අපි මහපොළොවේ පය පාමුල මිනිරන් තෝරන්නේ... | සිළුමිණ

අපි මහපොළොවේ පය පාමුල මිනිරන් තෝරන්නේ...

සාමාන්‍ය මිනිසුන් ය; දාර්ශනික චින්තකයන් ය; ආගමික නායකයන් ය, යනුවෙන් මානව වර්ග තුනක් ඕනෑ ම සමාජයක බිහිවනු දක්නට ලැබෙයි. ඒ ගොන්නෙන් සාමාන්‍ය මනුෂ්‍යයා බොහෝ අවස්ථාවල පාරිසරික සම්පත් සියල්ල ස්වාර්ථය පිණිස ම භාවිත කරගෙන සියල්ල කා බී මිය පරලොව යති. සමාජයක දාර්ශනික චින්තකයෝ ස්වකීය චින්තාවලිය සොයා විමසා උපයාගත් කිසිවක් ලෝකයට ශේෂ කොට තබා කා බී මිය පරලොව යන්නෝ ය. ආගමික නායකයෝ මිනිසා ගත කරන මෙලොව ජීවිතයද, මෙලොව ජීවිතයෙන් පසුව හටගන්නා වූ පරලොව ජීවිතය ද පිළිබඳ ව වඩාත් නිවැරදි කරුණු කාරණා අර්ථ පැහැදිලි කරදී මිය පරලොව යන්නෝ ය. එසේම ඉරද හඳ ද මහ පොළොවද අනිච්චතා සිද්ධාන්තයට ගොදුරු වෙමින් චිරාත් කාලයක් වෙනස් වෙමින් පවතින්නේ ය.

ජර්මන් ජාතික චින්තකයෙක් වශයෙන් මෙලොව එළිය දුටු කාල් මාක්ස් ලෝකය වෙනස් කරන්නට පොතපත ලියූ දාර්ශනිකයෙක් විය. ඒ අදහසින් ඔහු ලියු කෘතියේ නම දාස් කැපිටාල් යන්නයි. එම කෘතියෙහි ලා ඔහුගේ මූලිකම වශයෙන් විග්‍රහය වුයේ ශ්‍රම පරාරෝපණය පිළිබඳ ව යි. ශ්‍රම පරාරෝපණය යන වචනය භාවිත සමාජය තුළ නිතර අසන්නට ලැබෙන්නේ ශ්‍රමය සූරාකෑම යන වචනයෙනි. භෞතිකවාදී කාල් මාක්ස්ගේ චින්තනය පාරභෞතිකත්වය දක්වා නොගියේ ය. ද්වන්ධාත්මක භෞතිකත්වය සමාජ ඓතිහාසිකත්වය ඔස්සේ විස්තර කරනු ලැබීය.

ආදිතම යුගයේ වහලා සහ වහල් හිමියා අතර ද පසුව සේවකයා සහ වැඩවසම් රදලයා අතර ද අනතුරුව කම්කරුවා සහ ධනපතියා අතර ද වශයෙන් සමාජය පරිණාමය වූ බව මාක්ස් දක්වා තිබේ. ඩාවින්ගේ පරිණාම වාදයට ඌනපූර්ණයක් හැටියට මාක්ස් ඉදිරිපත් කළ එකී පරිණාම කාල සීමාව තුළදී වහල්හිමියා විසින් අනවරතයෙන් වහලා සුරා කනු ලැබීය. වහලාගේ ශ්‍රමය සූරා කෑවේ ය. වහලාගේ අයිතිවාසිකම් සූරා කෑවේය. වහලාගේ බත් වැටුප සූරා කෑවේය. වහලා සතු දැනුම හා ඤාණය සුරා කෑවේය. වහලා සතු කායික ශක්තිය සූරා කෑවේය. එකී පරිණාම කාල සීමාව තුළදී වැඩවසම් රදලයා විසින් අනවරතයෙන් සේවකයා සුරා කනු ලැබීය. සේවකයාගේ ශ්‍රමය සූරාකෑවේය. සේවකයාගේ අයිතිවාසිකම් සූරා කෑවේය. සේවකයාගේ බත් වැටුප සූරා කෑවේය. සේවකයාගේ සතුදැනුම හා ඤාණය සුරා කෑවේය. සේවකයාගේ සතු කායික ශක්තිය සූරා කෑවේය. ධනපතියා විසින් ද අනවරතයෙන් කම්කරුවා සුරා කනු ලැබීය. කම්කරුවාගේ ශ්‍රමය සූරාකෑවේය. කම්කරුවාගේ අයිතිවාසිකම් සූරා කෑවේය. කම්කරුවාගේ බත් වැටුප සූරා කෑවේය. කම්කරුවා සත වූ දැනුම හා ඤාණය සුරා කෑවේය. කම්කරුවා සතු කායික ශක්තිය සූරා කෑවේය.

මේ ආකාරයෙන් යුගයෙන් යුගයට මිනිස් සමාජයේ බහුතර කොටසක් සූරාකෑමට ලක්වීම නිසා සමාජය තුළ අසීමිත ධනවත් පන්තියක් ද, අන්ත අසරණ දුප්පත් පිරිසක්ද බිහිවී තිබේ. ධනවත් මිනිසා එසේ වී ඇත්තේ අනිකාගේ ශ්‍රමය පරාරෝපණය වීම නිසා යැයි ද එකී සමාජය තුළ පවතින අසමතුලිත භාවය සමතුලිත එකක් බවට පත්කළ යුතු යැයි ද, ඒ සඳහා කම්කරු පන්තිය එකතු විය යුතු යැයි ද, සන්නද්ධ අරගලයක් කළ යුතු යැයි ද කාල් මාක්ස් එම කෘතියෙහි ලා කීය. ඒ අනුව බොහෝ රටවල කාල් මාක්ස්ගේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට ගොස් ඇතැම් රටවල් පූර්ණ වශයෙන් ද, ඇතැම් රටවල් අර්ධ වශයෙන් ද, ඇතැම් රටවල් කිසිඳු ක්‍රියාත්මක විමක් නොමැතිවද මිලිනව ගියේය. නමුත් දැන් ඇති පන්ති පරතරය සම කිරීමට ශ්‍රී ලංකාව තුළද වරින් වර උත්සාහ දැරුව ද එ්වා එසේම කඩාකප්පල් වී ගියේය. ආගමික රටක් වන ශ්‍රී ලංකාව තුළ අනාගමිකත්වයෙන් ආ මාක්ස්වාදියෝ පැරදුණහ. ගිරාපෝතක මාක්ස්වාදීයෝ යන නාමය පමණක් ශේෂ විය.

මිනිස් සමාජයේ ඇතිවන ඇති නැති පරතරය වන්නේ කෙසේද යන්න පිළිබඳ ව බුදු දහමෙහි ද දක්වා තිබේ. බුදු දහමේ දක්වන්නේ මාක්ස්වාදයට වඩා හාත්පසින් ම වෙනස් වූ වෙනත් මානසික ස්වභාවයක් මේ තුළ පවතින බවයි. ඒ ශ්‍රම පරාරෝපණය නොව ශ්‍රමය සහ මිල මුදල් බෙදා හදා ගැනීම පිළිබඳ ව යි. ස්වාමියා හා සේවකයා අතර සහ සම්බන්ධතාවක් පැවතිය යුතු ය. ස්වාමියාගෙන් පමණක් නොව සේවකයාගෙන් ද ඉටුවිය යුතු යුතුකම් රාශියකි. අයිතිවාසිකම් වෙනුවට යුතුකම් ආදේශ වී තිබේ. ස්වාමි සේවක සම්බන්ධය යනුවෙන් ද එය දක්වයි. කිසියම් සමාජයක ඇති නැති පරතරය සහමුලින් නැතිකර දමා සමස්ත සමාජය ආර්ථික හා ආධ්‍යාත්මික වශයෙන් එකම තලයක රඳවා තබන්නට පන්ති වෛරය හා විප්ලවය කාල් මාක්ස්ගේ විසඳුම වුව ද බුදුසමයෙන් ඒ මතවාදය සහමුලින් ම කාල් මාක්ස් මෙලොව ජනිත වීමටත් ප්‍රථම ප්‍රතික්‍ෂේප කොට දමා තිබේ. ස්වාමි සේවක දෙපක්‍ෂය ම කළ යුතු යුතුකම් දක්වා තිබේ. ඒ තුළ ශ්‍රම පරාරෝපණය වෙනුවට ගොඩනැගෙන්නේ ශ්‍රමයේ බලයයි. ඒ අනුව පරහිතකාරී මෛත්‍රි චිත්තයෙන් පිරි පිරිසක් බිහි වේ. ලෝකය එකම ආධ්‍යාමික භෞතික සිතිවිලි යායක් බවට පත්වන අසිරිමත් ඝෝෂාවේ ආරම්භය එයයි.

දාර්ශනික චින්තකයන්ද ආගමික නායක යෝද විවිධ යෝජනා ඉදිරිපත් කර තිබුණද, එදාමෙදා තුළ සමාජයේ ශ්‍රමයට නිසි ලංසුව නොලැබුණේය. නොලැබෙන්නේය. මේ ජන විඤ්ඤාණය ජන කවියා තුළද සහිත්‍යකරුවා තුළද නිර්මාණ කරුවා තුළද, ඔවුන්ගේ භාෂාවෙන් ලියවුණෝය.

අතීත සිංහල සමාජයේ බෝගල පතල, ආටිගල පතල, වැනි මහා මිනිරන් පතල් වල පවා මෙකී අමනුස්ස බවේ ඛේදවාචකය එලෙසම හොල්මන් කරන්නට විය. මිනිරන් මඩුවල ස්වකීය යෞවනය තලතුනා කළ තරුණ තරුණියෝ මිනිරන් තෝරමින් ජීවතය ගෙවූහ. ඇතැම් විට මහ පතල්වල ජීවිතය පවා දන් දුන්හ. තවත් විවිධදේ දුන්හ. බොහෝවිට කැලෑ නිීතිය රජයන මිනිරන් පතලේ දිළිසෙන මිනිරන් අතර දෝලනය වන ජීවිත කතාව කඳුළු වලින් ලියා තැබෙන්නකි. ඒ කඳුුළු බින්දුවේ අරුණැල්ල දුර ඈතට දිලිසෙන දිස්නයක් සේ පෙනුණත් ඉන් ලැබෙන වාසිය හෝ ලාබය පතලේ දුක් විඳින මිනිසුන්ට ලැබෙන්නේ නැත. මැණික්පතලට වඩා අතිශයින් ම වෙනස් වූ මිනිරන් පතල ද අතර යම් යම් සමානකම් ද නැත්තේ නොවෙයි. දෝනා ගමන් කිරීම, මේ දෙකේ සමාන ලක්‍ෂණයකි.

ඇතැම් විට ඒ දෝනාවක් බිම් මට්ටමට වඩා කොපමණ ගැඹුරින් තිබෙන්නේ දැයි කිව නොහැකි තරම් ය. එය යම් තරමින් හරි කියනවානම් කිව හැක්කේ මහ පොලොවේ පය පාමුල සිට මිනිරන් තෝරන බවයි. මිනිරන් මිලකොට ලබන ආර්ථික දිස්නය ඒ සොයා කැපවෙන ජීවිත වල දකින්නට ඇත්තේ නැත. අඳුරු පතල් දෝනාවේ ඈතට ඈතට යන ගමනේ දුක්ඛදායක සිතිවිලි ශක්තිමත් බවින් පුරවාලනු ලබන්නේ හිත පතුලේ රඳවාගෙන සිටින වර්ණවත් බලාපොරොත්තු පමණකි. රෑ දවල් නින්දත් නොනින්දත් මෙ සසරේ ජීවිතයත් මරණයත් අතර හැල්මේ දෝලනය වන මේ සංසාර ගමනේ ඉම තවකොයි කොතරම් ඈත ද?

අදහස්