මට ඕනෑ මම වෙන්න | සිළුමිණ

මට ඕනෑ මම වෙන්න

• ඔබ ලේඛන භාවිතයේදී සමස්ත පාඨකයන්ට ඇමතීමේ අවැසි බවකින් පෙළෙන්නේ නැති බවක් පෙනෙනවා.

ඔව්... මම හැම මොහොතෙ ම උත්සාහ කරන්නෙ පාඨකයා මා අබියසට කැඳවාගන්න මිස පාඨකයා පසුපස යන්න නොවේ. මොකද මම පාඨකයාට දෙන්නෙ පාඨකයා ඉල්ලන දේ නොවෙයි. කාලයට, දේශයට, ද්වීපයට අවශ්‍ය දේ. එය ග්‍රහණය කරගන්න බැරි පාඨකයා අදාළ විෂයය පිළිබඳ හැදෑරිය යුතුයි. එසේ නොවනතාක් කල් පාඨකයා සංවර්ධනය වෙන්නෙ නැහැ. පාඨකයා, ප්‍රේක්ෂකයා, රසිකයා හෝ අසන්නා එක තැනම පල් කිරිම නිර්මාණකරුවකුගේ වගකීම නොවෙයි. ඔහු හැම මොහොතක ම උත්සාහ කළ යුත්තේ පාඨකයාගේ දැනුම වර්ධනය කරන්න. මම ලැබෙන හැම අවස්ථාවක ම එය සිදු කරමින් සිටිනවා.

• ඔබ කවිය ස්ථානගත කිරීමට උත්සාහ කරන්නේ වෙනස් තැනක; අවකාශයක. කුමක්ද ඊට හේතුව...?

මගේ කවිය වෙනස් තැනක ද නැද්ද යන්න තීරණය කරන්නේ පාඨකයා. ඔබට එය වෙනස් විදියට දැනෙනවා නම් මම සාර්ථකයි. මොකද හැම වෙලාවෙම හැම දේ ම වෙනස් වෙනවා සහ විය යුතුයි. මම ඒ කටයුත්තේ නිරත වෙමින් සිටිනවා. මට අවශ්‍ය ‘මම’ වීමට මිස වෙනත් කෙනෙකු වීමට නොවෙයි.

• ඔබේ ප්‍රධාන ධාරාව සේ මට හැඟෙන්නේ විචාරය. ඒ විචාරාත්මක පුරුද්ද ඔබේ කවිය ආක්‍රමණය කර එහි සුමට සහ ළයාන්විත බව උදුරා ගෙන ඇතැයි මම කිව්වොත්...

කවිය පමණක් නෙවෙයි. කිසියම් නිර්මාණකරුවෙක් විවිධ අවස්ථාවලදි නිමවන නිර්මාණ විවිධ මාන සහ හැඩ ගන්න පුළුවන්. මගේ ජීවිත කාලයේ විවිධ අවස්ථාවල දි ලියැවුණ පදවැල් විවිධාකාරයි. ඒ අතරින් මෙහි අන්තර්ගත වන්නේ බොහොම අල්පය යි. ඒ අල්පය අතරෙන් පවා වැඩි ඉඩක් වෙන් කර තිබෙන්නේ ආදරය: ලැබීම, නැතිවීම වගේ ම ඒ වෙනුවෙන් ලබන ප්‍රහර්ශය සහ පරිදේවනය උපස්තම්භක කරගනිමින්. ඊට අමතරව රළු දේශපාලනික අදහස් ගැබ් වෙන කවි කිහිපයක් ද අන්තර්ගතයි. රළු අත්දැකීමක් ප්‍රකාශ කරන්න වෙන්නෙ රළු භාෂාවකින්. ඔබට දැනෙන්න ඇත්තේ ඒ රළු බව. එසේ වුණා නම් මම එතනදිත් සාර්ථකයි.

• ඔබ සම්මතය ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරනවා. එය අන්තර්ගතයෙන් ඔබ්බට ගොස් ආකෘතියට ද යොදා තිබෙනවා. සම්මතය ප්‍රතික්ෂේප කරන්නේ කතාබහට ලක්වීමේ උපක්‍රමයක් ලෙසද?

ඔව්... මම සම්මතය ප්‍රතික්‍ෂේප කරනවා. නමුත් ඒ සම්මතය හැදෑරීමකින් තොරව නොවෙයි. සම්මතය යන්න අපි හිස මත තබාගෙන ම ඉන්න වුවමනා නැහැ. එහෙම වුණානම් අපි තවම නිරුවතින්. ඒ නිසා සම්මතය බැහැර කළ යුතු තැන බැහැර කරනවා. පිළිපැදිය යුතු තැන පිළිපදිනවා. ඔබ යෝජනා කරන ‘කතා-බහට ලක්වීම’ යන්න සමාජය විසින් කරන දෙයක් මිස මම ඉල්ලා සිටින දෙයක් නෙවෙයි. එහෙම කතා-බහ වෙනවා නම්... එය සමාජයට අවශ්‍ය දෙයක් මිස මට වුවමනා දෙයක් නොවෙයි. මම මගේ වැඩේ කරනවා. එය එක් එක් අය එක් එක් ආකාරයට බාරගනිවි. ඒ තම තමන්ගේ නැණ පමණ මිස මගේ දුර්වලතාවක් නොවේ කියලයි මම අදහස් කරන්නෙ.

• ඔබේ වෙනස් අක්ෂර රූපකරණයට රසිකයා හුරු වෙද්දී කවියේ මිහිර මඟ හැරුණොත්...?

ඔබ යෝජනා කරන ඔය ‘මිහිර නැතිවීම’ යන්න පවා සම්මතයට වහල් වීම; සම්මතය අබිබ­ැවීමට ඇති නොහැකියාව හෝ අකමැත්ත. අපි හැම වෙලාවෙම අලුත් දේ වෙත හුරු විය යුතුයි. උදාහරණයක් විදියට ඔබත් මමත් ඉස්සර ලිව්වෙ පැන්සලෙන් සහ පෑනෙන්. නමුත් දැන් අපි දෙන්නම වැඩිපුර ලියන්නෙ පරිගණක යතුරු පුවරුවෙන්. ඔබ උත්සාහ කරල බලන්න ‘තුරුණු’ යන වදන වෙනුවෙන් යතුරු පුවරුවේ යතුරු තුනක් පාවිච්චි කිරීම සහ ඒ පාපිලි දෙක සහ ඇලපිල්ල වෙනුවට පාපිලි තුනක් ම පාවිච්චි කිරීම කෙතරම් පහසු ද කියලා. මෙන්න මේ විද්‍යාත්මක ක්‍රමය යි ‘සමරූපීකරණය’ යනුවෙන් හඳුන්වන්නේ. ඇත්තට ම මෙහි සමාරම්භක පුද්ගලයා විදියට සඳහන් වෙන්නෙ මීට දශක හතරකට පමණ පෙර මුද්‍රණ සංස්ථාවේ මුද්‍රණ කළමනාකරු ලෙස සේවය කළ ආරිය වික්‍රම මහතා. නමුත් අපේ ආචිර්ණ කල්පිත අධ්‍යාපනය ඒ විද්වතාගේ අදහස පිළිගත්තෙ නැහැ; අද පිළිගන්නෙත් නැහැ. ඒක මේ රටේ අධ්‍යාපන බලධාරින්ගේ වැරැද්දක් මිස නව සොයාගැනීමක් කළ පුද්ගලයාගේ හෝ එය භාවිතා කරන අල්පයකගේ වැරැද්දක් නෙවෙයි. සරලව ම කියනවා නම් අකුරු යනුවෙන් හඳුන්වන්නේ රූප සමුහයක්. එක් එක් කාලවකවානුවලදි මේ රූප වෙනස් වෙනවා. අපි දියුණුව කරා පා නඟනවා නම් මේ වෙනසට හුරු විය යුතුයි. ඒ වෙනසට හුරු වුණාම ඔබ යෝජනා කරන කවියේ මිහිර විඳගන්න පුළුවන් වේවි. හරියට පුංචි කාලෙ වැඩිය මිරිස් කෑම නොකෑවට කල් යත් යත් ම එය හුරු වෙනවා වගේ.

• ඔබේ කවි පිරෙන්නේ ස්ත්‍රී පුරුෂ ආදරයෙන්. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ගැන කොතරම් දේ ලියූවත් තවත් ලියන්නට දේ ඉතිරි වන බැව් ඔබේ කවි ගොන්නෙන් දැනෙනවා...

ඇත්ත... ලෝකය පවතින්නේ හිරුගේ ආලෝකයෙන් සහ මවගේ කිරෙන් කියල මැක්සිම් ගෝර්කි කිව්වට ආදරය නැතිනම් ඔය මොනව තිබුණත් ඵලක් නැහැ. මවට කිරි එරෙන්නෙ පවා ආදරයේ අග්‍ර ඵලය වන ලිංගික සම්භෝගයේ ඵලයක් වන දරු උපතට පසුවයි. ඒ වගේ ම අපි අහලා තියෙනවා සහ මම අත්දැක තිබෙනවා දරු සෙනෙහසින් ඔද වැඩුණ ඇතැම් කාන්තාවන්ට අදාළ මොහොතේ මවු කිරි බොන ළමයෙක් නොසිටියත් කිරි එරුණ බව. ඒ වෙන කිසිවක් ම නෙවෙයි ආදරය. ඒ ආදරයේ විවිධ ප්‍රභේද තියෙන්න පුළුවන්. ඒ ඒ ප්‍රභේද හැම එකක් ම එකිනෙකට සාපේක්ෂයි. ලෝකය පවතින තුරා ම සහ මිනිස් ජීවිතය පමණක් නෙවෙයි ඕපපාතික ජීවින් හැර අනෙක් සියලු ම සත්ත්ව ජීවිත පවා ඇතිවෙන්නෙ, රැඳෙන්නෙ සහ පවතින්නෙ ආදරය නිසා. ඉතින් ආදරය ගැන ලියල ඉවර කරන්න පුළුවන් කවදද කියල කිසිවකුට තීරණය කරන්න බැහැ.

• ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ඉහළ තලයක ලා ගොතන ඔබ වැලන්ටයින් දිනය වැනි වාණිජකරණය වූ ආටෝපිත දිනයකදී දිනයේ වාසිය ද රැගෙන පොත ගැන කතිකාවක් තබනවා. කුමක්ද මේ පරස්පරය...

ඔව්... මම ඒ දිනය යොදාගත්තෙ ම කලින් සැලසුම් කරලා. මොකද ලෝකයේ හැම රටක ම වගේ වැලන්ටයින් සමරන්නේ ඒ සාධකයේ සැබෑ ලකුණ සඟවලා. එය ලංකාවටත් සාපේක්ෂයි. වැලන්ටයින් නමැති පියතුමා ක්ලෝඩියස් නමැති යුද උම්මත්තකයාට අභියෝග කරන්නේ මිනිස් ජිවිතවල වටිනාකම අගයමින්. ඔහු සපුරා ම යුද්ධය ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේපභාවය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරන්නෙ යුද උම්මත්තකයා තහනම් කර තිබුණු ස්ත්‍රි පුරුෂ ආදරය නැවත ස්ථාපිත කිරීමෙන්. ඔහුගේ අභියෝගයට මුහුණ දෙන්න බැරි වුණා. ඒ යුද උම්මත්තකයා අවසානයේ වැලන්ටයින් පියතුමාව ඝාතනය කරන්නෙ තමන්ගේ නොහැකියාව වසා ගැනීමේ අරමුණෙන්. අපි වැලන්ටයින් සාධකය පිළිබඳ තැබිය යුත්තේ මෙන්න මේ ලකුණ. පෙබරවාරි 14 සවස 3ට ජාතික පුස්තකාලයේ දි ඒ ගැන හදාරන්න කැමති අයට මේ අවස්ථාව විවෘතයි.

අදහස්