නාස්තිය හා දූෂණයට එරෙහිව මහජන අදහස් විමසයි | Page 2 | සිළුමිණ

නාස්තිය හා දූෂණයට එරෙහිව මහජන අදහස් විමසයි

නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහන සඳහා මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු නීතිඥ රජික කොඩිතුවක්කු මහතා ගෙන් 076 – 4654600 යන දුරකතන අංකයෙන් දැනගත හැකි ය.

ඒ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

නිදහස දිනාගත් අපේ රට, දූෂණයෙන් තොර දේශපාලනයක්, අක්‍රමිකතාවන්ගෙන් තොර පරිපාලනයක් සහ සකසුරුවම්බවින් යුතු ජන ජීවිතයක් සහිත පිරිසිදු දේශයක් විය. එහෙත් මෑත කාලීන දශක කිහිපයේ දී දූෂණය, වංචාව, අල්ලස සහ නාස්තිය පිළිලයක් සේ අපේ රට වසා පැතිර ගොස් තිබේ. දේශපාලනය, පරිපාලනය සහ නීති පද්ධතිය වැනි සමාජයේ බොහෝ ක්ෂේත්‍ර පු‍රා දූෂණය, වංචාව, නාස්තිය සහ අල්ලස ඔඩුදුවා තිබේ.

දූෂණය පැතිරෙන්නේ නාස්තියට ඉඩ ඇති විට ය. නිවසක, කාර්යාලයක හෝ සමාජයක නාස්තියට ඉඩ තිබුණහොත්, එතැන නිතැතින් ම අක්‍රමිකතා සහ දූෂණ සිදුවීමට ඉඩ විවර වේ. පිරිසිදු සමාජයක් ගොඩනැඟීමට නම් ලොකු කුඩා සෑම ආකාරයේම දූෂණය, වංචාව, අල්ලස සහ නාස්තිය පිටු දැකිය යුතුය.

මෙය අපේ රට හමුවේ අභියෝග රැසක් ඇති මොහොතකි. අප හමුවේ විශාල රාජ්‍ය ණය කන්දකි. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වේගවත්ව වර්ධනය කළ යුතු ය. මේ සියලු අභියෝග සාර්ථකත්ව ජය ගනිමින්, සෞභාග්‍යයේ නිදහස අත්පත් කර ගැනීම සඳහා අප යුහුසුලුව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය යුතු වෙමු. අද දවසේ දී අප මූල්‍ය විනය මත පදනම් වූ දේශප්‍රේමීත්වයක් වෙත කැපවිය යුතු වන්නේ ‍එබැවිනි. දූෂණයෙන්, වංචාවෙන්, අල්ලසින් හා නාස්තියෙන් තොර පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අප එකාවන්ව අත්වැල් බැඳ ගනිමින් මහා ජනපවුරක් ගොඩනැගිය යුතු වෙමු.

සෞභාග්‍යවත් නව යුගයක් කරා රට ගෙන යන බලවේගයක් ලෙස දූෂණය, අල්ලස, වංචාව සහ අක්‍රමිකතාවන්ට එරෙහිව;

* පුළුල් දේශපාලන සහ සමාජ සංස්කෘතියක් ගොඩනැගීම

* පරිපාලන පද්ධතිය බලගැන්වීම සහ ශක්තිමත් කිරීම

* නීති පද්ධතිය සහ නීති පසඳලීමේ ආයතන විධිමත් කිරීම, සිදුකළ යුතු ය.

දූෂණය, වංචාව, නාස්තිය, අල්ලස සහ අක්‍රමිකතා දුරලා රට සුවපත් කරන මහා ජනපවුරේ එක් ස්ථම්භයක් සේ ඔබත් මෙම ජාතික වැඩසටහනට එක්වන්න. අපි නොකිළිටි, පිරිසිදු රටක් හදමු!

ශ්‍රී ලාංකික ජාතියේ වර්තමාන අභියෝග ගැන අවබෝධයෙන් නූතන ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය ජවය සපයමින් දූෂණයෙන් සහ නාස්තියෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමාගේ කැපවීම එතුමා යළි තහවුරු කර තිබේ.

දූෂණය, අල්ලස, වංචාව, අක්‍රමිකතා සහ නාස්තියට එරෙහි පුළුල් ජාතික වැඩසටහනක් ගොඩනැගීම සඳහා ආගමික නායකයින්, විද්වතුන්, වෘත්තීයවේදීන් ඇතුළු රටට හිතැති මානවවාදී ඔබගේ අදහස්, යෝජනා සහ ක්‍රියාකාරී සහභාගිත්ව දායකත්වය අපේක්ෂා කරමු.

මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් හා යෝජනා 2018 මාර්තු 01 වැනි දිනට ප්‍රථම ලබාදීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධීකරණය:

නීතිඥ රජික කොඩිතුවක්කු මහතා

දු. අ. 0764654600 fax-0112431502

ඊමේල් - [email protected]

ලිපිනය - නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහන
ජනාධිපති කාර්යාලය, කොළඹ 01.
අ.නි.ර. අමරතුංග මහතා
දු.අ. 0775770882 

Comments