මට අපි ක්ලාස් ගිය කාලෙ මතක් වුණා | සිළුමිණ

මට අපි ක්ලාස් ගිය කාලෙ මතක් වුණා

අසාර් උඩු මහළට පිවිසෙන පිටගැට පෙළ නැග ආවේ මහත් හදිසියකින් මෙනි. ෆියෝනා පුදුමයට පත්ව ඔහු දෙස බලා සිටියාය. ෆියෝනා දෙස නොබලාම සිය කාර්යාල කාමරයට ගිය අසාර් ආපසු හැරී පැමිණියේය. ඒවනවිටත් ෆියෝනා පෙර සිටි ඉරියව්වෙන්ම පසුවන බව දුටු අසාර් සිනාසුණේය.

“මේ මොකද ෆියෝනා? කාටහරි බය වුණාද? ”

“ඔව්. බය වුණා. එනකොට රෑ වෙනවා කියලා උදේ ගෙදරින් ගිය ඔයා මහා හදිසියකින් දුවගෙන එන හැටි

දැක්කම ඇත්තටම මට බය හිතුණා. ”

“මම දැන් ගමනක් යන්න ඕන. ”

අසාර් පුටුවක් මත වාඩි වී සපත්තු දෙක ගලවා පුටුව යටට තල්ලු කළේය.

“ගමනක්? ”

“අනේ ඔව් ෆියෝනා. දවස් දෙකතුනකට සෑහෙන්න මට ඇඳුම් ලෑස්ති කරන්න හොඳ ළමයා වගේ. ”

“දවස් දෙක තුනක්? කොහේ යන්නද? ”

“ඉස්සර වෙලාම නුවර. ඊටපස්සෙ ඉතින් කොහේ යන්න වේවිද දන්නෙ නෑ. වාප්පා ටිකකට කලින් තමයි කෝල් කරලා කිව්වෙ වහාම එන්න කියලා. ”

“වහාම එන්න කියලා? ”

“ඔව්. මේ චොක්ලට් ෆැක්ටරි එකේ වැඩකට. දන්නෙ නැද්ද? මල්ලිලා හිටියට වාප්පට මාව නැතුව බෑ. ”

“මං තනියම. ”

“කරන්න දෙයක් නෑ ෆියෝනා. බය වෙන්න දෙයක් නැහැනෙ. දොර ජනෙල් වහලා ඇතුළට වෙලා ඉන්න.ෆැක්ටරි එක ඕපන් කරනතුරු ඔයාටත් ටිකක් කැප කිරීමක් කරන්න වේවි. මං වොෂ් එකක් දාගන්න යනවා. ඉක්මනට ඇඳුම් ලෑස්ති කරන්න. ”

අසාර් නිදන කාමරය දෙසට දිව ගියේය. ඔහු පසුපසින් ෆියෝනා ද ගිය නමුදු ඒ වනවිටත් ඔහු නාන කාමරය තුළට වැදී දොර ද වසාගෙන හමාරය. අසාර් බැහැර යනවිට රැගෙන යන ඇඳුම් බෑගය රැගත් ෆියෝනා අල්මාරියෙහි දොර හැරියාය. බැහැර අඳින ඇඳුම් වරක් ඇඳීමෙන් පසුව නිවසෙහි සේදීමට මැළි වන අසාර් ඒවා ලොන්ඩ්‍රියට දැමීමට පුරුදුව සිටින හෙයින් ඔහුගේ ඇඳුම් තට්ටුවල මනාව මදින ලද කලිසම් සහ කමිස රැසක් වූයෙන් ඒවා බෑගයෙහි ඇසිරීමට ඇයට එතරම් වේලාවක් ගත නොවීය. ඔහුගේ බැනියම් සහ මේස් ආදියද, පිළිවෙළකට අල්මාරියෙහි තැන්පත් කර තිබිණ. පරිගණක පන්තියට යන කාලයේ සිටම අසාර් ගේ පිරිසුදුකම සහ පිළිවෙළ අනෙකුත් සම වියැති සිසුන් අතරින් මනාව කැපී පෙනුණු බව ෆියෝනාට සිහිපත් විය. ඇය එයට ඇලුම් කළ නමුදු සජීවා සහ අනෙකුත් යෙහෙළියන් රහසින් සරදම් කර සිනාසුන අයුරු සිහිපත්ව ෆියෝනාගේ මුවග සිනාවක් නැගිණ.

“බලපල්ලකො. අද වසීම් අක්‍රම්ගෙ ලස්සන. ”

පරිගණක පන්තියට සියලු දෙනාටම පසුව එන අසාර් සිය අසුනෙහි වාඩි වෙන තුරු සැළකිල්ලෙන් බලා සිටින සජීවා වැළමිටින් අනියි.

“ඉතින් මට මොකද? ”

“මොකද කියන්නෙ? නිකමට වගේ බලපන්කො. ඇඳුම මේ දැන් අයන් කරා වගේ. දැක්කද සපත්තු දෙක දිළිහෙන හැටි? අපි විහිළුවට වගේ කිව්වට මිනිහා හිතනවද දන්නෙ නෑ එයා ඇත්තටම වසීම් අක්‍රම්ය කියලා. ”

“අනේ අපට මොකද? එක එක්කෙනාගෙ ඇඳුම් පැළඳුම් දිහා බලන්නෙ නැතිව ඔය වැඩේ හරියට කරනවකො. ”

අශ්විනී පවසන්නේ මවා ගත් තරහකින් වුව ද, අසාර් දෙස නොබලා සිටින්නට සිය අකීකරු සිත කෙසේවත් ඉඩ නොදෙයි.

“මේ... බොරු එපා අශ්විනී. මං හොරෙන් බලාගෙන අසාර් දිහා බලපු හැටි. ඔව්වා තියා ගන්න එපා. මං වහාම ගෙදරට වාර්තා කරනවා. ”

“අනේ නිකන් ඉඳපන් සජී. කාටවත් හරියාගෙන එද්දි ඊර්ෂ්‍යා කරන්නෙ නැතිව. ”

යෙහෙළියක් පවසන්නේ සජීවා තරහ ගැන්වීමටය.

“මං ඊර්ෂ්‍යා කරන්නෙ නෑ. හැබැයි අශ්විනීව බලාගන්න භාර දීලා තියෙන්නෙ මට. ”

“ෆියෝනා. ”

අසාර්ගේ කටහඬින් ෆියෝනා අතීතයෙන් මිදුණාය. දිය නා පැමිණි අසාර් කණ්ණාඩි මේසය ඉදිරියෙහි සිටගෙන හිස පිසදමමින් සිටින අයුරු ෆියෝනා දුටුවාය.

“ඔයා නාලත් ආවද? මට අපි ක්ලාස් ගිය කාලෙ මතක් වුණා. ”

“පහු වෙච්චි අතීතය මොනවට මතක් කරනවද ෆියෝනා. ඒකෙන් වෙන්නෙ මේතරම් වටින වර්තමානය නිකරුණේ නාස්ති වෙලා යන එක විතරයි. ”

පරිගණක පන්තියට ගිය යුගය සිහි පත් කිරීමෙන් පසු අසාර් ද එම අතීතයට පිවිසෙනු ඇතැයි ෆියෝනා සිතුවද,අසාර්ගේ වදනින් ඇගේ සිතට පිවිසියේ වේදනාවකි.

“ඔයා වෙනස් වෙලා. ”

ගමන් බෑගයේ සිප් එක කීස් හඬින් ඇද වසා දැමූ ෆියෝනා යහන මතින් නැගී සිටියාය.

“ඔයත් වෙනස් වෙලා. ”තෙත තුවාය ඇඳුම් වැට මතට විසි කළ අසාර් පැවසුවේය.

“මම? මං කවදාවත් වෙනස් වුණෙත් නෑ. වෙනස් වෙන්නෙත් නෑ. ”

“සමහරු එහෙම හිතා ඉන්නවා. ඒත් වෙනස පේන්නෙ ඒ අයට නෙමෙයි. අනිත් අයට. ”ෆියෝනා තිගැස්සුණාය. සැබැවින්ම තමාට නොපෙනෙන වෙනසක් අසාර් දකින්නේදැයි ඇය කල්පනා කළාය.“ඉස්සර නම් ඔයා මාව තනියම දාලා එහෙ මෙහෙ ගියේ නෑ. ”

“ඒ ඉස්සර. කාලයක් වාප්පා මාව බිස්නස් වලින් ටිකක් ඈත් කළා තමයි. ඒ ඔයා නිසා. ඒත් දැන් හැමෝටම මාව නැතිව බෑ. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. චොක්ලට් ෆැක්ටරිය. ඊටපස්සෙ තවත් දේවල්. ඒ හීන හැබෑ කරගන්න ඕන නම් මං කැප වෙන්න ඕන. ඔයාටත් යම් යම් කැප කිරීම් කරන්න වෙනවා ෆියෝනා.

අල්මාරිය තුළින් ගත් අලුත් ඇඳුම් කට්ටලයක් ඇඟලන අසාර් පැවසුවේය. ඔහු වෙනදාටත් වඩා සැලකිලිමත් ලෙස අඳින පළඳින ආකාරය ෆියෝනා බලා සිටියාය.

“ඔයාට බොන්න මොනවා හරි හදන්නද? ”

“එපා. අපි මගදි මොනවා හරි කාලා තේ බොන්නම්. ”

“අපි කිව්වෙ? ”

ෆියෝනා විමසද්දී අසාර් තිගැස්සුණේදැයි ඇය කල්පනා කළාය.

“අපි කිව්වෙ අපේ අලුත් බිස්නස් පාට්නර්. මට එයාව ඔයාට ඉන්ට්‍රඩියුස් කරලා දෙන්නත් බැරි වුණා. ඔයාට මතකද ෆියෝනා ඒ දවස් වල මං එයා ගැන කියලා තියෙනවා. ඒගොල්ලන්ගෙ ලොකු ගාමන්ට් එකක් තියෙනවා කියලා... ”

අසාර් දිගු විස්තරයක් කළ ද, ෆියෝනා ඒ කිසිවකට සවන් නොදුන්නාය. තම දෙමාපියන් විසින් ගෙන එන ලද විවාහ යෝජනාවක් පිළිබඳව එකල අසාර් පැවසූ බව මතකයෙහි ඇති නමුත් ඒ බව පවසන්නට ඇයට නොසිතිණ.

“මං යන්නම්. ”

අසාර් යහන මත වූ ගමන් බෑගය අතට ගත්තේය.ෆියෝනා කිසිවක් නොපවසා බලා සිටියාය.

“තනියම ඉන්න බයද? ”

ෆියෝනාගේ උරහිස තදින් මිරිකා ගත් අසාර් ඇසුවේය. ෆියෝනාට රිදිණ. එහෙත් ඇය වේදනාව ඉවසාගෙන හිස වැනුවාය.

“මං තනියට කාව හරි ගෙනත් දෙන්න බලන්නම්. ඉදිරියේදි තව කාර්ය බහුල වේවි ෆියෝනා. ”“කාවවත් ඕන නෑ. මට තනියම ඉන්න පුළුවන්. ”

“ඔව්. තනියම ඉන්න ගමන් පොත් ලියන්න පුළුවන්නෙ. මං යනවා. ”

ආසර් පසුපසින් යාමට සිතුණ මුත් ෆියෝනා එලෙසම රැඳී සිටියාය. ගේට්ටුව අරින හඬත්, ඉන්පසු අසාර්ගේ මෝටර් රිය පිටත්ව යන හඬත් ඇය අසා සිටියාය. පවසා ගත නොහැකි අන්දමේ වේදනාත්මක සිතිවිල්ලක් සිය හද රිදවමින් පීඩා කරන බව ෆියෝනාට දැනිණ.

 

ලබන සතියට 

අදහස්