මාලදි­ව­යිනේ මොකද වුණේ? | Page 2 | සිළුමිණ

මාලදි­ව­යිනේ මොකද වුණේ?

මාලදිවයින, අප අසල්වැසි කුඩා සුන්දර රාජ්‍යය යළිත් වරක් දේශපාලන කුණාටුවකට මුහුණ දී තිබේ. ලෝක දේශපාලනයේ තවත් එක් කලු පැල්මක් සටහන් කරමින් පසුගියදා මාලදිවයින් ජනාධිපවරයාගේ නියෝග මත එරට උසාවි විනිසුරුවරුන් අභ්‍යන්තරයේ සිටියදීම උසාවි වසා දොරගුලු ලා වසා දමනු ලැබීය. එයට හේතුව වූයේ දේශපාලන සිරකරුවන් නව දෙනෙකු නිදහස් කරන ලෙස විනිසුරුවරුන් තීන්දුවක් ලබා දීමය. එහි ප්‍රතිචාරය ලෙස රටට හදිසි නීතිය පනවමින් විනිසුරන් ද සමග උසාවි ගොඩනැගිලි වසා අගුලු ලෑමට ජනාධිපති අබ්දුල්ලා යාමීන් හමුදාව යෙදවූයේය.

මාලදිවයින වසර කිහිපයක සිටම ස්ථාවර දේශපාලන වාතාවරණයක් පවත්වා ගැනීමට අපහසු වූ රටක් ව තිබිණි. වසර තිහක මොහොමඩ් අබ්දුල් ගයූම් පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිසීමට මාලදිවයින ඉදිරි පියවරක් තැබූවද එම ඉදිරි ගමනට වැඩි ආයුෂක් ලැබුණේ නැත.

2009 දී ප්‍රථම වරට මාලදිවයිනේ පැවති මහා මැතිවරණයකින් බලයට පත් වූ ජනාධිපති මොහොමඩ් නෂීඩ් 2015දී බලයෙන් ඉවත් කෙරුණු අතර ඉන්පසුව සිරගත කෙරිණි. ඒ වන විට මාලදිවයිනේ පාලන බලය හිමි ව තිබුණේ වර්තමාන ජනාධිපති අබ්දුල්ලා යාමීන්ටය.

වසරක කාලයක් සිරගතව සිටීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට මොහොමඩ් නෂීඩ් අවසර ඉල්ලා සිටි අතර යාමීන් ජනාධිපතිවරයා එයට අවසර ලබා දුන්නේ නෂීඩ්ගේ සමීපතම ඥාතියකු ඇපයට ගනිමිනි. ඒ අවසරය මත බ්‍රිතාන්‍ය්‍යට පැමිණි නෂීඩ් යළි පැමිණෙන බවට ලබා දුන් සියලු පොරොන්දු බිඳ දමමින් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පැතීය. පසුව ඔහු කොළඹට පැමිණ එහි සිට තම දේශපාලන මෙහෙයුම් සිදු කරන්නට විය.

මාලදිවයින් උසාවිය සිරකරුවන් නිදහස් කිරීමේ නියෝග නිකුත් කරන්නේ මේ අතරය.

කෙසේ වුවද උසාවි යතුරු ලෑම සහ සිරකරුවන් නිදහස් නොකිරීම හේතුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා ජනතාව අතර අප්‍රසාදයට ලක්වන බවත් පෙනෙන්නට තිබේ.

ජනාධිපති යාමීන් බල අරගලයකට මැදිව සිටින බවක් පෙනෙන්නට තිබෙන්නේ බලයට ඒමට ඔහුට සහය දැක්වූ ඇතැමුන් මේ වන විට ඔහුගේ විරුද්ධ පිලට එක්ව සිටීම හේතුවෙනි. ඒ අතර ඉදිරියෙන් මිටින්නේ ඔහුගේ අර්ධ සොහොයුරු, මාලදිවයිනේ වසර තිහක් පුරා ජනාධිපති ලෙස කටයුතු කළ මොහොමඩ් අබ්දුල් ගයූම්ද ඔහුට එරෙහි වෙමින් ‍මොහොමඩ් නෂීඩ්ගේ පාර්ශවයට එක්වීමත් සමගය.

එහෙත් පසුගිය සතියේදී ගයූම්වද අත්අඩංගුවට ගැණුනු අතර රටේ දේශපාලන වාතාවරණය තවත් උණුසුම් වීමට එයද හේතුවක් විය.

මේ අතර වර්තමාන ජනාධිපති අබ්දුල්ලා යාමීන් චීනය සමග වන සබදතා වඩාත් තර කර ගනිමින් සිටින බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

ඔහු නිතර චීනයේ සංචාරවලට එක්වූ අතර දැනට අවසාන සංචාරය වාර්තා වී ඇත්තේ පසුගිය දෙසැම්බරයෙනි. මාලදිවයිනේ වසරකට සංචාරයේ නිරත වන සංචාරකයන් සැලකුවද වැඩි පිරිසක් වාර්තා වන්නේ චීන ජාතිකයන්ය.

චීනය විසින් යෝජිත නව සේද මාවතේ මාලදිවයිනද සුවිශේෂී මධ්‍යස්ථානයක් ලෙස සලකුණු කර තිබේ. ඒ අනුව මාලදිවයින් දේශපාලනය චීනය වැදගත් වන බවට තහවුරු කිරීම් අවශ්‍ය නැත. වර්තමාන ජනාධිපතිවරයාට චීන සහාය නොඅඩුව හිමිවන අතර එයට ප්‍රතිපක්ෂව මොහොමඩ් නෂීඩ් ඉන්දියාව සමග සබදතා පවත්වන බව පෙනේ.

උසාවිය අගුලු ලෑම සම්බන්ධව කොළඹ සිට තම මතය ප්‍රකාශ කරමින් මොහොමඩ් නෂීඩ් හිටපු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය මගින් පවසා තිබුණේ කලාපයේ දේශපාලන ගැටලුවලට ඉන්දියාව වහාම මැදිහත් විය යුතු බවයි.

මාලදිවයිනට වහාම ඉන්දීය හමුදාව යැවිය යුතු බවත් දැනට අත්අඩංගුවේ සිටින විනිසුරුවරයන් සහ දේශපාලන සිරකරුවන් මුදා ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි. එමෙන්ම අමෙරිකාව වහාම මාලදිවයිනට සිදු කරන ආධාර නවත්වා දැමිය යුතු බවත් ඔහු පවසා තිබිණි.

ඒ අනුව සැබවින්ම පෙනී යන්නේ මාලදිවයිනේ දේශපාලන ගැටලුව මාලදිවයිනටම පමණක් සීමා වූවක් නොව ලෝක බලවතුන් අතර කඹ ඇදීම හේතුවෙන් සිදු වන්නක් බවයි.

එහි අවසන් ප්‍රතිඵලය ඛේදවාචකයක් නොවේවායි පැතීම පමණක් අපට ඉතිරිව තිබෙන්නේ අපද එම බලවතුන්ගේ කඹ ඇදිල්ල මැදට හිර වී සිටින තවත් රටක් පමණක් වන බැවිනි.

 

Comments