අපි කටු­කාපු විදි­හට අපේ දරුවො වාස­නා­වන්තයි | සිළුමිණ

අපි කටු­කාපු විදි­හට අපේ දරුවො වාස­නා­වන්තයි

සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ

හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ

ඕන දෙයක් ඉහිළිය හැකි මහලු ජීවිතේ

ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි සිතේ..

අසංක ප්‍රියමන්ත පීරිස් දැනට වසර කිහිපයකට පෙර මෙම ගීතය ගායනාකරන විට ඔහුගේ අසංත පුතා පුංචි ළමයෙක්.කාලයත් සමග පුතාත් අද වන විට තරුණයකු බවට පත්වෙලා. එදා පියා ගැයූ මෙම ගීතය අද පුතා ගයන්න පටන් අරන්. තාත්තාගේ හඬ මෙන්ම පුතාගේ හඬත් හරිම ළයාන්විතයි. මේ නිසාම වසර ගණනාවක් සංගීත ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අසංකත් ගායන ලොව‍ට කෙමෙන් කෙමෙන් පියමං කරමින් සිටින ඔහුගේ පුත් අසංත මෙවර රසඳුන සඳවට රන්තරු විශේෂාංගයට සම්බන්ධකරගත්තා.

ඔබ මේ දිනවල තරමක් නිහඬයි වගේ. අලුත් නිර්මාණ කළේ නැද්ද?

නිහඬ වෙලා නැහැ. සුපුරුදු ලෙස ප්‍රසංගවලට සහභාගි වෙනවා. අලුත් ගීත තුනක් කළා. ඒ අත්තිඩියෙ රතන හිමි‍ රචනාකළ මල්වත්තෙම සුවඳ මල ගීතයත්, මල් පීදෙන සහ වස්සානෙ පෙම් කියන ගීත තුන. ඒවා තවම රසිකයන් අතරට යන්න තරම් කාලයක් ලැබු‍ණේ නැහැ. මම හිතනවා එම ගීත තුනත් මගේ අනෙකුත් ගීත මෙන්ම රසිකයන් ආදරයෙන් වැළඳගනී කියල.

අද කලාකරුවන්ගේ දරුවන් කලාවට අවතීර්ණ වී ඉතා දක්ෂ ලෙස කලාවේ විවිධ භූමිකාවල නියැළෙනවා. ගායන ක්ෂේත්‍රයේත් එසේමයි. අත්දැකීම් ඇති ප්‍රවීණ ශිල්පියෙක් ලෙස ඒ ගැන ඔබ මොකද හිතන්නේ .

ඇත්තටම ඒක හොඳ දෙයක්. ඒ ළමයින්ට දෙමවුපියන්ගේ හැකියාව සහ ආභාසය නිරායාසයෙන්ම පිහිටා තිබෙනවා. අලුතෙන් හැඩ ගැහෙන්න දෙයක් නෑ. නමුත් නවකයන් ඔවුන්ගේ ගීත ගායනා නොකර දෙමවුපියන්ගේ ගීත පමණක් ගායනා කරමින් කලාවේ නියැළෙන්න හිතනවනම් එය තාවකාලිකයි. අපි කලාවට අවතීර්ණ වුණේ බොහොම දුක් විඳලා පුදුම කට්ටක් කාලා. ඒ අතින් අපේ දරුවො වාසනාවන්තයි. එදා එහෙම කටුකාපු නිසයි අපි මෙතරම් ශක්තිමත්ව මෙතරම් දුරක් කලාවේ නියැළී සිටින්නේ.මම හිතන්නේ නවක දරුවනුත් ස්ව නිර්මාණකර තමන්ගේ ශක්තියෙන් කලාවේ ගමනක් යනවානම් හොඳයි.

ඔබගේ පුතා අසංත ගායන ක්ෂේත්‍රයට පැමිණ සිටිනවා. ඔහුට ගායකයකු වෙන්න අත්දැකීම් ඇතැයි ඔබ විශ්වාස කරනවාද?

මගේ පුතා අසන්ත ශ්‍රීමාල් පසුගිය කාලයේ ගීත තුනක් කළා.එම ගීතවලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔහු සා.පෙළ දක්වා සංගීතය හැදෑරුවා. මට මතකයි පුතා පුංචි කාල මම ගෙදරදී සංගීත ‍ෆැක්ටිස්කරන විට මගේ ළඟට අවිත් සින්දු කියනවා. පුතා පුංචි කාලයේ උදය කාන්ත වර්ණසූරියගේ රන්දිය දහර චිත්‍රපටයේ රඟපෑවා. ඔහු තව දුරටත් සංගීතය හදාරා ගීත ගායනයට එක්විය යුතුයි කියන මතයේ තමයි මමත් සිටින්නේ .

අසංත අනාගතයේදි ගායකයකු වනවා දැකීමද ඔබ දෙදෙනාගේ බලාපොරොත්තුව.

පුතා මේ වන විට උසස්පෙළ දෙවැනි වර ලිවීම සඳහා සූදානම් වෙනවා. අපේ බලාපොරොත්තුව ඔහු හොඳින් ඉගෙනගෙන හොඳ රැකියාවක නියැළිය යුතුය යන්නයි. එසේ නොමැතිව පූර්ණකාලීනව ගායකයකු වනවාට අපේ කැමැත්තක් නැහැ.

ඔබ එහෙම කියන්නේ කිසියම් පසුතැවීමකින්ද?

මම ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්න කලින් වඩු කර්මාන්තයේ නියැළුණා. ගායකයකු වීමත් සමග කාර්යබහුල වීම නිසා මගේ වඩු කර්මාන්තය මගෙන් ගිලිහුණා. ඒ ගැන පුංචි දුකක් තියෙනවා. මගේ පුතා හොඳින් ඉගෙනගෙන සංගීතය හොඳින් හදාරා කලාවේ නියැළෙනවානම් හොඳයි. තවම එයාට වයස දහ නවයයි.තව වයස තියෙන නිසා ඒ දේවල් අනාගතයේදි හොඳ විදිහට සිදුවෙයි.


මමත් කැමැතියි තාත්තා වගේම රසිකයන්ගේ ආදරය දිනූ ගායකයකු වෙන්න

අසංත පීරිස්

 අධ්‍යාපන වැඩයි සංගීතයයි කොහොමද තෝරා බේරාගෙන කරගෙන යන්නෙ..

මේ දවස්වල උසස් පෙළ දෙවෙනි වර ලිවීම සඳහා සූදානම් වෙනවා ගණිත අංශයෙන්. ඒ නිසා කිසිම සංගීත වැඩක නියැළෙන්නෙ නෑ. පසුගිය කාලයේ ගීත තුනක් කළා. මෙත් බෝසත් බුදු ගුණ, ඔබ යන්න ගියත්, සිහින විලක් යන ගීත.මෙහි එක ගීතයක මියුසික් වීඩියෝව ළඟදීම රූපවාහිනියෙන් නරඹන්න පුළුවන් වේවි.

ඔබ පාසලේදි සංගීතය හැදෑරුවාද?

මම පාසල් ගියේ මොරටුව වෙල්ස් කුමර විදිහලට. එහිදී අ.පො.ස සාපෙළ දක්වා සංගීතය හැදෑරුවා. පොඩි කාලෙ සිටම පාසලේ කලා උළෙල සහ වෙනත් උත්සවවලදී ගීත ගායනාකරනවා. උසස් පෙළට සූදානම්වීමත් සමග සංගීතයෙන් තරමක් දුරට ඈත්වුණා. මෙවර විභාගය අවසන්කර නැවතත් සංගීතය හැදෑරීමටත් ගිටාර් පුහුණුවීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා.

අසන්ත ගායකයෙක් වෙන්න නිවෙසින් ලැබෙන සහයෝගය මතක් කළොත්..

තාත්තා මම ගීත ගායනාකරනවාට කැමැතියි. නමුත් ඔහු නිතරම කියන්නේ හැම දේටම කලින් හොඳට ඉගෙන ගන්න. කොහොමහරි විශ්වවිද්‍යාලයට ඇතුළත්වෙලා ඉන් පසුව සංගීතය හදාරන්න කියා. අම්ම ශ්‍රියානි සන්ඳනායක, අක්කා අංජලිකාත් මල්ලිත් මට අධ්‍යාපන කටයුතු සේම කලා කටයුතු සාර්ථක කර ගැනීමට සහයෝගය දෙනවා.

ඔබේ පියා අපේ රටේ සිටින ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ගැයු ගීත රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි. අනාගතයේදි ඔබගේ බලාපොරොත්තුව පියා වැනි ගායන ශිල්පියෙක් වීමද

තාත්තා ගායනාකරන සෙනෙහසකට අරුතක් ගීතයත්, උදේ හවා ගීතයත් මා වඩාත් කැමැතිම ගීතයි. ඇත්තටම තාත්තා ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා ඔහු රටේ ජනප්‍රිය ගායකයෙක් වීම ගැන. මමත් කැමැතියි තාත්තා වගේම රසිකයන් ආදරය කරන ගායකයකු වෙන්න. මම කුඩා කාලයේ සිටම අනාගතයේදි මෙහෙම කෙනෙක් වනවා කියා රටේ ප්‍රවීණ කලාකරුවකු සිහි තබාගෙන සිටිනවා. අනාගතයේදි ඒ බලාපොරොත්තුව ඉටුකරගන්නට උත්සාහ ගන්නවා.

Comments