ඔළුපැලියාව | සිළුමිණ

ඔළුපැලියාව

මම, මගේ නිල ඇඳුම ගලවා වෙස් මාරු කරගත්තා. ඉන්පසුව පයින්ම ගමන් කළේ කෙසේ හෝ මේ මනුස්සයා හමුවීම සඳහා ය.

මම, ඒ විශාල නිවෙසේ මුරකරුවකු සිටින බව දැනගත්තා. ඒ අතරවාරයේ මිදුලේ සිට ඉස්තෝප්පුව පැත්තට ඇදෙන රෝද පුටුවක් දැකගත හැකිවුණා. ඒ ‍රෝද පුටුවේ හිඳගෙන සිටියෙ තලතුනා මහත්මයෙක්. මින් පෙර ඒ මහතා දැක පුරුද්දක් තිබුණේ නැහැ. හිස කෙස් හොඳටම සුදුවෙලා. මම, මුරකරුවාගෙන් ඇසිය යුත්තේ මොනවගේ ප්‍රශ්න ද?

“ඒ රෝද පුටුවෙ ඉන්න මහත්තය මේ පළාතේ කෙනෙක්ද?”

“ඇයි අහන්නේ?”

“මගේ හිතේ ඒ මහත්තයව මට මීට කලින් වෙන කොහේදිද දැකලා පුරුදුයි.”

“කොහේදිද දැකලා පුරුදු?”

“ගිනිගත්හේනේ පැත්තේ”

“අපේ මහත්තය කාලෙකට උඩදි, මගේ හිතේ ඒ පැත්තේ ඉගැන්නුවා.”

“දැන් විශ්‍රාම ගිහිල්ල නේද?”

“හුඟ කාලෙකට උඩදි විශ්‍රාම ගියා”

“මගේ හිතේ අවුරුදු 8 කට විතර උඩදි”

“හරි. මේ මහත්තයත් ඒ පැත්තේ ඉගැන්නුවද?”

“සුළු කාලයක් ඉගැන්නුවා”

“මේ මහත්තයට අපේ මහත්තයව මුණ ගැහෙන්ට උවමනාද?”

“නැහැ... මොකක්ද මහත්තයගේ නම මට හරියට මතක නෑ”

“ඔලිවර් ඔළුපැලියාව”

“විදුහල්පති කෙනෙක් වෙලත් හිටිය කිව්ව නේද?”

“ඔව්”

“දැන් රෝද පුටුවට වෙලා කොච්චර කාලයක් වෙනවාද?”

“මම මෙහේ වැඩට ආවේ අවුරුදු දෙකකට උඩදි. ඊට අවුරුද්දකට විතර උඩදී තමයි පැරලයිස් වුණේ...”

“දැන් මුකුත්ම කරන්නේ නැහැ...”

“දුවෙක් ඉන්නවා. දොස්තර නෝනා කෙනෙක්. එයා එනවා අපේ මහත්තයව බලලා ප්‍රතිකාර කරලා යන්ට. ඒත් ඉඳහිට තමයි...”

“ඒ දොස්තර නෝනා වැඩ කරන්නේ මහ ඉස්පිරිතාලේ නේද?”

“ඔව් කොහොමද දන්නේ?”

“මට මතකයි ඒ කාලේ බාල වයස්කාර දරුවා”

“දොස්තර නෝනව අඳුනනවද?”

“නෑ. විශේෂ ඇඳුනුම් කමක් නෑ.”

ඔළුපැලියාව මහත්මයා ඉස්තෝප්පුවේ සිට මිදුල පැත්තට රෝද පුටුවෙන් එන බවක් මට පෙනුණා. මොනවා වුණත් ඔහු හමුවී යන එක තමයි හොඳ?

“කාවද හොයන්නේ...? තරමක් වෙව්ලන ස්වරූපයෙන් ඔළුපැලියාව මහත්මයා මා ඇමතුවා.

“නෑ... මම මේ මහත්මයාව යම්තමින් දැකලා මේ නතර වුණේ.”

“මාවද හොයන්නේ?”

“නෑ. මේ දැකලා නතර වුණේ”

“ඉතින් මොකක්ද දැන ගන්ට උවමනා”

“මහත්මයා උගන්වන කාලේ මට මතකයි”

“කොහොමෙයි මාව මතක?”

“යම්තමින් මතකයි”

“මගෙන් යමක් ඉගෙන ගත්තද?”

“නෑ. ඒ තරම් වාසනාවක් ලැබුණෙ නෑ.”

“මොනවද මගෙන් දැන් දැනගන්ට උවමනා?”

“මුකුත් අමුතු දෙයක් නෙවේ”

“එහෙමනන් මට කරදර කරන්ට එපා. යන්න. කොහේ ඉඳලද ආවේ? මොකටද ආවේ.

“මම, මේ ළඟ පහළ...”

“මොකක් හරි ඔත්තුවක් උඩද ආවේ”

“මේ ගෙදර කාමරේක කවුරු හරි කෙනෙක් නතර වෙලා ඉන්නවද?”

“ඔහේ මොනවද ඔය ප්‍රශ්න කරන්නේ?”

නෑ... නෑ... සමාවෙන්න. කවුරු හරි කෙනෙක් නතර වෙලා ඉන්නවද කියල විතරයි.”

“සමහරු ඇවිත් නතරවෙලා යනවා. ඒක අපේ ප්‍රශ්නයක්. මෙන්න මේ නම තියෙන කෙනා නතර වෙලා ඉන්නවද?”

“කෝ බලන්න... විජය ශ්‍රී වර්ධන.”

මම හිතන්නේ එහෙම නමක් තමයි.”

“‍එහෙම නම් ස්තුතියි... මම ගිහින් එන්නම්”

මම ලහි ලහියෙන් කාමරයට පැමිණ මගේ නිල ඇඳුම දමා ගත්තා. ලොක්කා හමුවීමට ප්‍රධාන කාමරයට ගියා.

“හරි සර්... මිනිහා නතර වෙලා ඉන්නේ ඔය ඔළුපැලියාව කියන විශ්‍රාම ගිය විදුහල්පතිතුමාගේ කාමරයේ තමයි.

එහෙම නන් සර්ච් පාටියක් යවමු. එහෙම කරන්නට වෙන්නේ මහජන යහපතට මිසක් වෙන කිසිම අතුරු ප්‍රයෝජනයකට නොවන බව හැම කෙනකුටම කියන්න.

අදහස්