බෙත්මේ වලව්වෙන් සමනොළ ගිරගට 10 | සිළුමිණ

බෙත්මේ වලව්වෙන් සමනොළ ගිරගට 10

මෙතෙක් කතාව...

බෙත්මෙ වලව්වේ දෙටුපුත් 'අප්පුහාමි'

1693දී පැවිදිබිමට ඇතුළත් වූයේ 'වේහැල්ලේ ධම්මදින්න' ගණවොලින් නමිනි. මොලමුරේ පෙළපත පැවතෙන්නේ එහිමියන්ගේ සොහොයුරුට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් ලැබුණු 'මුලමොර' ගම්වරය නිසාය. රජුගේ ආරාධනයෙන් 1753 ඇසළ පුර පසළොස්වක සියම් දේශයේ සිට වැඩි උපාලි මහ ස්ථවිරයන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත පිරිසුදු උපසම්පදා කර්මය සිදු කරන ලදි. රජු විසින් වැලිවිට සරණංකර හිමියන් වෙත සංඝරාජ පදවියද, වේහැල්ලේ ධම්මදින්න හිමියන් සසුනට කළ සේවය සහ වැලිවිට සරණංකර හිමියන් ඇසුරේ දැක්වූ දක්ෂතාවන්ට පැසසුමක් ලෙස තඹ සන්නසකින් සිරි සමනොළ ගල විහාරාධිපති පදවියද පූජා කරන ලදි. 1792 දක්වාම ශ්‍රී පාදස්ථානය භුක්ති විඳි ආඬි පකීර්ලා සිරිපාද පාලනය ඩැහැගැනීමට යෙදූ කූට උපක්‍රම නිසාදෝ එහි පැමිණි විශේෂ විදේශ අමුත්තන් පිළිබඳ සටහන් අවම වුවත්, වෙනත් භාෂාවලින් ඒවා ලියැවී තිබේ. බොහෝ රජවරුන්ද සිරිපතුල නැමදීමට පැමිණ කළ විවිධ පූජා පිළිබඳ ඉතිහාසය සාක්ෂිි දරයි. ඒ බෞද්ධයන්ගෙන් සිරිපා පාලනය ගිලිහුණේ 1581දීය. වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ මුල් පැවිදිබිම වන වේහැල්ලේ වේළුවනයේ වත්මන් විහාරාධිපති හිමියන් බැහැදැක අපි තවත් බොහෝ තොරතුරු දැනගතිමු. ධනයට ගිජු වූ ඇතැමුන්ගේ ක්‍රියා හේතුවෙන් වේහැල්ලේ පරපුරට ශ්‍රී පාද නායක පදවිය අහිමි වූ අවස්ථා බොහෝය.

 

කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1752 නිකිණි පුර පසළොස්වක පෝය දින කුට්ටාපිටිය තඹ සන්නසෙන් මුල්බිජු එකසිය හැටපස් අමුණක වපසරියක් ඇතුළු එයට සමබන්ධ ගොඩ-මඩ ඉඩ-කඩම් සහිත කුට්ටාපිටිය ග්‍රාමය වැලිවිට ශ්‍රී සරණංකර හිමියන් ප්‍රධාන ශිෂ්‍ය පරපුරට පූජා කළ බව ප්‍රසිද්ධ කර තිබිණි. පසුව ඒ හා බැඳුණු ශ්‍රී පාද නායකධුරයට මෙන්ම සපරගමුව සහ පහතරට සංඝනායක පදවියට වඩාත්ම සුදුස්සා ලෙස සරණංකර සංඝරාජ හිමියන් තෝරා පත් කළේ වේහැල්ලේ ධම්මදින්න හිමිය. කිතුවස් 1767 සපරගමුවේ මෙන්ම පහතරට බෞද්ධයන්ට මහත් වේදනා ගෙන දුන් වසරක් විය. ඒ, පොත්ගුල් විහාරයේදී සිදු වූ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ අපවත් වීම නිසාය. ඉන් පසු නායක ධුර දැරූ හිමිවරුන් සිව් නම අතුරින් 1781 වන විට වැඩ සිටි කරතොට ශ්‍රී ධර්මාරාම හිමියන් 'ලංසියාට එකතුය' යනුවෙන් වූ කේළම පිළිගත් රාජාධිරාජසිංහ රජු මල්වතු මහනාහිමියන්ට තනතුර පැවරීමට රාජකීය තීන්දුවක් ගත්තේය.

වසර තිහකට වැඩි කලක් මේ සඳහා ගත් පියවර සාර්ථක නොවූයෙන් වේහැල්ලේ පරපුරට පසුබා සිටින්නට සිදු විය. 1815 තුන්වැනි ජෝජ් රජුට පාලනය බාර වූ පසුද දශකයක් පමණ කළ උත්සාහයන් ව්‍යර්ථ වී ගියේ ඒ වන විට ඉංග්‍රීසි රජයට වෙල්ලස්සේ කැරැල්ල ආදිය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වූ නිසාය. ඉංග්‍රීසීන්ගේ බලය පහව නොයන බව තහවුරු වී ගියෙන් 1822 දී තම පරපුරට සිදු වූ අසාධාරණය පිළිබඳ එවක සපරගමුවේ වැඩ විසූ වේහැල්ලේ පරපුරට අයත් සංඝයා වහන්සේ ඉංග්‍රීසි ආණ්ඩුවට පැමිණිලි කළහ. මහනුවරට පත් වී සිටි කොමසාරිස්වරුන් මේ පිළිබඳ ජෝජ් ටර්නර් ඒජන්තවරයාට දැනුම් දුන් පසු ඔහු විසින් ගිහි පැවිදි දෙපාර්ශ්වයේම කරුණු අනුව වාර්තා දෙකක් ඉදිරිපත් කළේය. ඒ වාර්තා සලකා බැලූ කොමසාරිස්වරුන් විසින් වැලිවිට ශ්‍රී සංඝරාජ සරණංකර හිමියන් විසින් පවරන ලද ශ්‍රීපාද නායකධුරය සඳහා මල්වතු පාර්ශ්වයේ හිමිවරුන්ට කිසිදු හිමිකමක් නැති බවටත් එය අයත් විය යුත්තේ වේහැල්ලේ පරපුරටම බවටත් තීන්දු-තීරණය කර සපරගමුවේ වේහැල්ලේ පරපුරට යළි පවරා දෙන ලදි. එහිදී මල්වතු පාර්ශ්වය විසින් ශ්‍රීපාද නායකධුරය සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

ජෝජ් ටර්නර් වාර්තාවට අනුව ශ්‍රීපාදස්ථානයේ නායකධුරයට පත් වීම සඳහා කරුණු කීපයක් සම්පූර්ණ විය යුතු බව අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමටිය ගොඩ මහතා කෙටියෙන් පවසන්නේ මේ අයුරිනි.

'මේ පදවිය ලබන්න නම් මුලින්ම ඒ පදවිය සඳහා උරුම වාසිකම් ඇති සපරගමුවේ ඒ කියන්නේ දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ වේහැල්ලේ පරපුරට අයත් උපසම්පදා ලැබූ භික්ෂූන් වහන්සේ වැඩි දෙනාගේ කැමැත්ත ලැබෙන්න ඕනෑ. ඊළඟට, ධුරයට පත් වන්නේ වේහැල්ලේ පරපුරට අයත් ස්ථවිරයන් වහන්සේ නමක්ම වීම, තුන්වනුව පදවිය ලැබූ ස්ථවිරයන් වහන්සේ සපරගමු ප්‍රදේශයේ ස්ථිරපදිංචිය හිමි උන් වහන්සේ නමක් වීම කියන කරුණු තුන සම්පූර්ණ විය යුතුයි. සමහරු කියනවා මඩුවන්වෙල රටේ රාලගේ කාලේ මේ තනතුර ගන්න හොර ගණින්නාන්සේලා සිවුරු අන්දලා ඡන්දෙ දාන්න යැව්වා කියලා. ඒ කතාව සම්පූර්ණ බොරුවක්. මොකද: සාමාන්‍ය ක්‍රමය තමයි ස්වාමීන්වහන්සේ නමක් වුණු පසු ලියාපදිංචියක් තිබෙන්න ඕනා. අනෙක ප්‍රදේශයේ හාමුදුරුවරු කවුද පිටින් සිවුරක් දාගෙන හොරට එන අය කවුද කියන දේ හොයාගන්න බැරි තරම් ප්‍රශ්නයක් එතැන තිබුණෙ නෑ. ඒ නිසා ඡන්දය ප්‍රකාශ කරන්නේ ලියාපදිංචි වුණ හිමිවරුන් විතරයි. එතකොට හොර ඡන්ද දාලා දිනන්න බෑ.'

කෙසේ වෙතත් මේ ධුරය සඳහා අක්ත පත්‍ර ප්‍රදානය කෙරුණේ ඉංග්‍රීසි ආණ්ඩුවෙනි. එ් සම්ප්‍රදාය පැවතුණේ ගලගම අත්ථදස්සි හිමියන් දක්වා පමණි. 1852 ලක්දිවට ඇති වූ ක්‍රිස්තියානි බලපෑම නිසා 1853 අප්‍රේල් 4 වැනිදා සිට ලක්දිව බෞද්ධ කටයුතු ගැන ක්‍රියා කිරීමේ බලය බෞද්ධයන්ටම පවරන ලෙස එංගන්තයේ මහ රැජන වෙනුවෙන් පෙනී සිටි ජෝජ් පර්කින්ටන් සෙක්‍රතාරිස්වරයා නියෝග කළ බව කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ 'වේහැල්ලේ ශාසන ඉතිහාසය' පොතේ පැහැදිලි කර තිබේ. අත්ථදස්සි හිමියන්ගේ ශ්‍රීපාද නායකධුරය වේහැල්ලේ පාර්ශ්වයේ උපසම්පදා භික්ෂූන් වැඩිනමකගේ ඡන්දයෙන් 1859 ජූලි 18 තෝරාගන්නා ලදි.

අංක 9353 දරන නඩු තීන්දුවට අනුව 'ශ්‍රී පාද ඡන්දදායකත්වය හිමි වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචියක් ඇති, මල්වතු පාර්ශ්වයේ උපසම්පදා භික්ෂූන්ට පමණකි' යනුවෙන් සඳහන් වී ඇති බවද ඤාණවිමල හිමියෝ පෙන්වා දෙති. ඒ යුගයේ සපරගමුවේ සියම් නිකායට අයත් වෙනත් පරපුරුවල උපසම්පදා භික්ෂුන් ස්ථිරපදිංචියක් සහිතව නොසිටි බවටත් 1912 වසරේ පෙබරවාරියේ ශ්‍රී සෝභිත නාහිමිගේ පත්වීම මෙන්ම 1913 පෙබරවාරි 9 රඹුක්පොත ශ්‍රී පඤ්ඤාසාර නාහිමියන්ගේ පත් වීම සිදු වන අවස්ථාවල රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩ විසූ අභය රාජ වැනි වෙනත් පරම්පරාවලට අයත් සියම් නිකායික භික්ෂූන් වහන්සේ එකොළොස්නමකට ඡන්ද වරම අහිමි වූ බවත් එයට හොඳම සාක්ෂි ලෙස ගත හැකිය. කෙසේ වුවද අක්තපත්‍ර බාර දීමේ බලය මෙන්ම ඒවා අවමත කිරීමේ බලයද රජය සතු වීම පවතින සම්ප්‍රදායයි.

 

මතු සබඳි... 

අදහස්