ශ්‍රීමත් ඩී.බී. ජය­ති­ලක | සිළුමිණ

ශ්‍රීමත් ඩී.බී. ජය­ති­ලක

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්

සිංහල භාෂා - සාහිත්‍යය පිළිබඳ පඬිවරයෙක්

ලංකා විශ්වවිද්‍යාලයේ සහ සිංහල ශබ්දකෝෂයේ පුරෝගාමී

(2018 පෙබරවාරි 13 දිනට යෙදෙන ජන්ම සංවත්සරය වෙනුවෙනි.)

1890 දී ඩී.බී. ජයතිලකට පවරන ලද මුල්ම තනතුර මහනුවර උසස් බෞද්ධ විද්‍යාලයයේ විදුහල්පති ධුරයයි. පසුකලෙක මෙය ධර්මරාජ විදුහල නමින් හඳුන්වන ලදී. මෙය ඔහු ආරම්භ කළේ හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා සමඟයි. මේ වන විට ඔහු ඉංජිනේරුවරයෙක් වීමේ අදහස අත්හැර සිය කාලය ඉගැන්වීමටත් බුදුදහම ප්‍රචලිත කිරීමටත් යෙදවීමට තීරණය කර තිබුණි. මේ කාර්යය සඳහා ඔහු කෙතරම් කැපවී සිටියේද යන්න පසුකාලීන සිදුවීම්වලින් අනාවරණය වේ. අන්තිම කාලය දක්වා ඔහු ගුරුවරයෙකු ලෙසටත් බුදුදහම මෙරට පමණක් නොව ඉන් බැහැරවත් ඉහළම මට්ටමකට ව්‍යාප්ත කිරීමේ අදහසින් කටයුතු කළේය. එය අපරදිග විද්වතුන් අතරද ප්‍රචලිත කිරීමට ඔහු ක්‍රියා කළේය. මහනුවර තිබූ පාසැල් කොළඹ බෞද්ධ පරමවිඥනාර්ථ සමිතිය විසින් පාලනය කරන ලදී. මෙකල විදුහල්පති හැටියට වැටුප වශයෙන් ගෙවනු ලැබූ රුපියල් තිහද ඔහු පාසල සඳහාම වැය කළේය. කර්නල් ඕල්කොට් තුමා ලංකාවට පැමිණියේ 1880 බව මතක තබාගත යුතුවේ. මේ කාලයේ සිටම මේ ව්‍යාපාරයේ ජයතිලක නිරතවූවේය. නව බෞද්ධ අධ්‍යාපනික ව්‍යාපාරය සඳහා අවශ්‍ය කරන දැනුම අවුරුදු 23 ක් වූ තරුණ ජයතිලක තුළ පැවැතියේ ය. වෙස්ලි විද්‍යාලයීය ගුරුවරයන්ද විදුලකර පිරිවෙනේ නායක ස්වාමීන් වහන්සේලා ද සමඟ සබඳතා ඇතිකරගත් හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමාට ජයතිලක ගැන හොඳ රෙකමදාරුවක් ඔවුන් විසින් දී තිබෙන්නට ඇත. ජාතික සේවය සඳහා සුදුසු අවස්ථාවක් ජයතිලකද මෙවකට බලාපොරොත්තුවෙන් සි‍ටියේය. මෙවැනි තනතුරක් ලබා ගැනීමට ඔහුගේ උද්යෝගය විසින් මෙහෙයවනු ලැබිණි. මේ නිසා පරමවිඥනාර්ථ සමිතිය වෙනුවෙන් ධර්මරාජ විද්‍යාලය ආරම්භකොට එය පවත්වාගෙන යාමට ඔහු විසින් කටයුතු සම්පාදනය කරන ලදී.

තමන්ගේ අනාගත දියුණුව පසෙකලා අප්‍රසිද්ධ ආයතනයක වැටුපක් නොලබන විදුහල්පතිවරයකු වීමටත් මෙම බෞද්ධ ව්‍යාපාරයට මෙතරම් කැපවී වැඩ කිරීමටත් ඔහු පෙලඹුණේ මන්දැයි පැහැදිලි නැත. ඔහු ප්‍රායෝගික නොමැති පුද්ගලයෙක්, යමක් ගැන කලින් දැනගැනීමට නොහැකි අයෙක්, හැඟිම්වලට යටවුන අයෙක් හැටියට කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඔහුට ලැබූ තනතුර සිත් ඇඳගන්නා එකක් නොවීය. ඔහු මුදල් සොයාගිය පුද්ගලයෙක් නොවු නිසා ඒ ගැන තැකීමක් නොවීය. ධනවතෙක් වීමට ද ඔහුගේ බලාපොරොත්තුවක් කිසිවිටෙක නොවීය. එසේ නම් ඔහු කුමක් සොයා ගියේද? ඔහුගේ පරම අභිලාශ වූයේ ඉංගීසි අධ්‍යාපනය තම දරුවනට ලබා දීමට නොහැකි බෞද්ධයින්ට සේවයක් කිරීමට බව දැන් පැහැදිලි වී ඇත. පාසල පවත්වා ගැනීමට අරමුදල් සොයා ගැනීමත් පාසල පාලනය කිරීමත් තමන්ගේ උපාධි පරික්ෂණය සඳහා ඉගෙන ගැනීමත් ඔහු සතු වගකීම් හා කාර්යභාරයන් විය. ඔක්ප්පර්ඩ්, කේම්බ්‍ර්ජ්, ලන්ඩන් විශ්වවිද්‍යාලවලින් උගත් අය සමඟ සබඳතා ඔහු පවත්වා ගත්තේය. ඒවායේ අධ්‍යාපනික දැක්ම ඔහු සිතේ ඇතිවන්නට විය. ඔහුගේ අභිලාෂය මුදුන්පත් කර ගැනීම උදෙසා අවශ්‍ය ධෛර්යය, අධිෂ්ඨානය, ශක්තිය හා කායික හැකියාව ඔහු තුළ පැවැතුණි . ඒ කුමක්ද? ඔහුගේ අරමුණ උපාධිධාරයෙක් වීමටය. ශීඝ්‍රයෙන් දියුණුවන ආයතනය ප්‍රධානියා ලෙසට එවැනි සුදුසු කමක් නොතිබීම අඩු පාඩුවක් ලෙසට ඔහු දුටුවේය. එවකට මහත් ජයක් ලෙසට සැලකූ එය ලබා ගැනීමට ඔහුගේ උත්සාහය දෙගුණ කළේය. 1896 දී ඔහු කල්කටා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි හා ලතින් භාෂාවෙන් ඔහු බී. ඒ. උපාධිය ගෞරව සහිතව සාමර්ථය ලබා ගෙන තම අභිමතාර්ථය ඉෂ්ට කරගත්තේය. එවකට ඔහුට වයස අවුරුදු 28 ක් විය.

ඔහු අධ්‍යාපනය දීමෙන් පමණක් නතර කළේ නැත. ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කැමැත්තක් දැක්වූ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන්ට ළමයින් උනන්දු කළේය. මෙකල පාසල් ක්‍රිකට් කණ්ඩායම් වලට ගුරුවරුද ක්‍රීඩා කළහ. ඔහුද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළේය. ඔහු වම් අතින් පහර දෙන්නටත් පන්දු යැවීමටත් දක්ෂයෙක් විය. මෙසේ පවසනුයේ තවම මතකයේ ඇති වුන් ය. මහනුවර හා අවට බෞද්ධ කටයුතුවල ඔහු ක්‍රියාකාරි ලෙස සහභාගි වුයේය. බොදුනුවන්ට හොඳින් ධර්මය අවබෝධ කරවීමටත් දරුවන්ට බෞද්ධ අධ්‍යාපනයක් ලබා දීමටත් ඔහු උනන්දු කළේය. මිනිස්සු ඔහු ගැන මහත් විශ්වාසයක් තැබුහ.

ඔහුගේ සරල බව නිර්ව්‍යාජත්වය හා කතා කිරීමේ ස්වභාවය ගැන මිනිස්සු පැහැදුනහ. මුළු මහනුවර ප්‍රදේශයේම ඔහුගේ ආභාසය පැතුරුවේය. වැඩිකල් නොගෙ‍ාස් ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙක් විය. සාහිත්‍යය පිළිබඳ ඔහු තුළ ඇති කුසලතා සාහිත්‍යයට ඇති ඇල්ම මඟින් හෙළි දැක්වීමට පෙළඹවීය. ඔහු “සංත්‍යාධය” නමින් සතිපතා පුවත්පතක් ආරම්භ කොට එයට ඔහු විසින්ම වැදගත් ලිපි සැපයුවේය. ඔහු සංස්කෘත මිශ්‍ර සරල සිංහල බසක් උපයෝගි කරගත්තේය. එය පැරණි බසක් හෝ අමාරු බසක් ‍නොවීය. කථාකරන බස මඳක් ව්‍යාකරණානුකූලව ගැමි වහරින් මඳක් දියුණුකරන ලද්දකි. ඔහු සිගාල කව් නිර්මාණය කිරීම‍ටද පෙළඹුනි. අදටත් ඉතිරිව ඇති කව්පෙළ කීපයකින් මේ බව තහවුරු වේ. එදිනෙදා තොරතුරු මඳක් හාස්‍ය රසයෙන් ඉදිරිපත් කළේය.

ඔහු වෙහෙසවී ක්‍රියාකොට සත් වසක් වැනි කෙටි කලකදී පළමු පෙළේ විදුහලක් පිහිටුවුයේ ය. මෙහි මුලික අවස්ථාව සම්පුර්ණ කරන විට 1898 දී ඔහු කොළඹ ආනන්ද විදුහලේ උප විදුහල්පති තනතුරට පත් කළේය.

ඔහු විසින් නිම කරන ලද වැඩ කොටස් ගැන ප්‍රසාදයට පත් බෞද්ධ පරමවිඥානාර්ථ සමිතිය එවැනිම වැඩ කොටසක් ආනන්ද විදුහලටත් කරදෙන ලෙසට කෙනෙකු සොයා දෙන ලෙසට ඉල්ලා සිටියේය. ඒ සඳහා සුදුස්සා ජයතිලකම බව වටහාගත්තේය. මේ නිසා ඔහුට විදුහලත් මහනුවර ජනතාවත් අත්හැර යාමට සිදුවිය. බලාපොරොත්තු සුන්කරගත් මහනුවර වාසීහු මෙම මාරුව ගැන විරෝධතා පළ කළහ. ඔහු වෙහෙස වී විදුහල ගොඩ නැගුවා පමණක් නොව ජනතාවගේ හදවත දිනාගැනීමටද සමත්විය.

තමාට කාලයක් සොයාගත හැකි සෑම විටෙකම ඔහු ලංකාවේ ඉතිහාසය ගැන කියවා පර්යේෂණ කර සිංහලයාගේ අතීත හපන්කම් ගැන උගත්තේය.

වැලිවි‍ට සංඝරාජ හිමියන්ගේ ජීවිත කතාව ඔහුගේ මන බැන්දේය. මේ නිසා මේ යතිවරයාණන් පිළිපදිව තවත් කරුණු සොයා පර්යේෂණ කරන්නට ඔහු පෙලඹුණේය. මේ සඳහා මහනුවර අන් ස්ථානවලට වඩා පහසුවක් වීය. මල්වතු අස්ගිරි නිකායන් විසින් ඒ සඳහා අවශ්‍ය තොරතුරු ආශ්‍රීත ග්‍රන්ථ පිළිබඳ තොරතුරු සැපයුවේය. මෙසේ එක්රැස් කළ තොරතුරු ඇසුරින් මෙම වැලිවිට සරණංකර සංඝර‍ාජයන් ගැන ඔහු ග්‍රන්ථයක් රචනා කළේය. මෙතුමන්ගේ ජීවිත කථාව එවකට මහනුවර යුගය පිළිබඳ ‍හොඳ විවරණයක් විය. ජයතිලක විසින් ඉටුකරන ලද සේවය ගැන උඩරැටියන් තුළ සදා අමරණීය වන අතර ඒ ගැන ඔවුහු කෘතවේදී වූහ. ඔහුගේ අවසන් කාලය දක්වාම තමන්ගේ හොඳම ඇසුරු කරන්නන් මෙන්ම අගය කරන්නන්, ආධාරකරුවන් සිටියේ මහනුවර ප්‍රදේශයේය.

 ඔහු ධර්මරාජ විදුහලින් ඉවත්වී ආනන්ද විදුහලේ උප විදුහල්පති තනතුර බාරගැනීමට කොළඹට පැමි‍ණියේය. මේ වනවිට කොළඹ ආනන්ද විදුහල සී. ඩබ්. ලීඩ්බී‍ටර් සහ පසුව ඒ. ඊ. බුල්ජන්ස් නම් විදුහල්පති වරුන් යටතේ වසර දොළහක් පාලනය වී තිබිණ.

බුල්ජන්ස් මහතා කේම්බ්‍ර්ජ් විශ්ව විද්‍යාලයේ උසස් උගතෙකු වූ අතර නව බෞද්ධ ව්‍යාපරයේ දැඩි ලෙස කැපවී වැඩ කළ ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් විය. බුල්ජන්ස් මහතා ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ පුරෝගාමියා වෙමින් පළමු වෘත්තීය සමිතිය පිහිටුවීමේලා උපකාරි විය. මේ වනවිට ඒ. ඊ. ගුණසිංහ මහතා අවුරුදු 3 ක ළමයෙක් විය.

බුල්ජන්ස් මහතා අධ්‍යාපනඥයෙක්, ඉතිහාසඥයෙක්, භාෂා විශාරදයෙක් සහ පෙරදිග පඬිවරයෙක් විය. මේ කාල‍යේ බුල්ජන්ස් මහතා අසනීපයෙන් පසු වූ නිසා මේ වන විටත් තම දක්ෂතා පෙන්වා සිටි ජයතිලකයන් ආනන්ද විදුහලට ගෙන්වු‍යේ අනාගතයේදී විදුහල්පති තනතුරේ භාරගැනීමට විය යුතුය.

අනාගතයේදී ලංකාවේ නායකයින් බිහි කරන තෝතැන්න ආනන්ද විදුහල වනු ඇතැයි කළමනාකාරිත්වය මහත් උනන්දුවෙන් විදුහලේ ප්‍රගතිය ගැන සොයා බැලුහ. අනෙකුත් ආගමික විද්‍යායතනයන් ආනන්ද විදුහල සැලකුවේ තවත් අධ්‍යාපන ආයතනයක් ලෙසට නොව තමන්ගේ ප්‍රතිවාදී ආයතනයක් ලෙසට නිසා ආනන්ද විදුහල ඉතා ශක්තිමත් කරගකරුවෙකු ලෙසට ක්‍රියා කළ යුතුවීය.

ධර්මරාජ විදුහලේ සාර්ථකත්වය හොඳ ආදර්ශයක් ලෙසට සැළකිණි. ඔවුන් අපේක්ෂා කළ අන්දමේ පුද්ගලයෙකු විදුහලට ලැබීණ. මො‍හුගෙන් උපරිම සේවය ලබාගත යුතුයයි ඔවුහු සිතුහ. එයින් ආනන්දයට ඉමහත් ප්‍රතිඵල අත්වන බව දැන සිටියහ.

බලාපොරොත්තුවූව‍ාසේම ජයතිලක බෞද්ධ පරමවිඥනාර්ථ සමිතියේ අපේක්ෂ‍ාවෙන් ඉටුකිරීමට ක්‍රියා කළේය. ගොඩනැඟිලි ඉදිකිරීමට උපකරණ මිලදී ගැනීමට ගුරුමණ්ඩලයට වැටුප් ගෙවීමට අරමුදල් අවශ්‍ය විය. මේ සඳහා ඔහු ආධාර සොයා දිවයින පුරා ගියේය. මේ සඳහා ආධාර රටේ බෞද්ධ ජනතාවගෙන් නොමඳව ලැබිණ. මේ සඳහා ඔහුට දුම්රියෙන් කරත්තයෙන් පයින් ගමන් කිරීමට සිදුවිය. මෙකල තිබඋ මංමාවත් සීමිත වූවා පමණක් ගමන් බිමන් ඉතා අසීරු වෙහෙසකර වීය. බොහෝ විට නෑදෑ හිතවතුන්ගේ නිවාසවල රාත්‍රී ගතකරන්නට විය. මෙතරම් දුෂ්කරතා බාධක තිබුණත් ඔහු අරමුණු ජයගත්තේය. ලැබු අරමුදල් යොදා ඔහු බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් විදුහල දියුණු කළේය. ඔහු පෙරටත් වඩා වැඩියෙන් වෙහෙසවී වැඩ ක‍ළේය.

1900 දී බුල්ජන්ස් මහතා ආනන්ද විදුහලේ විදුහල්පති තනතුරෙන් විශ්‍රාම ගත්තේය. එම තනතුර සඳහා සුදුස්සා වූයේ උප විදුහල්පති ඩී.බී. ජයතිලකය. ඒ ගැන කිසිදු පැකිලීමක් නොමැතිවම ඔහු එම තනතරට පත් කරන ලදී. එය ජයතිලකගේ අමන්දානන්දයට හේතුවිය. එය ඔහුගේ දක්ෂතාවයත්, හැකියාවත් පිළිගැනීමක් වැනිවිය. බුද්ධාගම හා අධ්‍යාපනය උදෙසා ඔහුගේ කැපවීම නිසා ලැබුණැයි ඔහුගේ හැඟීමක්ද විය. මෙය තවදුරටත් ක්‍රියාකාරී වීමට ශක්තිය, පරිත්‍යාග කිරීමට කාලය හා ධනය යෙදවීමට තවත් උපකාරයක් මෙන් විය.

ඔහු තවත් උනන්දුව වෙහෙසව කටයුතු කළේ ආනන්ද විදුහල ඉහළම තැනකට ගෙන ඒමටය. ඔහු අනෙක් විදුහල් සංවිධානය කිරීමටත් කළමනාකරණය කිරීමටත් බෞද්ධ පරම විඥනාර්ථ සමිතියට උපකාරි වීය.

දැඩි කැපවීම නිසා අධ්‍යාපනික ගැටළු විසදා ගැනීමට ජයතිලක ලබා තිබූ පළපුරුද්ද කළමනාකරණයේ නිසි මඟට යොමු කිරීමට උපකාරී විය.

ඔහුගේ විශේෂ අවධානය යොමු වුයේ ආනන්ද විද්‍යාලයටය. ගුරු මණ්ඩලය සංඛ්‍යාවෙන්ද, තත්ත්වයෙන්ද ඉහළ නැංවීය.

කොළඹ තිබූ රාජකීය, ශාන්ත තෝමස්, වෙස්ලි ආදි අනෙකුත් විදුහල්වල සිසුන් හා තරගකාරි ලෙස පෙනී සිටීමට ඉගැන්වීම සකස් කරන ලදී. කේම්බ්‍රිජ් කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ විභාග සඳහා උසස් පන්ති පවත්වන ලදි. මෙහි ප්‍රතිඵල උසස් වන විට නාගරික හා ගම්බද ධනපති බෞද්ධ පවුල්වල ළමුන් අඳි ඒමට තරම් හොඳ නාමයක් ලබා ගත්තේය. ඩී. බී. ජයතිලක විදුහල්පති කාලය ගැන සඳහන් කරන පී. ද.ඇස්. කුලරත්න මහතා මෙසේ කීවේය.

1904 වන විට මේ විදුහල රජයේ ශිෂ්‍යත්වය දිනා ගැනීමට හැකියාව ලැබී තිබිණ. එය දිනා ගත්තේ ජී. කේ. ඩබ්. පෙරේරාය. මෙයින් රටේ ජනතාවට පෙන්නුම් කළේ මෙරට අය විසින් පවත්වාගෙන යන පාසල් යුරෝපීයයන් විසින් පාලනය කරන පාසල් හා තත්ත්වයෙන් පවත්වාගත හැකි බවය. ඔහු විදුහල සංවිධානයට අරමුදල් සොයාගෙන තත්ත්වය උසස් මට්ටමකට ගෙනාවා පමණක් නොව බෞද්ධ පාසල්වල මහා කළමනාකරු හැටියට විදුහලට ප්‍රථම අතිරේක ගොඩනැගිලිද සාදන්නට පියවර ගත්තේය.

ඩී. බී. ජයතිලකයන්ගේ විදුහල්පති කාලපරිච්ඡේදය ගැන මගේ ‘සිහිවටන’ මැයෙන් ලිපියක් ලියන ඩබ්. ඒ. ද සිල්වා මහතා ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් යටතේ මනා ප්‍රගතියක් ඇතිකර ගත්තේය. මේ කාලයේදී ඔහුගේ අප්‍රතිහත‍ ධෛර්යය හා නොසැලෙන කැපවීම ඔහු ප්‍රදර්ශනය කළේය. බෞද්ධ අධ්‍යාපනය උදෙසා වූ ව්‍යාපාර ඉතිහාසයට එක් වී ඇත.මේ රටේ ජනතා සේවය සඳහා කැපවුවකු‍ගේ සාඩම්බර කාලපරිච්ඡේදයක් මෙය වූවේයයි සිතිය හැක.” යනුවෙන් සඳහන් කර ඇත.

(ආනන්ද විදුහලේ ස්වර්ණ ජයන්ති සමරු කලඹ පිටුව34.)

1936 ඔක්තෝබර් 31 දින ත්‍යාග ප්‍රධාන උත්සවයේදී කියන ලද විදුහල්පති වාර්තාව මේ උත්සවයේ මුලසුන දරන ලද්දේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා විසිනි.

උද්ධෘතය: ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ජීවන චරිතය, ආචාර්ය නන්දදේව විජේසේකර, සිංහල පරි: ලලිත් හීන්ගම, නුගේගොඩ සරසවි ප්‍රකාශකයෝ කාරුණික අවසරයෙනි.

අදහස්