ගොගොල් අඳින සාර් | සිළුමිණ

ගොගොල් අඳින සාර්

සෝපාහාසාත්මකව නමුදු, නිකොලායි ගොගොල් චිත්‍රණය කොට දක්වන්නේ තමාගේ යුගයේ රුසියානු සමාජයේ හැම සමාජ තලයක ම ජීවත් වූ ගැහැනු මිනිසුන්ගේ ජීවිතයයි. එහිලා ඔහුගේ අවධානය වඩාත් ම යොමු වන්නේ, එදවස රාජ්‍ය නිල තන්ත්‍රය කෙරෙහිය. ඒ සඳහා ඔහු පීටර්ස්බර්ග් හෝ මොස්කව් හෝ පුරවර ජීවිතයත්, අධිපති පන්තියත් බැහැර කොට, ගම්බද රුසියාවේ ප්‍රාදේශීය නිල තන්ත්‍රය තෝරාගනියි. මේ නිලතන්ත්‍රය එන්... නමැති ප්‍රාදේශික නගරයට අයත් වන්නකි. (ගොගොල්ගේ සමයෙහි ඇතැම් ලේඛකයන් රුසියාවේ ගම් බිම් සහ නගර සිය කෘතීන්හිදී හැඳින්වූයේ, ඒවායේ මුල් අකුරුවලිනි.)

සොබානිවිච්ගේ නිවසට පැමිණෙන චිචිකෝව්, ගෙහිමියා විසින් සිය බිරියට හඳුන්වා දෙනු ලබන්නේ මෙසේය.

“මේ පැමිණ සිටින්නේ, පැවල් ඉවාන්නොවිච් චිචිකෝහ් මහත්මයා, මේ මහත්මයා අඳුනාගන්න ලැබුණේ රජගෙදරදී.”

මෙතැන රජගෙදර යැයි සඳහන් වන්නේ, ඒ ප්‍රාන්තයෙහි ආණ්ඩුකාර නිවසය.

සොබාකිවිච් ‍ලොකු ඉඩම්හිමියකු වුවද තරමක වහලෙකුට සමාන වී යැයි ගොගොල් පවසයි. හඳුනාගැනීමෙන් ඉක්බිතිව, ‘චිචිකෝෆ් ද සොබාකිවිචිද, ඔහුගේ බිරිය වියොදුලා ඉවනෝවාද, මඳ වේලාවක් ගොළුවන් සේ කතා නැතිව හිඳිති; නිහැඬියාව බිඳින්නේ චිචිකෝෆ්ය.

“පසු ගිය බ්‍රහස්පතින්දා අපි අධිකරණයේ අධිපති තුමා ගේ නිවසෙහි දී මහත්මයා මතක් කළා” ය යි සැමියාත් බිරිඳත් කතා නො කරන බව දුටු විචිකෝච් අන්තිමේ දී නිහැඬියාව බිඳිමින් කී ය.

“එදා මං ගියේ නැහැ” යි කියමින් සොබාකිවිච් පිළිතුරු දුන්නේ ය.

“කොතරම් හොඳ මහත්මයෙක් ද?”

“කාට ද හොඳ මහත්මයා කිව්වේ?” ය යි සොබාකිවිච් පුරුදු පරිදි දොර මුල්ල දෙස බලමින් ඇසුවේ ය.

“අධිකරණයේ අධිපතිතුමා.”

“මහත්මයාට නම් ඔය මිනිහා හොඳ වෙන්න පුළුවනි; නමුත් මිනිහා තරම් මෝඩයෙක් මුළු ලෝකයේ ම නැහැ. මිනිහා ගල් වඩුවෙක්.”

මේ කතාවෙන් අපේ වීරයා මඳක් තෝන්තු විය. එහෙත් මඳ වේලාවකට පසු සිත එක්තැන් කර ගත් ඔහු මෙසේ කී ය.

“ඇත්ත තමයි, කාගේත් දුර්වලකම් තියෙනවා. බලන්න ආණ්ඩුකාරතුමා කොතරම් ප්‍රිය උපදවන කෙනෙක් ද කියා.”

“මොනවා, ආණ්ඩුකාරයා ප්‍රිය උපදවන මිනිහෙක්?”

“ඇයි, එයා ‍එහෙම කෙනෙක් නො වේ ද?”

“මිනිහා ලෝක හොරෙක්.”

“මොනවා, ආණ්ඩුකාරතුමා හොරෙක්?” ය යි විචිකෝච් පුදුමයෙන් නෙත් මහත් කොට බලා ඇසුවේ ය. ආණ්ඩුකාරතුමා හොරෙකු වූ සැටි ඔහුට කෙසේ වත් තේරුම් ගත නොහැකි විය. “මං කවදා වත් ආණ්ඩුකාරතුමා හොරෙක් ය කියා අවිශ්වාස කළේ නැහැ” යි විචිකෝච් නැවත කී ය. “නමුත් ඒ මහත්මයා බොහොම හොඳයි. බොහොම කරුණාවන්තයි.”

“මුහුණ බැලුවා ම පේන්නේ නැද්ද මිනිහා ලෝක හොරෙක් බව? මිනිහ ගේ අතට පිහියක් දුන්නොත් ඉතා සුළු මුදලකට වුවත් මහත්මයා ගේ බෙල්ල කපාවි. උපආණ්ඩුකාරයා ඊට නොදෙවෙනි හොරෙක්. දෙන්න ම හරියට ජාඩියට මූඩිය වගෙයි.”

“ආණ්ඩුකාරතුමා සමඟ මේ මිනිහා ගේ තරහක් ඇති. ඒ වුණත් පොලිස් ඉන්ස්පැක්ටර සමඟ මිත්‍ර ඇති, මිනිහා ගැන මොනව හරි කියල බලන්න ඕනැ” යි කල්පනා කළ විචිකෝච් අනතුරුව මෙසේ කීවේ ය. “මං ඔය හැම දෙනාට ම වඩා කැමතියි පොලිස් ඉන්ස්පැක්ටර්ට, බොහොම යහපත් අවංක කෙනෙකු බව මූණෙන් පේනවා.”

“පල් හොරා!” යි සොබාකිවිච් ගත්කටට ම කෝපයෙන් කීවේ ය. “මහත්මයාට ඕනෑ ම ද්‍රෝහිකමක් කරලා පසු ව මහත්මයාගේ වියදමින් බඩ කට පිරෙන්න කාවි, මං ඔය ලොකු ලොක්කන් සේරම හොඳට අඳුනනවා, උන් සේරම පල් හොරු, මේ මුළු පළාතම හොරුන්ගෙන් පිරිලා. ටිකක් ගණන් ගන්න පුළුවන් හොඳ මිනිහෙකුට ඉන්නෙ අධිකරණ ‍චෝදකයා පමණ යි. නමුත් මිනිහත් කැත ඌරා.”

සොබාකවිච් ලවා නිල තන්ත්‍රය ගර්හාවට ලක් කරන ගොගොල්, ඊළඟට ඔහුගේ මාර්ගයෙන් ම එදවස ජීවත් වූ තවත් ඉඩම් හිමියකුගේ චිත්‍රය මනාකොට ඇඳ දක්වයි. මේ, එකී පුලස්කින් නමැති “අදින්න පුබ්බකයා” හෙවත් මහ මසුරාගේ කතාවෙන් බිඳකි. (122)

“මම පුලස්කින් වගේ මළ පෙරේතයෙක් නො වෙයි. මිනිහට දාසයන් අට සීයක් විතර ඉන්නවා. නමුත් මගේ එක දාසයකු කන කෑම ඌ කන්නෙ නැහැ.”

“කවුද පුලස්කින් කියන්නෙ?” විචිකෝච් කුතුහලෙයන් විමසුවේ ය.

“පල් හොරෙක්” ය යි සොබාකිවිච් කීවේ ය. “ඒ මිනිහා ගේ කුම්මැහිකම ගැන කිව්වොත්, මහත්මයා විශ්වාස කරන්නෙ නැහැ. හිරකාරයන් මිනිහට වැඩිය හොඳට කනවා. මිනිහ ගේ දාසයන් කන්න නැති ව මැරෙනවා.”

“මහත්මයා කියන්නෙ ඇත්ත ද? මිනිහ ගේ දාසයන් හුඟ දෙනෙකු මැරෙනවාද?” යි විචිකෝච් පුදුමයෙන් ඇසුවේ ය.

“මැස්සන් වගේ මැරෙනවා.”

“මැස්සන් වගේ මැරෙනවා? ඔය ඇත්ත ද? ඔය කියන පුලස්කින් ඉන්න පළාතට මෙහෙ ඉඳල හුඟක් දුර ද?”

“හැතැම්ම හතරක් විතර ඇති.”

“හැතැම්ම හතරක්?” ය යි විචිකෝච් නැවත ඇසුවේ ය. තමා ගේ පපුව සෙමෙන් ගැහෙන බව ඔහුට දැනෙන්නට විය. “කොයි පාරෙන් ද යන්න ඕනැ?” ඔහු අනතුරුව ඇසුවේ ය.

“ඔය බල්ලගේ ගෙදරට යන පාර වත් මහත්මයා දැන ගන්නවාට මං කැමති නැහැ. ඔය මිනිහා ළඟට යනවට වැඩිය හොඳයි, හිඟන්නෙකු ළඟට යනවා.”

සොබාකිවිචිගේ කතාවට සවන් දෙන චිචිකෝෆ්, පුලස්කින් නමැති මේ අදින්න පුබ්බකයා, තමාගේ ඊළඟ ගොදුර කරගන්ට නිශ්චය කරගනියි; තම සිත්හි සනිටුහන් කොටගනියි.

ගෙහිමියා ද ඔහුගේ බිරිය ද සමඟ එක්ව කුසට දරා ගත නොහැකි තරමේ දිවා භෝජනයකින් ඉක්බිතිව චිචිකෝෆ් මළදාස ගනුදෙනුවට පිවිසෙයි.

චිචිකෝෆ් කතා කරන්නේ වටින් ගොඩින් වුවද, සොබාකිවිච් කාරණය තේරුම් ගනියි. “මහත්මයාට මළ දාසයන් අවශ්‍ය වෙලා වගෙයි!” යනුවෙන් කිසිදු විස්මයකින් තොරව ඔහු පවසන්නේ එහෙයිනි. එමතු නොවෙයි. මළ දාසයින් විකිණීමට ද ඔහු මුලින් ම කැමැත්ත පළ කරයි. ඒ එක මළදාසයකු රූබල් සියය ගණනේ ය. එහෙත් අන්තිමේ දී ගනුදෙනුව තීන්දු වන්නේ සියලු ම මළ දාසයන් වෙනුවෙන් රූබල් විසිපහක් ගෙවීමෙනි. දෙදෙනා ම මේ ගනුදෙනුව රහසක් වශයෙන් තබාගැනීමට ද පොරොන්දු වූහ.

මේ ගනුදෙනුවලට ඔප්පු ලියන්ටද ඇත. එහෙත් ඒ සියල්ල පසෙක ලා, චිචිකෝෆ් ඊළඟට යන්නේ පුලස්කින් හමු වන්නටය.

පුලස්කින් සමඟ අපේ වීරයා කරන ගනුදෙනුවට පෙර මේ මසුරා හඳුනාගැනීම සුදුසුය. බුදු සිරිතේදී හමුවන අදින්න පුබ්බකද, ජාතක පොතේදී හමුවන ඉල්ලීසද පරයන මේ අන්ත මසුරා ගැන, නිකොලායි ගොගොල් අඳින පද චිත්‍රය අතිශයින් ම චිත්තාකර්ශණීය ය.

මේ බැලුව මැනවි.

අපේ වීරයා බිරාන්ත විය. අනතුරු ව ඔහු අඩියක් පස්සට තබා නෙත් මහත් කොට ගෙහිමියා දෙස බැලුවේ ය. මේ පොත් ලියන මා වත්, පොත කියවන ඔබ වත් කිසි කලක දැක නැති, කිසි කලක දක්නට නො ලැබෙන අපූරු මිනිසුන් අපේ වීරයා දැක තිබෙන බ ව කිව යුතු ය. එහෙත් මෙවැනි මනුෂ්‍යයෙකු ඔහු මුළු ජීවිතයට ම දැක නොතිබිණි. ඔහු ගේ මුහුණ අනෙක් අය ගේ මුහුණුවලට වඩා ඉඳුරා වෙනසි ය.

ලබන සතියට

අදහස්