ආර්ථි­කය කටුක නොකරන කටු පොල් | සිළුමිණ

ආර්ථි­කය කටුක නොකරන කටු පොල්

පසුගිය කාලයේ කටු පොල් වගාවට ජනතාව උනන්දුවක් දැක්වූවත්, එයින් පස නිසරු වෙන බවට පැතිර ගිය කතාවත් සමඟ බෝහෝදෙනා අධෛර්යවත් වූහ. මෙහි සැබෑ තත්ත්වය පිළිබඳ වයඹ විශ්විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි පීඨයේ මහාචාර්ය අසෝක නුගවෙලගෙන් කරුණු විමසුවෙමි. කටුපොල් යනු කුමන භෝගයක් ද යන්න එය කුමක් සඳහා පරිහරණය කරන්නේ ද යන්න පිළිබඳ සාමාන්‍ය මහජනතාවට අවබෝධයක් නොතිබුණත් ඇතැම්හු මේ පිළිබඳ මනා ලෙස තම සැලකිල්ල යොමු කරති. කටුපොල් වගාව නිසා දිය උල්පත් සිඳී යන බවත්, ඉන් පසේ තෙතමන රැඳී නොතිබෙන බවත්, පසේ තෙතමනය සිඳී යන බවත්, පැතිරගිය පුවතේ කිසිඳු සත්‍යතාවයක් නැත. ඕනෑම භෝගයකට මනා කළමනාකරණයක් අවශ්‍ය බවත්, එවැනි කළමනාකරණයකින් පස මෙන්ම දිය උල්පත් ද සුරක්ෂිත වේ. කටු පොල් වගාවට පමණක් නොව සෙසු වගාවන් සඳහා මේ භෝග කළමනාකරණය අත්‍යවශ්‍ය ය. පස කළමනාකරණය යනු කුමක්ද යන් බොහෝදෙනාට ප්‍රශ්නයක් වන්නට ඇත. එයින් නිසි පිළිතුරක් නොලැබුණ ද කළමනාකරණය යනු ඕනෑම දෙයක් මනා ලෙස සැලැසුම්කර ක්‍රියාවට නැංවීමයි. මෙය ඕනෑම විෂයකට පොදු වූ සනාථන සත්‍යයකි. භෝගයකට ද එලෙස වේ. භෝගයක් කළමනාකරණයෙදී පස, ජලය කාලය යන අංශ ත්‍රිත්වයම වැදගත් වේ. එහෙත් පස කළමනාකරණය කිරීම මෙහිදී ඉතා වැදගත් වේ. පසක් කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න ගොවියාට අවබෝධයක් නොතිබෙන්නට හැකිය. එහෙත් සමෝව්ව රේඛා අනුව කානු කැපීම, ගල් වැටි බැඳිම වැනි ක්‍රමවේද මඟින් පසේ සෝදාපාළුව වළක්වා ගත හැකිය.

වසරක මිලි මීටර් එක්දහස් පන්සීයක් පමණ ජල ප්‍රමාණයක් ලැබෙන තෙත් කලාපයේ ජලය නිසි කළමනාකරණයක් නොකළ හොත් එය නිකරුණේ මුහුදට ගලාගෙන යනු ඇත. එහෙත් මේ සියල්ල සිදුවන්නේ භෝග සඳහා නිසි කළමනාකරණයක් නොතිබුණොත් පමණි. මේ අනුව කටු පොල් වගාවට පමණක් නොව ඕනෑම වගාවකට නිසි ජල කළමනාකරණයක් තිබිය යුතුය.

වර්තමානයේ බොහෝ පරිසර සංවිධාන කටු පොල් සිටුවීම අයහපත් බව පැහැදිලි කළත්, එයින් පරීක්ෂණාත්මකව ඔප්පු කළ සත්‍යයක් නොමැත. 1967දී ගාල්ලේ දෙනියාය වතු යායේ පළමුවරට කටු පොල් සිටුවුවත් , ඒ අවට ජල උල්පත් සිඳී යන අවධානමක් මෙතෙක් සිදු වී නොමැත. එමෙන්ම විශාල වශයෙන් කටු පොල් වගා කරන මැලේසියාව වැනි රටවල ද දිය උල්පත් සිඳීයෑමේ තර්ජණයක් නොමැති බව මේ වන විට සනාථ වී ඇත. මෙවැනි කරුණු අනුව කටු පොල් වගාවෙන් පරිසරයට බලපෑමක් සිදු නොවන බව පැහැදිලිය.

ලංකාවට වාර්ෂිකව ගෙන්වනු ලබන එළවළු තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80,000කි. මේ ප්‍රමාණය ඉතිරි කරගැනීමට මෙරට කටු පොල් නිෂ්පාදනය කළ හොත් ලංකාවට ඉතිරි වන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 20කි.

මේ නිසා කටු පොල් වැවීමෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට විශාල බලපෑමක් සිදුවේ. නොමඟ යන ලෙස අවිධිමත්ව නිකුත් කරන ප්‍රකාශ මත කටු පොල් වගා කිරීමට අද බොහෝ දෙනා අධෛර්යවත් වුවත්, එය දේශයට අවශ්‍ය වැවිල්ලකි.

කටු පොල් ඇට කෑමෙන් සුනඛයන්ගේ සමේ රෝග සෑදෙන බවත්, මී මැස්සන්ට පරාගණය කළ නොහැකි බවත්, පරිසරවේදීන්ගේ අදහස විය. එහෙත් ඉන් කිසිදු හානිදායක ප්‍රතිඵලයක් අත් වන බව පැහැදිලි සාක්ෂිවලින් මෙතෙක් ඔප්පු වී නොමැත.

එහෙත් පුද්ගලගතව න්‍යායත්මකව බද්ධ වූ අරමුණු සාක්ෂාක් කරගැනිම සඳහා පෙළ ගැසීම වැරැදිය. කටු පොල් වනාහි තවත් භෝගයකි. ලංකාවට විදේශ විනිමය උපද්දවා ගත හැකි භෝගයකි. මේ සා නාස්තිවීම් සහ ජාන විපරීතයක් සිදුවන සිදුවීම් හමුවේ ලෝකයට වැදගත්කමක් ඇති භෝගයක් පිළිබඳ වැරැදි මවා පෑම් කිරීම ජාතියට කරන අනර්ථයකි.

ඇතැම්විට තමන් අකැමැති භෝගවල නිස්සාර බව කීමට බොහෝදෙනා වැරැදි අර්ථකථන ගෙන හැර දක්වති.

වර්තමානයේ බොහෝ ගොවියන්ට භෝග කළමනාකරණය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැත. ඇතැම්හු තමන් බැහැර කරන භෝග අන් අය ද වගා කරනු දැකීමට අකැමැති වෙති. භෝගයක් නිසා පරිසරයට අවැඩක් සිදුවන්නේ භෝගය වගාකරන්නන්ගේ අල්ප මාත්‍රා දැනුම නිසාය. මේ නිසා නිසි අවබෝධය මෙන්ම නිසි භූමි කළමනාකරණය භෝගයකට අවශ්‍ය වේ. කටුපොල්වල මුල් පසේ ගැඹුරට ගොස් පසේ ඇති පෝෂ්‍ය කොටස් ලබා ගත්තද පසට කිසිදු හානියක් නැත. රබර් ශාකයේද භූමියේ හැසිරීම මෙබඳුය. මේ නිසා පසට අවශ්‍ය පෝෂ්‍ය කොටස් එක් කිරීමට වගාකරුවා ක්‍රියා කළ යුතුය.

පසේ පෝෂණය උරාගැනීම භෝගයෙන් භෝගයට වෙනස් බැවින් කටු පොල් සඳහා ද ආවේණික පෝෂණය උරා ගැනීමේ ක්‍රමයක් පවතී.

මේ නිසා සෑම වගාකරුවකුම තමන් වගාකරන භෝගය පිළිබඳ මනා දැනුමකින් යුතුව වගා කිරීමෙන් එම භෝගයෙන් නිස පල ලැබිය හැකිය. කටුපොල් සඳහා ද එය එලෙසමය.

මෙහිදී අත්දැකීම් නැතිව භූමි පරිභෝජනය සහ භූමි කළමනාකරණය පිළිබඳ දැනුමක් නොමැති පුද්ගලයන්ගේ නොමඟයැවීම් සඳහා අසුවුවොත් සිදුවන්නේ අලාබයකි. මේ නිසා දැන වගාව සියල්ලන්ට වඩා ප්‍රඥාවන්තය.

 

 

රූපාන්ති බුලත්සිංහල 

අදහස්