සමීප රූප | සිළුමිණ

සමීප රූප

ඉන්ද්‍රචාපගේ සමීප රූපයට විසාල සැලළිහිණියකුගේ රුවක් හසුවේ. උගේ තුඩඟ රැඳුණු හසුනක් හෝ පණිවුඩයක් ද පෙනේ.සැලළිහිණියා බෞද්ධාලෝක මාවතේ උස් තුරක අත්තකට වී විඩා හරින්නා සේ ඉන්ද්‍රචාපට පෙනේ.ළංවී බැලූ කල ඉන්ද්‍රචාප දකින්නේ යෞවනය පසු කරමින් මැදිවියට ළං වූ සැලළිහිණියකුගේ රුවයි.සැලළිහිණියා ඉන්ද්‍රචාපට යමක් කීමට සැරසේ. “මොකද මගේ දිහා බලන්නෙ, ඇයි දැන් මම ලස්සන නැද්ද, අසූ ගණන්වල , අනූ ගණන්වල මගේ ලස්සන දැකල තියෙනව නේ. දන්නවද දැන් මගේ වයස කීයද කියලා, දැන් මට තිස් හයක්.“ ඉන්ද්‍රචාප තිස් හය වයසක් සේ නොපෙනිණ. සැලළිහිණියාගේ පවුලේම වැඩිමහල් සොහොයුරකු යාබද පරිශ්‍රයක සිටිනු ඉන්ද්‍රචාප දකී. ඔහුට පසුගිය දිනෙක වයස හතළිස් හයක් වූ බව ඉන්ද්‍රචාපට මතකය. ඔහු නම් රෝගී වී ඇති සෙයක් පෙන්වයි. එහෙත් තිස් හය වියැති සැලළිහිණියාට වැඩිමල් සොයුරා මෙන් රෝගකාරක ඇතැයි ඉන්ද්‍රචාපට නම් නොපෙනේ.එසේනම් මේ තුරු හිස රැඳී විඩා හරින්නේ පෙරදා ඌ වටා එක් රොක් වී අල්ලාප සල්ලාපයේ යෙදුණු කෙළිකවට සිනා මැද කල් ගෙවූ කිසිවෙකු ඔහුට ආදරයෙන් කතා නොකරන බැවින්ද? සැලළිහිණියා තම තිස් හයවන ජන්ම දිනය සමරන මොහොතේ දුකින් සිටිනු දකින ඉන්ද්‍රචාප පක්ෂියා අමතයි.

සැලළිහිණියාගේ හඬ දුබලය. සෝබරය.අපැහැදිලිය.යමක් කීමට තතනයි. ඉන්ද්‍රචාප තවත් ළංවී සැලළිහිණි තෙපුල අසන්නට උත්සාහ ගනී. “දැන් ඒ දවස්වල වගේ මගේ කටහඬට ආස කරන කට්ටිය නෑ. මම රට වටේ ගෙනියන ටෙලි නාට්‍ය, ගායනා කරන සිංදු, රටේ තොටේ ලෝකේ සිද්ධවෙන දේවල් අහන්න බලන්න කැමති නෑ වගේ.මතක නේද ඉස්සර මම රටවටේ අරගෙන ගිය පණිවුඩ, අපේ ටෙලි නාට්‍ය ගැන. පළිඟු මැණිකේ,කඩුල්ල,දිය කැට පහණ,යශෝරාවය, දූ දරුවෝ, දුන්හිඳ අද්දර, වෙද හාමිනේ, දඬුබස්නාමානය, ඇල්ල ළඟ වලව්ව, ප්‍රභාතය, කන්දෙ ගෙදර, අඹ යහළුවෝ, බෝගල සවුන්දිරිස්, ගිරය, බුමුතුරුණු, අකාල සන්ධ්‍යා, ගේ කුරුල්ලෝ, සඳ අමාවකයි, රන් කහවණු, තාරාදේවී, ඇසළ කළුවර, ඉසිවර අසපුව,මට දැන් මතකත් නෑ ඒ තරමට ටෙලිනාට්‍ය? ළමයින්ට හදපු වැඩසටහන්, යෞවනයන්ට, සංගීත වැඩසටහන්, ඔයාට මතකද මන්දා? ඒත් ඉතිං පහුගිය කාලෙම මම රට වටේ පියාඹලා බලන්න අහන්න කියන දේවල් ගැන එදා වගේ උනන්දුවක් පේන්නෙම නැහැනේ. එක්කෝ මම වයසට ගිය නිසාද නැත්නම් මම බලන්න අහන්න කියන වැඩසටහන් ගැන වැඩිදෙනා අකමැති නිසාද කියල මට තේරෙන්නෙ නෑ.මට කෑම කවන පොවන අයටවත් තේරෙනවද මන්දා.හුඟක් අය කියනව මට ඇහිල තියෙනව, සැලෝ ඔයා ගේන පණිවුඩ, ඔය බලන්න කියන ටෙලි නාට්‍යවලට වැඩිය අමුත්තක් තියෙන, විස්වාස කරන්න පුළුවන් කතාන්දර තියෙන ලස්සන මියුසික් තියෙන නාට්‍ය ඕන තරම් ඔය වෙන කට්ටිය හදල පෙන්නන්නෙ කියල.එහෙම වෙලාවට මට ලැජ්ජත් හිතෙනවා. ඔයා දන්නවද ඒ වගේ වෙලාවට මම දෙන උත්තර? ඔය අනිත් කට්ටිය වගේ ඉන්දියාවෙන් ගෙනැල්ලා පැල් බැඳගෙන පෙන්නන ගෑනු පිරිමි හුටපට,අපිට ජීවිතේට ළංවෙන්න බැරි ගෙවල් දොරවල්, යානවාහන, ඇඳුම් ආයිත්තම්,ආබරණ පුරවපු පඩංගු පෙන්නන්න අපි කැමති නෑ නේ.අනික දන්නවද මට කවන්නෙ පොවන්නෙ ආණ්ඩුවෙන් කියලා, ඒකනේ මම ජාතික වෙලා තියෙන්නෙ. හැබැයි දැන් නම් මටත් ඇතිවෙලා මේ රවුම් ගැහිල්ල. මගේ තටු රිදෙනවා. හරියට කටහඬ ලස්සනත් නෑ.ඔයාටවත් බැරිද ගිහින් කියන්න මට කවල පොවල බලා කියා ගන්න අයට, ඒ දවස්වල වගේ ලස්සන පණිවුඩවලට ගැලපෙන නාට්‍ය, සංගීත වැඩ සටහන්, ළමා ගීත, හඬකවපු ළමා නාට්‍ය , දොස්තර හොඳහිත වගේ, එතකොට මිනිස්සුන්ට පිළිගන්න පුළුවන් සමබර ප්‍රවෘත්ති, තියෙනව කියල මට බය නැතුව කියන්න පුළුවන් පසුබිමක් හදල දෙන්න කියලා“.

සැලළිහිණියගේ කතාව අසා සිටි ඉන්ද්‍රචාපට දුක සිතිණ. ඉන්ද්‍රචාපටත් හොඳට මතකයි,සැලා මතක් කළ අතීතය.සංහිඳියා නාලිකාවකුත් හදන කතාවක් සැලළිහිණියා කී බව ඉන්ද්‍රචාපට මතකය. ඒක නම් අත්‍යවශ්‍ය කාරණාවක් විදියට ඉන්ද්‍රචාප දකී.සැලළිහිණියා තුරු හිසින් නැගී උතුරුකරයට පියා සලද්දී ඉන්ද්‍රචාප කුලීරියක නැගී ගෙදර ඒමට පිටත් විය.

Comments