මැතිවරණයට පසු ඉදිරි පියවර | සිළුමිණ

මැතිවරණයට පසු ඉදිරි පියවර

 පුංචි ඡන්දය එහෙමත් නැත්නම් පළාත් පාලන මැතිවරණය දින සති ගණනින් පසුව මාස ගණනින් කල් ගියා. අවසානයේ එය වසර ගණනාවක් දක්වා ඇදී ගියා. මෙයට ප්‍රධාන හේතුව වුණේ පළාත් පාලන ආයතන ඇතුළත් බල ප්‍රදේශයන්හි බල සීමාවන් යළි සලකුණු කරන්නට කටයුතු කිරීමයි. ඒ කමිටු වාර්තාවලට බාලගිරි දෝෂ ඇති වූ නිසා මැතිවරණය පවත්වන දින වකවානු සිතා ගන්නටවත් බැරි වුණා. මේ මැතිවරණය කල් දමන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බව පවසමින් ඇතැමුන් ඔහුට දොස් පැවරුවා.

ඒ දිනවල මාධ්‍ය වල පවා ‘මැකෝ ඡන්දෙ කෝ යකෝ‘ යන්න ප්‍රසිද්ධ වැකියක්ව තිබුණා.

යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවා සිනහමුසු මුහුණින් පැවසුවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිරතුරුවම පැවසූ වදන් පෙළක් තිබුණා. ඔහු පැවසුවේ පිට්ටනියක් තිබුණාට ක්‍රීඩා කිරීමට නොහැකි බවයි. එමෙන්ම බැට් බෝල ලබා දුන්නත් තරග නීතිරීති නොමැතිව තරගය පැවැත්විය නොහැකි බවයි. මේ තරග නීති රීති ගැටලුව එනම් මැතිවරණය පවත්වන්නේ කුමන ක්‍රමවේදයකටද යන්න ගැන ඇති වූ ගැටලුව දිනෙන් දිනම කල් යන්නට වුණා.

එක් පිරිසක් මැතිවරණය කල් දැමීමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයන්ට පවා යන්නට වුණා. කෙසේ හෝ අවසානයේ සීමා නිර්ණ වාර්තාවන් සකස් කර අවසන් කර එය සම්මත කර ගෙන ගැසට් පත්‍රය නිකුත් කළ විගසම තවත් බාධකයක් පැමිනුණි.

ඒ ගැසට් පත්‍රය බල රහිත කරන ලෙස ඉල්ලා සය දෙනකුගෙන් යුක්ත පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිරතුරුවම පවසා සිටියේ මැතිවරණ කොමිසමට ඉහළින් පාර්ලිමේන්තුව හා අධිකරණයේ බලය තිබුණත් ඒ සියල්ලටම ඉහළින් ජනතා පරමාධිපත්‍යයත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයත්, ඡන්ද බලයත් තිබිය යුතු බවයි.

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රටාවක තිබෙන රටක් බැවින් සැම විටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය අනුවයි කටයුතු කළ යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලන බලයේ පදනම ජනතාවගේ කැමැත්ත විය යුතු බවයි. එම කැමැත්ත නිසි කාලවලදී පැවැත්වෙන නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම්වලින් ප්‍රකාශ විය යුතු බවත්. යම් රටක නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් නිසි කාලවලදී සිදු වූයේ නැත්නම් ඒ රටේ ජනතා කැමැත්ත නිසි ලෙසින් ප්‍රකාශ නොවන බවත් එහි සඳහන වනවා. එසේ නිසි මැතිවරණ නොපැවැත්වුවහොත් පාලන බලයේ පදනම ජනතා කැමැත්තකට අනුව සිදු නොවන බවක් ගම්‍ය වනවා. එවැනි රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙසින් හැඳින්වීමට නොහැකි බවත් මැතිවණ කොමිසමේ සභාපතිවරයා පවසනවා.

පළාත් පාලන මැතිවරණය කල් යාම නිසා පළාත් පාලන ආයතන කර්යයන් රැසක් අඩපණ වුණා. එහෙත් යම් යම් විචාරකයන් පැවසුවේ ප්‍රතිපාදන නිසි පරිදි කාර්යයන්හි යෙදවීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු යෙදිම නිසා සේවාවන් නිසි පරිදි සිදු කළ හැකි වූ බවයි. කෙසේ හෝ ගමේ ඇත්තන් ගමේ පුංචි ආණ්ඩුවේ නොසිට මේ කාර්යයන් සිදු කළ නොහැකි වනවා.

සභාපතිවරයා පැවසූ පරිදි පිට්ටනියේ සෙල්ලම් කිරීමට අවශ්‍ය බැට් බෝල මෙන්ම තරග නීති රීතිත් සියල්ලම ලැබුණා. මේ පත්‍රය ඔබ අතට පත්වන විට මැතිවරණය පවත්වා අවසන් ව තියේවි. මේ මැතිවරණයේ පැහැදිලිවම දැකිය හැකි වූ ප්‍රධාන ලක්ෂණ දෙකක් තිබෙනවා. එයින් පළමුවැන්න ගහ මරා ගැනීම් අඩු වීමයි. විශේෂයෙන්ම කිසිදු ඝාතනයක් සිදු නොවූ අතර බරපතළ සිදුවීම් වාර්තා නොවීම කැපී පෙනෙන වෙනසක් බවත් අප පෙන්වා දිය යුතු වනවා.

පසුගිය සිකුරාදා උදෑසන වන විට පොලිස් මූලස්ථානයට මැතිවරණ පැමිණිලි 610ක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 183ක් වාර්තා වී තිබූ අතර සමස්ත පැමිණිලි සංඛ්‍යාව 793කි. එයින් බහුතර සංඛ්‍යාවක් බැණ තර්ජනය කිරීම් වන අතර එම සංඛයාව 149කි. එසේම එසේම පහර දීම් 82ක් වාර්තා වී ඇත.

විශේෂයෙන්ම පැෆරල් සංවිධානයත් , කැෆේ සංවිධානයත් මේ සම්බන්ධව දැඩි අවධානයෙන් පසු වුණා.

දැන් අප අප කතා කළ යුත්තේ ඊ ළග පියවර කුමක්ද යන්න ගැනයි.

මෙවර මැතිවරණය පැවැත්වුණේ මිශ්‍ර ක්‍රමයක් යටතේ. එනම් කේවල ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය යන දෙකෙහිම මිශ්‍රණයක් යටතේයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පෙන්වා දුන්නේ මැතිවරණය පස්වරු 4.00ට අවසන් වූ වහාම ඡන්ද ගණනය කිරීම් ජන්ද මධ්‍යස්ථාන තුළම සිදු කරනු ලබන බවයි. වෙනදා මෙන් ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා ගෙන නොයන අතර එම ස්ථානයේම ගණනය කිරීම් සිදු කරනු ලබනවා. එම ප්‍රතිඵල දිස්ත්‍රික් ලේකම් කාර්යාලට ෆැක්ස් මගින් යැවීමට කටයුතු කරනු ලබන අතර එසේ පහසුකම් නොමැති ස්ථානවල නම් එම ප්‍රතිඵල රැගෙන යාමට කටයුතු කරනු ලබනවා.

ඡන්ද ගණන් කර අවසන් වූ විටදීම අදාළ කොට්ඨාසයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න තීරණය වනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අදාළ සියලු ප්‍රතිඵල රැගෙන ආ විට දිස්ත්‍රික්කයේම එක් එක් පක්ෂ විසින් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සලකා බලා එක් එක් පක්ෂයට පළාත් පාලන ආයතන උදෙසා හිමි විය යුතු සභිකයන් සංඛ්‍යාව සමානුපාතික ක්‍රමය යටතේ තීරණය කරනු ලබනවා.

උදාහරණයක් ලෙස යම් පක්ෂයකට හිමි සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාව අනුව සභිකයන් 10 දෙනකු තේරී පත් කළ හැකි වන්නේ නම් ඒ වන විටත් කොට්ඨාස මට්ටමින් සභිකයන් 8 දෙනකු තේරී පත්ව ඇත්නම් තවත් සභිකයන් දෙදෙනකු එම පක්ෂයට ලැයිස්තුවෙන් නම් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ මැතිවරණයට පෙර එනම් මේ වන විටත් ලබා දී ඇති ලේඛනයෙන් හා පරාජිත අපේක්ෂකයන් අතුරින් පමණයි.

ඒ අනුව පරාජිත වූ අපේක්ෂකයකුට වුවත් පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙන් ලැයිස්තුවෙන් පළාත් පාලන ආයතනයන්ට තේරී පත් විය හැකියි.

එහෙත් ඒ කිසිවක් සිදු කරන්නට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලයක් හිමි වන්නේ නැහැ. ඔවුන් විසින් අදාළ ප්‍රතිළුල ලේඛන හා අදාළ සභික සංඛ්‍යාවන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දීමෙන් පසුව මැතිවරණ පනතට අනුව ඒ බව අදාළ පක්ෂ ලේකම්වරුන්ට දන්වා යැවීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් කටයුතු කරනවා.

ඒ සංශෝධිත පනතේ නිර්ණායක යටතේයි. මේ නිර්නායක ලෙස පවතින්නේ මොනවාද?

ප්‍රධාන වශයෙන්ම කාන්තා නියෝජනයයි.

පෙර සලකන ලද උදාහරණයම ගෙන සලකන්නේ නම් යම් පළාත්පාලන ආයතනයක් සඳහා ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අනුව එක් පක්ෂයකට සභිකයන් 10 දෙනකු තෝරා පත් කළ හැකිනම් මේ වන විටත් කොට්ඨාස මට්ටමින් 8 දෙනකු තේරී ඇත්නම් ඒ සියලුම දෙනා පිරිමි අපේක්ෂකයන් නම් ඉතිරි දෙදෙනා අනිවාර්යෙන්ම කාන්තාවන් ලෙසින් පත් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පක්ෂ ලේකම්වරයාට දැනුම් දෙනවා. එවිට අදාළ පළාත් පාලන ආයතනයේ එම පක්ෂයේ කාන්තා නියෝජනය 20%ක් පමණ (අපේක්ෂකයන් 10 දෙනකු අතුරින් දෙදෙනකු හෝ තෝරා ගැනීම) වනවා.

යම් හෙයකින් එම පළාත් පාලන ආයතනයේ සභිකයන් 10 දෙනකු පත් කළ හැකි අතර 8 දෙනකු ජනතා ඡන්දයෙන් පත්ව ඇති අවස්ථාවේ ඒ අතර දෙදෙනකු කාන්තා අපේක්ෂිකාවන් නම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුම් දෙන්නේ කුමන හෝ අපේක්ෂකයන් දෙදෙනකු නම් කරන ලෙසයි. එවිට කාන්තා නියෝජනයක් ලැයිස්තුවෙන් යෙදවිය යුතු බවට අනිවාර්ය කෙරෙන්නේ නැහැ.

එමෙන්ම යම් පක්ෂක් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 20%ට වඩා අඩුනම් ඔවුන්ට හිමිවන්නේ සභිකයන් එක් අයෙක් හෝ දෙදෙනෙක් නම් ලැයිස්තුවෙන් එක් අයෙකු හෝ දෙදෙනකු හෝ පත් කිරීමට සිදුවන අවස්ථාවේදි කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ බල කිරීමක් සිදුවන්නේ නැහැ. අවම සභික සංඛයාවක් යටතේදී පක්ෂයට රුචි පරිදි සභිකයන් තෝරා ගැනිම පක්ෂ ලේකම්වරුන්ට පැවරෙනවා. මේ සියලු කරුණු නිරවුල් වූ පසු ක්ෂණිකව අදාළ පළාත් පාලන ආයතනවලට අදාළ සභික සංඛ්‍යාව සහ තේරී පත් වුණු මන්ත්‍රීවරුන් ගැසට් කරනු ලබනවා. ඒ අනුව සෑම කොට්ඨාසයකටම කුමන හෝ පක්ෂයකින් ප්‍රාදේශීය සභා හෝ නාගරික මන්ත්‍රීවරයකු තේරී පත් වනවා. එවිට ලැයිස්තුවෙන් පත් වන මන්ත්‍රීවරයා නියෝජනය කරන්නේ කුමන බල ප්‍රදේශයක්ද යන ගැටලුව මතු වනවා.

මැතිවරණයෙන් තේරී පත්වෙන අපේක්ෂකයා අනිවාර්යෙන්ම කොට්ඨාසයේ මන්ත්‍රීවරයා බවට පත් වෙනවා. ලැයිස්තුවෙන පත්වන තැතැත්තා අදාළ පළාත් පාලන ආයතනයේ මන්ත්‍රීවරයකු ලෙසින් පමණයි.

උදාහරණයක් ලෙසින් කොළඹ නගර සභාවට බොරැල්ල හා සුදුවැල්ල යන පළාත්වලින් කොට්ඨාස මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඡන්දයෙන් තේරී පත් වන්නේ යැයි සිතමු. බොරැල්ලට තේරී පත් වන්නේ 'ඒ' නම් පක්ෂයෙන්. සුදුවැල්ලට තේරී පත් වන්නේ 'බී' නම් පක්ෂයෙන්. ලැයිස්තුවෙන් තේරී පත් වන තැනැත්තන් දෙදෙනා එක් අයෙක් බොරැල්ලේ අනෙක් තැනැත්තා සුදුවැල්ලේ විය හැකියි. එහෙත් ඔවුන් නියෝජනය කරනු ලබන කොට්ඨාසය හෝ ඔවුන්ගේ පදිංචිය කුමක් වුවත් ඔවුන් දෙදෙනා නම් කරන්නේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ලෙස විනා බොරැල්ල නාගරික මන්ත්‍රී හෝ සුදුවැල්ල නාගරික මන්ත්‍රී ලෙසින් හෝ නොවේ.

ගමේ නියෝජිතයා වන්නේ මැතිවරණයෙන් තේරී පත් වූ තැනැත්තායි. එසේ වුවත් ලැයිස්තුවෙන් තේරී පත් වූ තැනැත්තා නාගරික බල සීමාවේ සියලු ස්ථානයන්ට සේවය කළ හැකි තැනැත්තෙක් වනවා.

මේ ක්‍රමය යටතේ පරාජිතයන් පවා පළාත් පාලන ආයතනවලට පත් වෙනවා. එය කෙතරම් සුදුසුද යන්න ගැන කතාබහට ලක් විය හැකියි.

ඒ ගැනත් මඳ විවරණයක් සිදු කළ යුතු වනවා.

උදාහරණයක් ලෙස 'ඒ' පක්ෂයේ සහ 'බී' පක්ෂයේ යම් ප්‍රබල දීර්ඝ කාලයක් දේශපාලනය කරන ලද අපේක්ෂකයන් දෙදෙනකු සිටියහොත් මේ මැතිවරණ ක්‍රමය යටතේ ඔවුන් දෙදෙනා එක් කොට්ඨාසකට තරග කළහොත් කොට්ඨාසයට පත් විය හැක්කේ එක් අයකුට පමණයි. එවිට අනෙක් තැනැත්තා පරාජයට පත් වනවා. ඒ පරාජිතයා පක්ෂයේ ප්‍රතිපත්ති සැලසුම් සියල්ල හොඳින් දන්නා අයෙක් නම් ආධුනිකයන්ගේ ඉදිරි ගමන උදෙසා එවන් අය පළාත්පාලන ආයතනවලට පත් කර ගැනීමට පක්ෂයට අවස්ථාව සැලසෙනවා. එවන් අවස්ථාවන්ට මේ ලැයිස්තුවෙන් පත් කිරීමට හැකියාව තිබීම වැදගත් වනවා.

මේ වන විට පළාත් පාලන ආයතනවල සිටින 1.28%ක් වන කාන්තා නියෝජනය අවම වශයෙන් 15%ක් හෝ දක්වා වර්ධනය කර ගැනීම මෙහිදී අපේක්ෂා කරනු ලබන තවත් වැදගත් සාධකයක් වනවා‍. මෙවර මැතිවරණය පැවැත්වීම සඳහා ලක්ෂ දෙකක පමණ නිලධාරීන් යොදවා ගැනීමට මැතිවරණ කොමිසමට සිදු වුණා. එහෙත් ඇතැම් අය විවිධ අදාළ කිරීම් සිදු කිරීමට උත්සාහ දරන බවට සභාපතිවරයාට වාර්තා වී තිබෙනවා. එවන් අයට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටද සභාපතිවරයා කටයුතු කර තිබෙනවා.

මෙවර සභිකයන් සංඛ්‍යාව අධික වීම නිසා අපේක්ෂයන් සංඛ්‍යාවද අතිවිශාලයි. ඒ නිසා කොමිසමට ඇති කාර්යයන් අධීක වී තිබෙනවා.‍ උදාහරණයක් ලෙස කොළඹ මහ නගර සභාවට සිටි සභිකයන් 59 වෙනුවට මෙවර සභිකයන් 113 දෙනකු තෝරා පත් කර ගත යුතු වනවා.

මෙවර ජන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා පහසු වුණා. එයට හේතුව පක්ෂය ඉදිරියෙන් කතිරයක් ගැසීම පමණක් වන නිසා. ඉතා සරල ක්‍රමයකි මෙවර ඇත්තේ. එහෙත් තමන් කැමැත්ත පළ කරන්නේ කුමන ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යාමටද යන්න ගැන ඡන්දයදායකයා කල්පනා කළ යුතු බවයි අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ. පක්ෂය, ප්‍රතිපත්ති පුද්ගලයන් මේ ත්‍රිත්වයක් ඡන්දදායකයාට හිමිවූ බවද ඔහු පෙන්වා දුන්නා.

අධිකරණ නියෝගයක් නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙක් සියලු සභිකයන් හෙට අනිද්දා වන විට පළාත් පාලන ආයතනවලට පැමිණේවි. ඔවුන්ට පැවරෙන වගකීම, ජනතා සේවය කරාවිද? අපි බලා සිටිමු.

තාරක වික්‍රමසේකර

අදහස්