අලි අැතුන්ට නිවුන්නු අකැපද? | සිළුමිණ

අලි අැතුන්ට නිවුන්නු අකැපද?

දරුපෙම අතින් ගත් කල මිනිසුන්ටත් වඩා වැඩි සෙනෙහසක් අලින් පෙන්වන බව හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතාගේ මතයයි. ඔහු එසේ කීවේ පසුගියදා මාදුරුඔය වනෝද්‍යානයේදී බිහි වී මිය ගිය නිවුන් ඇත් පැටවුන් පිළිබඳ කතා බහකදීය. ඊට අමතරව අපට නැ‍ඟෙනහිර කලාපය බාර වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතාගෙන්ද ඇසින් දුටු සාක්ෂි දැනගැනීමට හැකි විය. ඇතැම් විට ඔවුන් දෙදෙනාගේ නිරීක්ෂණයන් පරස්පරවිරෝධී විය. ඒ කෙසේදැයි අපි මෙසේ විමසා බලමු.

අපි මුලින්ම වෛද්‍ය අතපත්තුගේ අත්දැකීම් සහ මතය මෙසේ ඉදිරිපත් කරමු...

"අලින්ට නිවුන් දරු උපත් ඇති වේද යන්න පිළිබඳ ඇතැමුන්ට ඇත්තේ සැකයක්. එහෙත් ඇතින්නකට හෝ කෙණෙරකට නිවුන් උපත් ඇති නොවන්නට විශේෂිත හේතුවක් නෑ. එ් නිසා එවැන්නක් සිදු නොවෙතැයි ස්ථිරව කියන්න බෑ. හැබැයි අලි-ඇතුන්ගේ නිවුන් දරු උපත් හරිම විරලයි. අනෙක: ඉපදුණත් ජීවත් වීම සැක සහිතයි. බොහෝ විට එක පැටවෙක් මළ දරු උපතක් ලෙසමයි එන්නේ. අනෙක් පැටවා වුණත් වැඩි කල් ජීවතුන් අතර ඉන්නේ නෑ. ඒ නිසා ඇතින්නකට නිවුන් දරුවන් ලැබුණත් කිසිවකුට ඒ බව සොයාගන්න හැකියාවක් නෑ."

මෙසේ පැවසූ වෛද්‍ය අතපත්තු නිවුන් අලි පැටි උපත් පිළිබඳ ඉතිහාසයද ගෙන හැර පෑවේය...

"ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මහනුවර ඇත්ගාලේ නිවුන් අලි උපතක් සිදු වුණ බවට ඉතිහාසය ලිඛිතවම සාක්කි දරනවා. ආචාර්ය පී ඒ පී දැරණියගල මහත්මයා පුරාවිද්‍යාඥයෙක් වුණාට අලි ඇතුන් පිළිබඳවත් බොහෝ උනන්දුව දැක්වූ උගතෙක්. ඔහුගේ ග්‍රන්ථයක මේ ඇත්ගාලේ නිවුන් දරු උපත පිළිබඳත් සඳහන් වනවා. ඒ එක්කම රාජ්‍ය ලේඛනාගාරයේත් මේ ගැන සටහන් තිබෙනවා. ඒ අනුව ඇතින්න එක පැටවෙක් දාලා පැයකට විතර පස්සේ තවත් පැටියෙක් බිහි කළා. පළමු පැටවා උපදින්නෙම මළ දරුවෙක් හැටියට. දෙවැන්නා ටික කාලයක් ජීවත් වුණත් වැඩි කල් හිටියෙ නෑ. අද වුණත් වනන්තරයේ රහසේ මේ වගේ සිදු වීම් වනවා ඇති, අප නොදැක්කාට. මේ ගැන මගේ 'අලි ඇතුන්ගේ සැඟවුණු ලෝකය' පොතේත් සඳහන්."

සොබාදහමේ රහස් පිළිබඳ මිනිසාට ඇති දැනුම අල්පමාත්‍ර බව වෛද්‍ය අතපත්තු නොකියා කී සේය. අප කොතරම් සොබාදහම පාලනය කිරීමට උත්සාහ දැරුවද අවසානයේ මේ මහා රහස් කන්ද අප පරිසරය තුළම ගිලගන්නවා මිස මිනිසාට විශේෂ වූ අමරණීයත්වයක් ලබා දී නැත.

අලින් පිළිබඳ සොබාදම් මවගේ ඇසුරෙන් සොයාගත් ඇතැම් රහස් කීපයක් විද්‍යානුකූල ආකෘතියක හොවා ඔහු යළි මෙසේ පැහැදිලි කළේය...

"අලින්ගේ නිවුන් උපත් ගැන කතා කරන්න අප ඔවුන්ගේ ගැබ් කාලය ආදිය පිළිබඳ දැන සිටිය යුතුයි. සාමාන්‍යයෙන් ඇතින්නකගේ ගැබ් කාලය වසර දෙකක් හැටියටයි ගන්නේ. ඒත් බොහෝ විට මාස 18-23 අතර කාලයක් තුළ පැටවා බිහි කරනවා. ගැහැනු පැටවකු නම් මාස 18ත්-20ත් අතර ගැබ් කාලයකුත්, පිරිමි පැටවකු නම් මාස 20-21 අතර කාලයකුත්, දළ ඇත් පැටවකු නම් මාස 22-23 අතර කාලයකුත් ගත වෙන්න පුළුවන්. නිවුන් උපත්තිවලදී බොහෝ විට සිදු වන්නේ අඩු මාසෙකින් පැටවුන් බිහි වීම. එයට හේතුව ඇතින්නට නිවුන් පැටවුන්ගේ බර වැඩි වීම. ඒත් ප්‍රසූතිය ඉක්මන් වෙලා අඩු මාසෙන් ඉපදෙන නිසා තමයි පැටවුන් අර විදිහට අකාලේ මිය යන්නේ. ඉතා කලාතුරකින් තමයි එක පැටවෙකු ඉතුරු වන්නේ."

"ප්‍රසූතියකදි වැදෑමහ කා-දමන එක සිව්පාවුන්ගේ සිරිතක්. එයට හේතුව ඒ පටකවල 'කොට්ලිඩොන්ස්' කියන ගැට වැනි පිහිටීම් කලලයට පෝෂණය දෙනවා වගේම එහි ඇති 'ඔක්සිටොනයින්' කියන හෝමෝනය කිරි එරීමට උදවු කරනවා. සමහර පූසියන් මිය-ගිය පැටවුන් ඉපදුණාම කාලා-දානවා වගේ ඇතින්නියනුත් මවු පටක වගේම මළ දරු උපත් සිදු වුණොත් ඒවා කාලා-දානවා. මවු ඇතින්න පමණක් නෙවෙයි, වින්නඹුකම් කරන ඇතින්නියන් පවා ඒ කොටස් කා-දමලා ප්‍රසූතිය සිදු වුණු බිම සුද්ධ පවිත්‍ර කරලා තමයි පිටත් වෙන්නේ. ඒ අනෙක් සතුන්ට පැටවුන්ගේ ලේ සුවඳ නොදැනෙන්න. මම දැකලා තිබෙන විදිහට නම් පොළොවේ තෙතමනය විතරයි උන් ඉතිරි කරන්නේ. ඒ ටිකත් හිවලුන් වල්ඌරන් ඇවිත් කා-දමනවා.'

වෛද්‍ය අතපත්තුගේ මේ විමර්ශනයට හාත්පසින්ම වෙනස් කතාවකි, වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර පවසන්නේ. ඔහුට අනුව මියගිය පැටවුන් කා-දමන සිරිතක් අලින්ට නැත. වෛද්‍ය පුෂ්පකුමාර මාදුරුඔය නිවුන් අලි පැටවුන් දෙදෙනා ඇසින් දුටු සාක්ෂිකරුවෙකි.

"අප දන්නා තරමට නම් අලින් මිය ගිය කලල කා-දමන්නේ නෑ. හරකුන් නම් එහෙම වැදෑමහ කනවා. මේ පැටවුන් නැත්නම් කලල දෙක කිසිදු අනතුරක් හෝ හානියක් නැතිව තිබුණා. හැබැයි මඩ ගාලා පණ ගන්න උත්සාහ කළ බවක් පෙනුණා. ඒ අලින් උත්සාහ කර තිබුණේ කොහොම හරි නැඟිට්ටලා රැළත් එක්ක එක්කගෙන යන්නයි. මේ අලි කලල දෙක නිවුන්නු හැටියට අපි විශ්වාස කරන්නේ එකම තැන ඒ කියන්නේ මාදුරුඔය පනික්ක විල කියන තැන, එකම විදිහට, එකම දවසේ, එකම වෙලාවේ දකින්න ලැබුණු නිසායි. කලල දෙක අඩි 4ක්-5ක් වගේ දුරකින් වැටී තිබුණේ. මාස 14ක්-15ක් විතර වන නොමේරූ කලල ලෙස තමයි පැටවුන් දෙදෙනා නම් කරන්න වන්නේ. දකින්න තිබුණු බාහිර පරිසර සාධක ආදියත් එක්ක අපට 99%ක් මේ නිවුන්නු බව සහතිකයි. ඒත් ඩීඑන්ඒ පරීක්ෂණයකින් එය වඩාත් තහවුරු කරන විද්‍යාත්මක නිසා එයට අදාළ පියවර අරගෙන තියෙන්නේ. එක කලලයක් නැත්නම් එක පැටවෙක් අඟල් 12ක් පමණ වනවා. ඒ පිරිමි සතා. අනෙක අඟල් 13ක් පමණ වනවා ඒ ගැහැනු සතෙක්. දෙන්නාගෙම හොඳට මවිල්, හොඬ පෑදිලා තිබුණා.'

වෛද්‍ය අතපත්තුගේ ඊළඟ ප්‍රකාශය හා ගැටෙන කරුණක් මෙහි වේ. එනම් අලි නිවුන්නන් ගැහැනු-පිරිමි ලෙස ඇති විය හැකිද යන්නය.

"මගේ විශ්වාසයේ හැටියට නිවුන් අලි පැටවුන් උපතේදී එකම ලිංගයක් දරනවා. මිනිසුන්ගේ වගේ ගැහැනු-පිරිමි වෙනස් වන්න ටිකක් අමාරුයි," වෛද්‍ය අතපත්තු පවසයි.

"වනයේදී සිදු වන දේවල් අපට හරියටම කියන්නත් බෑ. සිද්ධිය ඇසින් දුටු අයත් නෑනේ. ඒත් හොඳම දේ පැටවුන් නැත්නම් මේ කලල දෙක එකම අම්මාගේද කියා බලන්න ඩීඑන්ඒ පරීක්ෂාවට ලක් කිරීම තමයි. තවම කිසිම රටකින් නිවුන් පැටවුන් ජීවත් කරවූ බවට වාර්තා ලැබී නෑ. අභිජනනය සම්බන්ධ සමහර පොත්පත්වල මා කියවා තිබෙනවා තුන් නිවුන් පැටවුන් වුවත් ලැබීමේ ඉඩකඩ ඇතින්නකට තිබෙනවා කියා. ඇත්තෙන්ම මහනුවර රාජකීය ඇත් ගාලේ එදා බිහි වී ටික කලක් ජීවත් වුණ පැටවා තවදරටත් ලොකු මහත් කරගන්න තිබුණා අද වගේ විද්‍යාත්මකව දියුණු වූ තත්ත්වයක් එදා තිබුණා නම්. මොකද පෝෂණ ඌනතාව, අඩුමස් උපත් නිසා ඇතිවන ව්‍යාකුලතා ආදියට පිළියම් එසැණින් ලැබුණා නම් ජීවත් කරවන්නත් පුළුවන්."

මාදුරු ඔයේම හඳපානාගල ජලාශය අසල වෛද්‍ය අතපත්තු දුටු අලි ප්‍රසූතිකාගාරයක් ගැන ඔහු මෙසේ සිහිපත් කළේය...

"සමහර සිවුපාවුන් ප්‍රසූතිය සඳහා තාවකාලික කැදැල්ලක් තනා ගන්නවා, මානා පඳුරු තළලා, කපලා තණකොළ තළලා. සමහරු ගස් බෙන වගේ තැන් සොයාගන්නවා. ඒත් අලින් එහෙම කිසිම දෙයක් කරන්නේ නෑ. අඩුම ගානේ ගමනවත් නවත්වන්නේ නෑ. ප්‍රසූත වේදනාව දැනුණු ගමන් අපේ ගම්වල ගෑනු කට්ටිය සුදු රෙදි වට කරලා වින්නඹු ස්ථානයක් හදා ගන්නවා වගේ රැළේ සියලු ඇතින්නන්, කෙණෙරන් වට වෙලා ගැබ්බර ඇතින්නට ආවරණය සලසලා හිතට ධෛර්යය දෙන්න උස් හඬින් කෑගහනවා. පැටවා බිහි වී පැය 5ක්-6ක් විතර යනතුරු කිරි බොන්න එහෙම දන්නේ නෑ. ඔහේ වැටිලා ඉද්දි අර අපේ බබාලා ඉපදුනාම කකුල් දෙකෙන් උස්සලා හුස්ම ගන්න පොඩ්ඩක් තට්ටුවක් දානවා වගේ අලි පැටියාටත් හොඳට හුස්ම වට්ටන්න පයින් පාරක් දෙකක් තට්ටු කරනවා. මේක අලියෙක් තරහට පයින් ගහනවා වගේ සැර පහරක් නෙවෙයි. සත්ත්ව ලොකයේ මවු සෙනෙහස වැඩිම සතා අලියා වෙන්න ඇති. ඒ නිසානේ එක වතාවක අම්මාට වෙඩි තියලා මරලා තිබුණු වෙලාවෙත් පැටියාට බොන්න කිරි එරිලා තිබුුණේ.

ඇතින්නකගේ කුසේ වැඩෙන කලලයට මාස 18ක් වෙද්දි සියලු ශරීරාංග හොඳට වර්ධනය වෙලා තිබෙන්නේ. කලලයක් කීවාට හොඬ කෙටිය, අත් පා, වලගය හොඳින් වෙන් වෙලා පේන හොඳ වැඩුණු පැටවෙක් හා සමානයි. හැබැයි ගර්භාශය තුළ කොතරම් ලොකුවට වැඩුණත් නියපොතු බොහොම සිනිඳු පටල වගේ කළු පාටට තිබෙන්නේ. ඉපදුණාට පස්සේ අම්මා සුද්ධ-පවිත්‍ර කරලා වායුගෝලයට නිදහස් වුණාම තමයි බිත්තර කට්ට වගේ ක්‍රමයෙන් ඝනකම් වෙලා ඇත්දළ පැහැයට හැරෙන්නේ. කලල අවස්ථාවේ වගේම බිහි කර ටික දිනක් යන තුරුම ලෝම වැඩිලා නිසා කළු පුළුන් බබෙක් වගේ තමයි අලි පැටවුන් දකින්න ලැබෙන්නේ." වෛද්‍ය නන්දන අතපත්තු අලි දරු සුරතලය විස්තර කළේ එසේය.

සොබාදහම වනාන්තර තුළ සඟවා තිබූ තවත් එක් රහසක් අපට හෙට දිනයේ එළි වනු ඇත. ඒ අලි ඇතුන්ගේ සැඟවුණු නිවුන් දරු උපත් පිළිබඳ රහසය. එහි නව මානයන් ලොවට හෙළි කිරීම පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර වැනි තරුණ වනජීවී නිලධාරීන්ගේ වගකීම වන්නේය.

අදහස්