නොබෙල් ගැන නොදන්නා කතා | සිළුමිණ

නොබෙල් ගැන නොදන්නා කතා

නොබෙල් ත්‍යාගය පිරිනැමීම ඇරැඹුණු 1901 වර්ෂයේ පටන් 2017 වර්ෂය දක්වා එකී ක්ෂේත්‍රවල විශිෂ්ටයෝ 585 දෙනෙක් ඉන් පිදුම් ලදහ. ඒ අතරින් සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාග 110ක් ප්‍රදානය කෙරිණි. නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ සාහිත්‍යධරයෝ 114 දෙනෙකි. ත්‍යාග 106ක් එක් ලේඛක‍යකුට හෝ ලේඛිකාවකට බැගින් පිරිනැමී ඇති අතර ත්‍යාග 4ක් දෙදෙනකු අතර බෙදී ගොස් තිබේ. වෙනත් ක්ෂේත්‍රවල මෙන් ම සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය ද වර්ෂ කිහිපයකදී පිරිනැමී නොමැත. ඒ; 1914, 1918, 1935, 1940, 1941, 1942, 1943 වර්ෂවලදී ය. එම වකවානු පළමු හා දෙවන ලෝක යුද සමයන්ට අයත් විය.

නොබෙල් ත්‍යාගලාභීන් වැඩි දෙනකු එම ත්‍යාගය ලබා ඇත්තේ ජීවිතයේ සය වැනි දශකය ගෙවමින් සිටියදී ය. වැඩි දෙනකු උපත ලබා ඇත්තේ ජූනි මාසයේදී වීම ද විශේෂයකි. අඩුම වයසින් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත්තේ රඩ්යාඩ් කිප්ලිං විසිනි.

ඒ වනවිට ඔහු 41 හැවිරිදි වියේ පසුවිය. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත් වයෝවෘද්ධම පුද්ගලයා ඩොරිස් ලෙසින් ය. (2007) එවිට ඇය 88 හැවිරිදි වියේ පසුවිණි.‍

1902 දී ‍සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගත් තියඩෝර් තොම්සන් 85 හැවිරිදි වියේ සිටියේ ය.

1964 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබූ ජින් පෝල් සාත්‍රේ ත්‍යාගය ප්‍රතික්ෂේප කළේ ය. නිල ගරු සම්මාන ඔහු සෑම විටම ප්‍රතික්ෂේප කර තිබේ.

සෝවියට් ලේඛක ෙබාරිස් පැස්ටර්නැක් වෙත 1958 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමිණි. මුලින් ඔහු එය බාරගත් නමුදු ඔහුගේ නිජබිම වන සෝවියට් දේශයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් පසුව ප්‍රතික්ෂේප කළේ ය.

නොබෙල් සම්මාන ප්‍රදානෝත්සවය සිදුවන්නේ දෙසැම්බර් 10 වැනිදා ය. එහිදී නොබෙල් ඩිප්ලෝමාව, නොබෙල් පදක්කම සහ ත්‍යාග මුදල සනාථ කරමින් ලේඛනයක් ද පිරිනැමේ. හැම නොබෙල් ඩිප්ලොමාවක් එකිනෙකින් වෙනස් ය. ඒ එකිනෙකට අනන්‍ය වූ ශෛලියකින් ඒවා නිමවන්නේ ප්‍රමුඛ පෙළේ සවිමත් හා නෝර්වීජියානු කලා හා කැටයම් ශිල්පීන් විසිනි. නොබෙල් පදක්කම අත්කමක් ලෙස නිර්මාණය කරනුයේ ප්‍රතිචක්‍රීකරණය කළ කැරට් 18 රත්‍රං වලිනි. ත්‍යාග මුදල වශයෙන් ස්වීඩන් ක්‍රෝන මිලියන 9 ක් (ඇ.ඩොලර් මිලියන 1.1ක් පමණි) පිරිනැමේ.‍

නොබෙල් සාහිත්‍ය ත්‍යාග ඉතිහාසයේ 14 වතාවකදී ලේඛිකාවන් එම ත්‍යාගය දිනාගෙන තිබේ. ඉන් 06 දෙනකුටම එම ත්‍යාගය පිරිනැමුණේ 1990න් පසුව ය.

ආන්දෝලනාත්මක කාරණා

නොබෙල් ත්‍යාග ප්‍රදානයේදී අවස්ථා ගණනාවකදීම එය ආන්දෝලනයට මෙන් ම වාද විවාදවලට තුඩු දී තිබේ. එවැනි තත්ත්වයක් වඩාත් දැකිය හැකි ව‍ූයේ නොබෙල් සාම ත්‍යාගය හා නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රදානයේදී ය. ඊට ආසන්නම නිදසුන 2016 වස‍රේදී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඇමෙරිකානු පොප් ගායක බොබ් ඩිලන්ට පිරිනැමීම ය. ඊට සුදුසු නවකතාකරුවකු, නාට්‍ය රචකයකු හෝ අනෙකුත් සාහිත්‍යධරයකු නොසිටියේ ද යන ප්‍රශ්නය බොහෝ දෙනා මතු කළහ. කුණාටුව චණ්ඩ වීමට ඉඩදෙමින් බොබ් ඩිලන් නිහඬ විය. ඔහු ත්‍යාගය ලබා ගැනීමට අකමැති බවත් පළ කළ අතර ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ද ඔහුගේ සහභාගිත්වයෙන් තොරව ය‍. එහිදී සම්ප්‍රදායිකව සිදු කරන දේශනය වෙනුවට ඔහු කළේ කෙටි ස්තුති පණිවිඩයක් පමණක් යොමු කිරීම ය.

වර්ෂ 2010 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ හිමිකරුවා වූ පෙරුබියානු ජාතික මරියෝ වර්ගාස් ලෝසාට එරෙහිව ද අපහාසාත්මක විවේචන ඇතිවිය. ඔහුගේ ලේඛන කාර්යයට නොව දේශපාලනය ගැන අවධානය යොමු කර ත්‍යාගය ලබාදී ඇත යන්න විවේචකයන්ගේ මතය විණි.

සම්මාන පිටුපස ඇකඩමි හස්තය

නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම්ලත් ඇතැම් ලේඛකයන් ඒ වනවිටත් නොබෙල් ඇකඩමියේ සාමාජිකයන් වීම ආන්දෝලනයට තුඩුදුන් කාරණයකි. 1974 දී එම ත්‍යාගලාභීන් වූ ස්වීඩන් ලේඛක අයිවින්ඩ් ජොන්සන් සහ හැරී මාටින්සන් ඒ වනවිටත් ඇකඩමි සාමාජිකයෝ වූහ.

1989 වර්ෂයේ නොබෙල් සාහිත්‍ය ත්‍යාග ප්‍රදානයට සමගාමීව ද ආන‍්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය. ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලාහ් කුමෙයිනි විසින් බ්‍රිතාන්‍ය ලේඛක සල්මාන් රෂ්ඩිට පනවා තිබූ මරණ දඬුවමට එරෙහිව ඔහු වෙනුවෙන් පෙනී නොසිටියේ යැයි නොබෙල් ඇකඩමිය විවේචනයට ලක් විය. එහිදී ජූරිය නියෝජනය කළ කිහිප දෙනෙක් ඉන් ඉල්ලා අස්වූහ.

බොබ් ඩිලන් 2016 දී මුහුණදුන් තත්ත්වය වැනි අත්දැකීමක් 1997 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත් දාරියෝ ‍ෆෝට ද තිබේ. ඉතාලියානු නාට්‍යවේදී, රංග ශිල්පී දාරියෝ ඇකඩමිය විසින් හැඳින්වූයේ ‘jester’ යනුවෙනි. ගතවූ දශක 2 ක කාලය තුළ මේ පිළිබඳ බෙදුණු මතයක පිහිටා සිටියේ බොබ් ඩිලන් සහ දාරියෝ ෆෝ පමණි.

නොබෙල් ඇකඩමිය විලියම් ‍ෆෝක්නර්, අර්නස්ට් හෙමිංග්වේ, ජෝන් ස්ටෙරින්වෙත්, අන්ද්‍රෙ ජීද්, ඇල්බෙයා කැමූ වැනි ඇමෙරිකානු ලේඛකයන් අගැයීමට ලක් කර තිබේ.‍

රඩ්යාඩ් කිප්ලිං, සැමුවෙල් බෙකම්, ගබ්‍රියෙල් ගර්ෂියා මර්කෙස් වැනි තවත් දැවැන්තයෝ ද ඒ අතර සිටිති. එසේ වුව ද, ජෝෂප් කොන්රම්, ජෙම්ස් ජොයිස්, හෙන්රි ජේම්ස්, වර්ජිනියා වුල්ෆ් වැනි තවත් විශිෂ්ටයන් නොබෙල් ත්‍යාගයෙන් අගැයීමට ලක්වූයේ නැත. සාහිත්‍ය ලෝකයේ ආන්දෝලනයක් ඇති කරමින් බොරිස් පැස්ටර්නැක්ට ත්‍යාගය ලබාදුන්නේ මිහයිල් ෂොලහව් වැනි ලේඛකයන් පසෙක සිටියදීය. නොබෙල් ඇකඩමියට අමතකවූ මඟහැරුණු තවත් එවැනි දැවැන්තයෝ ගණනාවක් ම සිටිති. ඒ වෙනුවට තම රටෙන් පිටත ප්‍රසිද්ධියක් පවා නොමැති නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභීන් බිහි කිරීම ගැන ඇකඩමියට විවේචන එල්ල විය‍. නිදසුනක් ලෙස අයිස්ලන්තයේ හැල්මර් ලක්ස්නස්, (1955) එරික් ඇක්සල්, කාල්ෆෙල්ඩ්ට් (1931) ඔමිසියස් එල්ටිස් (1979) සහ ප්රොස්ලඩ් සෙයිහර්ට් (1984) වැනි ත්‍යාග ලාභීන් සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය දැක්විය හැකි ය.

නොබෙල් ත්‍යාග ප්‍රදානය ආරම්භ වූ 1901 වර්ෂයේ පටන් 1985 වර්ෂය දක්වාම යුරෝපයට හා ඇමෙරිකාවට පිටතින් නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභීන් බිහිවී ඇත්තේ 8 දෙ‍නකු පමණි. ඉන් පළමුවැන්න මහා කවි රබින්ද්‍රනාත් තාගෝර්ය. ඔහුගේ පද්‍යවල තිබූ සංවේදී බව හා නැවුම් බව මෙන් ම අලංකාරවත් බව නොබෙල් ඇකඩමියේ විශේෂ අගැයීමට ලක්විය.

ඉන්දියාවෙන් බිහිවූ එකම නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභියා රබින්ද්‍රනාත් තාගෝර්ය. (1913) අරාබි ලෝකයෙන් ද බිහිව ඇත්තේ එක් නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභියකු පමණි. ඔහු ඊජිප්තුවේ නගුයිබ් මහ්ෆවුස් ය. (1988)

ඇමෙරිකානු හෝ යුරෝපීය නොවන නොබෙල් සාහිත්‍ය සම්මානලාභීන් විරල වීමට එක් හේතුවක් ලෙස එම සාහිත්‍ය කරුවන්ගේ නිර්මාණ පරිවර්තනය නොවීම මෙන් ම අන්තර්ජාල භාවිතය ඇරැඹීමට පෙර ඒවා පිළිබඳ තොරතුරු ප්‍රමාණවත් ලෙස දැන ගැනීමට නොලැබීම සඳහන් වී තිබේ.

අප්‍රිකාවෙන් නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභියකු පළමු වරට බිහිවූයේ 1986 දී ය. ඔහු නයිජීරියාවේ වෝලේ ෂොයින්කාය. චීනය, නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභියකු බිහි කළේ ඊටත් දශක එක හමාරකට පසුව එනම් 2000 වසරේදී සහ 2006 වසරේදී ය. ඔහු ගවෝ ෂියැංජින් ය. තුර්කියෙන් බිහිවූ පළමු නොබෙල් සාහිත්‍ය ත්‍යාග ලාභියා ඔර්හාන් පාමුක් ය.

ඇමෙරිකානු හෝ යුරෝපීය නොවන සාහිත්‍ය කරුවන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීම අවමවීමට යම් හේතු දැක්වී ඇතත් එය දේශපාලනික කාරණයක් බවට ද මත පළ වේ.

ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්ත පරිදි නොබෙල් ඇකඩමිය යම් පරමාදර්ශී ප්‍රතිපත්තියක පිහිටා සිටින බව පෙනෙන්නට තිබේ. එකී අරුතින් උපන් බිමෙන් බැහැරව සිටින්නන්ට, පිටුවහල් කරන ලද්දන්ට විපක්ෂ නායකයන්ට මෙන් ම මවුබිමේදී සිය කෘතීන් ප්‍රකාශයට පත් කිරීමට තහංචි පැනවුණු සාහිත්‍යකරුවන්ට නොබෙල් ඇකඩමියෙන් අනුබලයක් ලැබෙන බව පිළිගැනීමට සිදුවේ. 1967 දී ග්වාතමාලාවේ මිගෙල් ඒන්ජල් හා 1971 දී චිලියේ පැබ්ලෝ නෙරූඩා මීට නිදසුන් ය. සීතල යුද සමයේදී ඇතැම් ත්‍යාගලාභීන් තෝරා ගැනුණේ මුළුමනින් ම සාහිත්‍යමය පසුබිම සැලකිල්ලට ගනිමින් නොවේ. පෝලන්තයේ චෙස්ලෝ මිලොස් ඊට නිදසුනකි. 1970 දී සෝවියට් ලේඛක ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින්ට පිරිනැමුණු ත්‍යාගය බාර නොගන්නා ලෙසට බල කෙරිණි. යම් හෙයකින් නොබෙල් ත්‍යාගය පිළිගතහොත් ඔහු ආපසු මවු රටට පිළිනොගන්නා තත්ත්වයක් ඇතිවිය. එම ආන්දෝලනාත්මක වාතාවරණය යටතේ ඔහු ත්‍යාගය බාරගත්තේ සිව් වසරකට පසුව ය.

බොරිස් පැස්ටර්නැක්ට මෙන් ම ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින්ට නොබෙල් ත්‍යාගය පිරිනැමීමට වැඩි බරක් තැබෙන්නේ දේශපාලන කාරණා මඟින් බව වටහා ගැනීම අසීරු නැත.

අදහස්