සර්ප විෂ මරණ ගැන වැඩි අවධානයක් අවශ්‍යයි | සිළුමිණ

සර්ප විෂ මරණ ගැන වැඩි අවධානයක් අවශ්‍යයි

 ලෝකයේ දක්නට ලැබෙන සර්ප විශේෂ 3000 අතුරින් ජෛව විවිධත්වයෙන් සපිරි ශ්‍රී ලංකාවේ විවිධ සර්ප විශේෂ 96 ක් ම දක්නට ලැබෙන අතර අප රටෙහි නිවර්තන කලාපිය දේශගුණය සහ භුමි ලක්ෂණ ඔවුන්ගේ පැතිරීමට ප්‍රධාන තම හේතුව වී ඇත. මෙම විශේෂයන් ගෙන් 50 ක් ම අප රටට ආවේණික වුවන්ය. ඇතැම් විශේෂ දිවයින වටා පිහිටි මුහුදේ මෙන්ම උසම ප්‍රදේශය වූ හෝර්ටන් තැන්න දක්වාද දක්නට ලැබෙන අතර තවත් විශේෂ ඇතැම් භූගොලිය හා දේශගුණික ස්ථානවලට පමණක් සීමාවී ඇත.

මේ දිනවල පාර්ලිමේන්තුවට ඇතුළුව සිටියදී සොයා ගත් සර්පයින් පිලිබදවත්ල අධික වැසි සහ කුණාටු සහිත සුළං කාලගුණයත් සමග ධීවරයින්ගේ දැල් වලට අසුවූ මුහුදු සර්පයින් (නාර ආයතනයට අනුව මෙම සතුන් මුහුදු ආඳන් වශයෙන් හඳුනාගෙන ඇත) පිළිබඳවත් නොයෙකුත් ආකාරයේ ප්‍රවෘත්ති පුවත්පත්වල දක්නට ලැබ. එහෙත් සර්පයින් නිසා සිදුවන මරණ පිලිබඳ ජන මාධ්‍යවල වාර්තා වන්නේ කලා තුරකින් බැවින් ඒ පිළිබඳව අවධානය යොමුවන්නේ ද ඉතා මඳ වශයෙනි.

සර්ප දෂ්ඨ කීරීම්

ලෝකයේ වසරකදී සිදුවන සර්ප දෂ්ඨ කිරීම් මිලියන 1-2 වන අතර මෙයින් 50000 - 100000 පමණ සංඛ්‍යාවක් මිනිසුන්ට මරණය ගෙන දේ. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේපවතින සංඛ්‍යා ලේඛණ දත්ත අනුව 2007 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා දිවයිනේ පිහිටි සියලුම රජයේ රෝහල්වල සර්ප විෂ ශරීර ගත වීමෙන් රෝගීන් 358003 ක් ඇතුලත්ව ඇති බවත් එයින් මරණ 1000 ට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති බවත් සඳහන් වේ.

ලංකාවේ වෙසෙන සර්පයින් අතරින් පස්දෙනෙකු පමණක් විෂ සහිත වන අතර එම විෂ නිසා කෙනෙකු මරණයට පත්වීමට ඇති අවස්ථා බොහෝය. නයා, තිත් පොළඟා, තෙල් කරවලයා, දුනු කරවලයා, වැලි පොළඟා එම විශේෂ වේ. කෙසේවුවද ශ්‍රී ලංකාවේ වසරකට අලි ඇතුන් පහරදී මියයන මිනිසුන් ගණන 88 ක් පමණ (2016) වන අතර රාගම රෝහලේ වෛද්‍ය පීඨය මගින් මෑතකදී කරනු ලැබූ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 80000 පමණ අය සර්ප දෂ්ඨන වලට ලක් වන අතර ඉන් 400 දෙනෙකු පමණ මරණයට පත්වන බව වාර්තාවේ. එහෙත් ඇතැම් මරණ පිලිබඳ වාර්තා නොවන බැවින් මෙම සංඛ්‍යාව මීටත් වැඩි විය හැකිය. මෙයින් පෙනෙන්නේ මෙමගින් සිදුවන මරණ සංඛ්‍යාව වැඩි ප්‍රසිද්ධියක් ලැබෙන කරුණක් වූ අලිඇතුන් නිසා මියයන සංඛ්‍යාවටත් වඩා සාපේක්ෂව වැඩි බවය. එබැවින් ඒ පිළිබඳව මනා අවධානයක් යොමුකළ යුතු වැ ඇ

සර්ප විෂවලින් ඖෂධ

සර්ප විෂ එන්සයිම් සහ විවිධ විෂ මෙන්ම වෙනත් ද්‍රව්‍ය සහිත සංකීර්ණ ප්‍රෝටීනයකි. සර්ප විෂ නිසා කෙනෙකු මරණයට පත්වන්නේ ප්‍රධාන වශයෙන් සෛල විෂ, ස්නායු විෂ සහ රුධිර විෂ නිසාය. ස්නායු විෂ මගින් හෘදය වස්තුවේ මාංශ පේශි අඩපණ කරන අතර මෙන්ම ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ. රුධිර සෛලවල විෂ ඇතුල්වීම වීම නිසා සහ රුධිරය කැටි ගැසීම නිසාය. ඇතැම් රටවල සර්ප විෂ ප්‍රතිවිෂක් ලෙස ද භාවිත කරනු ලැබේ. මෙසේ විෂ ලබාගන්නේ සර්පයින්ගේම විෂ දළ තුලින්ය. එසේ ලබා ගත් විෂ කුඩා ප්‍රමාණයක් අශ්වයෙකුට හෝ බැටළුවෙකුට එන්නත් කොට ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් ඇතිකොට එහිදී සෑදෙන ප්‍රතිදේහ එම සත්වයාගේ ලේ වලින් ලබාගැනීමෙනි. මෙකී ප්‍රතිදේහ සර්ප විෂ පිළිකා, ආඝාතය, හෘද රෝග අධිරුධිර පීඩනය වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගත හැකිය.

සමාජවිද්‍යායාත්මක පසුබිම

ශ්‍රී ලංකා ජාතික රෝහලේ විෂ තොරතුරු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ විෂ වීම් පිලිබඳ දත්ත රැස් කරන ප්‍රධාන ආයතනයකි. අප කළ විමසුමකදී එහි කාර්ය මණ්ඩලය පවසා සිටියේ විෂ ශරීර ගත වීමෙන් වාර්ෂිකව ඇතුලත්වන රෝගීන් ගෙන් බහුතරයක් සර්ප විෂ ශරීර ගත වීමෙන් ඇතුලත් වන බවයි. එසේ සිදුවූ සර්ප දෂ්ඨන වලින් සියයට 70ක්ම සිදු වී ඇත්තේ ශ්‍රම බලකායේ පසුවන පුද්ගලයන්ට බව වැඩි දුරටත් අනාවරණය විය. ශ්‍රම බලකාය යනු රටක සිටින ඉතා වටිනා මානව සම්පතකි. නමුත් දිගින් දිගටම රටෙහි ශ්‍රම බලකාය මේ අයුරින් සර්ප දෂ්ඨනයට ලක්වීම නිසා ආර්ථික, සමාජ හා දේශපාලනික ගැටළු රැසක් පැණ නැගීම ස්වාභාවිකය.

මේ අතර අප කළ සමීක්ෂණයකදී අනාවරණය වූයේ මෙසේ සර්ප දෂ්ඨනයට ගොදුරුවන්නේ බොහෝවිට පවුලේ ගෘහ මූලිකයා බවයි. ඊට අමතරව ගර්භණී මව්වරුන්, කුඩා දරුවන් මෙන්ම වියපත් පුද්ගලයින් ද මෙවැනි කනගාටුදායක ඉරණමකට ගොදුරුවන බව අනාවරණය විය.

පවුලේ ගෘහමුලිකයා පවුලට ප‍්‍රධාන ආදායම සපයන අතර ඔහු යම් හෙයකින් සර්ප දෂ්ඨනයට ලක්වුවහොත් එම පවුලේ ආර්ථිකය බිඳ වැටීමකට ලක්විම නොරහසකි. පවුලේ ආර්ථිකය දුර්වල විමේන් පවුල තුළ විවධ සමාජ, සංස්කෘතිකමය වශයෙන් විවිධ ගැටලුකාරි තත්ත්වයන් රැසක් උද්ගතවන අතර එය සමාජමය ගැටළුවක් දක්වා වර්ධනය වනු ඇත. මේ හේතුවෙන් සර්ප දෂ්ඨනය අවම කර ගැනිම සම්බන්ධයෙන් සියලු දෙනාගේම නෙත් ඒ කෙරෙහි යොමුවිය යුතු කාලය ඵළඹී ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සර්ප දෂ්ඨකිරීම් ඉහළ මට්ටමක

ශ‍්‍රී ලංකාවේ ඉහලම සර්ප දෂ්ඨන ප‍්‍රමාණයක් වාර්තාවන දිස්තී‍්‍රක්කයක් ලෙස අනුරාධපුර දිස්ත‍්‍රීක්කය හඳුනාගත හැකිය. අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුළ සර්ප වාස භුමිවලට උචිත පාරසරික තත්ත්වයන් පැවතිම සහ කෘෂි ආර්ථිකය බහුලව එම ප‍්‍රදේශයේ ව්‍යාප්ත විම සර්ප දෂ්ඨන වැඩිවිමට හේතුවී ඇත.

2005 සිට 2016 වර්ෂය දක්වා සර්ප විෂ ශරිරගත වීමෙන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලට පමණක් රෝගින් 14987 ක් ඇතුළත්ව ඇති අතර එයින් 9735 ක් පිරිමින් වන අතර 5252 ක් ගැහැණුන් වේ. පවුලේ අවශතාවයන් සඳහා ගෙයින් පිටවන පිරිමින් බාහිර පරිසරයට වැඩි වශයෙන් නිරාවරණය වන බැවින් බහුලවශයෙන් සර්ප දෂ්ඨනයට ගොදුරුවන්නේ ඔවුන් බව පැහැදිළි වේ.

ප‍්‍රාදේශීය වශයෙන් ගත් කල ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාශය තුළ අනෙක් ප‍්‍රදේශවලට සාපේක්‍ෂව ඉහළ සර්ප දෂ්ඨන ප‍්‍රමාණයක් වාර්තා වී ඇත. අප කළ පර්යේෂණයක දි 2016 වර්ෂයේ පමණක් ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාසය තුළ රෝගින් 300 කට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වි ඇත. එම පිරිසෙන් බොහොමයක් දෙනා සර්ප දෂ්ඨනයට ගොදුරු වී ඇත්තේ හේන්, කුඹුරු හා ගෙවතු යනාදි වගාබිම් පරිසර පද්ධති ආශ‍්‍රිතවය.

මෙම ගලෙන්බිඳුණුවැව කලාපයේ ජිවත්වන්නේ නිරන්තරයෙන් මහපොළොවත් සමඟ පොර බදා එදාවේල සරිකර ගන්නටඋත්සාහ දරණ අහිංසක මිනිසුන්ය. ඔවුන් කෘෂි ආර්ථිකයේ නියැලී තම අඹු - දරුවන් ජිවත්කරන්නට ගන්නේ අපරිමිත වෑයමකි. මේ අයුරින් නිරන්තරයෙන් පරිසරයත් සමඟ ගැටෙන මිනිසුන් සර්ප දෂ්ඨනයට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාවක් පවතී.

සියලු කරුණු අධ්‍යනය කිරීමේදි පැහැදිළි වන්නේ සත්‍යවශයෙන්ම සර්ප දෂ්ඨනය ගැටලුකාරි සමාජමය ප‍්‍රශ්න රැසක් නිර්මාණය කරන බවය. නමුත් එයට එකම විසඳුම සර්පයන් දුටු තැන මරා දැමීම නොව සර්ප දෂ්ඨනය වලක්වා ගැනීමට පියවර ගැනිමය.

පාරිසරික කරුණු

සර්පයන් යනු හුදෙක් විෂඝෝර සතුන් පමණක් නොව ඔවුන් පරිසරයේ ඇති සමතුලිතාවය රැක ගැනිමට සොබාදහමෙන් මැවු අපුර්ව සත්ත්ව කොටසකි. දැනට වසර 40 කට පෙර මාර්ටින් වික්‍රමසිංහ සූරින් විසින් ලියනලද මඩොල් දුව නවකතාවෙහි ගැමියන් විසින් සර්පයින් දුටුවිට ඔවුන් නොමරා මලුවල බහා දුපත්වලට ගෙනගොස් දමන බව සඳහන්ය. සර්පයකු දුටු විට බියට පත්වී ඔවුන් මරණයට පත්කිරීමට ඇතැම් අය පෙළඹුන ද ලංකාවේ වෙසෙන සර්පයින්ගෙන් විෂ අධික වන්නේ සර්පයින්ගෙන් පස් දෙනෙකු පමණකි. ශ්‍රී ලංකාවේ පවත්නා නීති අනුව අනෙකුත් සර්පයින් මැරීමද, පණ තිබියදී හෝ මියගොස් තිබියදී හෝ සතෙකු හෝ කොටසක් හෝ බිත්තර හෝ ප්‍රවාහනයද නීති විරෝධීය.

පාරිසරික තුළනය සඳහා අවශ්‍ය සත්වයන් ලෙස සර්පයන් ද පරිසරයේ ජිවත් විය යුතු අතර ඔවුන්ට ඒ සඳහා අයිතියක් ද ඇත. එහි අයිතිය කිසවෙකුටත් උදුරා ගැනිමට අවස්ථාවක් නැත. කළ යුත්තේ සර්පයන් පරිසරයෙන් ඉවත් කිරිම නොව ඔවුන්ගෙන් ආරක්‍ෂාවීමට වග බලා ගැනිමය. මෙය එක් සමාජ කණ්ඩායමකට පමණක් පැවරෙන වගකිමක් නොව සමාජයේ සෑම දෙනාටම පැවෙරන වගකීමකි.

විශේෂයෙන්ම අදාළ ප්‍රදේශවල ජනතාව සහ පාසල් සිසුන් සඳහා හදිසි ප්‍රථමාධාර ක්‍රම ඇතුළු දැනුවත්කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමටත්, අදාළ ඖෂධ හා ප්‍රතිකාර ළඟම පිහිටි ෙරාහල්වලින් ලබා ගැනීමට පහසුකම් සැලැසීමටත් අදාළ ආයතන විසින් කටයුතු කළ යුතුය.

එච්. එම්. තුසිත ප්‍රියංකර ඒකනායක,
කේ. එල්. වත්සලා ගුණතිලක
කොළඹ විශ්ව විද්‍යාලය

අදහස්