සිනමා ශාලා හිස්ය රඟ­හල ද එසේ­මය | සිළුමිණ

සිනමා ශාලා හිස්ය රඟ­හල ද එසේ­මය

වර්තමාන ශ්‍රී ලාංකේය සිනමාව අර්බූදයකට මුහුණ පා ඇත්දැයි ඉන්ද්‍රචාපට කල්පනාවන්නේ කලක සිටය. අපගේ සිනමාවට හැත්තෑ වසරක් ද සිනමාවේ නිල අයිතිකරුවා වන ජාතික චිත්‍රපට සංස්ථාවට හතළිස් හය වසරක් ද මේ මොහොතේ සිංහල සිනමාව මුහුණ පා සිටින ශෝකජනක තත්ත්වය පිළිබඳ අපූරු සාක්කියක් ඉන්ද්‍රචාපගේ සමීපරූපයට එක් වූයේ ඉතා මෑතකදීය.ඉන්ද්‍රචාපගේ මිත්‍ර චිත්‍රපට විචාරකයා අගනුවර ප්‍රධාන පෙළෙහි සිනමා ශාලාවකට පෙරවරු 10.30 දර්ශනයක් නැරඹීමට යන්නේ ආදරය පිළිබඳ අලුත්ම චිත්‍රපටයක් නැරඹීමටය.පහළ මාලයේ සිටින්නේ ඔහු පමණි. සඳළු තලයේ යුවළකි. ප්‍රේක්ෂාගාරයක් නොමැතිව චිත්‍රපටය පෙන්වනවාදැයි ඉන්ද්‍රචාපගේ මිතුරු විචාරකයා කළමණාකරුගෙන් ඇසූ කල්හි ලැබුණු පිළිතුර වන්නේ "ඔව්, දෙන්නෙක් හිටියත් පෙන්වනවා" යන්නයි. විවේක කාලයේ දී සඳළුතලයේ සිටි යුවළ ද චිත්‍රපටය නරඹා හමාර වී යන්නට ගොසිනි.සිනමාශාලාවට ප්‍රේක්ෂකයන් පැමිණෙනවාද නැත්නම් සිනමාශාලාවෙන් ප්‍රේක්ෂකයන් ඉවතට යනවාද යන්න පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මෙලෙස සමීපරූපයේ ඇඳෙන්නේ සිංහල සිනමාවට ආදරය කරන සැමගේ දෑස් මවිතයට පත්කරමිනැයි ඉන්ද්‍රචාපට සිතේ.සිනමාශාලාවක ප්‍රේක්ෂාගාරයෙන් අඩක් හෝ පුරවාගන්නට සමත් සිංහල චිත්‍රපට අපගේ සිනමාව සතුව නොමැතිද යන්න ඉන්ද්‍රචාපගේ සමීප රූපයෙහි ලියැවුණු ප්‍රශ්නයයි. මෙය සිනමාවේ අර්බූදයේ මූලිකම ප්‍රශ්නය නොවන්නේ ද?

පසුගිය වසර කිහිපය පුරා අපගේ තරුණ සිනමාකරුවන් විසින් නිර්මාණය කරන ලද, එතෙර සිනමා උළෙල සම්මානයට පවා පාත්‍ර වූ චිත්‍රපට රැසක්ම සිනමාශාලාවට නොපැමිණ පෝලිමක හෝ ඉන්ද්‍රචාප නොදන්නා තැනක,නොදන්නා හේතුවක් හෝ හේතු නිසා සිරවී සිටින බව සමීපරූප පවසයි.එබඳු නිර්මාණ නැරඹීමේ පිපාසාවෙන් සිටින ප්‍රේක්ෂකයන්ගේ සිහින සැබෑ කරවන්නට ජාතික චිත්‍රපට සංස්ථාවට ගත හැකි කුමන හෝ ක්‍රියා මාර්ගයක් නොමැති ද?මෑත කාලයේ ප්‍රදර්ශනය වූ සිංහල චිත්‍රපට අතර සැබෑ සිනමාත්මක,කලාත්මක චිත්‍රපටයක් ප්‍රදර්ශනය වී නම් එය එක් අතක ඇඟිලි ගණනටත් වඩා අඩු බවයි ඉන්ද්‍රචාපගේ හැඟීම.අර්බූදය මෙය නොවේද? සිනමාත්මක, කලාත්මක ගුණයෙන් යුතු තරුණ සිනමාකරුවන්ගේ නිර්මාණ පෝලිමේය. ශාලාවෙන් අඩකින් අඩක් හෝ නොව, දහදෙනෙක් හෝ කැඳවාගන්නට අසමත් චිත්‍රපට ප්‍රදර්ශනයේය.අඩුම ගණනේ චිත්‍රපට නැරඹීම කෙසේ වෙතත්, පෙම්සුව විඳින්නට හෝ පැමිණෙන පිරිස් ද තොර සිනමාශාලා නුදුරු දිනෙක, ගෙදර යන ගමන් වර්ගයේ සුපර් මාර්කට් බවට පත්වුව හොත් ඉන්ද්‍රචාප මවිතයට පත් නොවේ.

වර්තමාන සිනමාව පිළිබඳ සමීපරූප එසේ ඇඳෙද්දී, පසුගිය සතියේ ශනිදාවක පුංචි තියටරයේ දී සිංහල වේදිකා නාට්‍යය පිළිබඳ ඇඳුණු සමීප රූපාවලිය , නාට්‍යයට ආදරය කරන්නෙක් ලෙස ඉන්ද්‍රචාපගේ සිතට ගෙනා බිය අප්‍රමාණය.පසුගිය 3 සෙනසුරාදා සවස 3.30 හා 6.30 දර්ශන ලෙස වේදිකාගත වූයේ සම්මානිත නාට්‍යකරු, කේ.බී.හේරත්ගේ මෑතකාලීන නිෂ්පාදනයක් වූ ජගන්මා රංග කාර්යයයි.2009 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම ස්වතන්ත්‍ර පිටපත ලෙස සම්මාන ලද, මාධනී මල්වත්තගේ, ලංකා බණ්ඩාරනායක,රත්නා ලාලනී, සම්පත් තෙන්නකෝන්,සුනෙත් ශාන්තප්‍රිය ආදීන් රංගනයෙන් දායක වූ නාට්‍යයයි. මේ සියල්ලට අමතරව එදින දර්ශන විශේෂත්වය වූයේ ස්වාධීන රූපවාහිනියේ සුබසාධක සංගමයට ආධාර පිණිස විසාල රූපවාහිනී පූර්ව ප්‍රචාරයක් දින ගණනාවක් තිස්සේ ලද නිර්මාණයක් ද වීමයි.ඉන්ද්‍රචාප සිතට බිය ගෙනා කාරණාව වූයේ මෙවන් පසුබිමක් සහිත වූ නාට්‍යයක් නැරඹීමට දර්ශන වාර දෙකටම ප්‍රේක්ෂකයන් සියයක් හෝ දකින්නට නොලැබීමයි. රඟහලට ප්‍රේක්ෂකයන් පැමිණෙන්නේ උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය නිර්දේශයට අයත් නාට්‍ය නැරඹීම සඳහා පමණක්ද? වසරක් පාසා රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වා නව නිර්මාණකරුවන්ගේ රංග කාර්යය ඇගැයෙන සිංහල නාට්‍යයයේ දකින්නට ඇති මේ තත්වය අර්බූදයක සමීපරූප සටහන් කරන්නක් නොවේද?

සිනමාව, වේදිකා නාට්‍යය,වැනි ජනජීවිතය බැඳීසිටිනා,සමීප කලා මාධ්‍ය මුහුණ පා සිටින මේ අර්බූදකාරී තත්වයෙන් මිදෙණු පිණිස නිසි පියවර ගැනීම බලධාරීන්ගේ වගකීම ලෙස ඉන්ද්‍රචාප දකී.

අදහස්