතම මිතුරා වූයේ හරි අපූරු පක්ෂියෙකි. ඒ හිරාමන් නම් කතා කරන ගිරවකු ය. සිය දියණිය පමණට වඩා මේ ගිරවා සමීප වීම නොරිස්සූ පිය රජු ඇයට රහසින් මේ ගිරවා මරා දැමීමට හේවායකු යෙදවීය.

එහෙත් මෙම හෙවායාගෙන් මිදී සිය ප්‍රාණය රැකගැනීමට සමත් වන ගිරවා වෙනත් පෙදෙසකට පියඹා ගියේ ය. මෙසේ පියඹා යමින් සිටි ගිරවා කුරුළු වැද්දකුට හසු විය. මේ කතා කරන හරි අපූරු ගිරවා කුරුළු වැද්දා විසින් බමුණකුට අළෙවි කළේය. මේ බමුණා ගිරවාද කැටුව චිත්තෝර් බලා නැව් නැග්ගේය. චිත්තෝර් හී දී එහි පාලකයා වූ රතන් සෙන් රජු මේ මියුරු බස් තෙපලන හරි අපූරු පක්ෂියා දැක සතුටට පත්ව බමුණාට කහවණු දී ගිරවා ලබාගෙත්තේය.

රතන් සෙන් රජුගේ කුළුපග මිත්‍රයකු වූ ගිරවා ඔහු සමඟ සිටින අතර තුර, පද්මාවතීයගේ රූසපුව විචිත්‍රවත් අන්දමින් වර්ණනා කළේ ය.

ඉන් මහත් සතුටට පත්වූ රජු හට පද්මාවතීය පිළිබඳ සිතක් ඇති විය. ඇය සොයාගොස් විවාහ කරගැනීමට සිත් වූ ඔහු ගිරවාගේ මාර්ග දර්ශනය අනුව යමින් දින හතක් සයුරු මඟ ගෙවමින් සිංහලාද්වීපයට ලඟා විය. ඒ සිය සහචරයින් 16,000ක් සමග ය. ගිරවාගේ උපදෙස් පරිදි පද්මාවතිය යන එන ආශ්‍රමයක තපස් රකින්නට රජුට සිදු විය.

පද්මාවතී ආශ්‍රමයට පැමිණියාය. ඒ බව දැනගත් ගිරවා එය රජුට දැනුම් දුන්නේ ය. එහෙත් ඇය ඉක්මණින් මාලිගාව බලා පිටත් විය. මේ අතර ගිරවා පද්මාවතියට ද රතන් සෙන් ගැන තොරතුරු කියන්නට විය. එම වර්ණනාවෙන් රතන් සෙන් පිළිබඳ සිත්ඇල වූ පද්මාවතීය මාලිගයට වී රතන් සෙන් පැමිණෙන ‍තෙක් නොයිවසිලිමත් විය. කිසිදා හැබැහින් නොදුටු මේ දෙපල ඔවුනොවුන්ගේ මනෝරථයෙහි ඔවුනොවුන් හා වෙලී සිටියේය.

රතන් සෙන් තුළ පද්මාවතීය දැක ගැනීමට නොහැකි වූ ශෝකය කෙතෙක් වීද යත් ඔහු සියදිවි හානි කරගන්නට ද තැත් කළේය. එහෙත් මහේෂ්වර සහ පාර්වතීය එය වළකාලූහ.

අනතුරුව ඊෂ්වරයන්ගේ උපදෙස් අනුව, රතන් සෙන් සහ ඔහුගේ සහචරයින් සිංහල රාජධානියේ රාජ මාළිගයට පහර දුන්නේය. එහි දී පරාජයට පත් වූ රතන් සෙන් හා සහචරයින් සේන රජු විසින් සිරභාරයට පත් කරන ලදී.

ඒ වනවිටත් ඔවුන් සිටියේ තවුසන්ගේ වස්ත්‍රවලින් සැරසී ගෙනය. සේන රජු විසින් රතන් සෙන්ට මරණ දඬවුම ලබා දීමට සූදානම් වන අවස්ථාවේ ඔහුගේ වන්දිභට්ටයා මේ ඔබ ඉදිරියේ තවුසකු ලෙස වෙස්වලාගෙන සිටින්නේ චිතගෝරයේ රජු යැයි හෙළි කළේය. අනතුරුව කරණු කාරණා අසා දැනගත් රජු පද්මාවතීයව රතන් සෙන්ට විවාහ කර දුන්නේ ය. එසේම චිතගොර් රජු ගේ සහයකයින් 16000ටම සිංහල පද්මිනී ස්ත්‍රීන් 16,000ක් විවාහ කරදුන්නෝය.

කලක් ඇවෑමෙන් රතන් සෙන් රජුට පක්ෂියකුගෙන් සංදේශයක් ලැබුණේය. එහි සඳහන් වූයේ ඔහුගේ පළමු බිසව වූ නාග්මතී ඔහු නැවත චිතෝරයට පැමිණෙන තෙක් මඟබලා සිටින බවයි. රතන් සෙන් සිය නව බිසව වූ පද්මාවතීය හා සිය අනුගාමිකයන් 16,000 දෙනා සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් 16,000 දෙනාද සමග චිතෝරය බලා පිටත් විය.

ලොව රූමත්ම ස්ත්‍රිය තමන් සතු කරගත් හෙයින් රතන් සෙන් උඩඟු ව සිටියේය.

මෙය දැනගත් සාගර දෙවියන් රතන් සෙන්ට දඬුවම් දීමට තීරණය කළේය. ඒ අනුව කුණාටුවකින් රතන් සෙන් සහ පද්මාවතී ඉතිරි වී සෙසු සියලු දෙනා මියගියේය. නැව මුහුදු බත් විය. පද්මාවතීය ගසාගෙන විත් සාගර දෙවියන්ගේ දියණිය වූ ලක්ච්මීගේ දිවයිනෙහි අතරමං වූවාය. මොවුනතර තිබෙන ප්‍රේමය පිළිබඳ දැන සිටි ලක්ච්මී රතන් සෙන් තුළ පද්මාවතීය කෙරෙහි ඇති ප්‍රේමය පරීක්ෂා කිරීමට සිත් වූවාය.

පද්මාවතී ලෙස වෙස්වලාගත් ඇය රතන් සෙන් ඉදිරියට පැමිණියා ය. පද්මාවතිය කෙරෙහි මහත් සිත් වූ රතන් සෙන් ඇයට මුළා නොවූවාය. අනතරුව මේ සුවිසල් ප්‍රේමය පිළිබඳව සතුටට පත් වූ සාගර දෙවියන් සහ ලක්ච්මී රතන් සෙන් සහ පද්මාවතීයව මුණගස්වා ඔවුනට තෑගි බෝග ලබාදුන්නාය. පූරිහි දී නව සහයකයින් පිරිසක් සොයාගන්නා රතන් සෙන් ත්‍යාගද කැටිව පද්මාවතිය කැටුව චිතෝර් බලා ගමන් කළාය.

කාලයක් යන විට රතන් සෙන්ගේ බිසෝවරුන් දෙදෙනා වූ නාග්මතී සහ පද්මාවතී අතර විරසකයක් හටගැනිණි. මේ අතරතුර වංචනික ක්‍රියාවන් හේතුවෙන් බ්‍රාහ්මණ රාජ සභා නිලධාරියකු වූ රාඝව් චේතන්ව රජු පිටුවහල් කර දැමීය. රජු ගෙන් පලිගැනීමට සිතූ රාඝව් චේතන් දිල්ලි සුල්තාන්වරයා වූ අලාවුද්දීන් ඛල්ජි මුණගැසී අතිශයින් රූමත් පද්මාවතී පිළිබඳ තතු හෙළිකළේ ය. ඔහු ගේ බස් ඇසීමෙන් ප්‍රමුදිත වු සුල්තාන්වරයා පද්මාවතීව ලබාගැනීමට තීරණය කළේ ය. ඔහු චිතෝර් වැටලී ය.

පද්මාවතීව අලාවුද්දීන්ට ලබාදීමට අකැමැති වූ රතන් සෙන් ඔහුට කප්පම් ලබාදීමට එකඟ විය. එහෙත් ඊට සුල්තාන්වරයා අකමැති විය. කෙසේ වෙතත් චිතෝර් බලකොටුව යටත් කරගැනීමට නොහැකි වූ අලාවූද්දීන් රතන් සෙන් සමග සාම ගිවිසුමකට එළඹියේය. මෙලෙස කූඨ උපායකට හසු කරගත් අලාවුද්දීන් රත්න සෙන් රජු අල්වාගෙන දිල්ලිය වෙත රැගෙන ගියේ ය. මේ අතර තුර රතන් සෙන් රජුට පක්ෂපාතී ගෝරා සහ බාදල් වෙතින් උපකාර ලබා ගැනීමට පද්මාවතී කටයුතු කළාය.

අනතුරුව පද්මාවතී සහ ඇගේ පරිවාර ස්ත්‍රීන් ලෙස වෙස්වලාගත් ඔවුහු දිල්ලිය වෙත පැමිණියහ. මහත් පරිශ්‍රමයක් ගෙන රතන් සෙන් මුදවා ගැනීමට ඔවුන්ට හැකි විය. එහෙත් දිල්ලි හමුදාව සමග සටනේ දී ගෝරා මියගියේ ය. රතන් සෙන් සහ බාදල් නැවත ආරක්ෂිතව චිතෝර් වෙත පැමිණියේය.

මේ අතර, චිතෝරයේ අසල්වැසි කුම්භාල්නේර්හි රාජ්පුත් පාලකයා වූ දේව්පාල් ද අතිශය රූමත් පද්මාවතීයට ඇලුම් කළේය. රතන් සෙන් දිල්ලියේ සිරගත කොට සිටින බව දැනගත් ඔහු, සිය මනෝරථය පූර්ණ කරනු පිණිස පද්මාවතීයට විවාහ යෝජනා එවී ය.

රතන් සෙන් චිතෝර් වෙත නැවත පැමිණි පසු, මෙම අපහාසයට දේව්පාල්හට දඬුවම් කිරීමට තීරණය කළේ ය. ඒ අනුව ද්වන්ධ සටනක යෙදී සිටියදී දේව්පාල් සහ රතන් සෙන් දෙදෙනාම මිය ගියේය.

නැවතත් පද්මාවතී ලබාගැනීමේ අරමුණින් අලාවුද්දීන් ඛල්ජි නැවැත චිතෝර් ආක්‍රමණය කළේ ය. අලාවුද්දීන්ට කිහිප වරක්ම පරාජය වීමෙන් පසු, නාග්මතී සහ පද්මාවතී සිය ගෞරවය රැකගනු පිණිස රජුගේ චිතකයට පැන සති පූජාවෙන් දිවිතොර කරගත්තාය.

චිතෝරයේ සෙසු කාන්තාවන් ද සමූහ ස්වයං-බිලිපූජා (ජෞහාර්) පිළිවෙත අනුව යමින් සිය දිවි හානි කරගත්තෝය. එහෙත් චිතෝරයේ මිනිසුන් දිවිපුදා අලාවුද්දීන්ට එරෙහිව සටන් කළෝය. අවසානයේ අලාවුද්දීන්ට ජයග්‍රහණය හිමි වුවද ඉතිරි වූයේ ජන ශූන්‍ය හිස් බලකොටුවක් පමණි.

එදා සිට අද දක්වා මේ කතා ප්‍රවෘත්තියෙන් මුර්තිමත් කෙරෙන පද්මාවතී රැජින කාන්තාවන් සිය ගෞරවය රැක ගත යුතු ආකාරය සංකේතවත් කරන පතිවෘත්තාවේ ප්‍රතිමූර්තිය ලෙස ‘රාජ්පුත්’ වැසියෝ සලකති.

මෙවැනි පසුබිමක් යටතේ ‘පද්මාවත්’ සිනමාපටය තිරගත වීමට නියමිත විය. සිනමා පටයේ පූර්ණ ප්‍රචාරක කටයුතු සිදු කරන අතර වාරයේ මෙහි කිසියම් ආකාරයකින් පද්මාවතීයගේ චරිතයට හානියක් සිදුව ඇතැයි පැතිර ගිය කටකතාව අනුව සටන්කාමී හින්දු රාජ්පුත්වරුන්ගේ දැඩි විරෝධය හා විවේචන එල්ල විය. එසේම චිත්‍රපටය තහනම් කරන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ.

එක්තරා අවස්ථාවක ‘පද්මාවත්’ රූගත කෙරෙමින් පැවති දර්ශන තලයකට කඩා වැදුන කණ්ඩායමක් ඊට බාධා කළ අතර, අධ්‍යක්ෂ සංජය ලීලා භන්සාලිට කම්මුල් පහරක් එල්ල කළ බවට ද වාර්තා විය. භන්සාලිගේ පඹයන් පුළුස්සමින් ඔහු මරා දමන බවට තර්ජනය කළ රාජ්පුත්වරු, දීපිකා පදුකෝන්ට පංච තන්ත්‍රයේ කතා පුවතක දැක්වෙන පරිදි පරපුරුෂ සේවනයේ යෙදුණ ස්ත්‍රියකට ලබා දෙන දඬුවම මෙන් නාසය ද කපා දැමිය යුතු යැයි පැවැසූහ.

මේ අතර ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය තම බලය තහවුරුව ඇති රාජස්තාන්, උත්තර් ප්‍රදේශ් සහ හර්යානා ඇතුළු ඉන්දීය ප්‍රාන්ත කීපයක ‘පද්මාවත්’ සිනමා පටයට එරෙහිව උද්ඝෝෂණ ඇවිලූහ.

රාජස්ථාන් මහ ඇමැතිනි වසුන්දරා රාජේ ප්‍රකාශ කර සිටියේ ‘‘රජ්පුත් ප්‍රජාව අතර පවතින සංවේදී ආකල්පවලට හානියක් නොවන මට්ටමින් අවශ්‍ය වෙනස්කම් සිදු කර ඉන් අනතුරුව ‘පද්මාවත්’ ප්‍රදර්ශනය කළ යුතු ය‘‘ යන්නයි.

එසේම රාජස්ථානයේ අතීත රජ පවුලට නෑකම් සහිත පුද්ගලයෝ 'පද්මාවත්' චිත්‍රපටය තිරගත නොකරන මෙන් ඉල්ලා සිටියහ.

ඇත්තෙන්ම මේ යට පැවතියේ සත්‍ය විකෘති කර සිය බලය තහවුරු කරගැනීමේ බී.ජේ.පියේ කුමන්ත්‍රණයක් බව පැවසේ. මුස්ලිම් විරෝධී හින්දු ජාතිවාදය මැතිවරණ ජයග්‍රහණය කිරීමේ උපක්‍රමයක් ලෙස පමණක් නොව නූතන ඉන්දියාවම හින්දුකරණය කිරීම වත්මන් බී.ජේ.යේ මූලෝපායික ව්‍යාපෘතියක් බව ආචාර්ය ජයදේව උයන්ගොඩ මහතා පවසයි.

නිදසුනකට උත්තර් ප්‍රදේශයේ තමන්ගේ බලය පිරිහෙමින් සිටි අවස්ථාවක පාලක බී.ජේ.පීය ඉතා සියුම් ලෙස මුස්ලිම් භීතිය හා වෛරයේ ගිනිපුළිඟු සමාජයේ පතුරවමින් ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රාහණය කළේය.

ඉන්දියානු මැතිවරණ නීතිය අනුව ජාතිවාදය ඇවිස්සීම තහනම්ය. එහෙත් ඉතාම උපක්‍රමශීලීව අගමැති නරේන්ද්‍රමෝදි ඇතුළු පාලක පක්ෂය පුරවෘත්ත උපයෝගී කර ගනිමින් ජාතිවාදය අවුස්සා මැතිවරණය ජය ගත් බවට ප්‍රකාශ වේ.

‘පද්මාවත්’ නැරැඹීමෙන් අනතුරුව කිසිවකු අලවූද්දීන් ඛිල්ජි පිළිබඳව උපදින්නේ ප්‍රේමයෙන් අඪ්‍යව සිය ප්‍රියාව දිනා ගැනීමට උත්සහ කරන ප්‍රේමනීයකු පිළිබඳ ඇති වන හැඟීමක් නොවේ. සිය පහත් ලිංගික ආශාව පතා ප්‍රේමනීය පවුල් සංස්ථාවක් විනාශ කර දමන අධම කෘරතර පාලකයකු පිළිබඳවය.

මේ පිළිබඳව ඉන්දීය මධ්‍යස්ථ මතධාරී විචාරකයන් පවසන්නේ මේ සිනමා පටයේ හින්දුන්ට හෝ රාජ්පුත්වරුන්ට බියවීමට තරම් දෙයක් නොවන බවයි. ඇත්තෙන්ම මේ කාරණාවේදී රාජ්පුත් වරුන්ගේ ගෞරවය අතිශයෝක්තියෙන් ඉහළට නංවා ඇත. එහෙත්, මෙය කලාත්මක අතින් මෙන්ම හරයාත්මකව ඉතාම දුර්වල චිත්‍රපටයක් වන බවයි.

‘පද්මාවත්’ සිනමාපටය කිසියම් දේශපාලන අන්තවාදයක් පෝෂණය කරන්නේද යන්න මේ වන විට ඉන්දීය නිදහස් සිනමා විචාරකයින්ගේ අවධානයට ලක්ව තිබේ. මේ ආකාරයට පසුගිය කාලයේ ලංකාවේද මීට සමාන සිනමාවක් පොහොසත් වූ බව අපට මතකය.

ඒ විසින් කිසියම් දේශපාලන අන්තවාදයකට මෙරට ජනයාගේ හද මනස විතැන් කිරීමටද පිටු බල සැපයීය. මෙහිදී ඇතැම් දේශපාලකයන් ඍජුවම සිනමා කෘතිය ආරම්භයේදීම උත්කර්ෂයට නැවීමට ඔවුන් විසින් කටයුතු කර තිබුණි. උදාහරණයක් ලෙස ‘අබා’ සිනමා කෘතියෙන් ආරම්භ වී මහින්දාගමනය දක්වා වූ සිනමා කෘති වලද මෙම බලපෑම අපට දැකගත හැකි විය.

පද්මාවතී යනු එක් පසෙකින් ඉතිහාසයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තැනුණු එක්තරා ආකාරයක මන:කල්පිත සිතුවමකි.

එහෙත් ඉදිරියෙදී මෙරට තිරගත වීමට නියමිත 1818 නිදහස් අරගලය ඇසුරින් නිර්මාණය කෙරෙන චිත්‍රපටය මීට වසර දෙසීයකට ඉහත අපේ මුතුන් මිත්තන් අත්දුටු සිදුවීමකි.

එකී ජාතික නිදහස් අරගලයට පාදක වූ ජාතික නිදහස, රට වෙනුවෙන් දිනා ගැනීමට දායක නොවූ දේශපාලනයක් වෙනුවෙන් සිනමාකරුවා තත්ත්වය විකෘති කරන්නට උත්සාහ ගන්නේ නම් එය බරපතල තත්ත්වයකි.

එවැනි චිත්‍රපටවලින් පෙර කෙරුණේද අන්තවාදී දේශපාලනයක් වෙනුවෙන් ‘කඩේ යාමක්‘ වීම නිසා එම සැකය ඵල කළ හැකිය.අප කලාව යොදාගත යුත්තේ මනුෂ්‍යත්වය මූර්තිමත් කිරීමට මිස මනුෂ්‍යයින් තිරස්චීනයින් කිරීමට නොවේ.

අද ‘පද්මාවත්’ සිනමාපටය තුළින් ජන සමාජය හින්දුකරණය කිරීමේ බී.ජේ.පීයේ දේශපාලනය ව්‍යාපෘතියම හෙට 1818 නිදහස් අරගලය උපයෝගී කොට තැනෙන සිනමාපටය වැනි සිනමාපට හරහා ද සිදු වීමට ඉඩ නැතැයි කාට නම් කිව හැකිද? එනිසා ‘පද්මාවත්‘ සිනමා පටය අරබයා මතු වූ ඝෝෂාව, මෙරට සිදුවිය හැකි දේ පිළිබඳව අවධියෙන් සිටීමට නිමිත්තකි.

 

අදහස්