ඡන්දෙට පසුව එන සංග්‍රාමය....! | සිළුමිණ

ඡන්දෙට පසුව එන සංග්‍රාමය....!

 සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය කොපමණ වියහැකි ද. මෙය රටේ රාජ්‍ය පාලනයට හා මූල්‍ය පාලනයට අදාළ වගකිවයුත්තන්ට පමණක් තිබිය හැකි ප්‍රශ්නයක් පමණක් ද නොවේ. රටේ සාමාන්‍ය පුරවැසියන් ද දැනගත යුතුව ඇති වැදගත් ප්‍රශ්නයකි. මක්නිසාද යත් කුමන කාලවකවානුවක, කුමන පාලකයකු විසින්, කුමන ආකාරයක, කොපමණ ණය මුදලක් රටට අදාළව ගෙන ඇත්ද, එය ගෙවාදැමිය යුත්තේ මේ රටේ සමස්ත ජනතාව විසින් වන නිසාය. අප රටේ අනාගත පරපුරට ද එම වගකීම පැවරෙන නිසාය.

ඒ අනුව අප රටට අදාළව අද වන තෙක් ලබාගෙන ඇති ණය ප්‍රමාණය කොපමණද, රටේ විගණකාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කර ඇති අන්දමට ඊට නිශ්චිත පිළිතුරක් ලබාදීමට හැකි සමතෙක් මෙදියත නැති බව පෙනේ. ඔහු ප්‍රකාශ කරන ආකාරයට එය සක්‍රයාගේ පුත්‍රයා වන වයිමාගෙන් ඇසිය යුතුව ඇති ප්‍රශ්නයකි.

බියකරු ඇත්ත

රටක් ලෙස සැලකීමේ දී එය අතිශයින්ම බරපතළ ප්‍රකාශයකි. දැනුවත් පුරවැසියෙකුට නම් ඇඟලොමු ඩැහැගැන්වෙන කරුණකි. ඉන් කියැවෙන්නේ රටක් ලෙස අප වර්තමාන හා අනාගත පරපුරේ හිස මත දැවැන්ත ණය කන්දරාවක් පවරා ඇති බව පමණක්ම නොවේ. මූල්‍ය විනයකින් තොරව ණය ලබාගෙන ඇති බවකි. ඒ පිළිබඳ නිශ්චිත හා ගණන් හිලව් ඉදිරිපත් කිරීම රටේ විගණකාධිපතිවරයාට පවා නොහැකි වී ඇත්තේ ඒ නිසාය. ඒ කෙසේනමුත් එක් දෙයක් ඉතා පැහැදිළිව කිවහැකිය. එනම් විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ද තහවුරු කර ඇති ආකාරයට ශ්‍රී ලංකාව ඉතිහාසය තුළ ලබාගෙන ඇති දැවැන්තම ණය ප්‍රමාණය ලබාගෙන ඇත්තේ පසුගිය දශකය තුළ දී ය. එනම් 2008 වසරේ සිටය.

රටක් ලෙස අප ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය නිශ්චිතව සඳහන් කිරීමට වයිමාට පවා නොහැකි වෙතත් 2017 නොවැම්බර් මාසය වනවිට රටක් ලෙස අප විසින් ගෙවා දැමිය යුතුව ඇති ණය ප්‍රමාණය පිළිබඳව නම් පැහැදිළි සටහනක් තිබේ. ඒ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුවය. ඒවාට අනුව පසුගිය වසරේ නොවැම්බර් මස 30 වන දින වනවිට ගෙවිය යුතුව ඇති ණය මුදල රුපියල් ටි‍්‍රලියන දහයයි දශම තුනකි. එනම් රුපියල් 10, 338, 767, 000, 000 කි.

එතරම් දැවැන්ත ණය මුදලක් ඉදිරියේ රටේ වත්කම් ප්‍රමාණය ලෙස සටහන් වන්නේ ටි‍්‍රලියන එකයි දශම එකක් වීම ගැන ද අප අවධානයක් යොමුකළ යුතුය. එනම් පසුගිය වසර වනවිට අප රටක් ලෙස ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියන දහයයි දශම තුනක් වනවිට ජනරජ මූල්‍ය ප්‍රකාශවලට අනුව 2016 දෙසැම්බර් මස 31 වනදා වනවිට හඳුනාගෙන ගිණුම් ගතකර තිබෙන රටේ සමස්ත වත්කම රුපියල් ටි‍්‍රලියන එකයි දශම එකකි.

පරතරය

මේ දැවැන්ත පරතරය ගැන සැබැවින්ම විග්‍රහ කළයුත්තේ මේ රටේ ආර්ථික විශේෂඥයින් ය. එහෙත් මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට පවා එහි දී නිතැතින්ම පැන නැ‍ඟෙන ප්‍රශ්නයක් තිබේ. එනම් රටේ මුළුමහත් වත්කම් ප්‍රමාණය ටි‍්‍රලියන එකක් නම් ණයට ගෙන ඇති ටි‍්‍රලියන දහයයි දශම තුනකින් ටි‍්‍රලියන නමයකටම වූ දේ කුමක්ද යන්නය. ආර්ථික විශේෂඥයින්ට අනුව, විගණකාධිපතිවරයා ද ඇතුළු විගණකවරුන්ට අනුව එය විග්‍රහ කරන්නේ මූල්‍ය විනය පිරිහීමේ ලක්ෂණයක් ලෙසට ය. එහෙත් සාමාන්‍ය ජනතාව එය තේරුම්ගත යුත්තේ හොරකම, නාස්තිය, දූෂණ හේතුවෙන් රටට අහිමි වී ඇති දැවැන්ත මුදල් කන්දරාවක් ලෙසට ය. අද අප රටක් ලෙස හා ජනතාව ලෙස කරගසා ඇති ප්‍රශ්න කන්දරාවටම මූලික වූ හේතුව ලෙසය.

ඒ අනුව අද මේ රට මේ තැනට පත්කර ඇත්තේ කවුරුන් විසින් ද යන්න නම් ගම් සහිතව තේරුම් කර දියයුතු නැත. 2008 වසරේ සිට මේ රට, වැඩිම කාලයක් පාලනය කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න තේරුම් ගැනීම තුළ මේ ණය බරට වැඩියෙන්ම වගකිවයුත්තේ කවුරුන් ද යන්න ද හඳුනාගත යුතුය. එහෙත් රටක් ලෙස අද අප වැඩියෙන්ම කල්පනා කළ යුත්තේ ඒ ගැන නොවේ. මේ රට ඇද වැටිය හැකි දැවැන්ත අගාධයෙන් හෙට මේ රට ගොඩගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව ය.

ඒ සඳහා ගතයුතු පියවර ගණනාවක්ම තිබිය හැකිය. විදේශ ආයෝජකයන්ට දිරි දීම, රට තුළ කර්මාන්ත හා නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම ඒ හරහා අපනයන ආදායම ඉහළ තලයකට ගෙන ඒම, රටට හා මහජනතාවට වැය බරක් වෙමින් පාඩු ලබන හා අකාර්යක්ෂම රාජ්‍ය ආයතන මනා කළමනාකාරීත්වයක් යටතේ ප්‍රවර්ධනය කිරීම වැනි උපාය මාර්ග ඊට අදාළව දේශපාලකයන් යෝජනා කරන සුලබ විසඳුම් ය. මූල්‍ය විනය ද ඇතුළුව දියුණු කළමනාකාරීත්ව උපායමාර්ග කෙරෙහි ආර්ථික විද්‍යඥයින් ද ඇතුළු රටේ විද්වත් ප්‍රජාව ඒ සඳහා යෝජනා කරන විට මේ සියලූ අංශ එකහෙළා පළකරන ප්‍රබල අදහසක් ද තිබේ. එනම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඒ කුමන ආකාරයේ උපාය මාර්ගයකට පිවිසුන ද අල්ලස හා දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන හා සමාජ ව්‍යුහයක් ගොඩනගන තුරු ඒ සඳහා ගනු ලබන කුමන හෝ උත්සාහයකින් ප්‍රතිඵලයක් ලබාගත නොහැකි බවයි.

සමස්ත වත්කම

1988 වසරේ සිට 2017 නොවැම්බර් අතර දශකයක තරම් කාලයක් තුළ ශ්‍රී ලංකාව රුපියල් ටි‍්‍රලියන 10.3 ක ණය ප්‍රමාණයක් ලබාගෙන තිබිය දී 2016 දෙසැම්බර් මස 31 වනදා දක්වා ගිණුම් ගත කර ඇති රටේ සමස්ත වත්කම රුපියල් ටි‍්‍රලියන 1.1 ක් වීම තුළ පැහැදිළිවම බරපතළ සත්‍යයක් තිබේ. එනම් රුපියල් ටි‍්‍රලියන 9.2 ක දැවැන්ත මුදල් කන්දරාවට සිදුව ඇති දෙයක් තහවුරු කළ නොහැක්කේ හුදු අකාර්යක්ෂම කළමනාකරණය නිසා පමණක් සිදුවූ දෙයක් නොවන බවය. නියතවශයෙන්ම එයින් අතිවිශාල පංගුවක් දූෂණය හා නාස්තිය හේතුවෙන් සැඟවී තිබෙනවා වියහැකිය. අදාළ කාලය තුළ මේ රට පාලනය කළ දේශපාලන නායකත්වය ඒ සඳහා තීරණාත්මක ලෙස දායක වී ඇති බව ඉතා පැහැදිළි වුවත් රටේ පරිපාලනයට අදාළ නිලධාරී තන්ත්‍රයේ සහයෝගයක් හා අනුදැනුමක් නොමැතිව එවැන්නක් කිසිසේත්ම සිදුවිය නොහැකිය.

පසුගිය දශක එකහමාරක කාලය තුළ පිරිහී ගොස් ඇති මූල්‍ය විනය නිවැරදි මාවතකට යොමුකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් වෙත ද බලවත් වගකීමක් පවතින බවට විගණකාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ නිසා වියයුතුය. එහෙත් එය රාජ්‍ය නිලධාරීන් බලවත් කරන නීති රීති හඳුන්වා දීමකින් හෝ ඒ සඳහා ගතයුතු අනෙකුත් ක්‍රියාමාර්ගයන්ට යොමුවීමෙන් පමණක් සිදුකළ හැකි යැයි සිතන්නේ නම් එය ද බලවත් මුලාවක් විය හැකිය. මක්නිසාද යත් ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති බවට හඳුනාගෙන ඇති බොහෝ දූෂිත ගනුදෙනු හා ව්‍යාපෘති සැලකීමේ දී මේ රටේ දේශපාලකයන් තරමටම රාජ්‍ය නිලධාරීන් ද එකිනෙකා පරයන අන්දමේ තරගයකින් යුතුව ඒවාට සම්බන්ධ වී ඇති බවට සාධක පවතින නිසාය. ඇවන්ගාඞ් සිදුවීම හා එයාර් ලංකා සහ මිහින් ලංකා යන සමාගම්වල මෑත කාලීන ක්‍රියාකාරීත්වය සැලකීම තුළ පමණක් වුවද ඒ බව තේරුම්ගත හැකිය.

පරම සතුරා

 

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ඉතා පැහැදිළි ලෙස පෙන්වා දුන් ආකාරයට අද වනවිට රට ඉදිරියේ ඇති පරාජය කළයුතු බලවත්ම සතුරු බලවේගය වන්නේ අක්‍රමිකතා හා නාස්තිය පදනම් කරගත් වංචාව හා දූෂණයයි. ඒ අනුව ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීමට වඩා වෙනස් වූ දැවැන්ත සංග්‍රාමයකට රටක් ලෙස අප මුහුණ දියයුතුව තිබේ. වංචාව හා දූෂණයට එරෙහිව වන සටන ප්‍රභාකරන් පරාජය කිරීමට වඩා වෙනස් වූ දැවැන්ත සංග්‍රාමයක් ලෙස හඳුන්වා දීමට හැකි හේතු සාධක ගණනාවක්ම තිබේ. එනම් ප්‍රභාකරන්ගෙන් මතුවූ අනතුර හා අභියෝගය මුළුමහත් සමාජයම පොදුවේ හඳුනාගෙන සිටි අතර අවි බලය මත එය සෘජුවම පරාජය කළහැකි විය. ඒ සඳහා දක්ෂ, නිර්භීත හා ජීවිත පූජාවෙන් සටන් කළ ත්‍රිවිධ හමුදාවක් රට තුළ ස්ථාපිතව පැවැති අතර දැවැන්ත සමාජ අධිෂ්ඨානයක් ද ඒ පසුපස විය. එහෙත් අද දවසේ දේශපේ‍්‍රමීත්වය යනු මූල්‍ය විනය තහවුරු කිරීම වන බව හඳුනාගෙන ඇතත් ප්‍රභාකරන් පරාජය කළා සේ ඊට එරෙහිව සටන් කරන්නට බලවත් වූ හමුදාවක් තවමත් ගොඩනගාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. එමෙන්ම සාමාන්‍ය ජන සමාජය තුළ ඒ සඳහා වන දැවැන්ත සමාජ අධිෂ්ඨානයක් ගොඩනගාගැනිමට ද තවමත් අපට හැකිවී නැත. ඒ සඳහා බලවත්ම හේතුව වෙන කිසිවක්ම නොවේ. දැවැන්ත දේශපාලන නායකත්වයක් නොලැබීමය. මෑත කාලීන ඉතිහාසය තුළ මේ රට තුළ වර්ධනය වූ දේශපාලන සංස්කෘතිය පිළිබඳ සැලකීමේ දී බලය, දූෂණය සඳහා මාර්ගයක් කරගෙන ඇති ආකාරයක් මිසක දූෂණයට එරෙහි දේශපාලන බලවේගයක් ගොඩනගාගැනීම සඳහා ගෙන ඇති උත්සාහයක් දැකිය නොහැකිය.

එහෙත් අද වනවිට දූෂණයට එරෙහි පිරිසුදු දේශපාලන සංස්කෘතියක් උදෙසා පෙනීසිටීමේ අධිෂ්ඨානයකින් යුත් රාජ්‍ය නායකත්වයක් රටට ලැබී තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ ගතවූ අවුරුදු තුනක කාලය තුළ ඔහු පෙනී සිටි අභියෝගාත්මක මැදිහත්වීම් ගණනාවක් තුළ ඒ බව මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. දූෂණයට එරෙහිව සිදුකළ යුතු සටන ශ්‍රී ලංකාවේ ආත්මාරක්ෂාව සඳහා අනිවාර්ය වී ඇති සටනක් බව මෙන්ම අද දවසේ සැබෑ දේශපේ‍්‍රමීත්වය ඊට උරදීම බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා මේ වනවිටත් ඒ සඳහා ප්‍රවේශ වී තිබීම තුළ ඒ පිළිබඳව වන ඔහුගේ කැපවීම හා උනන්දුව පෙන්වා දී ඇත.

නියත ප්‍රතිඵලය

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු රටක් ලෙස අප නියත වශයෙන්ම ප්‍රවේශ වනු ඇත්තේ දැවැන්ත සංග්‍රාමයකට ය. එය ඇතැම් විචාරකයන් දක්වා ඇති පරිදි හුදු දේශපාලන බල ගැටුමක් ම නොවේ. විශේෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය තුන්කොන් සටනක් බවට පත්වී තිබීම තුළ ජයග්‍රාහකයා තීන්දු කරනු ඇත්තේ පිළිවෙලින් ප්‍රථම, දෙවන හා තෙවන ආදී වශයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අතරින් ප්‍රථම පක්ෂය හෝ කණ්ඩායම නොවේ. එමෙන්ම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා දෙවන හෝ තුන්වන පක්ෂය හෝ කණ්ඩායම ද නොවිය හැකිය. ඒ තුළ මේ මැතිවරණයේ නියත අවසන් ප්‍රථිඵලය වනු ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරක බලය වීමය.

රටක පාර්ලිමේන්තු මැතිවරණයක දී මෙන් නොව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළ පළාත්පාලන මැතිවරණයක දි එවැනි තත්ත්වයක් නිර්මාණය වීම අතීත පූර්වාදර්ශයන් නොමැති ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වන නවමු අත්දැකීමක් ද වියහැකිය.

එමෙන්ම දූෂණයට හා වංචාවට එරෙහිව දියත් කළයුතුව ඇති නියත සංග්‍රාමය පිළිබඳව සළකා බැලීමේ දී එම තත්ත්වය රටට ආශිර්වාදයක් ද කරගත හැකිය. රටේ අනාගතය තීන්දු කරන නව දේශපාලන හා සමාජ බලවේගයක උපත ද ඒ තුළ සිදුවිය හැකිය.

සුනිල් ජයසේකර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.