හාමු ගෙදර ආපු වෙලේ ඉඳන් අමු­තුයි | සිළුමිණ

හාමු ගෙදර ආපු වෙලේ ඉඳන් අමු­තුයි

පැය දෙකක් තිස්සේ ම එක දිගට පාඩම් වැඩවල නිරතවූ ශ්‍රීමාල්, ජයමාල් මල්ලී ද ඒ පැය දෙක තුළ පාඩම් වැඩවලට නිරත කරවීමට වග බලා ගත්තේය.

“මල්ලි... දැන් ඔයා මේ විදියට කාල සටහනකට අනුගත වෙලා පාඩම් කරන්න ඕන. මම ඇතත් නැතත් ඔයා ඒ වැඩ ටික හරියට කරගෙන යන්න තරම් ‘සෙල්ෆ් කන්ෆිඩන්ස්’ තියාගන්න ඕනෑ තේරුණා?....”

අන්තිමේදී ශ්‍රීමාල් කීවේ පාඩම් මේසයෙන් නැගිට දෑත් විදා දිග ඇනුමක් පිට කරමිනි.

“හා.. මොකක්ද අයියෙ ඒ කතාවෙ තේරුම... හරියට අයියත් සමන්ති අක්කා වගේ... හා.. හා.. රට පනින්නවත් ඉන්නවද ආ...” ශ්‍රීමාල්ට හිනාය. සම වයසේ යාළුවන් ඕනෑතරම් ගෑනු ළමයින්ව ඇසුරු කරනවාය. ඒ මදිවාට තම පන්ති යහළුවකු වන නෙවිල් ගේ ප්‍රේමවන්තිය නෙවිල්ගේ දෑතේ පොඩි ආරංචියකුත් එවා තිබුණේ ගිය සතියේය. ඒ ශ්‍රිමාල් ගැන තුටු පහටු වූ සිත් ඇති කෙල්ලන් කීප දෙනෙක් ම උසස්පෙළ පන්තියේ සිටිනා බවය.

මල්ලිගේ කතාවෙන් සැහැල්ලු වූ සිත් ඇති ශ්‍රීමාල් මේ කතන්දරය ඔහුට කියා දැම්මේ එයිනුත් හිත නිදහස් කරගන්නටය.

“ෂා... කමෝන්.. අයියා..! කමෝන්.. මෙන්න මගේ ෆුල් සපෝට් එක ඔයාගෙ ඕනෑම.. ඕනෑම දේකට..!”

සහෝදරයන් දෙදෙනාගේ හිනාව බොහොම තදින් පැතිරෙද්දී කාමර උළුවස්සෙන් ඔළුවක් මතුවී නැතිවී ගියේ ඉබේටමය.

“බලමු කවුද කියලා..”

ජයමාල් වහා දොරකොඩ වෙත ඇදුණේ විදිලියක් වගේය.

“ආ... මේ අම්මා නේ... අම්මට පාළු ඇති.. අප්පච්චි නැතිව.. කොහේද අප්පච්චි හිටු කියලා රෝන්දෙ යන්න තියාගත්තනෙ.. ඒක නෙමේ අය්යෙ.. අපි හැමදාම පොඩ්ඩක් වත්ත පහළට එහෙම විසිට් පාරක් දාමුද.. නිකං... ජනතා ආස්සරේවත් නැතිව හරිම පාළුයි.. නේද.. නිකං..”

“මටත් ඒක හිතුණා මල්ලි.. අපි මේ දූපතට කොටුවෙලා වැඩියි. අපිට ශක්තියක් තියෙන්න ඕනෑ මේ බෝනිකි සෙයියාවෙන් මිදිලා පිරිමි වගේ වැඩ කරන්න.. හා.. හා...!”

“ෂා.. අයියෙ මාරයිනෙ ඔයාගෙ ශබ්ද කෝෂෙ.. අලුත් අලුත් වචන.. ‘බෝනිකි සෙයියාව”.. හහ් හා.. දැන් නැද්ද ඔයාගෙ අර මාධ්‍යවේදියෙක් වෙන හීනෙ.. ඇයි තව කවි පිස්සුවකුත් තිබුණෙ ඒ කාලෙ.. දැන් ඒ කවියත් අන්තරස්දාන වෙලාද ආ...! ඔයාගෙ කවිකමට මොකද වුණේ ආ...”

“ආ.. ආ.. ආන්න ඔයාට වැරදුණ තැන.. කවියක් ඇති වුණා නම් ඒක කවදාවත් අන්තරස්දාන වෙන්නේ නෑ හරිද? කවිය කියන්නේ ආත්මයට ම කිඳා බැහැපු.. හදවතේ ගැඹුරට ම ඇනිච්ච ‘අවියක්’... හරිද.. ඒක ගලවන්න ගියොත්... හදවත තුවාල වෙලා මනුස්සයා මැරිලා යනවා!”

“ෂා.. හත් දෙය්යනේ.. කිරි අප්පට බල්ලො පැනපි.. කිව්වලු.. ඔච්චර සීරියස්.. ආ.. ඒක..!”

ජයමාල් ඇඳ උඩ පිනුමක් ගැසුවේ උද්දාමයටමය.

“මම තාම ‘කවියෙක්’ නෙමේ. කවි කුරුටු ගාන එකෙක් මල්ලී.. මම පොත් කියවන්නේ.. දේවල් රස විඳින්නේ.. මගේ හිත ඇතුළෙ කවිකම තියෙන හින්දා. හැම මනුස්සයෙක් තුළම නිර්ව්‍යාජ කවියෙක් ඉන්නවා.. ආත්මාර්ථකාමි කුහකකම් හින්දා ඒ කවියා නැති බංගස්තාන කරලා දාන්නෙත් තම තමුන් ම තමා...”

“මං විහිළුවට කිව්වෙ.. අයියෙ මං දන්නවා අයියා කවිකාරයෙක් කියලා. අයියා ලියන හරබර ලිපි ස්කූල් මැගසින් එකේ පළවෙද්දි කොල්ලො හරියට පුදුම වෙනවා. කාටද ආඩම්බර... හා.. ඒත් අප්පච්චිලාට නම් ඕවා අබමල් රේණුවක් තරම්වත් අගයක් නෑ‍ෙන්.. එයාලගෙ වලව්වයි.. පරම්පරාවෙ ඌෂ්ණෙයි.. රාජකීය උණසන්නිපාතෙයි එයාලට සනීපයි. අපිට.. අපිට.. ඒවා ඉතින්.. රෝග. රෝග...!”

“හා.. හා.. ඕවා නවත්තගනිමු.. දැන් අම්මත් ඒවි කාමරේට අපි පාඩම් කරනවද නැත්නම් බයිලා නටනවද කියලා බලන්ට.”

සහෝදරයන් දෙන්නා කාමරයෙන් එළියට ආවේ හොඳටම සැහැල්ලු සිතින්ය.

“අනේ.. අනේ.. ඔය දෙන්නා කාමරේට ‍වැදිලා පාඩම් කරනවද විකාර කරනවද ඈ පුතේ..”

හිතූ විදියට ම මැද සාලේ හිටිය අම්මා අසයි.

“අනේ නෑ අම්මේ. පාඩම් කරලා නිදිමත වුණාම ටිකක් ඉතිං පුංචි විහිළුවක් කළා මෙයාට.. මෙයා දැන් ගජ ඉලන්දාරියෙක් නේ.. අම්මා මේ චූටි එකා චූටි එකා කිය කියා හිටියට..”

ලොකු පුතා ගේ කතාවට අම්මාටත් හිනාය. ඒත් ජයමාල්ට නම් කේන්තිය.

“අනේ මේ.. කවුද දන්නෙ නෑ ඉ - ල - න් - දාරියා..! ආ.. ම.. මගෙන් අහගන්න එපා..!”

අම්මා අහක බලනකම් ඉඳලා ශ්‍රීමාල් මල්ලිට රැව්වේ කට නවත්වා ගන්නැයි කියන්නටය. නමුත් ඒ ගැන අවධානය යොමු කරන්න අවස්ථාවක් නූෙණ් පෝටිකෝව යටට සෙමෙන් ළඟාවුණු වාහනය නිසාය.

“හා.. දෙයියනේ හාමු මහත්තයා ඇවිත්..!”

ජන්තු, වලව්වම ‍සොලවාගෙන වගේ දිව ගියේ හැමට කලින්ය. වාහනයෙන් බැස්ස ස්වාමියා දිහා නිර්මලා මැණිකේ බැලුවේ කුතුහලයෙනි.

ගමන යද්දී උන්නු හාමු මහත්තයා දැන් නැත! කලබලයෙන් ඇස් බමවමින් උඩු රැවුල කරකවමින් දුම් පිඹගෙන වාහනයට නැග්ග විල්ප්‍රඩ් රත්නසේකර හාමු මහත්තයා දැන් සුවච කීකරු බළල් පැටියකු වෙලාය. ඔහුට අසනීපයක්වත්දැයි මැණිකේ ගේ සිත පත්තුවෙලාය. ඇගේ දෙපාත් වෙව්ලනවා වගේය.

“ඇයි... අපෙ මහත්තයා.. ඇයි.. මොකද වුණේ...?”

හාමු මහත්තයා කතාවක් නැතිව පුටුවේ වාඩිවී ජන්තුවාට අණ දුන්නේ තේ කහට එකක් ගෙනෙන ලෙසය. බිරිය දිහා බැලුවේ නැත! හාමු මහත්තයා කාට හරි ගිනි බිඳලාවත්ද? ජන්තු එසේ සිතනවිටම ශ්‍රීමාල් මල්ලිගේ කනට කොඳුරයි.

“අප්පච්චි මොකක් හරි වැඩක් දීලා ඇවිත් වත්ද?”

ජයමාල් කළේ අප්පච්චිට නොදැනෙන්ට රවුමෙන් ගොස් කරුණාදාස ළඟට ළංවෙන එකය. කරුණාදාස සිටියේ වාහනයේ ඇතුළත රබර් පාපිසි ටික එළියට ඇදලා ගසමින්ය. දූවිලි හතරවටේට කැරකෙයි. ඒ මදිවාට කරුණාදාස කිඹුහුමුත් පිටකරයි.

“මේ කරුණාදාස ඕක ‍පොඩ්ඩක් නවත්තන්න...!”

ජයමාල් එතැනට ළං වුණේ වටපිට බලමින්ය.

“අපේ අප්පච්චි.. අ.. අපේ අප්පච්චි කාට හරි ගිනි බින්ද ද...?”

කරමින් හිටිය වැඩේ නවතා කරුණාදාස හිස ඔසවා කෙළින්ම බලන්නේ පොඩි බේබි හාමුගෙ මූණ දිහාය. කිසිවක්ම නොකියා කටකොනකට ගත් හිනා ඇතිව සිටිනා රියැදුරා දැකලා ජයමාල්ට කිසිම දෙයක් හිතාගන්නත් බැරිය. සාමාන්‍යයෙන් බොහොම සුවච කීකරු.. සේවකයකු සේ අප්පච්චි ළඟ සිටින කරුණාදාස ගේ මූණට ආපු මේ විරිත්තිල්ලත් ඔළොක්කු බැල්මත් මොකක්ද?

ගතවූයේ තත්පර ගාණක ඇසිල්ලකි. කරුණාදාස තම මුහුණුවර වෙනස් කරගත්තේය.

“‍අනේ නෑ පොඩි බේබි හාමු. මාත් බයේ හිටියෙ.. එහෙම කිසිම කරදරයක් කරන්න ලොකු හාමුට ඉඩක් ලැබුණෙ නෑ.. රත්නපුර හාමුලාගෙ තේ වත්තෙ කංකානමලගෙ ගමේ ගියා...”

“ආ... සමන්ති අක්කා බැඳපු අයියගෙ ගමේ..?”

“ඔව් බේබි හාමු. ඒත් එහේ කවුරුත් නෑ. ඒ කංකානමගෙ පවුල විතරයි හිටියෙ..”

“පවුල..? පවුලෙ ඔක්කොම..?”

“නෑ නෑ බේබි හාමු. පවුල කිව්වෙ කංකානමගෙ නෝනා...!”

“එත‍කොට අප්පච්චි ඒ මනුස්සයාට කඩං පැන්නද..ආ.. බය කළා ද.. තුවක්කු පෙන්නලා..! ආ..”

කරුණාදාසට හිත යටින් හිනාය. ඒත් ඒකත් වසන් කරගෙන ඔහු කීවේ වචන දෙකයි. කියාල මූණ හරවාගෙන තමුන්ගේ වැඩේට බසියි.

“එච්චර මුකුත් වුණෙ නෑ බේබි හාමු...”

සැනසුම් සුසුමක් හෙළා බේබි හාමු පිටත්ව යද්දී කරුණාදාස මොහොතකට සිතින් සක්මනේ යෙදෙන්නේ වාහනය පිරිසිදු කරන කාර්ය කරන ගමන්මය. දශක තුනක විතර අතීතයට හිත යද්දී හරිම පුදුමය. තමා රත්නසේකර වලව්වේ වැඩට ආවේ තාත්තා අසනීපවූ පසුවය. වම් කකුලක ඇතිවූ ආබාධය නිසා තාත්තා රැකියාවෙන් අයින් වූයේ තම විසිහැවිරිදි තරුණ පුත්‍රයා වලව්වේ වැඩට බාරදෙමිනි. අවුරුදු විසිදෙකේ තරුණ කරුණාදාස වැඩි හදිසි කලබල නැති නිවිච්ච කෙනෙකු වූ නිසා වලව්වේ වාහනය පැදවීම ඔහු වෙත බාර වුණේ කිසිදු විවාදයකින් තොරවය.

එදා පටන්ම විල්ප්‍රඩ් හාමු එක්ක වතුපිටිවල ෆැක්ටරිවල වැඩ බැලීමට ගියේ තමාය. රත්නපුරේ වලව්වට ගිහින් විවේකීව සිටිනා වෙලාවල්වල තවත් ගමනක් තිබුණි. ඒ තේ වත්තෙ කංකානම ගේ ගම් පළාත පැත්තේ සවාරියය. ඊට හේතුව වුණේ විල්ප්‍රඩ් හාමුට හා රත්නපුරේ සුදු මැණිකෙ හාමුට අයිති නොබෙදූ පොල් ඉඩම බලාගත්තෙත් ඒ කංකානම වීමය. නමින් ජයතිස්ස වන ඒ කංකානම ගේ බිරිය ඇහැට කනට පෙනෙන තැනැත්තියකි. විල්ප්‍රඩ් හාමු ඇය ගැන උනන්දුවෙන් සිටින බව නොයෙක්වර කරුණාදාසට හැඟුණ දෙයකි. ඒ වත්තේ නම ‘කොලපු වත්ත’ ය. ඒ පැතිවල සුදු මැණිකෙ හාමුලා නොයන නිසා ඒවා සොයා බැලීම තමාගේ යුතුකම බව විල්ප්‍රඩ් හාමු අවධාරණය කර කර කියද්දී තරුණ කරුණාදාසට මුලින් මුලින් එය තේරුණේ නැත. ඒ වෙනවිට විල්ප්‍රඩ් හාමු නිර්මලා මැණිකෙව කැන්දගෙන ඇවිල්ලා අවුරුදු දෙක තුනකි. දරුවෙකුත් නැති කමේ පාළුවට පොල්වතුවල ඇවිදින්න තියාගත්තාදැයි අහලා දවසක් නිර්මලා මැණිකේ හාමු අවලාද කී හැටිත් ඔහුට මතක ය.

‍කොහොමින් කොහොම හරි ඒ ඇයි හොදැයිය දිගට ම පවත්වන්ට ඉඩක් ලැබුණේ නැතිවා වගේ කරුණාදාසට මතකය. නමුත් සමහරදාට ලියන මහත්තයා එක්ක හාමු ඒ පැතිවල ගමන් ගියාදැයි තමා දන්නේ නැත.

කොහොම වුණත් ජයතිස්ස කංකානමගේ පවුල දැක්ක හැටියේ ඒ කතාබහෙන් පස්සේ වාහනය කරා ආවේ අමුතු ම විල්ප්‍රඩ් හාමු කෙනෙකි. ඇත්ත කතාව ඒකය!

ඒ ටික හිත හිතා කරුණාදාස වලව්ව පිටිපස්සට ගෑටුවේ තේ වතුර සප්පායම සඳහාය.

සිරියාගේ කනට කර ජන්තු කොඳුරමින් සිටියේ කුස්සි එළිපත්තේ දීය.

“මැණිකෙ හාමුගෙ හිත නොරොක්වෙලා... අපේ ලොකු හාමු ආපු වෙලේ ඉඳන් අමුතුයි.. කතා නෑ...!”

“ඇත්තටම මොකද බං ඒ...?”

ජන්තු ඇසුවේ කරුණාදාසගෙනි.

“අපි දන්නෙ නෑ ඔය වලව් හුටපට...” එහෙම හිතින් හිතූ ඔහු කටින් කීවේ වෙනම වචන ටිකකි.

“අනේ මේ අපි අපේ වැඩක් බලාගම්මු බං.. දෙන්නා දෙමාල්ලන්ගෙ ඒවා මොටදෑ අපට...?”

* * *

ඉර නගියි.. බසියි..! ඒ සියල්ල බොහොම ඉක්මන්! හදිසියි!! ශ්‍රීමාල් එහෙම හිතුවේ උසස් පෙළ විභාගයට ලියා හමාර කර වි‍ෙව්කයෙන් ඇස්පියා ගන්නා ගමන්ය.

දැන් මල්ලිගේ විභාගය සඳහා තමාගේ මුළු කාලය ම මිඩංගු කරන්ටත් පුළුවන්ය. විවේක වෙලාවල වත්ත පහළට බැහැලා කඩමණ්ඩියටත් යන්නට පොට පාදාගත්තු එක නම් තමුන් දෙදෙනා ලබපු ලොකු ම ජයග්‍රහණයකි.

වලව්වත්ත මායිමේම ඇති පුංචි ගේ පොඩ්ඩ පහුකර ටිකක් දුර ගිය විට, ‘වෙලේ කඩේ’ නමින් හැඳින්වෙන කඩය හමුවෙයි. පුංචි ම කාලේ දවසක මේ වෙලේ කඩේට ආවේ ජන්තු එක්කය. ඒකත් පෙරැත්ත කරලා අඬලා දොඩලා ඉල්ලා හිටපු හින්දාය. ඊට පස්සේ වාහනෙන් යන ගමන් කඩේ දිහා බලනවා මිසක් බැහැලා කතාකරන්ට නම් ලැබුණේ ම නැත.

රබර් සෙරෙප්පු දමාගෙන බතික් පන්නෙ සරම් ඇඳගෙන කඩේ පැත්තට එන වැදගත් පෙනුම ඇති ඉලන්දාරින් දෙන්නා දැකලා වෙලේ මුදලාලි බැලුවේ පුදුමයෙන්.

“මුදලාලි මාමා.. අයියෝ මාව නම් අමතකත් ඇති නේද?” ශ්‍රීමාල් එහෙම කියද්දී තව පොඩ්ඩෙන් මුදලාලිගෙ අතින් තේ වීදුරුවකුත් බිම වැටෙන්න ගියේය.

“ආ.. මේ වලව්වෙ.. බේබි හාමුලා නේද හත්දෙයියනේ. දැකලා තියෙනවා මෙතැනින් වාහනෙන් යනවා නම්... කෝ ඉතින් අපි එක්ක ඇයි හොඳයි නෑනෙ ඉතිං...”

“අනේ මුදලාලි මාමා අපි ‘බේබිලා’ නම් නෙමේ හො‍ඳේ...” ශ්‍රීමාල් හිනාවෙමින් කියද්දි මුදලාලිගෙ බිරිඳ ගේ ඇතුළින් පුටුවකුත් ගෙනෙයි. තව කෙනෙක් තව පුටුවක් උස්සාගෙන එද්දි ශ්‍රීමාල්, මල්ලිත් සමඟ බංකු කොනක වාඩිවෙලාත් ඉවරය. බංකු දෙක තුනේ තේ බිබී හිටපු අය වීදුරු අතින් අත මාරු කර කර හිටියා මිස එක තේ උගුරක්වත් ගිල්ලේ නැත.

“අනේ සමාවෙන්න.. අපි කඩාපාත් වෙච්ච එක කරදරයක් වුණා නම්.. අපි මේ නිකම් ආවේ...”

ශ්‍රීමාල් සිනාසෙමින් කීවේ මල්ලි දිහා බලමිනි.

තේ බිබී හිටිය එක්කෙනා දෙන්නා පියවි තත්වයට පැමිණෙමින් සිටිද්දී මුලින් ම ගොළුවත බිඳින්නේ කටකාර තේගිරිස්ය.

“පුංචි හාමුලගෙ මහ හාමු නම් ගමත් එක්ක ගොඩාක් එකමුතුයි ඕං..!”

“ඒ කිව්වෙ.. අපේ සීයාද”

“ඔව්.. ඔව් ආයිබොවං.. අපේ විල්ෆ්‍රඩ් හාමුගෙ අප්පුච්චා.. උන්නැහේ ආවාම ඕං.. ඈඳිගන්නෙම කෙලෝරෙම තමා...”

“එතකොට.. ඔය මාමා පොඩි ද?”

“නෙවෙන්නං.. හාමු.. ඒ වෙද්දි අපි පොඩි එවුන්.. විල්ෆ්‍රඩ් හාමුලා අපට වඩා පොඩ්ඩක් බාලයි..”

“ඇත්තට..!”

ශ්‍රීමාල් කතාකළ තේගිරිස් දිහා බැලුවේ පුදුමයෙනි. වත්තෙ පිටියෙ වැඩපළ කරලා කළුවුණු මූණු ඇති දියාරු වුණු ඇඟපත ඇති මේ මිනිසුන් මොනතරම් දුක් විඳිනවා ඇත්ද? අප්පච්චිගේ වයස වගේ දෙගුණයක් ගානට මොහු මහලුය. ඇදිලා පැදිලාය.

“අපි අද ඉන්නෙත් මහ හාමු පවරලා දුන්න ගේ කෑල්ලක... අර දෙණියෙ වත්ත බලාකියාගත්තාට...”

තව කීප දෙනෙක් ම කතා කළේ මහ හාමු හෙවත් සීයා ගැනය. පැය බාගයක් යන්නට කලියෙන් වැට අද්දරින් උසට උසේ ජන්තුවා මතුවෙයි.

“හත්දෙයියනේ.. මේ‍ බේබි හාමුලා මෙහේ...? මං හැමතැනම හොයලා මේ ආවෙ.. යං.. යං... අන්න මැණිකෙ හාමු දෙස්දෙවොල් තියනවා... බේබි හාමුලා රස්තියාදුවෙ යැව්වා කියලා...”

දැන් කඩේ කට්ටිය හැමෝම ජන්තුවා දිහා බලාගෙනය. මුදලාලි පීරිසි කුට්ටම් දෙකක් හෝදලා ගත්තා විතරය.

“ආනේ ජන්තු.. මං මේ තේ ඩිංගකුත් ලෑස්ති කොලා.. බේබි හාමුලාට...”

“අනේ නෑ හුනංගු නොවී යං විගැහිං... සෝලි වැටෙන්ට කලියෙං... උඹලා දන්නවනේ හාමුගොල්ලගෙ හැටි.. හා..!”

“හා.. හා.. ඒකෙං... කමක් නෑ ජන්තුවා හිටිං.. මං උඹාහෙටත් දැම්මා තේ කහට එකක්...”

මුදලාලි කීවේ ඇදලා පැදලා ය.

තේගිරිස් එක්කම අනිත් හිටිය දෙතුන් දෙනාම හිස වැනුවේ ඒ කතාව අනුමත කරමින් ව‍ෙග්ය.

දැන් මේ තේ ටික නොබී ගියොතින් හිතයි අපේ අහංකාර කම කියලා. අඳුනාගත්තු පළවෙනි වතාවේ ම එහෙම කරන එක නම් හොඳ නෑ... ශ්‍රීමාල් එහෙම හිතින් හිතලා ජන්තුට සංඥා කළේ තේ ටික බීලාම යමු කියලාය. ජයමාල් විපිළිසරව වටපිට බැලුවේ මේ වැඩය හින්දා හොඳට ‘අහගන්න’ වෙන බව මතක්වෙලාය. අපේ අයියටත් එක වෙලාවකට හැදෙනවා පුදුම ලෙඩක්. ජනතාවාදී ලෙඩක්... අනේ මන්දා.

‍වෙලේ මුදලාලිගෙ හාමිනේ බන්දේසියක තියා පුංචි හාමුලා දෙන්නට තේ පිළිගැන්වූයේ සතුටු සිතිනි. ජන්තු කෙළින් ම තමුන්ගේ කහට වීදුරුව ගත්තේ ප්‍රමාද වෙන එක හොඳ නෑ කියා සිතමින්ය. ඒ අතරේ තේ බිබී හිටපු ජයරත්නත් ප්‍රශ්නයක් මතු කරයි.

“බේබිහාමුලා දන්නෙ නැතිව ඇති අර පේරලන්ද වත්ත මැද්දෑවෙ තිබ්බ පාර... ඒක විල්ෆ්‍රඩ් හාමු වැසුවානේ.. ඒක ගමට හරිම පාඩුවක් වුණේ. ඒකෙන් විනාඩි දහයෙ ගමන පැය බාගෙකින් ම වටයග් ගහලා තමා සමූපකාරෙට යන්න සිද්ධ වුණේ...”

“ආනේ ඒක තමා... මාත් මේ ඒක කියන්න තමා කට ගත්තෙ” මේරි නැන්දාත් පටන් ගනියි. දැන් ජන්තුට නම් බොන තේ කහට එක දැනෙන්නේ තිත්ත රසමය.

කට්ටිය එකතුවෙලා බේබිහාමුලා ළඟදීම හාමු මහත්තයාට දොස් කියන්න ගත්තොත් ඒකත් හොඳ නැත. ඒ නිසා හදිස්සියක් මවාගෙන හරි බේබි හාමුලා දෙන්නා මෙතැනින් පිටමං කරන්නට ඕනෑ කියා හිතුවා විතරය.

වලව්වත්ත පැත්තෙන් වාහනයක් එනවා දුර ඉඳන්ම දැකලා ජන්තුගේ හිත පත්තුවෙයි.

“බේබි හාමුලා ඔය කෝප්ප දෙක තියලා යමු ඉක්මනට යමු.. අන්න ලොකු හාමු එනවා.. ලොකු හාමු එනවා...”

හැමෝම බැලුවේ වලව්වත්ත දිහාය. හැබෑය. කන්ද උඩ හරියේ රවුම් පාරෙන් වාහනය රවුමට රවුමට පල්ලම් බසී.

“ඔව්.. බේබි හාමුලා ඉක්මන් කරලා යන්න.. විල්ෆ්‍රඩ් හාමු මේ ජන්තුවාට දෙස් තියාවි...”

නමුත් ශ්‍රීමාල් සැලුණේ නැත.

“හරි ඉතින් අප්පච්චි ආපු දෙන්..!”

අයියා කියද්දී ජයමාල් තිගැස්සී ගියේ ය...!

ලබන සතියට

අදහස්