ඔබ එතැන නම් ඔබත් රටත් දිනුම්! | සිළුමිණ

ඔබ එතැන නම් ඔබත් රටත් දිනුම්!

 තම ගමට, පළාතට, කොට්ඨාශයට සෘජුවම නියෝජිතයකු තෝරා ගැනීම සඳහා මේ රටේ ජනතාව පෙබරවාරි 10 වැනිදා ඡන්ද පොළට පා තැබුවේ වසර හතලිහක් වැනි දිගු කලකට පසුවය. ජනතාවට ඒ වරම ලබා දෙන ලද්දේත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ යහපාලන ආණ්ඩුව විසිනි. එම ඡන්ද ප්‍රතිඵලයත් සමග හෙට උදාවන දේශපාලන වාතාවරණය කෙබඳු මුහුණුවරක් ගනු ඇද්ද? එහිලා මෙම ප්‍රතිඵලයේ ජයගාහී චරිතවලට මෙරටේ දේශපාලනයට කළ හැකි සම්මාදම කුමක්ද? එම ඡන්ද ප්‍රතිඵලයේ වාසිය සැබැවින්ම ජනතාවට හා අභිනව දේශපාලන ගමනකට ඉවහල් වනු ඇද්ද? යනාදී ප්‍රශ්න ගණනාවක්ම මෙහිදී මතු කළ හැකිය.

දේශපාලනය බල ව්‍යාපෘතියක් නැතහොත් පවුල්වාදය රජකරවීමක් නොවීය යුතුය යන අදහස 2015 ජනවාරි 08 මෛත්‍රීපාල සිරිසේන නම් වූ පොදු අපේක්ෂකයා මෙ රටේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කළ බහුතර ජනතාවගේ අදහස බව පැහැදිලිය. එසේම දේශපාලනය, වංචාව, මහජන සම්පත් මංකොල්ලකෑම මෙන්ම සකල විධ දූෂණයට, භීෂණයට, හිංසනයට යටත් නොවිය යුතු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය හා සාධාරණත්වය මත පදනම් විය යුතුය යන ප්‍රාර්ථනයද එතුළ විය.

සම්මුතිය

මෛත්‍රී ජනාධිපතිවරයා ඉතා නිවැරදිව මේ දේශපාලන ප්‍රතිචාරය වටහා ගෙන තිබුණි. එය කිසිසේත්ම පුද්ගලයකු බිම දමා තවත් පුද්ගලයකුට බලයක් ලබා දීමක් නොවු බව ඔහු ඉඳුරා දැන සිටියේය. මෛත්‍රී මෙම ධුරයට පත් වූයේ එතෙක් මෙරටේ තිබුණු සම්ප්‍රදාය අනුවද නොවේ. මෙරටේ එම ධුරයට පත් වූවෝ ඊට පෙර විපක්ෂනායක, අගමැති වැනි ධුර හෙබවූවෝය. එහෙත් මෛත්‍රී ජනාධිපති ධුරයට පත්වන්නේ ඇමතිවරයකු ලෙස සිට දින 42ක් වැනි ඉතා කෙටි කාලයක් ඇතුළතදී වීම සුවිශේෂී කරුණක් විය. එසේම මෛත්‍රීට, එවකට සිය නායකයා මෙන්ම සිය පක්ෂයේ සභාපතිවරයාද වු මහින්දගේ තෙවැනි ඉනිම පරාජය කිරීමට හැකිවිය. ඒ සඳහා එ.ජා.ප.ය විසින් ලබා දෙන ලද ආධාර, අනුබල අතිශය තීරණාත්මක විය. එ.ජා.ප.යේ සමහරුන් විසින් මෛත්‍රීගේ ජයග්‍රහණය සපුරා එ.ජා.ප.යේ ගිණුමට බැර කරනු ලැබුවද එහි දේශපාලන අර්ථය ඊට වෙනස් බව අපගේ අදහසය. එ.ජා.ප.යට මෙරටේ ප්‍රමාණවත් ඡන්ද පදනමක් තිබේ. එහෙත් එ.ජා.ප.යට ජනාධිපතිවරණයක් ජයගත හැකි අපේක්ෂකයකු පිළිබඳ කිසියම් චකිතයක් තිබුණු බව පෙනේ. මහින්ද සමග පළමු තරගය සඳහා එ.ජා.ප.ය අවස්ථාව ලබා දුන්නේ සරත් ෆොන්සේකාටය. අනතුරුව ඔවුන්ගේ සහාය හිමි වූයේ මෛත්‍රී නමැති පොදු අපේක්ෂකයාටය.

මෛත්‍රී ජනාධිපතිවරයා සිය අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කරන්නේ එදා එ.ජා.ප.ය තමන්ට දුන් ආධාර උපකාර වලට කළගුණ සැලකීමද සිතේ තබා ගෙන යයි හැඟේ. ඒ කුමක් වුවද එ.ජා.ප. හා ශ්‍රී ල.නි.ප. සම්මුතිය පිටතට පෙනෙනවාට වඩා වෙනස් ඇතුළතින් නොගැලපෙන එකක් බව මේ වන විට තහවුරු වී තිබේ. එහෙත් ඒ සම්මුතිය විසින් මේ රටට දෙන ලද අලුත් ආරම්භය සාධනීය වෙනසක් බව කිව යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, යුක්තිය පිළිබඳ එතෙක් රට තුළ තිබුණු අමිහිරි හා අප්‍රසන්න අත්දැකීම් වෙනස් කිරීමේ යෝධ පළමු පියවර තබන ලද්දේ මෛත්‍රී - රනිල් යහපාලන ආණ්ඩුව විසිනි. මානව හිමිකම්වලට ගරු කරන පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් රටට ලබා දෙන ලද්දේත් මෛත්‍රී පාලනය විසිනි. එහෙත් අද අප සිටින්නේ කොතැනකද? අපි රවුමක් කැරකී එහි මුළටම පැමිණ සිටිමුද? ආණ්ඩුවේ විවේචකයන් අසන ආකාරයට අද දූෂණ, වංචා නැතිවී තිබේද? හොරු අල්ලා තිබේද? නීතිය අතට ගත් දේශපාලන හයිකාරයෝ නොවෙත්ද?

මෛත්‍රී - රනිල් සම්මුති ආණ්ඩුව පිහිටුවා ස්වල්ප කලක් ඇතුළත ආණ්ඩුව මුහුණ දුන් බරපතලම සිදුවීම ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව බව නිසැකය. 2015 පෙබරවාරියේදි පමණ සිදුවු බව කියන මෙම වංචාවේ බොහෝ තොරතුරු මාධ්‍ය මගින් ජනතාවට හෙළි කිරීමත් සමගම රටම උණුසුම් විය. ඒකාබද්ධ විපක්ෂය මෙහිදී කියා සිටියේ සිද්ධිය යට ගසනු ඇති බවය. එහෙත් ඔවුන් පමණක් නොව බොහෝ දෙනෙක් මවිතයට පත් කරමින් මෛත්‍රී ජනාධිපතිවරයා එම සිද්ධිය විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කළේය. රාජපක්ෂ පිල එය හැඳින්වූයේද ඇස්බැන්දුමක් ලෙසය.

මෛත්‍රී ජනාධිපතිවරයාගේ එම පියවර නිසා තැතිගත් අයද හිඟ නොවූහ. බැඳුම්කර මගඩියේ කිළිටි දෑත් වලින් මෛත්‍රීට ගල් මුල් එල්ල වීම ඇරඹූණි. එහෙත් බැඳුම්කර කොමිෂන් වාර්තාව මෙන්ම බරපතල දූෂණ වංචා පිළිබඳ තවත් වාර්තාවක්ද එළි දැක්වීමට හා ඒවා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමද ආණ්ඩුව ගත් හොඳ පියවරකි. එදා රාජපක්ෂ පාලන සමයේදී දූෂිතයින්ට, වංචනිකයන්ට එරෙහිව පියවරක් නොගත් බවද අප සිහිපත් කළ යුතුය. මේ වන විට අත් අඩංගුවට පත්වී සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන ගැන රාජපක්ෂ කඳවුර නොයෙක් විවේචන කරති. එපමණක් නොව ඒවා මාධ්‍ය සංදර්ශන ලෙසත් පළාත් පාලන ඡන්ද කඩා ගැනීමේ සෙප්පඩ විජ්ජා ලෙසත් ඔවුහූ හැඳින්වූහ. එහෙත් සත්‍ය එයට වඩා වෙනස්ය.

බැඳුම්කර වාර්තාව හා දූෂණ සිද්ධි පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් අද අලුත් සංවාදයක් ගොඩ නැගී තිබේ. ඒ මොනවා වුවත් බැඳුම්කර වංචාව ගැන කොළේ ඉරාගත් එ.ජා.ප.යට වුවද අද නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රටට පෙන්වන ප්‍රතිචාරය යහපත් එකක් බව කිව යුතුය. එදා නම් තමන්ගේ හිතවතා හොරෙක් වුවත් රැක ගැනීමේ කුප්‍රකට පිළිවෙතක් විය.

කෙසේ වුවද මෛත්‍රී ජනාධිපතිවරයාගේ මෙම දේශපාලන පිළිවෙත දූෂිතයන්ගේ, හොරුන්ගේ හා අපරාධකාරයන්ගේ ඉහ මොළ රත් කරවන්නක් වී තිබෙනු නිසැකය. අද මෛත්‍රී පෙනී සිටින්නේ දූෂණයෙන් තොර දේශපාලනයක්, ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් බව නිබඳවම අවධාරණය කරයි. මේ රට ගොඩනැගීමේ මාවත වැටී තිබෙන්නේ ඒ දූෂණ විරෝධී පිළිවෙත ඔස්සේ බව ඉතා නිවැරදිව තේරුම් ගත් නූතන රාජ්‍ය නායකයා වන්නේද මෛත්‍රී ජනාධිපතිවරයා බව කිව යුතුය.

හැත්තෑවන ජාතික නිදහස් සැමරුමේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ දූෂණයෙන්, වංචාවෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන සම්ප්‍රදායක් නොමැතිව රටක් සංවර්ධනය කළ නොහැකි බවය. අවසන් වූ පළාත් පාලන මැතිවරණයේදීත් ජනරැළිවල ජනාධිපතිවරයා විසින් අඛණ්ඩවම අවධාරණය කරන ලද්දේත් දූෂිතයන්, වංචනිකයන්, ප්‍රතික්ෂේප කර තම නියෝජිතයා තෝරා ගන්නා ලෙසය. දේශපාලන පක්ෂය, පාට, කුමක් වුවත් එසේ තෝරා ගන්නා යහපත් ජනතා නියෝජිතයන් තමන්ගේ දූෂණ විරෝධී මෙහෙයුමේ පාර්ශවකරුවන් බවට පත් කර ගැනීමට කිසිදු බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

යහපාලන ආණ්ඩුවේ ගෙවී ගිය වසර තුනක කාලය තුළ මෙන්ම ඊට පෙර පාලන සමයේදීත් දූෂණ විරෝධී දේශපාලනයක් රටට අවශ්‍ය බව ඔහු අත්දැකීමෙන් පසක් කරගත් කරුණක් බව නිසැකය. මෛත්‍රී ගේ දූෂණ විරෝධය නව විලාසිතාවක් හෙවත් අලුත් පැෂන් එකකැයි සරදම් කරන විවේචකයන් මේ පිළිබඳව දනිතියි සිතිය නොහැක. අප මේ පුවත සඳහන් කරන්නේ ඒ අයගේ මෙන්ම ඒ පිළිබඳව නොදැන නන්දොඩවන විවේචකයන්ගේත් දැන ගැනීම පිණිසය.

මෛත්‍රී යනු ශ්‍රී ල.නි.ප.යේ සිටින ෙජ්‍යෂ්ඨතම සාමාජිකයෙකි. වසර දහතුනකට නොඅඩු කාලයක් පක්ෂයේ මහ ලේකම් ධුරයද හෙබ වූවෙකි. එදා රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිධුරයක් හෙබවූ හේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමීපතම සගයෙක්ද විය. මෛත්‍රී තම ආණ්ඩුවේ අගමැති කිරීමේ අදහසක් පවා එදා මහින්ද ජනාධිපතිවරයාට විය. ඒ කාලයේ එක්තරා දිනක ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී රටේ ආර්ථිකය පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් තිබී ඇත. එම සාකච්ඡාවට සහභාගි වී පසුව පෙරළා සිය නිල නිවාසයට ගිය මෛත්‍රීට පසු දින උදැසනම අරලියගහ මැදුරෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත. මෛත්‍රී සුපුරුදු සැහැල්ලු ලීලාවෙන්ම ජනාධිපති මහින්ද හමු වීමට ගියත් සිය නායකයාගේ මුහුණ මෙන්ම ස්වරූපයද වෙනදාට වඩා බෙහෙවින් වෙනස් බව ඔහු දුටුවේය.

‘ඊයේ හරියට දූෂණයට, වංචාවට විරුද්ධව විවේචන කළාලු. මේ ආණ්ඩුවේ ඉදගෙන එහෙම කථා කරන්න පුළුවන්ද? මොකද අලුත් ගමනක් යන්නද හදන්නේ’

මහින්ද ජනාධිපති මුවින් ගිලිහී ගියේ තර්ජනාත්මක වෙඩි උණ්ඩ කීපයක් බව මෛත්‍රීට හොඳින් පැහැදිලි විය. නිහඬව අසා සිටි මෛත්‍රී හිස ඔසවා බලද්දී එවක භාණ්ඩාගාර ලේකම් ධුරය හෙබවූ පී.බී.ජයසුන්දරද එතැන සිටිනු දැක ගත හැකිවිය. ජනාධිපතිවරයාට එහිදී පී.බී.ජයසුන්දර කීවේ එහෙම සිද්ධියක් තමන්ට නම් මතක නැති බවය. මෛත්‍රී අරලියගහ මැදුරෙන් පිටත් වූයේ ‘ඔව් මං දවසක මේ දූෂණයට විරුද්ධව අලුත් ගමනක් යනවා’ යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුවය. තම දූෂණ විරෝධී මෙහෙයුමේ ඇරඹුම එදා අරලියගහ මන්දිරයේදී සිදු වුවක් බව මෛත්‍රී ජනාධිපතිවරයා මෑත විද්යුත් නාලිකාවක් සමග පැවති සංවාදයකදීත් කියා තිබුණි.

පිරිසුදු රටක්

මෛත්‍රී ශ්‍රී ල.නි.ප.ය කඩා ගෙන එ.ජා.ප.ය සමග තමන් පරාජය කිරීමට සැලසුම් කළ බවට හිටපු ජනාධිපති මහින්ද චෝදනා කරන්නේද මේ දූෂණ විරෝධී පිළිවෙතට එකඟ විය නොහැකි වූ නිසා මිස අන් දෙයක් නිසා නොවේ. සැබැවින්ම රාජපක්ෂ සමයේ මේ රටේ තිබු සමාජ, දේශපාලන පසුබිම අද බොහෝ දෙනෙකුට අමතකය. නීතිය අතට ගත් ඔහු තමන්ට එරෙහිවු හැම කෙනෙකුටම පාඩම් ඉගැන්වීමටද වග බලාගත් අයුරු සමහරුන්ට අමතක වී තිබේ. ශිරානි බණ්ඩාරනායකට අගවිනිසුරු ධුරය හැර ගෙදර යාමට සිදුවීම හා එදා හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාට හිරබත් කෑමට සිදුවීම එයට දියහැකි නිදසුන් දෙකක් පමණි. බරපතල දූෂණ හා වංචා පිළිබඳ කෙරෙන චෝදනාවලින්ද එකල තිබුණු පාලනය ගැන තේරුම් ගත හැකිය. හෙට අනිද්දා වන විට මේ බොහෝ චෝදනාවල ස්වාභාවය රටට හෙළි දරව් වනු ඇත.

මෛත්‍රී ජනාධිපතිවරයා පෙබරවාරි 10 වැනිදායින් පසු කුමක් සිදු කරනු ඇද්දැයි බොහෝ දෙනෙක් විමසිල්ලෙන් සිටින්නේද මේ පසුබිම තුළය. අලුත් ඡන්ද ප්‍රතිඵලය කුමක් වුවත් මේ රට ගොඩ නැගීමට නම් මෛත්‍රී ජනාධිපතිවරයාගේ දූෂණ විරෝධී මෙහෙයුම කේන්ද්‍ර කරගත් දේශපාලන ගමනක් රටට අවශ්‍යය. පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුව දෝතින් දරා ගෙන රට වටේ ගිය මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම මේ මැතිවරණයට පෙර සිටම කියා සිටියේ මේ ආණ්ඩුව එළවා තමන් බලය ලබා ගන්නා බවය. ඇත්ත වශයෙන්ම ඒ යුගයේ දූෂණ, වංචා චෝදනා තිබෙන සියලු දෙනාගේම ගැලවීමේ මග යළි රාජපක්ෂ බලය තහවුරු කිරීමය. එය රටට කෙසේ වෙතත් තමන්ට තවත් කලක් නිදහසේ ජීවත්වීමට හේතු වන බව ඔවුහු දනිති.

මේ මැතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත් එයින් මේ ආණ්ඩුව හෝ මේ ජනාධිපතිවරයා ගෙදර යැවීමට නොහැකි බව දේශපාලනය ගැන සාමාන්‍ය දැනුමක් තිබෙන අය වුවද දනිති. එහෙත් පොහොට්ටුවට යම් බලයක් හිමි වුවහොත් එය රාජපක්ෂ කඳවුරට සුබ ආරංචියක් විය හැකිය. ජනතාව ඔවුන් සමග සිටින බව පෙන්වා එයින් පොඩි ගැම්මක් ගැනීමටද ඔවුන්ට හැකිවනු ඇත. එහෙත් රටට සිදුවිය හැකි යහපත කුමක්ද? මේ රටට ආදරයක් ඇති සියල්ලන් විසින්ම ඉතා ගැඹුරින් සිතා බලා පිළිතුරක් ලබා ගත යුතු වැදගත්ම ප්‍රශ්නය එයයි.

මෙයට පෙර සඳහන් කළ පරිදිම මෙම පළාත් පාලන මැතිවරණයේදී ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කර අවසන්ය. ඒ සඳහා ඔවුන් විසින් තෝරා ගන්නා ලද දේශපාලන පක්ෂය කුමක්ද? එහිදී ඔවුන්ගේ නිර්ණායක වුයේ මොනවාද? යන්න අපි නොදනිමු. එහෙත් ප්‍රධාන වශයෙන් මැතිවරණයේදී මෛත්‍රී, රනිල්, මහින්ද හා අනුර යන පක්ෂ නායකයෝ ජනතාව අමතමින් සිය පාක්ෂිකයන්ට ඡන්දයලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. ඊට අමතරව දෙමළ හා මුස්ලිම් නායකයෝද තම ප්‍රදේශවල පාලන බලය ලබා ගැනීමට සටන් කළහ. රනිල්ගේ එජාපය, මහින්දගේ පොහොට්ටුව, මෛත්‍රීෙග් ශ්‍රී ල.නි.ප.ය යන පක්ෂ තුන ගත් කල කිසිදු චෝදනාවකට ලක් නොවූ පක්ෂ නායකයා වූයේ මෛත්‍රී ය. ජ.වි.පෙ. අනුරටද දූෂණ චෝදනා නොවීය. මහින්දගේ සටනේ තේමාව ලෙස තිබුණේ ‘යළිත් අපි රට හදමු’ යන්නය. ගම හදන්න එ.ජා.ප.යට බලය දෙන් යන්න එජාප සටනේ තේමාව විය. ‘අපි හැමෝගේම රට දූෂණයෙන් තොර පිරිසිදු රටක් කිරීමේ ජනපති මෙහෙයුමට ඔබත් එක් වන්න’ යනු මෛත්‍රීගේ තේමා පාඨය විය. ජ.වි.පෙ. තේමාව වුයේද ගම ගොඩ නගන්න දූෂණය පරද්දන්න ජ.වි.පෙ.ට බලය දෙන්න යන්නය.

මහින්ද පිල කියන ‘යළිත් අපි රට හදමු’ යන්නේ හැඟවුම කුමක්ද? මීට පෙර තමන් රට හැදූ බවත් යළිත් ඒ ක්‍රමයටම රට හැදීම සඳහා බලය අවශ්‍ය බව ඒ හැඟවුමය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ පාර රට හදන්නේ පරණ විදිහටමද යන්නය. එදා මහින්ද පාලනය රට හැදුවේ කෙසේද යන්න රටම දනී. දූෂණය, භීෂණය, වංචාව, බලය අනිසි ලෙස යෙදීම, පවුල්වාදය, සුදුවෑන්, මාධ්‍ය මර්දනය එම පාලන සමයේ සාමාන්‍ය දේවල් බවට පත්ව තිබුණි. 2015 මහින්දට රට භාර නොදීමට ජනතාව තීන්දු කළේ මේ අධි චෝදනා පත්‍රය නිසාය. එදා ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නීතිය පාලකයන්ගේ අභිමතය විය. ඒ පාලනයට විරුද්ධව කට හෙල්ලීමට හෝ නොහැකිවිය. මහින්දගේ ඇමතිවරයෙක් රජයේ සේවකයෙක් ගස් බැන්ද ආකාරය රටම දුටු ත්‍රාසජනක ජවනිකාවකි. එහෙත් එම පුද්ගලයා මාධ්‍යවලට කීවේ තමන් කැමැත්තෙන්ම ගස් බැඳ ගත් බවය. ඒ ඇමතිවරයා මානව හිමිකම් කොමසාරිස්වරියට විවාහ යෝජනාවක්ද ගෙනාවේය. මෙයින් පෙනී යන්නේ එම පාලනයේ රඟය.

එ.ජා.ප.යේ නායකත්වයට දූෂණ චෝදනා නොවීය. එහෙත් මෙම යහපාලන ආණ්ඩුව තුළ එ.ජා.ප.යට එල්ල වන චෝදනා පත්‍රය බරපතලය. මූල්‍ය පරිපාලනයේ සිට ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිවල බරපතල දෝෂ, දුබලතා විය. මෛත්‍රී මතින් තොර රටක් හදන විට සමහරුන්ට වුවමනා වූයේ බියර්වලින් සපිරි සමාජයකි! මේවා පොදු ජන වේදිකාවේ සංවේගයට වඩා කෝපයට හේතු වූ දේවල්ය. ඇතැම් ඇන්ජීඕ රාළලාගේ ව්‍යාජ ස්ත්‍රී වාදය, නිරාගමික රාජ්‍ය සංකල්පය මේ පොළවේ පැල කළ නොහැකි දේවල් බව මෛත්‍රී දනියි.

පරමාදර්ශය

බණ්ඩාරනායක ශ්‍රී ල.නි.ප.ය ගොඩ නැගුවේ පොදු ජනයා උදෙසා බව මෛත්‍රී ඉඳුරා දනී. ඔහුට වුවමනාත් ශ්‍රී ල.නි.ප.ය ව්‍යාජ දේශප්‍රේමීන්ගෙන් බේරා ගෙන ජනතා බලවේගයක් බවට පත් කිරීමය. ඔහු කල්පනා කළේ ඩී.ඇස්. හැදූ එ.ජා.ප.යත් බණ්ඩාරනායක හැදූ ශ්‍රී ල.නි.ප.යත් එක් කර ගත් සම්මුතියකින් රට බේරා ගැනීමටය. එහෙත් ඒ පක්ෂවල ඒ නම්, චරිත විනා ඔවුන්ගේ දේශපාලන දර්ශන දියවී තිබෙන බව මෛත්‍රීට පසක් විය. ඩී.ඇස්.ගේ හා බණ්ඩාරනායකගේ දේශපාලන අභිලාෂයන් වටහා ගත් පනස් හයේ දරුවකු වූ මෛත්‍රී අද ජනතාවට කියන්නේ මේ දේශපාලන අගාධයෙන් ගොඩ විය හැකි මාර්ගයයි. එමගට රට යොමු කිරීම සඳහා ඔහු කැපවී සිටයි. මෛත්‍රී කථා කරන්නේ වැව් දනව් ගැනය. ගොවි බිම් ගැනය. මෛත්‍රී දකින නිදහස හයිෆයිකාරයන්ගේ නිදහස නොවේ. බටහිර අධිරාජ්‍යය්වාදීන් විසින් කොමිප්‍රදෝරු ධනපතියන්ගේ හා බමුණුකුල මානසික වහලුන්ගේ හිස් ගෙඩි වලට ඇතුල් කළ නිදහස මෛත්‍රීගේ නිදහස් සංකල්පය සමග නොසැසඳෙයි. මෛත්‍රී මානව හිතවාදීයෙකි. ගාන්ධිතුමන්ගේ අවිහිංසාවාදය ගරුකරන්නෙකි. ඔහුට ජාතිවාදය, ආගම්වාදය රුචිකර නැත.

අද මේ රටේ තිබෙන්නේ පන්ති කාමරයේ උගන්වන දේශපාලන විද්‍යාව හෝ ලිච්ඡවීන්ගේ පාලනය හෝ නොවන බව කවුරුත් දනිති. මෛත්‍රී නිවැරදිව කියන පරිදිම අද දේශපාලනයට එන්නේ ජනතා සේවයට නොව හරි හම්බ කර ගැනීමටය. මන්ත්‍රී ඇමතිකම් විසින් බිහිකරන ලද ධන කුවේර චෞර පැලැන්තියක් අද බිහිවී සිටිති. මේ බොහෝ දෙනෙක් විසින් අඩු වැඩි වශයෙන් ජාතික ධනය මංකොල්ල කෑවෝය. ධන තෘෂ්ණාවෙන් ආතුර වූ ජාතිභ්‍රෂ්ටයෝය.

මෛත්‍රීට වුවමනා එදා රටට ජනතාවට පොරොන්දු වූ වෙනස ලබා දීමටය. එහෙත් සිදු වූයේ කුමක්ද? හොරුන් නැති බිමක් දේශපාලනයේ නැත. හොරුන්ට එරෙහිව හා මෛත්‍රී යළිත් වැටුණේ හොරුන් අතරටය. හොරු අතර වුවද යහපත්, හොර නැති චරිතවත් මිනිස්සු ස්වල්ප දෙනෙක් හෝ සිටිති. අද මෛත්‍රීගේ ඇමතුම ඔවුන්ටය. පෙබ. 10න් පසු අලුත් ගමනක් යාමට ඒ සත් පුරුෂ, දේශපාලන චරිත වඩ වඩාත් අවශ්‍ය වෙයි. මුළින් කී පරිදිම වචීපරම දේශප්‍රේමීහුද, චෞර ප්‍රභූවරුද, ඔවුන්ගේ බලඇණිද මෛත්‍රීට එරෙහිව නැගී නොසිටිත්ද? නීතිය, අතට ගැනීමට බලය සඳහා සටන් වදින්නෝද, ධනය ඉපැයීමට නිලය අපේක්ෂා කරන්නෝද සැරිසරන මෙම දේශපාලන දඩබිම තුළ සිංහ වෙස් ගත් සිඟාලයන්ට නැති චෛතසික බලයක් ගමෙන් පැමිණි මෛත්‍රීට තිබෙන බව ඔහු ජනතාවට ඔප්පු කර තිබේ. ජාත්‍යන්තරයටද තහවුරු කර තිබේ. එසේ නම් මෛත්‍රීගේ අලුත් ගමනට එක්වන ඔබට දේශපාලන, පක්ෂය, පාට අවශ්‍ය නැත. අපට තිබෙන ගැලවීමේ මග ඒ අලුත් ගමනට දිරි දීමය. දූෂිතයන්ගෙන් තොර පාලනයක් සඳහා මෛත්‍රී ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමය. ඔබ එතැන නම් ඔබත් දිනුම්ය, රටත් දිනුම්ය.

සුමේධ ජයබාහු 

අදහස්