සිනා කතා | සිළුමිණ

සිනා කතා

රස්සාවක් මොකටද?

“අවුරුද්දක් ගෙවිලා ගිහින් හෙට අනිද්දා අලුත් අවුරුද්දක් ලබනවා. ඒ අලුත් අවුරුද්දේවත් හරිහමන් රස්සාවක් හොයාගන්ඩ උඹේ කල්පනාවක් නැද්ද?” මාගරට් නැන්දා චන්ද්‍රදාස දෙස බලා විමසුවේ තම අවඥාව නොසඟවා පළ කරමිනි.

“ආයි අමුතුවෙන් රස්සාවල් හොයන්ඩ මාන්සි වෙන්නෙ මොකටද නැන්දේ? අවුරුද්ද පටන් ගන්න කොට ම ඡන්දයක් එනවනෙ. එතකොට ඡන්දෙට ඉල්ලන එක කට්ටියක ගේ පෝස්ටර් ගහන්ඩ භාර ගන්නෙ අපි. එතකොට ඒ ගොල්ලන්ට විරුද්ධව ඡන්දෙ ඉල්ලන කට්ටියකගෙන් අර පෝස්ටර් ඉරලා දාන්ඩ ඕඩරේ භාර ගන්නෙත් මේ අපිමනෙ. ඔය කොන්තරාත් වලින් අවුරුද්දෙන් භාගයකට වඩා ජීවත් වෙන්ඩ පුළුවන්කම තියෙද්දි වෙනින් රස්සා මොටද නැන්දේ?” චන්ද්‍රදාස කීවේ සැහැල්ලු ලෙස සිනාසෙමිනි.

 

ඒ නත්තල් සීයා නෙමෙයි

“අම්මේ ඉක්මණට එන්න, අන්න බරට බරේ ලොකු බඩු මල්ලකුත් අරගෙන නත්තල් සීයා එනවා, අපේ දෙවට දිගේ, මේ පැත්තට” තම නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි නිලංක, නිවස දෙසට හැරී උස් හඬින් කීවේ ය.

“කට... කට... ඒ නත්තල් සීයා නෙමෙයි පුතේ, ඔය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති තුමානෙ. ඔය මෙදා සැරේ ඡන්දෙ ඉල්ලන්ඩ එන්නෙ.” කුස්සියේ සිට වහා නිවසේ ඉදිරි දොර අසලට පැමිණි නන්දා තම පුතා දෙස බලා කීවේ හීන් හඬිනි.

කාන්තා නියෝජනය

“දැන් උඹට අවුරුදු 30 පැනලා නේද? නරකද ඉතින් මේ අවුරුද්දෙවත් කසාදයක් කර ගත්තොත්?” නාඔටුන්න, සෙනෙවිරත්න ගෙන් ඇසුවේ මී විතක රස බලමින් සිටියදී ය.

“ඔව්, මම හිතා ඉන්නෙ මේ අවුරුද්දේ කසාද බඳින්ඩ තමයි. හැබැයි කසාද එකක් නෙමෙයි, දෙකක් ම කර ගන්ඩයි මම කල්පනා ‍කළේ.” සෙනෙවි කීවේ තම වීදුරුව පුරවා ගනිමිනි.

“උඹට විකාරද? ලංකාවේ නීතියේ හැටියට එක මිනිහෙකුට කසාද බඳින්ඩ පුළුවන් එක ගෑනියෙක් විතරයිනෙ.” නාඔටුන්න කීවේ තම මවිතය පළ කරමිනි.

“දැන් එහෙම ප්‍රශ්නයක් නෑ බං. ප්‍රාදේශීය සභාවකටත් දැන් අනිවාර්යයෙන් ම සියයට විස්සක වත් කාන්තා නියෝජනයක් තියෙන්ඩ ඕනැයි කියල නියම කරලා තියන එකේ ගෙදරක කාන්තා නියෝජනයත් ඒ අනුව වැඩි වෙන්ඩ ඕනැනෙ.” සෙනෙවි කීවේ සිනාසෙමිනි.

නව වසරේ සුබ පැතුම්!

“දෙසැම්බර් 31 දා රෑ 12 පහුවෙන කොට ම ටවුමේ පෝස්ටර් අලවපු හතර පස් දෙනෙක් ම අපේ අතට ම අහුවුණා සර්. ඒත් එහෙම අල්ලගෙන, ඒගොල්ලෝ අලවපු පෝස්ටර් පරීක්ෂා කරලා බැලුවම තමයි අපිට තේරුණේ ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්ඩ පුළුවන් කමක් නැති විත්තිය.” ජනවාරි 1 වැනිදා උදෑසන ම පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ‍ පෙනී සිටි සාජන්ට් බණ්ඩාර කීවේ ආචාර කිරීමෙන් අනතුරුවය.

“ඇයි, ඒවා ඡන්ද පෝස්ටර් නෙමෙයිද?” ස්ථානාධිපතිවරයා ඇසුවේ තරමක මවිතයකිනි.

“එක පෝස්ටරයක හාදයෙක් කට පළල් කරල හිනා වේගන ඉන්නෙ බුලත් කොළයක් ඉස්සරහට දික්කරගෙන. තව පෝස්ටරයක හාදයෙක් අලියෙක් පිටේ නැඟලා ආචාර කරනවා. අනික පිපීගෙන එන පොහොට්ටුවක් අතින් ගත්ත හාදයෙකුගෙ පෝස්ටරයක්. මේ ඔක්කො ම කියන්නෙ ඒවා නව වසරේ සුබ පැතුම් කියලනෙ.” සාජන් කීවේ ය.

එතකොට අපි බේරිලා!

“මම කියන්ඩද යමුනා, අපි පෙබරවාරි 10 දා පහුවෙනකම් රෑ 7 පහුවෙලා ගෙදර එමු. මට පුළුවන් රෑ වෙනකම් ඕවර්ටයිම් කරන්ඩ. ඔයාටත් බැරියැ ඉස්කෝලෙ උගන්නලා, ඊට පස්සෙ ගෙවල්වලට ගිහින් ටියුෂන් දෙන්ඩ.” දයානන්ද කීවේ තරමක බැරෑරුම් හඬකිනි.

“ඒ මොකදට අනේ අපි හැමදාම රෑ වෙනකම් ගෙදර නෑවිත් ඉන්නෙ?” යමුනා කට මෙන් ම ඇස ද විවර කර අසුවා ය.

“ඇයි මේ පත්තරේ තියෙන්නෙ රෑ 7 න් පස්සෙ ඡන්දෙ ඉල්ලගෙන ගෙවල් ගානෙ යන එක තහනම් කියල මැතිවරණ කොමසාරිස් කිව්වයි කියල.” දයානන්ද කීවේ ය.

අදහස්