රාජ­කාරි දින­පොතේ සට­හන් නොතැ­බු­වාට රුපි­යල් 10ක දඩ­යක් | සිළුමිණ

රාජ­කාරි දින­පොතේ සට­හන් නොතැ­බු­වාට රුපි­යල් 10ක දඩ­යක්

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබ දශක හතක් ඉක්ම ගියද ඔවුන් මෙරටට දායාද කොට ගිය බොහෝ දේ අති මහත්ය. එහෙත් සුද්දාගේ කාලේ රාජකාරි පට්ටම් දැරූ ශ්‍රී ලාංකිකයන් තවමත් ජිවතුන් අතර වේනම් ඒ අතළොස්සකි. එහෙත් සුද්දාගේ කාලයේ තානාන්තර දරා තවමත් ඒ ගැන මතකයක් ඇති වැඩිහිටියකු අපට මුණගැසුණේ ගාල්ල හබරාදුව මීපේ ප්‍රදේශයෙනි. නමින් සැමී යාපා සිරිවර්ධන නම් වූ ඔහුගේ වයස අවුරුදු 103කි. එහෙත් සුද්දන්ගේ කාලයේ කළ කී දැ හා රාජකාරි කළ අන්දම ගැන සිරිවර්ධන මහතාට තවමත් යන්තම් මතක ඇත්තේය. ගමේ කාගේත් වැඩිහිටියා වන සිරිවර්ධන මහතා කවුරුත් හඳුන්වන්නේ සැමී සීයා ලෙසිනි.

ගාල්ල දෙණියාය පාරේ කිලෝමීටර් පහක් පමණ ගිය තැන හමුවන කලහෙ වංචාවල ‘පියසිරි’ නිවෙසේ වෙසෙන සැමි සීයා සුද්දාගේ සමයේ පත්වීම් ලැබ ගම්මුලාදෑනියකු ලෙස සේවය කොට දැනට ජීවතුන් අතර සිටින එකම කෙනා තමා බව පවසයි. ඔහු අදටත් මනා ශරීර සෞඛ්‍යයෙන් යුතුව උපැස් යුවළක් හෝ නොමැතිව පොත-පත කියවමින් තම වැඩ කටයුතු තනිවම කරගනිමින් ජීවිතයේ සැඳෑ සමය යහපත්ව ගෙවන්නේය.

“අපි ඒ කාලේ කාපු බීපු දේවල්වල හයියෙන් තමයි අදටත් මෙහෙම ජීවත්වන්නෙ” යැයි පවසමින් සැමී සීයා අප සමඟ කතාබහට එක්විය.

ඔහු හබරාදුව මීපේදී උපත ලබා ඇත්තේ 1915 ජුනි 18 වැනිදාය. මුලින් ගුරුවරයකු ලෙස සේවය කර අනතුරුව 1944 සැප්තැම්බර් 6 දා ගම්මුලාදෑනි තනතුරට පත්වී ඇත.

“මම ගම්මුලාදැනීකමට පත්වන කාලේ මේ රට පාලනය කළේ සුදු ජාතිකයෝ. ගම්මුලාදැනීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට දහදෙනෙක් විතර ඇවිල්ලා හිටියා. සම්මුඛ පරීක්ෂණේ පැවැත්වුණේ ගාල්ලෙ උණවටුනේ ඊ. ඩී. සෙරම් මුදලි තුමාගේ කාර්යාලයේ. අංක 134, කලහේ වසමේ ගම්මුලාදැනී ලෙස මට පත්වීම් ලිපිය දුන්නේ ස්ටීවන් කියන සුදු මහත්තයා.”

වයසට ගියත් සැමී සීයාගේ මතකයනම් තවමත් තරුණ බවක් දැනෙන්නේ ඔහු හා කතාබහ කරද්දීය. ඔහුට දූ දරුවන් සිවු දෙනෙකි. බිරිය පියසීලි මහත්මිය මීට අවුරුදු තුනකට පෙර මියගියේ අවුරුදු 92ක් ආයු වළඳාය.

“අවුරුදු 19ක් ගම්මුලාදෑනිකම් කරලා 1963 මැයි පළවැනිදා අනිවාර්ය විශ්‍රාම ගියෙත් ගම්මුලාදෑනියකු ලෙසමයි. එතකොට මට වයස 48යි. මං ග්‍රාම නිලධාරී තනතුර බාරගත්තෙ නැහැ. එහෙම විශ්‍රාම ගිය නිසා ලංකාවේ එකම විශ්‍රාමික ගම්මුලාදෑනියා ලෙස මට වාර්තාවක් තියන්නත් හැකිවුණා. දැන් මම අවුරුදු 55ක්ම විශ්‍රාම වැටුප ගන්නවා. මං හිතන්නෙ ලංකාවේ වැඩිම කාලයක් විශ්‍රාම වැටුපක් ලබපු කෙනා වගේම දැනට ගම්මුලාදෑනි කෙනෙක් විශ්‍රාම වැටුපක් ලබනවානම් ඒ මම විතරක් වෙන්න ඇති. මම කරපු සේවා කාලය වගේ තුන් ගුණයක කාලයක් විශ්‍රාම වැටුප් ලබනවා.”

සීයාගේ වාර්තාවන් ගැන කෙනෙකුට තර්ක විතර්ක තිබුණත් මේ මැතිවරණ සමයේ සැමී සීයා වාර්තාගත පුද්ගලයෙකි.

“මං නිදහසෙන් පස්සෙ පැවැත්වුණ සියලු මැතිවරණවලදී ඡන්දෙ දැම්මා. එදා ඉඳලා අද වනතුරු ඡන්දෙ දාපු එකම කෙනා මං වෙන්නැති නේද මහත්තයෝ. ඒ කාලේ මේ වගේ නෙවෙයි නිල් පාට, කොළ පාට ආදි එක් එක් පාටවලින් තියෙන පෙට්ටිවලට ඡන්දෙ දාන්නෙ. ඡන්දදායකයන්ට කිසිම කෙනෙක් බලපෑම් කරන්නෙ නෑ. හැබැයි වයසක අයගේ ඉඳලා ආබාධිත අය හැමෝම යනවා ඡන්දෙ දාන්න. ඒ යන්නෙ තමන්ගේ ගෙදර අයගේ පිහිටෙන් මිසක් පක්ෂවල, ආධාරකරුවන්ගේ පිහිටෙන් නම් නෙවෙයි. මෙදා සැරේ ගමේ ඡන්දෙ පැවැත්වුණු විදිහ හරිම ආදර්ශවත්. මනාප පොරයකට ගියේ නෑ. ඒ කාලේ ඡන්දෙ වගේ නිදහසක් අදත් තියෙන්න ඕනෑ. ගමක මිනිස්සු එකමුතුව සිටිනවානම් ගමක් ගොඩ නඟනවා කියන්නෙ කජු කනවා වගේ වැඩක්. අන්න ඒකයි රට්ටුන්ගෙන් අද විය යුත්තෙ. මට මතකයි ඒ කාලේ ඡන්දයක් තියෙනවා කියන්නෙ මුලාදෑනිට වැඩ අධිකයි. ඒ කියන්නෙ ඡන්දෙ පවත්වන මඩුව පවා හදන්න ඕනෑ මුලාදෑනී.”

සැමී සීයා මෙවර පැවැති පළාත් පාලන මැතිවරණ ක්‍රමය ගැන කතා කළේ පැහැදීමෙනි.

“මං හැම තිස්සේම රාජකාරි කළේ රජයෙන් ලැබුණ බොත්තම් පහේ කෝට් එකයි සරමයි ඇඳගෙන මගේ කොට්ඨාසයට අයත් 134 ගහපු පලඳනාවකුත් පැලඳගෙන. තොප්පියත් දාගෙන බැටන් පොල්ලත් අරගෙන මට තිබුණ රැලේ බයිසිකලෙන් තමයි ගම පුරා ඇවිද්දෙ. මුලාදෑනිගේ ඇඳුම ගැන ගම්මුන්ගෙ ලොකු ගෞරවයක් තිබුණා. අද වගේ නෙවෙයි, පාරවල් නෑ. කැලෑ රොදවල්, වෙල් ඉපනැල්ලෙ, ඇළේ දොළේ බහිමින් හරිම දුෂ්කර රාජකාරියක් කළේ.” ඔහු අදටත් තම සන්තකයේ ඇති එකල රාජකාරියට අයත් වූ බඩු භාණ්ඩ අපට පෙන්වීය. ඒ අතර කෙටේරියක් වැනි ආයුධයක් ද විය.

“ඒක මට හොඳට මතක තියෙන කතාවක්. දවසක් පවුල් ප්‍රශ්නයක් විසඳන්න මම ගියා. එකෙක් මරලා දාලා. බලනකොට කෙටේරියකින් කොටලා. අන්න ඒ කෙටේරිය තමයි මං ගාව තවම තියෙන්නෙ. ඒක වුණේ මෙහෙමයි, කෙටේරිය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළාට ඒක ආපසු මටම දුන්නා. මිනීමරුව හිරේ ගියා. කෙටේරිය මං තියාගත්තා.” ඔහු පවසන පරිදි එදා ගමේ-ගොඩේ සෑම අඩදබරයක්ම විසඳීමට මුල් වූ ගම්මුලාදැනියාට තිබූ රාජකාරි එමටය.

“අපිට තිබුණේ පුදුම රාජකාරි තොගයක්. මනුෂ්‍ය ඝාතන, කැරලි කෝලාහල, ස්ත්‍රී දූෂණ, පැහැර ගැනීම් අපහරණ, දරු උපත් සැඟවීම, හරක් හොරකම් වැනි දේවල්. ඒ වගේම රුපියල් 20කට වැඩි හොරකම්, ගෙවල් ගිනි තැබීම්, බයිසිකල් හොරකම්, ස්වාභාවික නොවන වරදවල් වැනි දේ. හැබැයි දැන් වගේ නෙවෙයි අපෙන් ඒ දේවල්වලට දැඩි දඬුවම් ලැබුණා. මනුස්ස ඝාතනයක් වුණාම මෘත ශරීරය මුර කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමත් අපට බාරයි. සැකකරුවෝ අල්ලන්න නඩු භාණ්ඩ අප භාරයට ගැනීම වගේම පොලීසි භාර ගම්මුලාදැනීයා වෙත අපරාධය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමත් අපටම නියම කරලා තිබුණේ. පොලීසිය බාර මුලාදෑනියා වහාම කැඳවාගන්න නොහැකිනම් නඩුවට සම්බන්ධ අය හා සාක්ෂි වහා මහේස්ත්‍රාත් වෙත ගෙනියන්න කටයුතු කරන්නත් ඕන. කොහොමහරි අපි ඒ කාලේ කරපු රාජකාරිය දැන් අයට කරන්න තියා හිතන්නවත් බෑ. වගකීම් විශාලයි. රාජකාරි අධිකයි. හැබැයි ගම්මුන්ගෙන් පුදුම ගරු සැලැකිල්ලක් තියෙන්නෙ.” ඔහු පවසන්නේ ආඩම්බරයෙනි.

එකල සිටි ඇතැම් මුලාදෑනිවරුන් අනුන්ගේ දේ කඩා-වඩා ගැනීමට රුසියන් බව අපි අසා ඇත්තෙමු.

“ඇත්ත... සමහරු අනුන්ගේ දේ කොහොමහරි කඩා-වඩාගන්නමයි බලන්නෙ. මට මතකයි එක් ගම්මුලාදැනී කෙනෙක් හිටියා එයාගේ බාප්පගේ කුඹුරුවලින් රජයට අය විය යුතු වී ගත්ත කියලා දැඩි දඬුවම් දීලා තනතුරෙනුත් ඉවත් කළා. අදනම් ඒ වගේ තීන්දු ගනීවි ද? මටනම් ඉඩම් ලියලා දෙන්න, වී නොමිලේ දෙන්න, මිනිස්සු සෑහෙන්න ආවා. අනේ මම සත පහක දෙයක් ගත්තෙ නෑ. හැබැයි මාත් මඩේ බැහැලා පුරන් කොටලා හොඳට මහන්සි වෙලා කුඹුරු ගොවිතැන් කෙරුවා. ඒ වගේමයි ඒ කාලේ මට වී මලු දෙකක් කරේ තියාගෙන සැතැපුම් ගණනක් වුණත් යන්න ශක්තිය තිබුණා.

දවසක් හොඳ වැඩක් වුණා. මගේ දිනපොතේ සටහන් තබන්න අමතක වුණා. දන්නවද මට කළ දේ... රුපියල් දහයක දඩයක් නියම කළා රජයෙන්. ඒ කාලේ රුපියල් දහයක් කියන්නෙ හොඳ වටින ගාණක්. රාජකාරිය නීතිය අද වගේ නෙමෙයි එදා අකුරටම.. ඒ කාලේ අපිට තිබුණ තවත් ලොකුම රාජකාරියක් ආණ්ඩුවට වී එකතුකර දීම. ඉතින් මං වී මනින බුසලත් අරගෙනමයි ගෙදරින් පිටවෙන්නෙ. ඒ වගේම අක්කර බදු අය කිරීමත් වගකිවයුතු රාජකාරියක්. පොඩ්ඩ බැරිවෙච්ච ගමන් රාජ අණ. ඒ කාලේ තමයි වර්ග හතරකට අයත් හාල් පොත් ජනයාට දුන්නෙත්. කම්කරු හාල් පොතකට හාල් සේරු පහයි. සාමාන්‍ය හාල් පොතකට හාල් සේරු හතරයි. ළමා හාල් පොතකට හාල් සේරු තුනක් වගේම ළදරු හාල් පොතට විටාමිල්ක් කවුඇන්ඩ්ගේට් වගේ කිරිපිටි දුන්නා.”

සැමී සීයා කිසිදු දිනෙක මත්පැන් උගුරක් හෝ දුම් උගුරක් පානය කර නැත්තේතය. එදා කාපු-බීපු දේ නිසා අදටත් ධෛර්යසම්පන්නව සිටින ඔහු සිය ශරීර සෞඛ්‍යය රැකීමේ රහස ගැන මෙසේ පවසයි.

“අපි එදා කෑවේ බීවේ ගමේ ගොඩේ හැදුණු කොස්, දෙල්, අල, බතල, මඤ්ඤොක්කා වගේ ඒවා. ඒ වගේම මං මිරිජ්ජ මාළු පුදුම විදිහට කෑවේ. මං හිතන්නෙ ඒ කාපු-බීපු ඒවයි සවිය තමයි අදටත් මට තියෙන්නෙ. මං මෙතෙක් කිසිම දිනක රෝහලකින් බෙහෙත් පෙත්තක් අරගෙන බීලා නැහැ. බලන්න අද ඉන්න ගැටවු, බෙහෙත් පාර්සලේ සාක්කුවේ දාගෙන පාරට යන්නෙත්. මම නම් ජීවිතේට බෙහෙත් පෙත්තක් බීලා නැහැ. හැබැයි මම තෙල් බෙහෙත්වලට මනාපයි. ඒකත් ගමෙන්ම සොයාගෙන පිළියෙල කරගන්නව නම් තමයි මං වඩාත්ම කැමැති.”

ඔහුට තවත් චිරාත් කාලයක් නිරෝගී සම්පන්නව ජීවත් වන්නට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ඡායාරූප - ජයලාල් ජයවර්ධන ගාල්ල ඡායාරූප වාර්තාකරු

අදහස්