බෙල්ලන්විල නාහිමියන්ගේ අගය කීමට භාෂාව ප්‍රමාණවත් නැත! | සිළුමිණ

බෙල්ලන්විල නාහිමියන්ගේ අගය කීමට භාෂාව ප්‍රමාණවත් නැත!

 අපවත්වී වදාළ අපේ බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ සුවහසක් ලාංකේය ජනයාගේ මෙන් ම ලෝක බෞද්ධ ජනයාගේ ද ගෞරවාදරයට පත් මහා යතිවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ ව්‍යක්ත කථිකයෙකි. මධුර දහම් දේශකයෙකි. ශාස්ත්‍රීය පර්යේෂකයෙකි. බෞද්ධ කලාව කෙරෙහි නිපුණ පරිචයකින් හෙබි හිමි නමකි. සුවහසක් ජනයාගේ ජීවන මාර්ගය හෙළි පෙහෙළි කළ මාර්ගෝපදේශකයකි. වරෙක ජාතික සටනේ අභීත නායකයෙකි. දේශපාලන ධාරාවේ නොබියව අදහස් ඉදිරිපත් කරන දේශපාලන විශ්ලේෂකයෙකි. ශාසනයේ උන්නතිය වෙනුවෙන් ජීවිතයම කැප කළ සසුන් වත් පුරණ පරිපූර්ණ භික්ෂුවකි. පෞද්ගලිකව මා හඳුනාගත් පරිදි උන්වහන්සේ කල්‍යාණ මිත්‍රයෙකි. මා මේ මොහොතේ මෙම ලිපිය ලියනු ලබන්නේ අතීතය විසින් සිහිගන්වන ලද ‍එම මතකයන් පිළිබඳව මා හදවත තුළ දැඩි වේදනාවත් දැඩි ශෝකයත් උන්වහන්සේ පිළිබඳව ඉස්මතු කරමිනි. උන්වහන්සේගේ හදිසි අභාවය ලෝකවාසී බෞද්ධ ජනතාවට ද එවැනි හැඟීමක් නිර්මාණය වී ඇතැයි මාගේ හැඟීමයි.

පවුල් පසුබිම

උන්වහන්සේගේ පවුල් පසුබිම් පිළිබඳව සඳහන් කිරීමේදී බෙල්ලන්විල පදිංචිව සිටි ඕමත්තගේ පෝල් පෙරේරා හා දෝන බුත්සිලිනා ද සිල්වා යන දෙපළ මවුපියන් වූහ. එම දෙපළට පිරිමි දරුවන් 6 දෙනෙකු විය. ඔවුන් අතරින් හතරවැනියා වූයේ ඕ.පී. පෙරේරා ය. පසුව එම දරුවා බෙල්ලන්විල විමලරතන නමින් ශාසනයට ඇතුළු විය. මෙහි ඇති තවත් සුවිශේෂී සිදුවීමක් වනුයේ තුන්වන දරුවා වන හර්බට් පෙරේරා බෙල්ලන්විල ධම්මරතන නමින් එම විහාරස්ථානයේදී ම මුලින් පැවිදි වීමයි. උන්වහන්සේලා දෙනම පැවිදි වූයේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙනි. බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමියන් යනු දුරදක්නා නුවණින් යුතු මහ තෙර නමකි. බොහෝ අංශයන්හි පැතිර ගිය හැකියාවන්ගෙන් සහ මනා පෞරුෂයකින් වැඩසිටිය උන්වහන්සේගේ දුරදක්නා නුවණ බෙල්ලන්විල විහාරස්ථානයටත් තම ශිෂ්‍ය ප්‍රජාවටත් යහපත් ප්‍රතිඵල රාශියක් උදා කිරීමට හේතු විය. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හා බෙල්ලන්විල ධම්මරතන වැනි යතිවරු දෙපළක් නිර්මාණය කිරීමේ ගෞරවය නොබඳව උන්වහන්සේට ලැබිය යුතු ය.

අලුත් නිබන්ධනයක්

උන්වහන්සේ වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් හා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් අවශ්‍ය කරන මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබාගත්හ. පසුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් හා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා මනා දැනුමකින් යුත් උපාධිධාරී භික්ෂුවක් බවට පත්විය. බෙල්ලන්විල විමලරතන හිමියෝ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වූහ. ශාස්ත්‍රීය ලිපි ලිවීමට හා ශාස්ත්‍රීය ප්‍රකාශන සමාජයට නිකුත් කිරීමට වැඩියෙන් ඉදිරිපත්වූ ශිෂ්‍යයන් ටික දෙනා අතරින් ද විමලරතන හිමියෝ කැපී පෙනුණහ. ලේඛන ශිඛා නමින් උන්වහන්සේගේ ම සඟරාවක් පවත්වාගෙන ඒමට තරම් උන්වහන්සේගේ ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි උනන්දු වූහ‍. එය එකල වැදගත් ශාස්ත්‍රීය ලිපි එකතුවක් වූ අතර එමඟින් සමකාලීන විද්වතුන් හඳුනාගෙන සමීප සබඳතා ඇති කර ගැනීමට ද අවස්ථාවක් ඇති කර ගත්හ. තත්කාලීනව ලබාගත් ලේඛන කුසලතාව නිසාම උන්වහන්සේගේ ජීවිතයේ අවසාන කාලය තෙක් ම වසරකට හෝ දෙකකට සැරයක් කුමන හෝ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට උන්වහන්සේගේ අවිවේකී ජීවිතය ද බාධාවක් නොකර ගත් අතර එමඟින් මහත් මානසික ප්‍රීතියක් ලබාගත්හ. 1977 – 1980 යන කාල පරිච්ඡේදය විමලරතන හිමියන්ගේ සුවිශේෂී කාල පරිච්ඡේදයක් වන අතර ලන්ඩනයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීතියන් ස්මාට් යටතේ මහා පුරුෂ සංකල්පය යන මැයෙන් පර්යේෂණ නිබන්ධනයක් ලියා ආචාර්ය උපාධිය ලබාගත්හ.

ජ’පුර සරසවියේ කුලපති

1981 වර්ෂයේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ වසර 22 කට අධික කාලයක් කථිකාචාර්ය වරයෙකු ලෙසත් මහාචාර්යවරයකු ලෙසත් පසුව එම විශ්වවිද්‍යාලයේම 2005 වර්ෂයේ සිට කුලපති තනතුර හොබවමින් අවසානය දක්වාම කටයුතු කළහ‍‍.

බෙල්ලන්විල නාහිමියෝ බෙල්ලන්විල රජමහා විහාරය තම ආගමික හා ජාතික සේවාව ක්‍රියාත්මක කිරීමට කේන්ද්‍රස්ථානය කොටගත්හ. බෙල්ලන්විල විහාරයේ ආධිපත්‍යය තම වැඩිමහල් සහෝදරයා වන බෙල්ලන්විල ධම්මරතන හිමියන් නිල වශයෙන් ආධිපත්‍ය ඉසුලුවද එයට අයත් වගකීම හා කාර්යභාරය හැමවිටම සපුරාලනු ලැබුවේ බෙල්ලන්විල විමලරතන නාහිමියන් ය. අපවත්වී වදාළ බෙල්ලන්විල සෝමරතන නාහිමියන්ට නොදෙවැනි වෙමින් තම ගුරුවරයාගෙන් ලද ආභාසයන් අධ්‍යාපනික වශයෙන් ලත් පන්නරයත් එයට උපකාරී කරගත්හ. ප්‍රජා සංවර්ධන පදනම මුල්කරගනිමින් ගමේ සහ අවට ගම්වල තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් උරුම කරන දෙනු වස් දැනුම ආකල්ප හා කුසලතාවයන් ගෙන් පෝෂණය කිරීමට පියවර ගත්හ. 1980 දී ආරම්භ කරන ලද ප්‍රජා සංවර්ධන පදනම පාසල් හැරගිය රැකියාවන් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට ස්වයං කුසලතා දියුණු කර ජීවිතය ජයගන්නට තෝතැන්නක් බවට පත් කරන්නට බෙල්ලන්විල නාහිමිෙයා් උත්සාහ ගත්හ.

අනුනායක ධ‍ූරයට

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානය ද අයත් වන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි මෙන් ම උතුම් අනුනායක පදවිය ඉසුලූ අතිගරු රද්දැල්ලේ පඤ්ඤාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව ප්‍රධාන ලේඛකාධිකාරි ධූරයට බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පත්වූහ. අප සංඝ සභාව මුල්කරගනිමින් ක්‍රියාත්මක කළ ශාසනික සේවාව පුරා දශක හතරකටත් වැඩි කාලයක් උතුම් අනුනායක පදවිය හොබවමින් අවසානය දක්වාම අපරිමිත සේවාවක් ඉටු කළහ. බෙල්ලන්විල නාහිමියන් යනු එක් අංශයකට පමණක් සීමා වූ භික්ෂුවක් නොවන අතර රටේ හා ශාසනයේ උන්නතිය වෙනුවෙන් නොයෙක් අයුරින් නායකත්වය ලබාදුන් මානව හිතවාදියෙකි. ජාතික සටන්වලදී මාදුළුවාවේ සෝභිත හිමියනුත් බෙල්ලන්විල විමලරතන හිමියනුත් මාත් උරෙන් උර ගැටෙමින් කළ අරගලය සිහිපත් කරනු ලබන්නේ රට පිළිබඳව ඇති කරගත් සියුම් අභිමානයක් මතකයට නංවමිනි. උන්වහන්සේගේ ජීවිතයේ අවසානය දක්වාම යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අරමුණු කොටගත් ආකල්ප සාධනය කරනු වස් අප සමඟ උත්තුංග මෙහෙයක නියැළුණහ.

උන්වහන්සේ පසුගිය වසර ගණනාව තුළ රටටත් ලෝකයටත් හිත සුව පිණිස අප සංඝ සභාවේ උතුම් අනුනායක ධූරය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය, මහරගම ජාතික අධ්‍යයන ආයතනය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලක සභාව, කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය, ජාතික අධ්‍යාපන කොමිසම, අපරාධ වැළැක්වීමේ කමිටුව, ලෝක බෞද්ධ සම්මේලනයේ ලේඛකාධිකාරී ආදී නොයෙක් අංශයන්හි තනතුරු හොබවමින් තම සේවාව පරත්ථං පටිපජ්ජථ යන බුදුවදනට අනුව යමින් සේවාවන් ඉටු කළහ. එසේම උන්වහන්සේ ලාංකීය බෞද්ධ ථෙරවාදී සම්ප්‍රදායේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස ද ලෝක බෞද්ධ ජනතාවගේ බුහුමානයට ලක්වූහ.

සමාජ සේවය

බෙල්ලන්විල නාහිමියෝ කෙතරම් අවිවේකී වුව ද සතර පේරුවේ දායක දායිකාවන්ගේ අවශ්‍යතා ඉටු කරති. දානයට ද වඩිති. බණට ද වඩිති. මරණයට ද වඩිති. විහාරස්ථානයේ ද කටයුතු නිබඳව සොයා බලති. සංඝ සභාවේ කටයුතු ද කරති. මිනිසුන්ගේ දුක්ගැනවිලි ද අසති. ඒවාට අවශ්‍ය විසඳුම් ද දෙති. වසරකට හෝ වසර දෙකකට වරක් ශාස්ත්‍රීය පර්යේෂණ නිබන්ධන කෘතියක් සම්පාදනය කරති. විහාරස්ථානයේ සතුන්ට ද සලකති. මුළු මහත් ජනතාවගේ ජාති ආගම් භේදයකින් තොරව සුඛ විහරණය පතති. මුළු දවසම අනෙකාගේ යහපත වෙනුවෙන් කැප කරති. විදේශ ධර්මදූත සේවයේ ද යෙදෙති.

උන්වහන්සේගේ ජීවිතයේ හැත්තෑපස් වසරක අතීතය සිහිපත් කිරීමේදී උන්වහන්සේ අපරිමිත සේවාවක් මේ රට වෙනුවෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් සිදු කොට ඇත. ඇතැම් විට එම හැඟීම ප්‍රකාශ කිරීමට තරම් මේ භාෂාව පොහොසත් කමක් නොමැත යයි මට සිතේ. උන්වහන්සේගෙන් නූතන භික්ෂු පරම්පරාවට ද භික්ෂුවගේ කාර්ය භාරය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකි ආදර්ශවත් සංඝ නේතෘවරයෙකි. ඒ අනුව උන්වහන්සේගේ අප සංඝ සභාවටත් සමස්ත ජාතියටත් හා සමස්ත විශ්වයටම ලබාදුන් මෙහෙය අපමණ ය. උන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි.

සාහිත්‍යසූරී ආචාර්ය

ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.