HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

 රිහානා ප්‍රේමයේ නුවරට යයිද?

යුරෝපයේ අතිසුන්දර පැරිස් නුවර ප්‍රේමයේ නුවරක් හැටියට සමහරු හඳුන්වනවා. පැරිසිය, විලාසිතා ලෝකයක් ලෙසින් ද ලොව පුරා ප්‍රචලිතයි‍. හොලිවුඩයේ ප්‍රේමණීය යුවළක් මේ දිනවල පැරිසියේ පදිංචි වෙන්නට සුදුසු නිවසක් සොයමින් සිටින්නේ ඒ නිසයි.

සුපිරි ගායිකා රිහානා සහ ඇගේ පෙම්වතා වන හසන් ජමීල් තමයි පැරිසියට යන්න හිතාගෙන ඉන්නේ. (හසන් ජමීල් කලා ලොවට කිසිම සම්බන්ධයක් ඇති කෙනෙකු නොවෙයි. ඔහු සෞදි අරාබියේ ධනවත් ව්‍යාපාරිකයෙක්. ලෝකයේ ධනවත්ම පවුලක සාමාජිකයෙක්)

රිහානා සහ හසන් පැරීසියට යන්නේ රිහානාගේ ව්‍යාපාරික කටයුතු හොඳින් කරගෙන යෑමට බවයි හොලිවුඩ්පුරයේ මාධ්‍ය සඳහන් කර තිබුණේ. රිහානා සතුව වේශ නිරූපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගමක් තිබෙනවා.

මේ ආයතනය, ප්‍රකට රියැලිටි තරුවක් වන කිලී ජෙනර් සහ සුපිරි නිරූපිකා කිම් කර්ඩෂියන් සතු වේශ නිරූපණ සමාගමකට විකුණා දැමීමටත් රිහානා බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ. ඉන් පසුව ඇය සතුව පවතින ඇඳුම් නිර්මාණ ආයතනය පැරසියට ගෙන ගොස් එහි ‍පවත්වාගෙන යන්නට ඇගේ අදහසක් තිබෙන බවත් පැවසෙනවා.

කෙසේ වෙතත්, මේ පුවත සත්‍යයෙන් තොර බවයි, රිහානා පවසන්නේ.

ටොම් කෲස්ගේ වේදනාව

‘මිෂන් ඉම්පොසිබල්- 6’ චිත්‍රපටයේ රූගත කිරීම පසුගිය වසරේ අග භාගයේදී සිදුවුණා. මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ජනප්‍රිය නළු ටොම් කෲස් ඒ රූගත කිරීම්වලින් ලද ‘දරුණු ප්‍රතිඵලයක්’ තවමත් භුක්ති විඳිමින් සිටිනවාලු. වළලුකරයක බිඳීමක් සිදුවීමෙන් තමයි ඔහු ප‍ීඩා විඳිමින් සිටින්නේ.

පසුගියදා රූපවාහිනී වැඩසටහනකට සහභාගි වූ ටොම් කෲස්, තමන්ට සිදුවී ඇති අකරතැබ්බ මෙලෙස හෙළි කළා. ‘මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටයේ එක්තරා දර්ශනයක මාව හෙන්රි කැවිල් එළවාගෙන එන අවස්ථාවක් තිබුණා.

එහෙම එන අතරෙදි තාප්පයක පැත්තක මාව ගැටෙනවා. මෙන්න මේ දර්ශනය රූගත කරද්දී මගේ වළලුකරයක් බිඳුණා. මට ඒ වෙලාවෙ ඒ බව හොඳින් ම දැනුණා. ඉතින් මම කෑගහලා කිව්වා, මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා.

මේ චිත්‍රපටය රූගත කරන දවස්වල මම දවසකට පැය 8 ක් - 10 ක් විතර පුනරුත්ථාපන මධ්‍යස්ථානයක කාලය ගත කළා. ඒ, ත්‍රාස ජනක දර්ශන කීපයක් රූගත කරන්නයි...”

ටොම් කෲස් ඒ විස්තරය කළේ මෑතකදි පැවැත්වුණු රූපවාහිනී වැඩසටහනකටයි. මේ වැඩසටහනට ‘මිෂන් ඉම්පොසිබල් - 6’ චිත්‍රප‍ටයේ රඟපෑ රෙබෙකා ෆර්ගසන්, හෙන්රි කැවිල් සහ සයිමන් පෙග් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

ග්‍රැමී සම්මාන දිනූ තරු පිරිවර

සංගීත ලෝකය පුබුදුවාලන තවත් ග්‍රැමී සම්මාන උලෙළක් පසුගියදා නිව්යෝක් නුවර මැඩිසන් චතුරස්‍ර උද්‍යානයේ දී පැවැත්වුණා. මෙවර ග්‍රැමී සම්මාන රාත්‍රිය මුළු දුන්නේ 60 වැනි වරටයි.

මේ උත්කර්ෂවත් උලෙළේදී 2017 වසර වෙනුවෙන් පිරිනැමුණු සම්මාන අතරින් කිහිපයක්.

* වසරේ හොඳම ගීත ඇල්බමය - බෲනෝ මාස් ගේ ‘24 k Magic’

* වසරේ හොඳම ගීතය - ‘That’s What I Like - ගායනය - බෲනෝ මාස්.

* වසරේ හොඳම නවක ගායකයා/ ගායිකාව - ඇලිසියා කාරා (Alessia Cara)

* වසරේ හොඳම ඒකල පොප් ගායනය - එඩ් ෂීරාන් ගැයූ - ‘Shape of You’

* වසරේ හොඳම යුග/ සමූහ ගායනය - ‘පෝචුගල් ද මෑන් සංගීත කණ්ඩායම ගැයූ ‘Feel it Still’

* වස‍‍රේ හොඳම පොප් ඇල්බමය - එඩ් ෂීරාන් ගේ ‘ඩ්වයිඩ්’.

ග්‍රැමී සම්මාන ලද ‘That’s What I Like’ ගීතය ඇතුළත් වූයේ ‘24 k Magic’ නම් වූ එඩ් ෂීරාන් ගේ තුන් වැනි ගීත ඇල්බමයේ යි.

වසරේ හොඳම ගායන තරුව ලෙස සම්මාන දිනූ ඇලිසියා කාරා කැනේඩියානු ගායිකාවක් සහ ගීත රචිකාවියක්.

සම්මාන දිනු ‘පෝචුගල් ද මෑන්’ ඇමෙරිකානු පොප් සංගීත කණ්ඩායමක්. ඔවුන්ගේ නිජබිම ඇලස්කාවයි.

මාක් සේලින් ජීවිතයෙන් සමුගනී

හොලිවුඩ් සිනමා සහ රූපවාහිනී තිරයේ ජනප්‍රිය තරුවක් වූ මාක් සේලින් පසුගියදා සිය දිවි හානි කර ගෙන ඇතැයි වාර්තා වුණා. මිය යනවිට 35 වැනි වියෙහි පසුවූ ඔහුගේ සිරුර සොයා ගෙන ඇත්තේ ලොස් ඇන්ජලීස් ගංගාව අසල පිහිටි කැලෑබද ප්‍රදේශයකදීයි. ඔහුගේ මරණය සිදුවූයේ කෙලෙස දැයි අනාවරණය කර නැහැ. මීට කලින් ඔහු දිවි නසා ගන්නට උත්සාහ කර තිබුණේ තමන්ගේ දෑත්වල මැණික් කටු කිසියම් ආයුධයකින් කපා ගනිමින්.

2016 වසරේදී ඔහු පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඒ ළමයින්ගේ නිරුවත් ඡායාරූප තම පරිගණකය තුළ තබා ගැනීමේ වරදටයි. එහිදී ඔහුට නැගුණේ ළමා අපචාර ‍චෝදනාවක්. මාක්ට එරෙහිව නඩු පැවරීමෙන් පසුව නඩු විභාගය පැවැත්වෙමින් තිබුණා.

මාක් වඩාත් ජනප්‍රිය වූයේ සංගීතාත්මක විකට චිත්‍රපටයක රඟපෑමෙන් පසුවයි. ඊට පෙර ඔහු ‘ද ග්‍රේට් යාඩ්’, ‘චිල්රන් ඔෆ් ද කෝන් IV’ වැනි චිත්‍රපටවල රඟපෑවා. ඔහු, ගායන ශිල්පි‍ෙයකු ලෙස ද ජනප්‍රිය වී සිටියා.

අදහස්